බිහාර් ආදර්ශය


චිත‍්‍රා ගුප්ත නගර් යනු උතුරු බිහාරයේ පිහිටි කුඩා නරගයකි. එහි පොලිස් ස්ථානාධිපති රාම්තිවාරීය. මේ රාම්තිවාරී වරක් ජාත්‍යන්තර ”ටයිම්” සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එළඹියේ මෙසේය.

  ”නිතිෂ්කුමාර් බිහාරයේ මහ ඇමතිවරයා වීමට පෙර මෙහි නීතිය කි‍්‍රයාත්මක කිරීම බෙහෙවින් අපහසු වුණා. හොරෙක් මිනීමරුවෙක් හෝ ස්තී‍්‍ර දුෂකයෙක් අමාරුවෙන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ සැනින් මහ ඇමතිවරයාගේ මාම, බාප්ප නැත්නම් අයිය හෝ මල්ලී කෙනෙක් වහාම නිදහස් කරන්නැයි දුරකථනයෙන් මට නියෝග කරනවා. ඉතින් අපි ඔහු එළියට දාල නිකම් ඉන්නවා. අණට අකීකරු වුණොත් මගේ උසස්වීම නවත්වා මාව දුෂ්කර පළාතකට මාරු කරනවා. ඒත් නිතිෂ්කුමාර මහ ඇමැති ධුරයට පත් වුණාට පස්සේ වැරදි කරන අයට තරාතිරම නොබලා චෝදනා පත‍්‍ර ගොනු කිරීමේ හැකියාව අපට උදාවුණා. පොලිසියේ අඩුපාඩු පිරෙව්වා. ජීප්, මෝටර් සයිකල් අපට නොමදවම සපයා දුන්නා. දැන් මිනිස්සු වැරදි කරන්න බයයි. නිතිෂ්කුමාර මහ ඇමතිවරයා ඥති හිතමිත‍්‍රාදීන් වටකරගෙන සිටින කෙනෙක් නොවන නිසා අද බිහාර් ප‍්‍රාන්තයේ නීතිය හරියටම කි‍්‍රයාත්මක වෙනවා.”
 

  මේ නිතිෂ්කුමාර් කියන්නේ කව්ද? පසුගියදා ඉන්දියාවට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බුද්ධගයා ගුවන්තොටුපළේ දී මහත් හරසරින් පිළිගත් එරට බිහාර් ප‍්‍රාන්තයේ වත්මන් මහ ඇමතිවරයාය. නිල නොවන සංචාරයකදී වුවද තම ප‍්‍රාන්තයට වන්දනාවකට පැමිණි ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ඔහු විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවේ එල්.ටී.ටී.ඊ විරෝධතා තුට්ටුවකට මායිම් නොකරමිනි. මත්පැනින් හා දුම්පානයෙන් තොර සරල දිවි පෙවෙතක් ගත කරන නිතිෂ් බිහාරයේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා ඇකඩමියෙන් ඉංජිනේරු විද්‍යා උපාධිධාරියෙකි. පාඩු ලබමින් ධාවනය වූ ඉන්දීය දුම්රිය සේවය ලාභ ලැබීමට පටන් ගත්තේ නිතිෂ්කුමාර් ඉන්දීය මධ්‍යම රජයේ ප‍්‍රවාහන ඇමති වශයෙන් සිටි සමයේය.

  වත්මන් බිහාරය ඉපැරණි ලිච්චවි රාජධානිය සේ සැලකේ. කාඩ රස්තියාදුකාරයින්ගේ ප‍්‍රාන්තයක් සේ පැවැතියා වූද විශේෂයෙන්ම නීතිය හා සාමය බිඳ වැටී තිබුණ වත්මන් බිහාරයේ බලය ලබාගැනීමට ඔහු දුන් එකම පොරොන්දුව වූයේ දේශපාලඥයන්ගේ ශබ්ද කෝෂයේ පවතින ”සාමය හා සෞභාග්‍යය” වැනි සුපුරුදු සටන් පාඨ නොවේ. ”මම නීතියේ පාලනය බිහාරය තුළ ස්ථාපිත කරමි” යන්නය. 
  එදා බිහාරය ඉන්දියාවේ දුප්පත්ම ප‍්‍රාන්තය විය. මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී බිහාරයේ ආර්ථික සංවර්ධන වේගය 11.3%කි. ප‍්‍රාන්තීය සංවර්ධන මට්ටමින් එය දෙවැනි වන්නේ ගුජරාටයට පමණි. ස්තී‍්‍ර දුෂණ, මත්කුඩු ජාවාරම්, මිනී මැරීම් හා මංකොල්ල කෑම් බිහාරය තුළ ඉතාම අඩු තත්ත්වයක පවතී. අපේ රටේ මහ ඇමතිවරුන්ට හා පළාත් පාලන ප‍්‍රධානීන්ට පමණක් නොව මහා ආණ්ඩුවේ ප‍්‍රවාහන බලධාරීන්ට ද නිතිෂ්කුමාර් වැනි මහ ඇමතිවරු ආදර්ශයකි. ජනාධිපතිවරයා සමඟ බුද්ධගයාවේ සංචාරයට සහභාගි වී වන්දනාමාන කරගෙන සිත සතියේ පිහිටුවා නිතිෂ් කුමාර්ගෙන් දේශපාලනය සම්බන්ධයෙන් ටියුෂන් ගත්තත් අපේ පළාත් බලධාරීන්ට අවැඩක් වන්නේ නැත. ටිකට් පතක් රජයෙන් දී අපේ කිහිප දෙනෙකු එහි යැව්වත් පාඩුවක් නැත. 2011 නොවැ.7 ජාත්‍යන්තර ”ටයිම්” සඟරාව නිතිෂ් කුමාර් හඳුන්වනු ලබන්නේ අපායක් ව පැවැති ප‍්‍රාන්තයක් සුරලොවක් බවට පත්කළ විශිෂ්ට පාලකයකු ලෙසිනි. යහපාලනය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම ප‍්‍රදේශයක සංවර්ධනයට කොතරම් බලපාන්නේ ද යන්නට හොඳම ආදර්ශය බවට අද ඉන්දියාව තුළ බිහාර් ප‍්‍රාන්තය පත්ව ඇත. තවමත් ඉන්දියාවේ කිසිම ප‍්‍රාන්තයක කි‍්‍රයාත්මක නොවන රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට පුරවැසියෙකුට ඇති අයිතිය බිහාරයේ නීතිගත කොට තිබෙන්නේ නිතිෂ් කුමාර්ගේ පාලනය යටතේය. බිහාර් වැසියෙකුගේ ඉල්ලීම් නිශ්චිත කාල සීමාවක් තුළදී ඉටුකර දීමේ වගකීමට රාජ්‍ය සේවකයෝ මෙම පනත යටතේ බැඳී සිටිති.

  මහජන මුදල් කාබාසිනියා කරමින් නිකරුණේ විදේශ සංචාරවල නිරතවන පළාතේ බලධාරීන් අඩුම තරමින් අසල්වැසි බිහාරයට වත් යන්නේ නම් එය ඵලදායී සංචාරයක් වනු ඇත. ගන්නවා නම්  ඕනෑතරම් උදාහරණ ඉන්දියාව සතුය. දැවැන්ත නිදහස් අරගලයකින් අනතුරුව ගොඩනැඟුණු ඉන්දියානු දේශපාලනය තවමත් සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. දේශපාලනය පැත්තෙන් අප සතුව ඇත්තේ ඉන්දියාවට වඩා චූල වූ සම්ප‍්‍රදායකි. නීතියේ පාලනය වල් වැදී අපේ රටේ සමහර තැන්වල හිස ඔසවන පළාත්බද රස්තියාදුකාර දේශපාලන සංස්කෘතියේ නිමාවක් දැකීමට නම් නිතිෂ්කුමාර් ලා වැනි සත්ගුණවත් චරිත වැඩි වශයෙන් අපේ රටේ දේශපාලනයට ද අවැසිව තිබේ.

  එසේ වන්නේ නම් මේ ඊයේ පෙරේදා වුවද තලා පෙලා මරා දමන ලද එගොඩ උයන සුනන්දෝපාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමි තවමත් ජීවතුන් අතරය. රජවරුන් ගේ කඩු සෙවීමට බැරි වූ තැන මරා දමන ලද කෝට්ටේ රජමහ විහාරයේ හිමිවරුන් දෙදෙනා ද ජීවතුන් අතරය. පාසලට පහසුකම් ගාස්තු ගෙවීමට පොල් ගෙඩි 8ක් සොරකම් කළ දැරිය උසාවි යන්නේ නැත. 
  අද සමහර ප‍්‍රදේශවල සොර මැරකම්, ස්තී‍්‍ර දුෂණ හා විවිධ අක‍්‍රමිකතාවල පසුබිමේ සිටින්නෝ පළාත් පාලන ක්ෂේත‍්‍රයේ දේශපාලඥයෝය. පළාත් පාලන දේශපාලඥයන්ගේ සම්බන්ධකම්වලින් තොරව සමහර ප‍්‍රදේශවල මැර කි‍්‍රයා, ස්තී‍්‍ර දුෂණ, මිනී මැරුම්, කුඩු ජාවාරම් නොමැති තරම්ය. එ් සියල්ල පාවිච්චිකරන්නේ ආණ්ඩුවේ දේශපාලන හයිය බව පෙනේ. ප‍්‍රාදේශීය වශයෙන් සිදු වුවද මේවා මාධ්‍ය මඟින් හෙළිදරව් කරන විට රිස්ස යන්නේ මධ්‍යම රජයේය. එ්වා ප‍්‍රාථමිකයන් ගේ වැඩ කියා රජයට කරබාගෙන සිටිය නොහැක.

 මහජන මුදල් කාබාසිනියා කරමින් නිකරුණේ විදේශ සංචාරවල නිරතවන පළාතේ බලධාරීන් අඩුම තරමින් අසල්වැසි බිහාරයට වත් යන්නේ නම් එය ඵලදායී සංචාරයක් වනු ඇත. ගන්නවා නම්  ඕනෑතරම් උදාහරණ ඉන්දියාව සතුය. දැවැන්ත නිදහස් අරගලයකින් අනතුරුව ගොඩනැඟුණු ඉන්දියානු දේශපාලනය තවමත් සිටින්නේ අපට වඩා ඉදිරියෙනි. දේශපාලනය පැත්තෙන් අප සතුව ඇත්තේ ඉන්දියාවට වඩා චූල වූ සම්ප‍්‍රදායකි. 


  විමලවංශ හිමියන්ට පොලිසිය තුළදීම පහර දීමට ලක් කිරීමට තරම් පළාත් පාලන දේශපාලන බලවතුන් සැහැසිවීමත් නීතිය හා සාමය සුරකින්නන් කරබාගෙන සිටීමත් පිළිකුල් සහගතය. බෞද්ධ චීවරයවත් ගණන් නොගන්නා මේ සැහැසි කි‍්‍රයා සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සොයාබැලීමක් අවශ්‍යව තිබේ. බොදු බල සේනාවක් වුව ද අවශ්‍ය වන්නේ මේ සඳහා ය. හොරණ පාසල් දරුවාගේ පොල්ගෙඩි අටේ සිද්ධියේදී හා මොරටුවේ විමලවංශ හිමියන්ගේ ඝාතනයට පෙර පසුබිම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම සිදුනොවන්නට මේවා අතීතයට එක්වන කාලකන්නි ප‍්‍රවෘත්ති බවට පත්වනු ඇත. ආණ්ඩුවේ සෙසු අවශේෂී කොටස් මේවා සම්බන්ධයෙන් නිද්‍රාශීලීව කටයුතු කරන්නේ මන්ද යන්න ප‍්‍රශ්නකාරීය. රටේ තැන් තැන්වල සිදුවන මෙවන් කි‍්‍රයා යහපාලනයේ පොදු ගිණුමට බැර කර අවසානයේ නායකයා පිටින් සියල්ල මුදාහැරීමට විපක්‍ෂයට ඉඩ සලසමින් ගොළුවන්, බිහිරන් සේ සිටීමට ආණ්ඩුවේ ම සමහර අය කල්පනා කරනවා දැයි කියන්න දන්නේ නැත. මේ වන විට මොරටුවේ එගොඩ උයනේ සුනන්දෝපනන්දාරාමයේ විමලවංශ හිමියන්ගේ ඝාතනය පෙර පැවැති ආරවුලේ දී පොලිසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ඊට අදාළ පොලිස් නිලධාරීන් වැඩ තහනමකට ලක්කර ඇත. එය පැසසිය යුතුය. 

  පළාත් පාලන ක්ෂේත‍්‍රය රටක ගෞරවනීය දේශපාලනයට නිවැරදි දොරටුවක් සේ පිළිගැනීමක් ලෝකයේ සෑම තැනකම දක්නට ලැබේ. අපටත් එය පොදුය. අපේ රට බිහිකළ කීර්තිමත් දේශපාලඥයින් රැුසක්ම තම දේශපාලන ගමන ඇරඹුවේ මේ පළාත් පාලනය හරහාය. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පීටර් කේනමන් ආදීන් රැසකගේ නම් මෙහිදී නිතැතින්ම අපේ මතකයට එයි.  ඒ කිසිවක් නොමැති වූද ගම හඳුනන රටේ ප‍්‍රසිද්ධියක් නොමැති ”මැම්බර් මහතා” පළාත් පාලන දේශපාලනයේ නිර්මාණයකි. ඔහු එදා තම ගම් සභා  හෝ නගර සභා මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් මුදලක් ගත්තේ නැත. ගම් වැසියාගෙන් ලද්දේ බුලත් විටක් තේ කෝප්පයක් පමණි. එයද ගෙට ගොඩවන කෙනෙකුට හිමිවන චාරිත‍්‍රයක් වශයෙනි. ගමේ පාරවල් ඉදිවූයේ ගම්වාසීන්ගේ ශ‍්‍රමදානයෙනි. ඒ ශ‍්‍රමදානයේ පෙරමුණ ගත්තේ ගම් සභාව වෙනුවෙන් ගම නියෝජනය කරන මැම්බර් මහතාය. එහිදී මැම්බර් මහතා තම ශ‍්‍රමයට අමතරව තමන් අතින් මුදල් වියදම් කිරීමට ද පෙළඹේ. ඒවා ඔහු ටෙන්ඩර්වලින් සාක්කුවේ දමාගන්නා ලද කොමිස් මුදල් නොවේ. එදා ගම් හෝ නගර සභික ධුරයක් මුදල් උපයාගන්නා මාර්ගයක් වූයේ නැත. ගමේ ගොඬේ යමක් කමක් ඇති අය ගම් සභාවක හෝ නගර සභාවක සභික ධුරයකට වැදුණේ තම ධන පරිත්‍යාගයෙන් ගම්පළාතට යම් සේවයක් ඉටුකිරීම තුළින් ලබාගන්නා තානාන්තරයක් වෙනුවෙනි.

  මේ යහපත් සුන්දර දේශපාලන සංස්කෘතිය අද නැත. එය අවසන් වීමට 1977 පසු ඇරඹි මනාප ඡුන්ද ක‍්‍රමය හේතුවක් විය.  ඕනෑම අයෙකුට මුදල් වියදම් කර වැඩිම මනාපයෙන් පළාත් පාලන ආයතනයක මුල් පුටුවට පැමිණීමේ සම්ප‍්‍රදායක් දැන් ඇති වී තිබේ. ඊට නුසුදුසු අයද මුදල් මත මේ සඳහා සුදුසුකම් ලබති. අද පළාත් පාලන ක්ෂේත‍්‍රයට අදාළව එම ක‍්‍රමය (1977 පසු පැවති) වෙනස් වී තිබේ. එය පැසසිය යුතුය. මැතිවරණ ක‍්‍රමය වෙනස් වීමෙන් පමණක් පළාත් පාලන ක්ෂේත‍්‍රයේ මේ පවතින රස්තියාදුකාර ක‍්‍රමය වෙනස් වන්නේ නැත. ඒ සඳහා වෙනම අරගලයක් මෙන්ම බිහාරයේ නිතිෂ්කුමාර් වැනි චරිතද තෝරා ගැනීමට අවශ්‍යය. අපේ රටේ ද එවන් චරිත නැත්තේ නොවේ. නීතිඥ  බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල වැනි අය නියෝජනය කරන්නේ එවැනි චරිත බව ඔවුහු භාවිතයෙන්ම පෙන්වා දී ඇත. මේ සඳහා තවත් නම් ඉදිරිපත් කළ හැකිය. එහෙත් මේ සියල්ලම පවතින රස්තියාදුකාර පළාත් දේශපාලන සංස්කෘතියට මැදි වී නිරුත්තර වී සිටිති. මේ නිසා අපේ රටට අධිරාජ්‍යවාදී අතපෙවීම් ගැන සොයන ආකාරයෙන්ම පළාත් දේශපාලනය ගැනද සැලකිලිමත් වීම වැදගත්ය.

 

වසන්තප‍්‍රිය රාමනායක