බුදුදහම රැකීමේ වගකීම


මේ මස පළමු වැනිදා හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය විසින් බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයටද පැවැරෙන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ පිළිබඳව කිසිවකුට විවාද කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය. එය වෙනස් කිරීමට කිසිවකුට හෝ අවශ්‍ය නම්, වහාම ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේය.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එයට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු‍ මන්ත්‍රීවරුන් බැඳී සිටින බවත් ප්‍රකාශ කළේය. ජනතා පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අප සැම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්ම ආරක්ෂා කරගනිමින් බවත්, ඊට විරුද්ධව කතා කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී කළ මෙම ප්‍රකාශයෙන් රටේ සියලු‍ දෙනාටම ආගමික කටයුතු පිළිබඳව දැරිය යුතු වගකීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා දී ඇතැයි සිතමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දීම රටේ පැරැණි සම්මතය අඛණ්ඩවම පවත්වාගෙන යෑමක් වන අතර, ඒ තුළින් අනෙකුත් ආගම්වලට නොසැලකීමක් අපේක්ෂා නොකෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තියේ අනෙකුත් ආගම්වලට සලකන අතරම, බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව අවධාරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වන සෑම විටකදීම ඔහුගේ ප්‍රතිවාදීන් විසින් ප්‍රයත්න දරන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා බුදු දහමට තැනක් ලබා නොදෙන පුද්ගලයකු ලෙස හඳුන්වා දීමටය. එසේ වුව ද, රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාවේ අය මේ රටේ බුදු දහම නඟාසිටුවීමට මෙන්ම දියුණු කිරීම සඳහා ද විශාල මෙහෙයක් ඉටු කර ඇති බව වසන් කරමින්, එම ප්‍රචාර ගෙන යන බව පෙනේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන්ගේ මව වූ හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණිය රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා විශාල මෙහෙවරක් ඉටු කළාය. එම විහාරය අද පවත්නා තත්වයට සංවර්ධනය කිරීමෙහි ලා විජයවර්ධන පවුල විශාල දායකත්වයක් ලබා දුන්නේය. එපමණක් නොව රටේ බුදු දහම නඟාසිටුවීමට සහ ආරක්ෂා කිරීමට අති විශාල මෙහෙයක් ඉටු කර තිබේ.

කැලණි රජමහා විහාරය යළි ප්‍රතිෂ්ඨාපනයෙන් පසු මේ දක්වාම බොහෝ විට බස්නායක නිලමේ ධුරය හොබවා ඇත්තේ විජයවර්ධන පවුලට සම්බන්ධ අය විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා ද කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිවරයා ලෙස බොහෝ කලක් කටයුතු කළේය. කොළඹ, හුණුපිටිය ගංගාරාමය ඇතුළු රටේ බෞද්ධාගමික සිද්ධස්ථාන රැසක් සංවර්ධනය කිරීම සඳහා ඔහු විශාල දායකත්වයක් ලබා දී තිබේ. මේ වන විට අනුරාධපුරයේ මහා විහාර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර, එහි ඓතිහාසික වටිනාකම ආරක්ෂා කරන අතරම බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා ද පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා පිරිවෙන් පනත ඉදිරිපත් කරනු ලැබුවේ ද රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති ධුරය හොබවමින් සිටියදීය.

අද ශ්‍රී ලංකාව බුද්ධාගමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයේ ගැටලු‍වකට මුහුණ දී සිටින බව පෙනී යයි. එක අතකින් ධනය හා විවිධ බලපෑම් මූලික කරගෙන බෞද්ධාගමිකයන් අන්‍යාගම්වලට හැරැවීමේ ව්‍යාපාරයයි. අනෙක් අතින් නිරාගමික, ආගම් විරෝධී, ආගමික අන්තවාදීන් ආදින් සියල්ල විසින් දියත් කරනු ලැබ ඇති බොදු විරෝධී පිළිවෙතයි. නිරාගමිකයන් වශයෙන් හඳුන්වා ගන්නා පිරිස කොටස් තුනකට බෙදිය හැකි බව පෙනේ. කිසිදු ආගමක් විශ්වාස කළ නොහැකි යැයි ද, විශ්වාස කිරීමෙන් මිනිසාට කිසිම ප්‍රතිඵලයක් අත් නොවනු ඇතැයි ද සඳහන් කරමින් සියලු‍ම ආගම් ඇදහීමෙන් වැළකී සිටින පිරිස එක කොටසකි. දෙවැනි කොටස වන්නේ, වාමාංශික ව්‍යාපාරවලට සම්බන්ධ වී ආගම ධනවාදී දේශපාලන ක්‍රමයේම කොටසක් ලෙස හඳුන්වමින් එයට විරෝධය දක්වන පිරිස්ය. තුන්වැනි කොටස වන්නේ, වෙනත් ආගම්වලට සම්බන්ධ වී නිරාගමිකයන් ලෙස පෙනී සිටිමින් බුදු දහමට පහර ගැසීමට උත්සාහ දරන පිරිස්ය. මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ මෙම තුන් කොටසම ව්‍යාප්ත වී ඇති අතර, ශ්‍රී ලංකාවේ බුදු දහමේ පැවැත්ම කෙරෙහි ඉතා බියකරු තර්ජනයක් ඉන් එල්ල වී ඇති බව පෙනී යයි.

රට තුළ ජනාධිපතිවරණය පිළිබඳව උණුසුම පැතිර යද්දී විවිධ දේශපාලන කණ්ඩායම්වලින් ඍජු හා වක්‍ර ආකාරයෙන් බුද්ධාගමට පහර දෙන විවිධ ව්‍යාපාර බිහි වී ඇත. 87-89 කාල පරිච්ඡේදය තුළ භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී. වරෙක ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කළ එම පක්ෂය දැන් විවිධාකාරයෙන් බොදු විරෝධී හඬේ ප්‍රකාශකයකු බවට පත්ව ඇත.

සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ, පළමුවැනි සංගායනාව පැවැත්වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටින කාලයේදී බවය. නලින් හේවගේ නමැත්තා බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව ප්‍රකාශ කර තිබේ. මේ ආකාරයට බුදු දහමට පහරදෙන දේශපාලන හා දේශපාලන නොවන කණ්ඩායම් ප්‍රබල තත්වයකට පත්වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, බුදු සසුන සංවර්ධනය කිරීමටත්, එය ආරක්ෂා කිරීමටත් තමා කැපවී සිටින බවය.

බුදුරජාණන් වහන්සේට අපහාස කරන, උන්වහන්සේගේ ධර්මය විකෘති කරන මෙන්ම, ඓතිහාසික කරුණු විකෘති කරන යම් යම් බලවේග රැසක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව පෙනේ. මෙම බලවේගවල අවශ්‍යතාව වී ඇත්තේ, මහා සංඝරත්නයට අවමන් කිරීම සහ රටේ බෞද්ධ පිළිවෙත් උපහාසයට හා අපහාසයට ලක් කිරීමත්, ඒ තුළින් රට තුළ බෞද්ධාගමික කටයුතු දුර්වල කිරීමත් බව පෙනේ. එසේ වුව ද, මේ වන තුරු රටේ කිසිදු දේශපාලන පක්ෂයක් මෙම තත්වය පිළිබඳව තමන්ගේ මතය හෝ විරෝධතා ඉදිරිපත් කර නැත. බෞද්ධ විරෝධී බලවේගවලට එරෙහි වීම හේතුවෙන් තම දේශපාලන අරමුණුවලට සහ ඉලක්කවලට බාධා පැමිණවීමට ඉඩ ඇතැයි එම පක්ෂ සිතන බව පෙනේ. ඒ නිසා බුදු සසුන ආරක්ෂා කරගැනීමට එම කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවන පසුබිමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් රටට ඉදිරිපත් කිරීම ඉතා වැදගත් කරුණක් බව පෙන්වා දිය යුතුව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම කිරිවත්තුඩුවේදී බුදු දහමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි කර දී ඇති ස්ථානය පිළිබඳව ඉතා පැහැදිලි සහ නිශ්චිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ත්‍රෛනිකායික මහා සංඝරත්නයේත්, බුදු සසුනේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන පිරිස්වලත් ප්‍රසාදයට හේතු වනු ඇතැයි ප්‍රකාශ කළ හැකිය. නිරාගමිකයන් යැයි හඳුන්වා ගන්නා පිරිස් මෙන්ම රට නිරාගමික විය යුතු යැයි ප්‍රකාශ කරන දේශපාලන පක්ෂ විසින් ද ජනාධිපතිවරණ අවස්ථාව බුදු දහම රට තුළ ඉතා පහත් තත්වයකට ගෙන ඒම සඳහා අවස්ථාවක් කරගෙන ඇති බව පෙනේ. ඒ අතරම ජනාධිපතිවරණයේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමට උත්සාහ කරන සමහර දේශපාලන පක්ෂ ද නිරාගමිකයන්ගේ සහ බොදු විරෝධීන්ගේ එම උත්සාහය පිළිබඳ වචනයක් හෝ ප්‍රකාශ නොකරන තත්වයකට පත්ව තිබේ. එවැනි බොදු විරෝධී ව්‍යාපාරයක් රට තුළ ක්‍රියාත්මක වන විට රජයේ නිහඬතාව මහා සංඝරත්නයේත්, බොදු ජනතාවගේත් කම්පාවට හේතු වනු ඇත.

එම තත්වය අවබෝධ කරගෙන බුද්ධාගම පිළිබඳ රජයේ වගකීමත්, එම වගකීම ඉටු කිරීමේ කාර්යභාරය රජයට පැවැරී තිබෙන බවත්, ඊට වෙනස් ආකාරයකට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වීමක් බවත්, ජනාධිපතිවරයා විසින් ඉතා පැහැදිලිව අවධාරණය කර තිබේ. එය බුදු දහමේ ආරක්ෂාවත්, සංවර්ධනයත්, චිරස්ථායීතාවත් පිළිබඳව රජයේ වගකීම නිශ්චිත ලෙස තහවුරු කිරීමකි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර