පී.ජී. මාටින් අප රටේ ජනප්‍රිය වෙළෙඳ නාමයකි. ඒ සම් භාණ්ඩ නිෂ්පාදනයෙනි. 1948 දී පියා පටන් ගත් ඒ ව්‍යාපාරයෙහි වත්මන් සභාපතිවරයා පුතාය. ඔහු නමින් පී.ජී.ඩී. නිමලසිරිය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත් ඔහු එංගලන්තයේ කෝඞ්වේනස් කොලේජ්හි ඩිප්ලෝමාධාරියෙකි.
ඒ ඩිප්ලෝමාව පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙනි. නිමලසිරි මහතා දැන් පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා ද වෙයි. කළ යුත්තේ කුමක් ද විශේෂාංගයෙන් අද ඔහු කතා කරන්නේ අදාළ ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න සහ ගැටලු පිළිබඳවය.
පාවහන් හා සම් භාණ්ඩ කර්මාන්ත දැන් පවත්වාගෙන යන්නේ ඒකාබද්ධවය. වසරකට ලංකාවේ සපත්තු හා සෙරෙප්පු අවශ්‍යතාව මිලියන 60ක් පමණ වෙයි. ඊට අමතරව තවත් මිලියන 15ක් පමණ වසරකට අපනයනය කරයි. සපත්තු හා සෙරෙප්පු නිෂ්පාදනයට අමතරව බෑග් ද ලංකාවේ නිෂ්පාදනය කරයි. ඒ සියල්ලේ නිෂ්පාදන වටිනාකම රුපියල් බිලියන 1000ක් පමණ වෙයි. දැනට ලංකාවේ සපත්තු හා සෙරෙප්පු අවශ්‍යතාවෙන් සියයට 75ක් පමණ නිෂ්පාදනය කරන්නේ රට ඇතුළේය.
මේ කර්මාන්තය රැකගත යුත්තේ ඇයි දැයි ඒ තොරතුරුවලින්ම යම් අවබෝධයක් ලබාගත හැකිය. මේ කර්මාන්ත කඩාවැටුණොත් පාවහන්, බෑග් ඇතුළු වෙනත් සම් භාණ්ඩ රටින් ආනයනය කිරීමට සිදුවෙයි. ඒ සියල්ල ආනයනය සඳහා වැය විය හැකි මුදල රුපියල් බිලියන 1000 ඉක්මවනු නිසැකය. එසේම මේ කර්මාන්ත කඩාවැටුණහොත් ඍජුව හා වක්‍රව මෙහි සේවයේ නියුතු ලක්ෂ තුනකට වැඩි පිරිසකට රැකියාව ද අහිමි වෙයි. රැකියා කරන ඒ ලක්ෂ තුන යටතේ යැපෙන සංඛ්‍යාව ලක්ෂ 10කට ආසන්න වනු නියතය. ඉන් අනාවරණය වන්නේ මේ කර්මාන්ත කඩාවැටුණහොත් ලක්ෂ 10කට බඬේ පහර වදින බවය. එහෙත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් මෙහි වැදගත්කම එලෙසින් අවබෝධ කරගෙන තිබෙන්නේ දැයි ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. අපට ඒ බරපතළ ප්‍රශ්නය පැන නැඟී තිබෙන්නේ ඒ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිතන පතන හා කටයුතු කරන ආකාරයෙනි.
අපේ කර්මාන්ත රටට විදේශ විනිමය මහා පරිමාණයෙන් උපයා දෙන කර්මාන්ත නොවූව ද විදේශ විනිමය මහා පරිමාණයෙන් රටින් පිටට යාම වළක්වන කර්මාන්ත ලෙස ඉහළ වැදගත්කමක් හිමිකර ගනියි. ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන්ට එය එසේ තේරුම් ගැනීමේ හැකියාවක් ද නොපවතී. ඇතැමුනට එසේ තේරුම් ගැනීමේ වුවමනාවක් නැති බව ද අපට ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. දේශපාලනයේ නියුතු උගත් නූගත් දෙපිරිසම එක සමානය. ඒ ඇතැම්හු රට හා කර්මාන්තය ගැන සිතනවාට වඩා පාරිභෝගිකයා ගැන සිතති. එසේ සිතන අය තම ඡන්දදායකයන් ලෙස දකින්නේ පාරිභෝගිකයන් පමණි. ඒ කම්හල් අයිතිකරුවන් සේම ඒවායේ රැකියා කරන්නට ද ඡන්ද බලය තිබෙන බවත් ඔවුනට නොපෙනෙයි. විදේශ විනිමය රටින් පිටට ගලා යාම වැළැක්වීමේ වැදගත්කම ඔවුනට නොතේරෙයි. එසේ එවැනි වුවමනාවක් තිබෙන බවක් ද නොපෙනෙයි. ඇතැම් දේශපාලකයන් බලන්නේ තම පවුලේ කෙනකුට හෝ හිතවතකුට ඒවා රටින් ආනයනය කිරීමට ඉඩ දී කොමිස් ලබාගන්නේ කෙසේ ද යන්න ගැනය. ඇතැම් දේශපාලකයන් තමන්ම ඒ ව්‍යාපාරයට බැසීමට මාන බලයි. දේශීය කර්මාන්ත රැක ගැනීමට වඩා බිස්නස්, කොමිස්, අල්ලස්, සන්තෝසම් රසවත් බව ඔවුන්ගේ ආකල්පයයි. තක්සේරුවයි. එහෙයින් උගත් නූගත් බේදයකින් තොරව බොහෝ දේශපාලකයෝ ඒ මාවතෙහි පිම්මේ යති.
මා මේ කරුණු කියන්නේ ද්වේෂයෙන් නොවේ. මඩ ගැසීමට ද නොවේ. දේශපාලකයන්ට මඩ ගසනවාට වඩා අපට කරන්නට වැඩ තිබේ. මා ඒ කරුණු සඳහන් කළේ මගේ අත්දැකීමෙනි. අවබෝධයෙනි. පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලෙස මා කටයුතු කරන්නේ අවුරුදු හතරක පමණ සිටිය. එහෙත් සංගමයේ වැඩකටයුතුවලට ඍජුව දායක වී සිටින කාලය අවුරුදු 20ක් පමණ වෙයි. ඉතින් මා මේ කාලයේදී අපේ කර්මාන්තයේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ජා කිරීමට නොයෙක් මැති ඇමැතිවරුන් හමුවී තිබේ. ඇතැම්හු උගත්තුය. ඇතැම්හු නූගත්තුය. මගේ විවේචනය ඒ කාටත් පොදුය. උගතකු වුව ද දේශපාලන හැසිරීමේදී වෙනසක් නොපෙන්වයි. දේශීය කර්මාන්ත රැක ගැනීමේ වුවමනාව හා වැදගත්කම ගැන ඒ කිසිවෙක් නොසිතති. ඔවුන් සිතන්නේම ඡන්ද, බිස්නස්, කොමිස් හෝ අල්ලස් ගැනමය. දේශීය කර්මාන්ත හා කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න අප ඔවුන් හමුවේ තබන විට ඒ ඇතැමුන් අපට සිනාසෙන්නේ අවඥාවෙනි. අපේ ප්‍රශ්න ඔවුනට විහිළුය. මම ද කර්මාන්තකරුවෙක්මි. අපේ ව්‍යාපාරය වන පී.ජී. මාටින් නාමයට ඇත්තේ ඉහළ කීර්තියකි. විශ්වාසයකි. ඒ නිසා කිසිම නිෂ්පාදනයක් නොකර ස්වදේශිකයන්ගෙන් හෝ විදේශිකයන්ගේ මිලදී ගෙන ඉතා පහසුවෙන් ලාබ ඉපයීමේ ව්‍යාපාරයක් අපට ද කළ හැකිය. කෙනකුගෙන් මිලදී ගෙන තව කෙනකුට විකිණීම ඉතා පහසු ව්‍යාපාරයකි. නිෂ්පාදන කාර්මාන්තයේ නියුතු අපට එතරම් පහසුවෙන් ව්‍යාපාර කළ නොහැකිය. පහසුවෙන් ලාබ ඉපැයිය හැකි ක්‍රම තිබියදී අප අපහසුතා මැද මේ කර්මාන්තවල රැඳී සිටින්නේ මේ කර්මාන්තයට තිබෙන ළෙන්ගතුකම නිසාය. මේවා අපට ජානවලින් උරුම වූ කර්මාන්තය. මේ කර්මාන්තවල නියුතු බොහෝ දෙනා සිතන්නේ එලෙසය. එහෙත් ප්‍රතිපත්ති සම්පාදකයෝ එය තේරුම් නොගනිති. තේරුම් ගැනීමේ වුවමනාවක් නැති බව ද ඔවුහු ප්‍රදර්ශනය කරති.
දේශපාලකයන්ට අමතරව නිලධාරීන්ගේ පැත්තෙන් ද විය යුතු දේවල් තිබේ. අපට මූලිකව අදාළ වන්නේ කර්මාන්ත අමාත්‍යාංශයයි. එහි සිටිය යුත්තේ කර්මාන්ත පිළිබඳව දන්නා කර්මාන්ත ප්‍රවර්ධනයට අත දෙන නිලධාරී පැලැන්තියකි. ඔවුන්ගෙන් ඉහළට යා යුත්තේ නිවැරැදි තීරණයකි. නිවැරැදි තීරණ ගත හැක්කේ නිවැරැදි දැක්මක් තිබෙන පුද්ගලයන්ටය. ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට ද නිවැරැදි පටිපාටියක් ක්‍රමවේදයක් තිබිය යුතුය. ආර්ථික කටයුතු අමාත්‍යාංශයක් පැවැති සමයේ කර්මාන්ත අමාත්‍යාංශය පැවැතියේ පඹයකු ලෙසය. එකල මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ගත්තේ තනි තීරණය. එකල සේම දැන් ද කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙයි. කර්මාන්ත අමාත්‍යාංශයෙන් විසඳුම් නොලැබුණු විට මුදල් අමාත්‍යාංශයට යාමට සිදුවෙයි. එසේ අමාත්‍යාංශවල රස්තියාදු වීමට තරම් අපට කාලයක් නැත. අප අපේ කාලය කර්මාන්ත ප්‍රවර්ධනයට යෙදවිය යුතුය. ඒ සඳහා යෙදවිය යුතු කාලය අමාත්‍යාංශවල රස්තියාදු වෙමින් නාස්ති කිරීමට සිදුවී තිබෙන්නේ ආණ්ඩුවලට දෑහිතකාමී කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් හෝ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් නැති හෙයිනි.
සෑම ආණ්ඩුවක්ම සෑම වසරකදීම අයවැය ඉදිරිපත් කිරීමට පෙර සෑම ක්ෂේත්‍රයකින්ම අයවැය යෝජනා ඉල්ලයි. එහෙත් එදා මෙදාතුර පැවැති කිසිම ආණ්ඩුවක් එසේ ලබාගත් යෝජනා එලෙසින්ම ක්‍රියාත්මක කළේ නැත. අයවැයෙන් බොහෝ විට එළිදකින්නේ අප දෙන යෝජනා නොව හාත්පසින්ම වෙනස් යෝජනාය. අප දෙන යෝජනා ඉවත දමන්නේ ඇයි දැයි කිසිදාක අපට කියන්නේ ද නැත. වගකිවයුතු ආණ්ඩුවක් හා වගකටයුතු නිලධාරීන් සිටින්නේ නම් කළ යුත්තේ අපේ යෝජනා පිළිගත නොහැක්කේ හා ක්‍රියාත්මක කළ නොහැක්කේ ඇයි දැයි අප දැනුවත් කිරීමය. අයවැයකින් එළිදකින යෝජනා කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ ද එකඟතාව සහිතව ඉදිරිපත් කළ හැකි නම් එය දේශීය කර්මාන්තවල සේම ආණ්ඩුවල සෞඛ්‍යයට ද බොහෝ හිතකරය. එහෙත් එය එලෙස සිදු නොවෙයි. දේශපාලකයන් සේම නිලධාරීන් ද අත්තනෝමතිකය. බලයෙන් ඉදිමී ඒ බලය අවභාවිත කිරීම අතින් මේ දෙපිරිසම තකට තකය. ඒ දෙපිරිසේ මේ පිළිවෙත නිසා දැන් අප අයවැය යෝජනා දෙන්නේ ද කිසිම විශ්වාසයකින් තොරවය. රටේ පුරවැසියන්ට රැකියා සපයන රටට විදේශ විනිමය ගෙන්වන හා රටේ තිබෙන විදේශ විනිමය රැක දෙන දේශීය කර්මාන්තකරුවන් එවැනි තැනකට ඇද දමා තිබෙන්නේ මැති ඇමැතිවරුන්ගේ හා රජයේ නිලධාරීන්ගේ සුසංයෝගයෙන් බව නොවළහා පැවැසිය යුත්තකි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට සේම ඇමැතිගෙන් ඇමැතිට ප්‍රතිපත්ති වෙනස් වීම ද ඒ සුසංයෝගයේම ප්‍රතිඵලයකි.
අපේ සටන්වල ප්‍රතිඵලයක් ලෙස 2003දී ආනයනය කරන සෑම සපත්තු ජෝඩුවකටම රුපියල් 300ක සෙස් බද්දක් පැනැවිණි. සෙස් බද්දට අමතරව වෙනත් බදු ද තිබිණි. සපත්තු සෙරෙප්පු මහා පරිමාණයෙන් නිපදවන ඉන්දියාව, වියට්නාමය, චීනය වැනි රටවල අතිරික්ත නිෂ්පාදනය සේම ඉවත දමන සපත්තු සෙරෙප්පු අපේ වෙළෙඳපොළට එන්නේ අස්වාභාවික මිල ගණන්වලටය. සරලව කිවහොත් තුට්ටු දෙකටය. මිල අඩු ඒවා සමඟ දේශීය නිෂ්පාදකයන්ට තරග කිරීම ඉතා අපහසුය. අර සෙස් බද්ද දැම්මේ ඒවා වැළැක්වීමටය. දේශීය නිෂ්පාදකයා රැක ගැනීමටය. අල ලූනුවලට ද සෙස් බදු පැනෙව්වේ දේශීය ගොවියා රැක ගැනීමටය. මහින්ද රාජපක්ෂ යුගයේදී සපත්තු සෙරෙප්පු ආනයනයේදී අය කළ වෙනත් බදු සපත්තුවේ සෙරෙප්පුවේ වටිනාකමේ අඩු වැඩි බව නොසලකා සෑම සපත්තුවකටම රුපියල් 100ක් කෙරිණි. ඒ ක්‍රමය යටතේ රුපියල් 5000 සපත්තු ජෝඩුවට සේම රුපියල් 400 සෙරෙප්පු ජෝඩුවකින් ද අය කළේ රුපියල් 100කි. එය වෙනස් කරන්නැයි ඉල්ලා සිටිය ද වෙනස් නොකෙරිණි. එයට හේතු වන්නට ඇත්තේ දේශීය නිෂ්පාදකයන්ට වඩා ආනයනකරුවන්ගේ මූල්‍යමය ශක්තිය ඉහළ මට්ටමක පැවැතීම විය යුතුය. වත්මන් රජය බලයට පැමිණි පසු රුපියල් 100 ආනයන බද්ද අහෝසි කෙරිණි. අපේ සටන්වල ප්‍රතිඵලයක් ලෙස එවකට රුපියල් 500ක් වූ සෙස් බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවිණි. එහෙත් අහෝසි කළ ආනයන බදු යළි පැනෙව්වේ නැත.
ජාවාරම්කරුවන් කළේ සපත්තු අඩිය හා උඩ කොටස වෙනම ආනයනය කර මෙරටෙහිදී එකලස් කිරීමය. නිමි භාණ්ඩයක් නොවන නිසා එසේ කොටස් ගෙන්වීමේදී ඔවුහු රජයට ශත පහකවත් බද්දක් නොගෙවූහ. ජාවාරමුන් බදු දැලෙන් රිංගන්නේ එලෙසිනි. කොටස් ගෙන්වන මුවාවෙන් කන්ටේනර් පිටින් නිමි සපත්තු ද ගෙන්වූහ. ඒ බව අධිකරණ නඩු විභාගවලදී ද හෙළිවී තිබේ. මොහොමඞ් සියාම් ඝාතන නඩුව ඊට එක් උදාහරණයකි. සපත්තු එකලස් කිරීමේ කර්මාන්තයෙන් රජයට බදු ආදායම් අහිමි විම වැළැක්වීම සඳහා සපත්තුවේ උඩ කොටස සඳහා රුපියල් 250ක සෙස් බද්දක් පනවන්නැයි මේ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් අපි ඉල්ලා සිටියෙමු. රුපියල් 200ක බද්දක් පැනවීමට අමාත්‍යවරයා එකඟ විය. එහෙත් අවසානයේ ක්‍රියාත්මක වූයේ ජෝඩුවකට රුපියල් 200ක් ලෙස නොව කිලෝවකට රුපියල් 200ක් ලෙසය. සපත්තු කිලෝ ගණනින් ගෙන්වන්නේ ද නැත. කිලෝවකට සපත්තු ජෝඩු 6ක් අල්ලයි. එසේ නම් කිලෝවකට අය කළ යුත්තේ රුපියල් 200ක් නොව රුපියල් 1200කි. අපේ සටන්වල ප්‍රතිඵලයක් ලෙස අවසානයේ කිලෝවකට රුපියල් 800ක් පැනැවිණි. අප සටන් කළේ දේශීය කර්මාන්ත රැක ගැනීමටය. එහෙත් දැන් සිදුවන්නේ වෙනත් මගඩියකි. එනම් ඇතුළු අඩිය (Insole) ද ඇලවූ උඩ කොටස (Upper With Insole) කිසිදු බදු ගෙවීමකින් තොරව ආනයනය කිරීමය.
සැබැවින්ම විය යුත්තේ ඇතුළු අඩිය ද සහිතව ගෙන්වන උඩ කොටස සඳහා වැඩි බද්දක් අය කිරීමය. මේ බදු ප්‍රතිපත්ති ජාවාරම් ප්‍රවර්ධනය කරන බදු ප්‍රතිපත්ති මිස අන් යමක් නොවේ. නීත්‍යනුකූලව ව්‍යාපාර කරන දේශීය කර්මාන්තකරුවන් මත බදු පිට බදු පනවා ජාවාරම්කරුවන්ටම සෙත සලසන පනින රිලවුන්ට ඉණිමං බඳින මේ බදු ප්‍රතිපත්තිවලින් රටේ ආර්ථිකය දියුණු වෙයි ද? රජයේ ආදායම් ඉහළ යයි ද? විදේශ විනිමය සංචිත සුරැකෙයි ද? නිලධරයන් හා දේශපාලකයන් එකතු වී මේ කරන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයට පැමිණිය යුතු සල්ලි ජාවාරම්කරුවන්ගේ මල්ලට හැරවීම නොවේ ද? ඔවුන් මෙලෙස මී කඩන්නේ අත ලෙවකන්න ද?
නව තාක්ෂණය කර්මාන්ත සඳහා යොදා ගැනීමට රජය මූල්‍යමය සහාය ලබාදිය යුතුය. අප කියන්නේ ආණ්ඩුව පිනට සල්ලි දිය යුතු බව නොවේ. බදු හෝ වෙනත් සහන ද නොවේ. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා නමින් රජය ක්‍රියාත්මක කරන ණය ක්‍රමය ද ගැටලු සහගතය. ඒ යටතේ මම ද ණයක් ඉල්ලුවෙමි. එය අනුමත කිරීමට ද දිගු කාලයක් ගත්තේය. ණය අනුමත වී දැන් මාස හයකි. දැන් ලංකා බැංකුව කියන්නේ ණය දීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාදී නැති බවය. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සංකල්පය හොඳය. එහෙත් නිසි ලෙස ක්‍රියාත්මක වනවා දැයි උඩින් සිට සොයා බලන්නේ නැත. සංකල්ප හොඳ වුණාට ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ නම් ඒ සංකල්පවලින් ඇති ඵලය කුමක් ද? මේ රජය යටතේ කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ප්‍රගමනයක් බලාපොරොත්තු වුව ද සිදුවී තිබෙන්නේ අවගමනයකි. ඒ පිළිබඳව කර්මාන්තකරුවන් අතර ඇත්තේ බරපතළ කලකිරීමකි. සුවිශාල අප්‍රසාදයකි.
කළ හැකි සරල දේවල් පවා නොකර සිටීම මේ රජය යටතේ සුලබය. එසේම නොකළ යුතු දේවල් කිරීමෙන් ද මේ රජය දේශීය කර්මාන්ත අගාධයට ඇද දමා තිබේ. දේශීය වෙළෙඳපොළේ සපත්තු සෙරෙප්පු අවශතාව සැපිරීමට දේශීය කර්මාන්තකරුවන්ට හැකියාව තිබියදී මේ රජය ඒ සඳහා ඉන්දියානු සමාගම්වලට ද ඉඩදී තිබේ. ඕනෑම රටක ඕනෑම සමාගමක් මෙරට සපත්තු සෙරෙප්පු නිෂ්පාදනය කර ඔවුන්ගේ සමස්ත නිෂ්පාදනයම පිටරටවලට යවන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නයක් වන්නේ විදේශිකයන් පැමිණ මෙහි සපත්තු සෙරෙප්පු නිපදවා ඒ සමස්ත නිෂ්පාදනයම මෙරට වෙළෙඳපොළට දැමීමය. විදෙස් සමාගම් භාවිත කරන තාක්ෂණය සේම ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ද ඉතා ඉහළය. එවැනි හැකියාවක් නැති දේශීය සමාගම්වලට හා නිෂ්පාදකයන්ට ඒ විදෙස් සමාගම් සමඟ තරග කළ නොහැකිය.
ඉන්දියාවෙන් පැමිණි ඒ සමාගම දවසකට සපත්තු සෙරෙප්පු 250,000ක් පමණ නිෂ්පාදනය කළ හැකි සමාගමකි. එවැනි සමාගමක් සමඟ අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට හැරෙන්නටවත් නොහැකිය. ඒ බව අප මෙරට නායකයන්ට පෙන්වා දුන්න ද ඔවුන් කියා සිටියේ ඒ මහා සමාගම් සමඟ අප තරග කළ යුතු බවය. එය කළ නොහැකි බව පෙන්වා දුන්න ද අපේ නායකයෝ ඒවා පිළිනොගත්හ. මහා පරිමාණ විදෙස් සමාගම් සමග තරග කරන්නැයි මෙරට පුංචි මිනිසුන්ට උපදෙස් දෙන නායකයන් මෙරටම සිටින තම ප්‍රතිවාදීන් සමඟ තරග නොකර මගහැර යාම විලාසිතාවක්ව තිබීම ද හාස්‍යජනකය.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්