පසුගිය 3 වැනිදා ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ප්‍රකාශයට පත් කරන ලද කෝටියකට අධික ව්‍යාපාරික ලේඛන මගින් ලෝකයේ බොහෝ රටවල දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා වෙනත් ධනවතුන්ගේ රහස් ගනු දෙනු රාශියක් හෙළිදරව් කෙරිණි.
ඒවා අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුගේ ව්‍යාපාරික ගනුදෙනුවලට අදාළ ලියකියවිලි තොගයක්ද විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ආදීන්ගේ ඥාති දියණියක වූ ද 2010-2015 අතර කාලයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිනියක් වූද නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් යනු ඒ දෙදෙනාය.
එම ලේඛන හෙළිදරව් කරමින් ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංසදය හඟවා සිටින්නේ ඒ දෙදෙනා මෙරට දේශීය ආදායම් නිලධාරීන්ට නොදන්වා විදේශවල මහා පරිමාණ වත්කම් පවත්වාගෙන යන බවයි.
මෙම ලේඛනවලට එම ජනමාධ්‍ය සංසදය තබා ඇති නම ‘‘පැන්ඩෝරා පේපර්ස්’’ හෙවත් පැන්ඩොර් පත්‍රිකාය. මෙම ලේඛන මගින් ඒ ඒ රටවල හා ජාත්‍යන්තර වශයෙන් විශාල ආන්දෝලනයක් ඇතිවේය යන උපකල්පනය මත ඔවුන් එම ලේඛන එනමින් හඳුන්වා ඇත.
මෙම හෙළිදරව්ව නිසා නඩේසන් යුවළගේ ඉරණම කුමක් වනු ඇත්ද? මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් මේ රටේ මෙතෙක් කෙරුණු පරීක්ෂණ හා ඒවායේ ප්‍රතිඵල අනුව නම් පැන්ඩෝරා පත්‍රිකා මඟින් එම දෙදෙනාට එල්ලවන චෝදනා සත්‍ය වුවත් ඔවුනට එතරම් ප්‍රශ්නයක් වේ යැයි සිතිය නොහැකිය. ඔවුන් සිය ව්‍යාපාරික කටයුතු සිරිත් පරිදි කරගෙන යනු ඇත. මේ චෝදනා සත්‍ය බව තාමත් අධිකරණයෙන් තීරණය වී නැත.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර මූලස්ථානය කොටගත් ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංසදය මෙසේ හෙළි කොට ඇති ලේඛන සංඛ්‍යාව එක්කෝටි දහ නව ලක්ෂයකට අධිකය. මෙමගින් වත්මන් හා හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් 35 දෙනකුගේද මහා පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රකෝටිපතියන් හා කලා සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල ප්‍රබලයන් සියයකට අධික පිරිසකගේද රහස් ගනුදෙනුවල තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
වංචා හා දූෂණ හෙළිදරව් කිරීමේදී ලෝකයේ දියුණු රහස් පරීක්ෂකයන්ට වඩා මෑත කාලයේදී ජනමාධ්‍යවේදීන් ඉදිරියට පැමිණ ඇති බව පෙනේ. විකිලීක්ස්, පැනමා පත්‍රිකා, පැරඩයිස් පත්‍රිකා, පැන්ඩෝරා පත්‍රිකා ආදිය මගින් රජවරුන් රාජ්‍ය නායකයන් ආදීන්ගේ දේශපාලන හා ආර්ථික වංචා හා දූෂණ හෙළිදරව් කිරීමට ජනමාධ්‍යවේදීන්ට හැකියාව ලැබී තිබේ. එහෙත් දුෂිතයන්ට නඩු පවරා දඬුවම් දියයුතු වන්නේ රාජ්‍ය ආයතන වන හෙයින් ඉතා සුළු පිරිසක් හැර මෙම හෙළිදරව් කිරීම්වලින් චෝදනාවට ලක්වූ අති බහුතරය අදත් නිදැල්ලේ සිටිති.
ඉහතින් දැක්වූ හෙළිදරව් කිරීම්වලින් 2016දී කරන ලද පැනමා පත්‍රිකා හෙළිදරව් කිරීම් හා වත්මන් පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කිරීම් යන දෙක ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍ය වේදීන්ගේ සංසදයේ ගවේශනවල ප්‍රතිඵලයි. ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍යාවේදීන්ගේ සංසදය හා ජනමාධ්‍ය සංවිධාන 140ක් එක්ව රටවල් 117ක ජනමාධ්‍යවේදීන් 600කට වැඩි පිරිසක් යොදවා පැන්ඩෝරා පත්‍රිකා යනුවෙන් නම් කරනු ලැබ ඇති ලේඛන සොයාගෙන ඒවා ගැන වැඩිදුර පරීක්ෂණ මඟින් ඒවා තහවුරු කරගෙන විශ්ලේෂණය කොට ප්‍රකාශයට පත්කොට තිබේ.
මෙම පත්‍රිකාවලින් හෙළිදරව් කරනු ලැබ ඇත්තේ දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් වැනි පුද්ගලයන් අක්වෙරළ සමාගම් (විදේශයන්හි පිහිටුවනු ලබන සමාගම්) තුළ තම ධනය සඟවන ආකාරයයි. මෙම සමාගම් බොහෝ විට පිහිටුවනු ලබන්නේ විශේෂිත වූ රටවල් කිහිපයකය. සමහර විට වෙනත් රටවලද මෙම සමාගම් පිහිටුවා පසුව මෙම විශේෂිත රටවල් කිහිපයෙන් එකකට ඒවා ගෙන යනු ලැබේ. මේවා අතර ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් මෙන්ම එතරම් ප්‍රකට නොවන කුඩා ප්‍රාන්ත රාජ්‍යද වේ.
ධන කුවේරයන් හා දේශපාලනඥයන් මෙම රටවල තම ධනය සැඟවීම සඳහා සමාගම් පිහිටුවීමට හේතු වශයෙන් බී.බී.සී. පුවත්සේවය පවසන්නේ එම රටවල සමාගම් ආරම්භ කිරීම ඉතා පහසුවීමත් එම රටවල පිහිටුවනු ලබන සමාගම්වල හිමිකරුවන් හඳුනා ගැනීම දුෂ්කර වීමත් එම රටවලින් මෙම සමාගම්වලට විශාල වශයෙන් බදු සහන ලැබීමත්ය. බොහෝ විට අයකරනු ලබන බද්ද නාමික එකකි, නැත්නම් බදු අය නොකෙරේ.
ජාත්‍යන්තර ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සැප්තැම්බර් 13 වැනිදා නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනාට යවනු ලැබූ ලිපියක් මඟින් ඔවුන්ගේ අක්වෙරළ සමාගම් පිළිබඳ විස්තර විමසා තිබේ. එතෙක් ඔවුන් සොයා ගත් තොරතුරු සඳහන් කරමින් ඒවා සත්‍යදැයි විමසා තිබේ. එම ලිපියේ රාජපක්ෂ මහත්මියගෙන් හා නඩේසන් මහතාගෙන් වෙන් වෙන්ව අසනු ලැබ ඇති ප්‍රශ්න කිහිපයක් මඟින්ම එය කියවන අයට යම් යම් තොරතුරු ගණනාවක්ද දෙනු ලැබ තිබේ.
එම ප්‍රශ්න අනුව රාජපක්ෂ මහත්මිය 1990 ගණන්වල මුල සිට 2010 දක්වා රොසෙටි නමැති අක්වෙරළ සමාගමේ ප්‍රධාන පරිපාලන භූමිකාවක් ඉටුකොට ඇත. එසේම ඇය පැසිෆික් ට්‍රස්ට් නමැති තවත් සමාගමක ප්‍රතිලාභ ලබන්නියකි. එම සමාගම සතුව ඩොලර් මිලියන 51ක් වටිනා කලා නිර්මාණ ඇත. රොසෙටි සමාගම ශ්‍රී ලංකාවේ රජයේ යම් යම් වැඩ කටයුතු කර තිබේ. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක ලෙස පත්වූ විට මෙම සමාගමේ තම හිමිකාරිත්වය පිළිබඳ රජයට දැනුම් දුන්නේදැයි එම ලිපියෙන් ප්‍රශ්න කරනු ලැබ ඇත.
රාජපක්ෂ මහත්මියගෙන් මෙම ජනමාධ්‍ය සංසදය අසා ඇති තවත් ප්‍රශ්නයකින් කියවෙන්නේ නඩේසන් මහතා ශ්‍රී නිධිට්‍රස්ට්, පැසිෆික් ට්‍රස්ට්, පැසිෆික් කොමොඩිටීස්, පැලීන්, චලන් ඔයිල් හා රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් යන අක්වෙරළ සමාගම් පිහිටුවා ඇති බවයි.
නඩේසන් මහතාගෙන් අසනු ලැබ ඇති ප්‍රශ්නවලින් පෙනෙන්නේ 2011 දී ඔහුගේ පවුලේ වත්කම ඩොලර් මිලියන 160ක්ව තිබී ඇති බවය. 2017 දී ශ්‍රී නිධි හා පැසිෆික් ට්‍රස්ට් යන සමාගම් සතුව ඩොලර් මිලියන 18ක ධනය තිබී ඇත. රොසෙටි හා පැසිෆික් කොමොඩිටීස් යන සමාගම් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවලට උපදේශන සේවා සපයා ඇත. පැසිෆික් කොමොඩිටීස් සමාගමද එවැනි සේවා සපයා ඇත. මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත් ලබා ගැනීමට නඩේසන් මහතා රාජපක්ෂ පවුල සමඟ තමනට ඇති දේශපාලන සබඳතා යොදා ගත්තේදැයි ජනමාධ්‍ය සංසදය ප්‍රශ්න කොට ඇත.
තම ධන මුලාශ්‍ර අභියෝගයට ලක්විය හැකි හෙයින් තමන්ගේ ලිපි ලේඛන කුරියර් සේවා මගින් එවන ලෙස නඩේසන් මහතා 2015 දී ඒ සියාසිටි නම් සමාගමට දන්වා ඇත. රොසෙටි සමාගම වාර්ෂිකව රෙඩ් රූත් සමාගමට ඩොලර් 140,000ක ණයක් දී ඇති අතර රෙඩ් රූත් සමාගම එම මුදල් ශ්‍රී නිධි වැනි අනෙක් සමාගම්වලට දී ඇත. මෙම ගනුදෙනුවල අරමුණ කුමක්ද යන්න හා එම මුදල් උපයා ගත්තේ කෙසේදැයි ජනමාධ්‍ය සංසදය ප්‍රශ්න කොට තිබේ. එසේම තම සමාගම් පිහිටුවීමට බදු සහනවලට ප්‍රකට කුක් අයිලන්ඩ්, ජර්සි හා සැවෝමා වැනි ස්ථාන තෝරා ගත්තේ මන්දැයි තවත් ප්‍රශ්නයක් මතු කරනු ලැබ තිබේ.
මෙවැනි විශේෂිත බදු සහන කලාපවල අක්වෙරළ සමාගම් පිහිටුවීම නිසාම යම් සමාගමක හිමිකරුවකු හෝ ඒවා සමග ගනුදෙනු කරන්නකු හෝ නීති විරෝධී ව්‍යාපාරයක නිරත වන බව හෝ නීති විරෝධී ගනුදෙනුවක නිරත වන බව නිගමනය කළ නොහැකිය. එහෙත් එවැන්නන් තමන් ජීවත් වන රටේ බලධාරීන් හට තම වත්කම් හෙළි නොකරන්නේ නම් එය ගැටලුවකි. විශේෂයෙන්ම දේශපාලන සබඳතා හෝ දේශපාලනඥයන් සමග ඥාති සබඳතා ඇති අය මෙසේ කටයුතු කරන විට එය තවත් ප්‍රශ්නකාරීය. එවැනි කටයුතුවල නිරත වන්නන් සෘජුවම දේශපාලනයට සම්බන්ධ වීමත් ඔවුන් එම වත්කම් හෙළි නොකිරීමත් බරපතළ සැකයට හේතුවීම වැළැක්විය නොහැකිය. මේවා ජාත්‍යන්තර වශයෙන් කළ යුතු පරීක්ෂණ වන හෙයින් විශාල ධනයක්, කාලයක් හා ප්‍රබල දේශපාලන කැපවීමකින් කළ යුතු පරීක්ෂණයකින් විනා මේවායේ සැබෑ තත්ත්වය සොයා ගැනීම දුෂ්කරය.
පැන්ඩෝරා පත්‍රිකාවල සත්‍යාසත්‍යභාවය පිළිබඳ ගැටලුවක් තිබිය නොහැකිය. ඒවා සැබවින්ම යම් යම් ආයතනවලින් විවිධ උපක්‍රම මඟින් ලබාගනු ලැබූ සැබෑ ලේඛනයි. එසේ නොවේ නම් ඒවා මඟින් චෝදනාවට ලක්වන ප්‍රබල ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් ඒවා අභියෝගයට ලක් කරනු ඇත. එහෙත් මෙම ලියවිලි සමඟ ජනමාධ්‍ය සංසදයේ ඇතැම් ජනමාධ්‍යවේදීන් ප්‍රකාශයට පත්කොට ඇති ඇතැම් ලිපි ජනමාධ්‍ය ආචාර ධර්මික ප්‍රශ්න මතු කරයි. එම සංසදය වෙනුවෙන් රාජපක්ෂ මහත්මියට හා නඩේසන් මහතාට ලිපියක් යැවූ ශිලා ඇලෙක්සි ලියූ ලිපියක ඒ දෙදෙනාගේ ගනුදෙනු සමඟ රටේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳවද පසුබිම් සටහනක් ඇත.
ජවාර්ගික ප්‍රශ්නයේ මුල 1948 තරම් ඈතට දිවෙන බවත් එකල දොන් ඇල්වින් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතිකවාදීන් බහුතර සිංහලයන්ට පුරවැසි වරප්‍රසාද දෙමින් රටේ සුළුතර දෙමළ ප්‍රජාව කොන් කළ බවත් එම ලිපියේ සඳහන්වේ. හිටපු හා වත්මන් ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා 1948 හා 1949 සම්මත කරන ලද පුරවැසි පනත්වලට සම්බන්ධකොට කතා කිරීම තේරුම් ගත නොහැක්කකි.
එම පනත්වලට ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ විශේෂ සබඳතාවක් තිබූ බව අප කිසිදා අසා නැත. එහෙයින් ජනවාර්ගික ප්‍රශ්නයට ඔහුට චෝදනා කරන ආකාරයට යොදා ඇති මෙම සටහන සදාචාරාත්මක නොවේ. පැන්ඩෝරා පත්‍රිකා මගින් රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වන ස්වභාවයක් පවතින තත්ත්වය යටතේ ජනවාර්ගික ප්‍රශ්නයට ඔවුන්ම හේතුව බව කීමට දරන උත්සාහය ආචාර ධාර්මික වශයෙන් ගැටලුවකි. ජනවාර්ගික ප්‍රශ්නයේ පසු කාලීන සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වීම තේරුම් ගත හැක්කකි.
එසේම 2014-2015 කාලයේදී මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වූ චෝදනාවක් වූයේ ඩොලර් බිලියන 10ක පමණ ධනයක් ඩුබායි හි සඟවා ගෙන සිටින්නේය යන්නයි. එම චෝදනාවද මෙම ලිපියේ සඳහන්ව තිබේ. මෙම චෝදනාව පිළිබඳ කිසිවකු සාක්ෂි ඉදිරිපත් කොට නැත. එය සත්‍ය වන්නටද පුළුවන. නොවන්නටද පුළුවන. එසේ තිබියදී ජනමාධ්‍යවේදීන් සිය ගණනක් වසර දෙකක පමණ කාලයක් කළ ගවේශනයක ඉතා ප්‍රබල සාක්ෂි සහිත ප්‍රතිඵල සමඟ කිසිදු සාක්ෂියක් නැති චෝදනාවක් ගැට ගැසීම එම ගවේශනයේ බැරෑරුම් බව හෑල්ලු කරන්නකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව එම කොමිසම ඉකුත් 8 වැනිදා නඩේසන් මහතා කැඳවා ප්‍රශ්න කොට තිබිණි. එහෙත් මේ වනවිට එනම් මෙම පත්‍රිකා ප්‍රකාශයට පත් කරනු ලැබ සති දෙකක් ඉක්ම යන්නටත් පෙර ඒ පිළිබඳ ආන්දෝලනය යටපත් වී ඇත.
නැත්නම් වේගයෙන් යටපත් වෙමින් යයි. මෙය මෙම පරීක්ෂණයේ අනාගතය පෙන්නුම් කරන්නක්ද?
තමන් ජනාධිපති ලෙස බලයට පත්වුවහොත් දූෂිතයන් ගාලුමුවදොර පිටියට ගෙන ගොස් හම ගසන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1994 දී ප්‍රකාශ කළාය. ජනාධිපතිවරණය පැවැත්වෙන දින සවස කටුනායක ගුවන්තොටුපොළ වසා දමා දූෂිතයන් රටින් පැන යාම වළක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට පෙර පැවසීය. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන්ට තමන් බලයට පත්වූ පසු දඬුවම් දෙන බව වත්මන් පාලකයෝ පැවසූහ. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. සිදුවූයේ මැතිවරණයක් පාසා චෝදනා කරන්නන් හා චූදිතයන් මාරුවීම පමණි.
ජනතාව පවා පක්ෂ පාට වශයෙන් බෙදී තමන්ගේ ජීවිතයට කොතරම් විශාල බලපෑමක් එල්ල වුවද තමන්ගේ මිනිහා කරන කොතරම් විශාල දූෂණයක් වුවද සාධාරණීකරණය කරන රටක දූෂණ හා වංචා පිළිබඳ නඩු විභාග එකවර අහෝසි කරන්නට යෝජනා වූ රටක, දූෂණ පිළිබඳ අනුමාන හා සැකයක් විනා නිශ්චිත සාක්ෂි නැති පැන්ඩෝරා පත්‍රිකාවලින් කළ හැකි දෙයක් තිබේදැයි සැක සහිතය. මේරටේ වත්කම් හෙළි නොකිරීමට දඬුවමද රුපියල් දහසක දඩයකි.
(*** එම්.එස්.එම්. අයුබ්)