සෙංකඩගල නුවර රාජ්‍ය කළ රජ දරුවන් අතර දෙවන රාජසිංහ රජු තරම් කාය ශක්තියෙන් හා බල පරාක‍්‍රමයෙන් අගතැන්පත් රජෙකු මහනුවර රාජධානි සමයේ සිටියේ නැත. රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුද මහනුවර රාජ්‍ය හා සම්බන්ධව පැන නැගී තිබුණ හෙයින් පෞද්ගලික ආරක්ෂාව ගැන සැළකිලිමත් වූ රජතුමා හඟුරන්කෙත ගමන් මාලිගයක් කරවා ගත්තේය. එය කොට්ටගල නම් ගමේ ගොඩනගා ගත්තේ වඩාත් සුරක්ෂිත වීම පිණිසය.
කන්ද උඩරට සිටියත් ත‍්‍රී සිංහලයේම පැතිර ගිය කීර්තියක් හා ගෞරවයක් නිසාම රාජසිංහ දෙවියෝ නමින් වැසියන් අතර හැඳින්විණි. රජතුමා ත‍්‍රී සිංහලයේ කොතැනින් කුමන වේලාවක මතු වේදැයි කිසිවෙකුත් නොදනිති. රාජමාලිගයේ කාලය ගත කරනවාට වඩා රාජසිංහ දෙවියෝ මනාප වූයේ රාජාභරණ හා රජ ඇඳුම් මාලිගයේ තබා සාමාන්‍ය ගැමියෙකු ලෙස මහජනතාව අතර ගැවසීමටය.
රදළ සේනාපතියකු ලෙස වෙස් වලාගෙන යද්දී අසු පිටින්, රාජලීලාවෙන් යනවිට දෝලා පැල්ලැක්කි පෙරහැරින් ද යන්නේය. හොඳ රසිකයකු වූ අපගේ රාසිං දෙවියෝ වඩාත් ප‍්‍රිය මනාප වූයේ සරළ ගැමියෙකු ලෙස සරමක් බැනියමක් ඇඳ, ලේන්සුවක් කරේ දමා ගෙන ඔළුවේ ජටාවක් බැඳගෙන පයින්ම ඇවිදීමටය. රජුගේ මෙම ගමන් බිමන් හැසිරීම් සම්බන්ධ සිදුවීම් අපගේ ජන සාහිත්‍ය පෝෂණය කළ වින්දනීය අවස්ථාවන්ම වූයේය.
රාංසිංහ රජතුමා රාජ්‍ය පාලනයේ දුර්වලතා හඳුනාගැනීමට, මැති ඇමැතිවරුන්ගේ රාජකාරියේ හිදැස් සෙවීමට, සාමාන්‍ය වැසියන්ගේ දුෂ්කරතා හඳුනා ගැනීමට, මෙන්ම ජීවිතයේ රස මිහිර සොයා යාමද, මෙම චාරිකාවන්හි අරමුණ වී ඇත්තේය. මෙබඳු අවස්ථාවන්හිදි සුන්දර අත්දැකීම් මෙන්ම, ජීවිත අවදානම් මෙන්ම අභිමානය පළුදු වූ අවස්ථාවන්ද වූයේය. වඩාත් පොදු ජන සාහිත්‍ය පෝෂණය කළේ රජුගේ අපේක්ෂාවන් බිඳ වැටුණු අවස්ථාවන්ය.
දිනක් අපගේ කථානායක රාසිං දෙයියෝ අප‍්‍රසිද්ධ වේශයෙන් ගම් වැසියකු සේ ඇඳ පැළඳ හඟුරන්කෙත සිට මහනුවරට ගමන් ආරම්භ කළේය. ඇතැම් විට මේ ගමන් සඳහා දින සති මාස ගණන් අඛණ්ඩව ගතකළ අවස්ථාද විරල නොවේ. මෙසේ ගමන් ආරම්භ කළ රජතුමා මා ඔයෙන් එගොඩ වී කෙටි මාර්ග ඔස්සේ මාරස්සනට පැමිණියේය. මෙහි ඇති තලාව රජ වාසලට අයත් කුඹුරු යායකි.
රජතුමා වෙල්යාය මැදින් ගමන් කරද්දී වෙල්යායේ ගොයම් කයියක් පැවතියේය. ශ‍්‍රම අභිමානයෙන් විස්කම් පෑ අතීතයේ ගොයම් කපද්දී මුළුයායම ප‍්‍රාසාංගික වූත් වින්දනීයවූත් හෝරාවකි.
පිට පුපුරන අව් රශ්මියෙන් තැවිතැවි, ගොයම් කවි කියන තාලයට ගොයම් කපන, අපූරුව දුටු රජතුමා මදක් නැවතී බලා සිටියේය.
කුඹුරක ගොයම් කපද්දී හෝ ගොයම් නෙළුන අවස්ථාවක හෝ නියර පිට බලා සිටීම සද්චාරිත‍්‍රයක් නොවේ. නෙළුමකදී නම් ලියද්දට බැස ගොයම් අත වැල්ලක් නෙළා දී යෑම, ගොයම් කැපීමකදී නම් ගොයම් ඉස්සරක් කපාදී යෑම අනාරාධිතව සිදුවන ඉතා ප‍්‍රශංසනීය චාරිත‍්‍රයකි. නීතියක් අවඥාවක් නොවූවත්, ගැමි පැවතුම් තුළ නොළියවුණු නීතියකි. එහෙත් මේ චාරිත‍්‍රය ඉටු නොකර කවර තරාතිරමක අයෙකු වුවත් නියර පියමං කර යන්නේම නැත.
නියර පිට සිට ගොයම් කයිය දිහා සිනා මුසු මුහුණෙන් බලා සිටින මේ ආරෝහ පරිණාහ ගොයිරාලාට කයියේ මුත්තා දෑකැත්ත අතට දී ආරාධනා කළේය. ඉතා සතුයින් කුඹුරට බැසගත් මේ අමුත්තා තමුන්ට පැවරුණු ගොයම් ඉස්සර මකා දැම්මේ ගොවියන් මවිත කරමිනි.
කුඹුරට බසින්නට පෙර ආරාධිත අත්තම්කරුවන්ට මඩිස්සලය පුරා දිනයේ පරිභෝජනයට අවශ්‍ය බුලත් කොළ නවයක් පුවක් ගෙඩි තුනක් දුම්කොළ සිප්පමක් හුණු කොළයක් සුුවඳ වර්ග උදයේම ලබා දෙනු ලැබුවේ කුඹුරු හිමියා විසිනි.
එහෙත් මේ මගියා අහම්බෙන් හමුවූ කුඹුරට එකතු වූ අයෙකි. එසේ වුවත් බුලත් නම්බු කළ යුතු නිසා ගමරාල මේ ආරෝහ පරිණාහ ගොබිලාට බුලත් විට සප්පායම් වීමට ආරාධනා කරමින් තොරතුරු විමසුයේ ගොවි පවුලකට පෑහෙන තරුණයෙකු වූ බැවිනි. මේ ගම් තුලානේ අයෙකු නම් කවුරුන් හෝ හඳුනන බැවින් මේ නන්නාදුනන තරුණ ජවසම්පන්න ඉළන්දාරියාගෙන් තොරතුරු විමසුයේ අනාගත අපේක්ෂාද පවතින බැවිනි.
‘‘තමා හාරිස්පත්තුවේ උපන් පුංචිරාල නම් වු ගොවියෙකු බවත් හඟුරන්කෙත මහා වාසලට රාජකාරියකට පැමිණ එය අවසන් කර ආපසු යන ගමනේ රට තොට බලාකියා ගන්නට මෙසේ පැමිණි බවත් කීවේය.
මේ අතර ඉර මුදුන් වී දහවල් මුත්තෙට්ටුව සප්පායම් වන හෝරාවද පැමිණියේය. මුත්තෙට්ටුව රැගෙන කුඹුරට පැමිණියේ උක්කුරාළ ගමරාළගේ දුවත් බිරිඳත්ය. උක්කුරාලගේ දුව ඩිංගිරි එතනා හැඩකාරියකි. ස්වභාව ධර්මයේ නියමය අනුව ඩිංගිරි එතනා මේ ගොයම් කයියට එකතු වී ඉන්නා ජවසම්පන්න ඉළන්දාරියා තම ඉරණම්කාරයාදැයි සිතුවාය. එහෙත් අපුච්චා ඉස්සරහා නිසා ඇය නිහඬව සිටියත් ඇයගේ දෑසින් අමුත්තාට රස රහසක් කීවාය.
මුත්තෙට්ටු සප්පායම් වෙද්දී ඩිංගිරි එතනා විශේෂයෙන් පුංචිරාළ වෙත ආකර්ෂණය වී සිටියාය. පුංචිරාළ හොඳ රසවතෙක් නිසා ඩිංගිරි එතනා සමඟ කතා නැති කථා බොහෝ හුවමාරු කරමින් සිටියේය. ඩිංගිරි එතනා ආපසු ගෙදර ගියේ මේ ආගන්තුක ගොවි තරුණයා සිතින් දරා ගනිමිනි.
කෙසේ හෝ ගොයම් කපා හමාර වන විට ? බෝවී තිබුණි. උක්කුරාලට මේ අපූරු වීරියවන්ත ඉළන්දාරියා ආපසු යැවීමට වුවමනාවක් නැත. කොළය පාගා බැත ටික අටුවට දාගන්නාතුරු මොහු රඳවා ගැනීම බෙහෙවින්ම පලදායී බව පැහැදිලිය. එමෙන්ම මේ තරුණයාද ගොයම් කයිය අතරමඟ නතර කර ගියේ නැත. ඒ නිසා ‘‘පවුලක බරක් හෑල්ලූවක් නැති ගොවියෙක්යැයි’’ සිතා පුංචිරාල නමින් පෙනී සිටි රාසිං දෙවියන් ඇමතුවේය’’ ‘‘දරුවා දැන් සෙංකඩගල පුරයට රැ බෝවී යා නොහැකියි. බොලෑපේ ඉසව්වේ හොල්මන් අවතාර නිසා රාත‍්‍රී තනිවම ගමන් යන්නේ නැත.’’
‘‘අද මේ ඉතිරි වැඩ ටික අහවර කරල විවේක පාඩුවේ අපේ ගෙදර නැවතිලා යන්ට පුළුවනි’’ යයි විවෘත ආරාධනාවක් කළේය. රජුට සතුට නිම්හිම් නැත. ඩිංගිරි එතනා සමඟ සහ සම්බන්ධයක් ගොඩනගා ගැනීමට කදිම ප‍්‍රස්ථාවකැයි සිතුවේය.
‘‘හොඳයි මාමා මට ලබන දෙපෝයට ඉස්සරින් හාරිස්පත්තුවට යාගන්නට ලැබුණොත් මදැ’’ කියා උක්කුරාලගේ ආරාධනය සතුටින් ඉවසා සිටියේ ඉබ්බා දියට දැම්මාක් වැනි යයි’’ හැඟීමෙන් වූවත් ටිකක් අදිමදි කළේ අභිමානයෙනි.
පුංචිරාල උක්කුරාලගේ ගෙදර නැවතීම උක්කුරාලට මහත් වාසියක් වූයේ ඔහුගේ අත්තම් සියල්ලම මේ වීරියවන්ත ඉළන්දාරියා ගෙවා දැමීම නිසාය.
ගමේ දීග යන වයසේ දැරිවියක් ගමේම ඉළන්දාරින්ට කල්තියා තීන්දු කිරීම ගැමි චාරිත‍්‍රයක් වූයේය. ඩිංගිරි එතනා එසේ තීන්දු කර තිබුණේ උක්කුරාලගේ බෑණා කෙනෙකු වූ උක්කුවාටය. නෝන්ජලයෙකු වූ උක්කුවාට ඩිංගිරි එතනා වැඩි මනාපයක් පෙන්වූයේ නැත.
හතර හපන්කම් ඇති පුංචිරාලට ඩිංගිරි එතනාගේ විශේෂ ඇඟෑලූම්කමක් ඇතැයි උක්කුවා නිතර තම මාමණ්ඩියට කන් කෙඳිරි ගෑවේය.
‘‘තෝ කෑ නුගහ හිටු’’ ‘‘ඒ ගොයියා මෙහේ පැල් ගැහෙන්නට ආව එකෙක් නෙවෙයි. මයෙ අත්තං ටික හමාර වුණාම යයි.’’ කියා උක්කුවා නිහඬ කළේය. එහෙත් උක්කුවාට ඩිංගිරි එතනාගේ ආගන්තුකයාට ඇති ළෙන්ගතුකම වාවන්නේ නැත. ඔහු පුංචිරාලට අවලාද කීවේය. කෙනෙහෙලිකම්ද කළේය.
උක්කුරාළ දෙමහල්ලෝ පුංචිරාලට ළෙන්ගතුය. උක්කුවාට අකමැත්තක්ද නැත. පුංචිරාල මේ ගෙයි උගුලියම් කරන්නේ ඩිංගිරි එතනා පතාගෙනයි. ඩිංගිරි එතනා දිනක් කුඹුරේ තනිවම නියර පිට උප්පිඩි ගොඩකරමින් සිටිනු දැක පුංචිරාළ ඇය සොයා ගියේය.
ජීවිත තක්සලාවේ උපාධි ලැබූ ගැමියෝ කවියෝ කිවිඳියෝ වූහ. රජුන්ද රැුජිණියන්ද විකටයෝද රසිකයෝ වූහ. බොහෝ විට තම හැඟීම් කියා පෑවේ කවියෙනි. පුංචිරාළ තම විරහ වේදනාව ඩිංගිරි එතනාගේ සවනට පාකර හැරියේ හෘදයාංගම බසකිනි. කවියකිනි.
සුන්දර ගුණ වඩන ළඳුනේ නුඔ | රුවට |
ගින්දර ලෙසින් මගෙ හදවත දන | ලෙසට |
මම්පෙර ජාති පැතුවාදෝ මේ | දුකට |
ඩිංගිරි එතනා නැතුවාදෝ සෙනේ | මට |
ගම හා ගම ගෙදර සෞන්දර්යයේ තක්සලාවකි. සරල පැවතුම් තුළ ඔවුහු ජීවන නිපුණතා ලද්දෝය. දෙහෙට්ටන් ඇසුරෙන් ජීවිතය ඉගෙන ගත්තෝය. ශිල්ප ශාස්ත‍්‍ර නිපුණ වූවෝය. පරපුරෙන් පරපුරට ගැමි සංස්කෘතියේ ඇති හරයන් හා වටිනාකම් පවරා දුන්නෝය. ඒ නිසාම ඩිංගිරි එතනාද තම ළෙන්ගතුකම කාව්‍ය නිපුණතාවෙන්ම එළි දැක්වීමට මැළි වුයේ නැත. පාරම්පරිකව උරුම වූ ජීවිත පරිඥානය තුළින් ලැබූ පන්නරයෙන් අවදී වූ කවි සිතිවිලි අපූරුවට ගළපා පුංචිරාලගේ හදවතේ පතුලේම තැන්පත් කළේ, තමා උපන් පරිසරයේ සුන්දරත්වයෙහි බහාලමිනි.
පෙරකලා රජුන් සතු දේ නිදන් | කොට |
සඟවලා තිබුණි නැති කලෙක | ගන්නට |
බලබලා ඉන්ට මතු උපදින | සතට |
දියතලා කන්ද තරමා දුකී | මට |
පුංචිරාලගේත් ඩිංගිරි එතනාගේත් මේ ආදර සංවාදය පසු පසින් හොර ගල් අහුලන තුන්වැන්නෙක් සිටී. ඒ උක්කුවාය. ඩිංගිරි එතනා යන එන තැන්වල ඇයට නොපෙනී හක්කලන් කරන උක්කුවාගේ හදවතට ගිනි ඇවිළිණි. තමාගේ සැකය නිවැරදිය. තමා ඩිංගිරි එතනාට ආලවන්ත බව පුංචිරාලට දැනෙන්නට කිව යුතුය. උක්කුවා තම කවිසිත පුබුදුවාලමින් ඩිංගිරි එතනාට තම සිතැඟි ප‍්‍රකාශ කළේ පුංචිරාලටද සහසුද්දෙන්ම දැනෙක අයුරිනි.
ගලක්වත් පැලෙයි මට වැදුණ | ගින්දරේ |
විලක්වත් පිරෙයි නෙත කඳුළු | ආකරේ |
නෙකත්වත් වැසෙයි ඒ කඳුළු ගිය | සැරේ |
ටිකක්වත් නැද්ද උඹ මෙමට | ආදරේ |
අනපේක්ෂිත ලෙස උක්කුවා කඩාපාත්වීම පිළිබඳ ඩිංගිරි එතනා කලබල වූයේ නැත. උක්කුවා හා පුංචිරාළ අතරේ විරසකයක් ඇතිවීමද වළක්වා ගතයුතුයි. කාන්තාවක් සතුව පැවතිය යුතු ඉවසීමේ ගුණය මනාව ප‍්‍රගුණ කර ඇති ඇය මධ්‍යස්ථ පිළිතුරක් රසිකත්වයෙන්ම මුදාහැරියාය.
උතුරු දිගට බිම යන | සමතලාවේ |
බිනර කළුවරට එන වැහි | වලාවේ |
නුවර දුර කතර ඉඳලාවද | ආවේ |
මොකට අඬනවාද වී මං | මුලාවේ |
මෙසේ ආදරණීය වූත්, මධ්‍යස්ථවූත් ඉවසිලිවන්ත වූ වදන් මාලාවකින් දෙපැත්තම සමනය කරගත් ඩිංගිරි එතනා උක්කුවාට නොදැනෙන සේ පුංචිරාළ සමඟ සැඟවී ආවේ මේ මහ වාසල ඇත්තන් බව දැනගෙන නොවේ.