බිරිය වෙනුවෙන් ටජ්මහලක් ඉදි කළ තැපැල්සේ වකයා


3

 

ක්‍රි.ව. 1632 දී ෂා ජහාන් නම් මෝගල් අධිරාජයා තම ආදරණීය බිරිය වූ මුම්ටාස් මහල් දේවියට තිබූ අපිරිමිත ප්‍රේමය ප්‍රකාශ කිරීම පිණිස ඇය වෙනුවෙන් ටජ්මහල් මන්දිරය ඉදි කළේය. 17 වැනි සියවසේ ප්‍රේමයේ සංකේතය ලෙසින් හැඳින්වෙන එය සියවස් ගණනක් ගෙවී ගිය ද නූතන පරපුරට ද ෂා ජහාන්ගේ ප්‍රේමය සිහි ගන්වමින් විරාජමානව පවතී. 58 වසරක් තමන් හා ජීවිතය බෙදාගත් තම බිරිය සිහිවනු සඳහා තවත් “ටජ්මහලක්” ඉදි කළ නූතන ෂා ජහාන් කෙනකු පිළිබඳව පසුගියදා ඉන්දියාවෙන් වාර්තා විය.

1 
 ෆයිසුල් හසන් කදාරි ඉන්දියාවේ බටහිර උත්තර් ප්‍රදේශ්හි ලක්නව් ආසන්නයේ පිහිටි කසෙර් කලන් ගම්මානයේ  උපත ලද තරුණයෙකි. 1953 වසරේ වැඩිහිටියන් විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව 17 හැවිරිදි ඔහු විවාහ වූයේ 14 හැවිරිදි තජම්මුලි බේගම් නමැති යුවතියක සමඟය. බුලන්ද්සහර් දිස්ත්‍රික්කයේ  තරුණියක වූ තජම්මුලි ඔහුගේ මාමා කෙනකුගේ දියණියක වූවාය. කිසි දිනෙක පාසල් අධ්‍යාපනය ලබා නොතිබූ ඇය විවාහ වන විට ඉවුම් පිහුම් කිරීමට පවා නොදැන සිටි හෙයින් කදාරි තම බිරියට ඉවුම් පිහුම් මෙන්ම උර්දු බස කියවීමට හා ලිවීමට ද ඉගැන්වීය. කෙටි කලෙකින් ඇය සියල්ලෙහි සමතියක වූවාය. ඉතා පියකරු, සරල, ප්‍රිය උපදවන තරුණියක වූ තජම්මුලි නිවෙසේ සියල්ලන්ගේ ආදරයට පාත්‍ර වූ සාමකාමී, සැමියාට බෙහෙවින් ගරු කළ බිරියක වූවාය.


සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා සිටි කදාරි රජයේ සේවයට එක් වූ අතර තැපැල්කරුවකු ලෙස සේවය කළේය. මුල් අවධියේ ඔහු ලද වැටුප එතරම් යහපත් නොවීය. ඇය චිත්‍රපට නරඹන්නට ඇලුම් කළ හෙයින් කදාරි හැකි සෑම අවස්ථාවකම අලිගාර්හි තස්වීර් මහල් සිනමා හලට ඇය කැටුව යෑමට අමතක නොකළේය. දෙදෙනා එක්ව ගත කළ සෑම මොහොතක්ම සතුටින් පිරී තිබිණි. තජම්මුලි නිතර උදරයේ වේදනාවකින් පෙළෙන්නට වූ බැවින් කදාරි ඇය වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියේය. ඇගේ ගර්භාෂයේ ගෙඩියක් ඇතැයි හඳුනා ගැනුණු අතර ගර්භාෂය ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කළහ. එහෙයින් ඇයට දරු සුරතල් බැලීමේ වාසනාව අහිමි විය. දරුවන් නොමැති හෙයින් වෙනත් තරුණියක හා විවාහ වන්නැයි කදාරිගේ ඥාතීන් ඔහුගෙන් ඉල්ලා සිටියද තම බිරියට දැඩි ලෙස ප්‍රේම කළ කදාරි එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.


දරුවකු නොමැති කමින් තජම්මුලිගේ සිතේ කොනක සියුම් වේදනාවක් තිබිණි. දෙදෙනා ඉතා සමගියෙන් ජීවත් වූ අතර ඉඳහිට සුළු ආරවුලක් හැරෙන්නට කිසිදිනෙක විරසකයක් නොවීය. කාලය ගෙවී ගියේය. දිනක් කදාරි ඇමතූ තජම්මුලි “අපේ පරම්පරාව ගෙන යන්නට දරුවෙක් නැහැ. අපි දෙන්නා මිය ගියාම හැමෝටම අපිව අමතක වෙලා යාවි” යනුවෙන් ඉතා දුක්මුසුව පැවසුවාය. ඇගේ වදන්වලින් ඔහුගේ සිතට කිසියම් වේදනාවක් දැනිණි. “දුක්වෙන්න එපා. මට කලින් මැරුනොත් ඔයාව කාටවත් අමතක නොවෙන්න විශාල සොහොනක් ඔයා වෙනුවෙන් මම හදනවා.” ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය. 
සකසුරුවම් සහිත පුද්ගලයකු වූ කදාරි හැමවිටම කීයක් හෝ ඉතිරි කළේ දරුවන් නොමැති හෙයින් මහලු වියේදී කිසිවකුට අත නොපා ජීවත් වීමේ අරමුනිණි. ටජ්මහල පිහිටා තිබුණේ ඔහු ජීවත් වූ ගම්මානයේ සිට කිලෝමීටර් 140 පමණ ඈතිනි. එය නැරඹීමට යෑම මුදල් නාස්තියක් යැයි ඔහු සිතීය. වරක් කිසියම් අවශ්‍යතාවක් සඳහා අග්‍රාවට ගිය කදාරිට ටජ්මහල දැක ගැනීමට ලැබිණි. ඉන් විස්මයට පත් ඔහුට එය කෙතරම් විශ්වකර්ම නිර්මාණයක්දැයි සිතිණි.

2
58 වසරක් ඔහුගේ දුක සැප බෙදාගත් තජම්මුලි මිය ගියේ උගුරේ හටගත් පිළිකාවකිනි. උගුරේ වේදනාවකින් පෙළුණු ඇය වරින්වර ප්‍රතිකාර ගත්ත ද එය පිළිකාවක් බවට හඳුනා ගැනීමට වෛද්‍යවරුනට නොහැකි විය. තජම්මුලි කතා කිරීමට නොහැකි තත්ත්වයට පත් වූ බැවින් කදාරි ඇය අලිගාර්හ් වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගියේය. එහිදී ඇය පිළිකාවකින් පෙළෙන බවට හඳුනා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවද ඒ වන විට ප්‍රමාද වී තිබිණි. මහලු වියේ සිටි තජම්මුලිට කිරණ ප්‍රතිකාරවලට මුහුණදීමට තරම් ශරීර ශක්තියක් නොවූවාය. ගම්මානයෙන් ඈත ප්‍රදේශයක ගොවිපළක් මිලට ගත් කදාරි එහි නිවෙසක් තනා තජම්මුලි සමඟ පදිංචි වූයේ ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පහසු වනු පිණිසය. පිළිකාව ජයගත නොහැකි වූ ඇය 2011දී මිය ගියාය. කදාරි ඇගේ සිරුර සිය ගොවිපළේම භූමිදාන කළේය.


යොවුන් වියේ සිට මහලු වන තෙක් තමා හා එකට ජීවත් වූ බිරියගේ අභාවය කදාරිගේ ජීවිතයට දැඩි හුදෙකලාවක් එක් කළේය. තමා බිරියට වූ පොරොන්දුව කෙසේ හෝ ඉටු කළ යුතුයැයි සිතාගත් කදාරි ඇය වෙනුවෙන් නොමියෙන සිහිවටනයක් ඉදිකිරීමට මූලික සැලසුම් සකස් කළේය. ඇය වෙනුවෙන් ඉදිකළ යුතු සිහිවටනය කෙබන්දක් විය යුතු දැයි සිතමින් සිටි ඔහුගේ මතකයට අවේ ෂා ජහාන් රජු මුම්ටාස් මහල් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ්මහලය. ෂා ජහාන්ගේ ප්‍රේමය හා තම ප්‍රේමය අතර වෙනසක් නොදුටු ඔහු තජම්මුලි වෙනුවෙන් කුඩා ටජ්මහලක් තැනීමට සිතා ගත්තේය. 


තම ඉඩම විකුණා ලක්ෂ 6ක් සොයා ගත් කදාරි තජම්මුලිගේ රන් හා රිදී ආභරණ විකුණා තවත් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් උපයා ගත්තේය. මසකට 10,500 බැගින් ලද විශ්‍රාම වැටුපෙන් ඉතිරි කර ගෙන සිටි සියලු මුදල් ද යෙදවූ ඔහු තජම්මුලි වෙනුවෙන් කුඩා ටජ්මහලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය. ඉදිකිරීම් සඳහා ඔහු තම ගමේ මේසන්වරයෙකු වූ අස්ගාර්ගේ සහය ලබා ගත්තේය. වසර තුනක් මුළුල්ලේ අත තිබූ සියලු මුදල් අවසන් වන තෙක් ඔහු ඉදිකිරීම් කටයුතු කරගෙන ගියේය. ෂා ජහාන් මුම්ටාස් මහල් දේවිය වෙනුවෙන් ඉදිකළ ටජ්මහලට භාවිත කළ මිල අධික ගොඩනැඟිලි උපකරණ යොදා ගැනීමට කදාරිට නොහැකි වුවද වැලි ගල්, ගඩොල්, සිමෙන්ති හා යකඩ යොදා ගනිමින් ඔහු තම කුඩා ටජ්මහල ඉදි කළේය. එහෙත් සියලු වැඩ අවසන් කිරීමට පෙර එය ඇන හිටියේ ඒ සඳහා මුදල් අවසන් වීම හේතුවෙනි. ඉතිරි වැඩ සඳහා ඔහුට තවත් ලක්ෂ හතක් පමණ අවශ්‍යය. මෙය මුදල් නාස්තියක් බවත්, එම මුදල ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදවන ලෙසටත්, එහි වැඩ ආරම්භ කිරීමට පෙර බොහෝ දෙනෙක් ඔහුට කියා සිටියහ. එහෙත් කිසිවකින් පසුබට නොවූ කදාරි තම අරමුණ අත්හැරියේ නැත.


“සිහිවටනයේ අත්තිවාරම අඩි 10ක් ගැඹුරුයි. අඟල් 27ක් පළලයි. බිත්තියක් අඟල් 15ක් පළලයි. අඩි 15ක් උසයි. එහි සොහොන් දෙකක් ඉදි කර තිබෙනවා. වසා ඇති සොහොන මගේ බිරියගේ. අනෙක මා වෙනුවෙන් ඉදිකළ සොහොනයි. මා මිය ගිය කලෙක ඇය අසලින්ම වැතිරෙන්නයි මට අවශ්‍ය වුණේ. අස්ගාර් සිහිවටනයේ ගෝලාකාර මුදුන සහ වටා ඇති අඩි 27ක් බැගින් උසැති කුලුනු හතර ටජ්මහලට අනුරූප වන පරිදි ඉදිකළා. එහි පිටත බිත්තිවලට කිරිගරුඬ ගල් ඇල්ලීමටත්, සිහිවටනය අවට භූමිය සකස් කිරීමටත් මුදල් අවශ්‍යයි. මට අයත් ඉඩමක වර්ග අඩි 5000ක භූමි ප්‍රමාණයක මෙම සිහිවටනය ඉදිකර තිබෙනවා. ගොඩනැඟිල්ල ඉදිරිපස වතුර මල් සහිත පොකුණක් ඉදිකිරීම හා භූමිය වටා විවිධ ගස්වර්ග වගා කිරීම මගේ අනෙක් සිහිනයයි. කිරිගරුඬ ගල් මිලෙන් අධිකයි. මගේ ටජ්මහලේ සංකීර්ණ කැටයම් හෝ මිල අධික ගල්වර්ග නැහැ. සැබෑ ටජ්මහලේ කාමර රැසක් සහ සොහොන් වටා මනහර සක්මන් මළු දැකිය හැකියි. මගේ ටජ්මහලේ ඇත්තේ එක් කුටියක් පමණයි. එයද ඉතා කුඩා එකක්. මගේ ටජ්මහල  ඔබ ඈත සිට නරඹන විට සැබෑ ටජ්මහලට බෙහෙවින්ම සමාන බව ඔබට වැටහේවි. මුදල් නොමැති කමින් මෙහි වැඩකටයුතු මදක් අඩපණ වී තිබෙනවා. කෙසේ හෝ මුදල් සොයාගෙන ඉතිරි වැඩ අවසන් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි”.


කදාරි ජීවත් වන නිවෙසේ කවුළුවෙන් නැරඹීමට හැකි වන ලෙසින් ඉදිකර ඇති කුඩා ටජ්මහල මේ වන විට ඉන්දියාව පුරා ප්‍රචලිතව ඇති අතර එය නැරඹීම සඳහා විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙති. අග්‍රාවට ගොස් සැබෑ ටජ්මහල නැරඹීමට වත්කමක් නොමැති උත්තර් ප්‍රදේශ් වැසියෝ කදාරිගේ ටජ්මහල නරඹා ඉන් සැනසෙති. කුඩා ටජ්මහල වැඳුම් පිදුම් කරන ස්ථානයක් නොව තම බිරියගේ සොහොන බැව් කදාරි ප්‍රකාශ කරයි. මුදල් අපහසුතා පැන නැගුණ ද කිසිවකුගෙන් ආධාර ලබා ගැනීමට කදාරිට අවශ්‍ය නැත. තම විශ්‍රාම වැටුපෙන් හැකි ආකාරයට එය අවසන් කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. බොහෝ පිරිස් ඔහුට මුදල් ලබාදීමට කැමැත්ත පළ කළ ද තමා විසින්ම උපයා ගන්නා මුදලකින් එහි කටයුතු නිම කිරීමට තමාට අවශ්‍ය යැයි ඔහු පවසයි. “මෙය මගේ බිරිය උදෙසා මවිසින් ඉටු කරනු ලබන පෞද්ගලික කාර්යයක්. කිසිවකුගේ ආධාර උපකාරවලින් එහි වැඩ අවසන් කිරීමට මට සිත් දෙන්නේ නැහැ”. ඔහු කියා සිටී. උත්තර් ප්‍රදේශ් මහ ඇමැතිවරයා ද කදාරි හමු වී ඔහුට උපකාර කිරීමට අපේක්ෂාවෙන් සිටිය ද තමා ඔහුගේ උපකාර අපේක්ෂා නොකරන බැව් කදාරි පවසා තිබේ. “මා ඔහු හමුවන්නට යනවා. එහෙත් ආධාර අපේක්ෂා කරන්නේ නැහැ”.


තම බිරියගේ භෂ්මාවශේෂ ඇය වෙනුවෙන් ඉදි කෙරුණු සිහිවටනයේ තැන්පත් කළ ඔහු තමා මිය ගිය දිනෙක තම සිරුර ද ඇය අසලින් මිහිදන් කරන ලෙසට තම සොහොයුරාට උපදෙස් දී තිබේ. තමා මිය යන්නට පෙර තම ප්‍රේමයේ සිහිවටනයේ වැඩ අවසන් කරගැනීම කදාරිගේ එකම අපේක්ෂාවය. මේ වන විට අසූ හැවිරිදි කදාරි ගතින් ඉතා දුබලය. හැරමිටියක ආධාරයෙන් ඇවිද යන ඔහුට ඇත්තේ එකම එක අපේක්ෂාවකි. “මගේ බිරිය මිය ගියා. වැඩි කල් නොගොසින් මා ද මිය යාවි. මෙහි වැඩ අවසන් වන තෙක් ජීවත් වන්නට වරම් දෙන මෙන් මා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා”. ඔහු දෙවියන්ගෙන් යදින්නේ එපමණකි.

m