ලෝකයේ සෑම ආගමකම පාහේ ශාස්තෘවරයා දෙවි කෙනෙකි. එසේත් නැතිනම් දේව දූතයෙකි. එක්කෝ ගැලවුම්කාරයෙකි. එහෙත් ශාස්තෘවරයා ලෙස මනුෂ්‍යයකු පෙනී සිටින ලෝකයේ එකම දහම බුදු දහමයි. බුදුන් වහන්සේ මනුෂ්‍යයෙකි. උන් වහන්සේ අප මෙන්ම දෑත් දෙපා සහිත, අප මෙන්ම මවුපියන් නිසා ලෝකයට පැමිණි මනුෂ්‍යයෙකි. අප මෙන්ම ලෙඩ දුක් විඳ, කල වයස ගෙවුණු මනුෂ්‍යයෙකි. එහෙත් උන්වහන්සේ අප සියලු දෙනාට වඩා උත්තරීතර මනුෂ්‍යයෙකි.
බුදු දහමේ එන සූත්‍ර ධර්ම බොහොමයකින් ද බුද්ධ චරිතයෙන් ද බුදුන් වහන්සේගේ ඒ උත්තරීතර මනුෂ්‍යත්වය හොඳින්ම හඳුනාගත හැකිය. මජ්ජිම නිකායේ චූල ගෝසිංග සූත්‍රය ඒ සඳහා එක් උදාහරණයකි. බුදුන් වහන්සේ එක් සමයෙක චූල ගෝසිංග නැමැති වනාන්තරය ආසන්නයේ ආරණ්‍යයක වැඩ සිටි සේක. උන්වහන්සේ හොඳින්ම දන්නා නවක භික්ෂූන් වහන්සේ තුන් නමක් මේ වනාන්තරයේ ජීවත් වූහ. මේ තිදෙනා බැලීමට යාමට බුදුන් වහන්සේ දිනක් තීරණය කළහ.
උන් වහන්සේ වැඩ සිටි අනුරුද්ධ හිමියන් ඇතුළු නවක භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න තුනක් විමසා සිටියහ. මෙහිදී අපගේ අවධානයට ගත යුත්තේ ඒ ප්‍රශ්න තුනෙහි හරයයි.
ඉන් පළමු ප්‍රශ්නය නම් අනුරුද්ධ සැප සනීප සුව පහසුව කෙසේද යන්නයි. ඊට පිළිතුරු වශයෙන් අනුරුද්ධ තෙරුන් වහන්සේ වදාළේ තමන් වහන්සේලා කිසිදු උපද්‍රවයකින් තොරව නිරෝගීව සැපසේ වෙසෙන බවයි. බණ පොතෙහි සඳහන් අන්දමට ඒ පිළිතුර ඇසූ බුදුන් වහන්සේ තුන් වතාවක් සාධු යැයි වදාළහ. සාධු යනු යහපත් යන්නයි. බුදුන් වහන්සේගේ දෙවැනි පැනය වූයේ ආහාර පානාදියෙන් කරදරයක් නොවේද යනුයි. එබඳු කිසිදු කරදරයක් නැතැයි පිළිතුරු වශයෙන් ලැබුණු විට බුදුන් වහන්සේ නැවත වතාවක් සාධු යැයි වදාළෝය. තුන් වැන්න වශයෙන් ඉතා වදගත් ප්‍රශ්නයක් බුදුන් වහන්සේ විමසූහ. එනම් ඔබ තිදෙනා සමගිව සිටින්නේ ද, පිනි සහ වතුර මෙන් පෑහී සිටින්නේ ද, එකිනෙකාට එරෙහිව වාද විවාද නොකර එකඟතාවෙන් සිටින්නේද, එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් ආදරයෙන් සෙනෙහසින් සිටින්නේද යන්නයි. ඊට පිළිතුර ලෙස තමන් වහන්සේලා සමගියෙන් සතුටින් වෙසෙන බව අනුරුද්ධ තෙරුන් වහන්සේ ප්‍රකාශ කළ විට මේ තරම් හොඳින් සමගියෙන් වෙසෙන්නේ කෙසේදැයි බුදුන් වහන්සේ පෙරළා ප්‍රශ්න කළ සේක. අනුරුද්ධ හිමියන් ඊට ලබාදුන් පිළිතුර කදිම එකකි. ස්වාමීනී. අප තිදෙනාට ඇත්තේ ශරීර තුනකි. එසේ වුවද අපි එක සිතින් ජීවත් වෙමු. ඇති තැන ද නැති තැනද එකිනෙකාට මෙත් වඩන්නෙමු.
මේ කාරණා සමාජයකට බද්ධ කළ විට පොදු සමාජයේ හා පුද්ගලයා තුළ යහපත ඇතිවීමට සර්වකාලීනව මොනතරම් බලපාන්නේ ද යන්න මැනැවින් පැහැදිලිය. අනෙක් අතට කෙනෙකුගේ දුක සැප විමසා බැලීමට වැඩම කිරීම, තොරතුරු විමසීම අනෙකා සැපයෙන් සතුටින් සිටින බව ඇසීමෙන් සතුටට පත්වීම බුදුන් වහන්සේගේ නිහතමානී, කාරුණික ගුණය මෙන්ම උත්තරීතර මනුෂ්‍යත්වය ප්‍රකට කරන්නකි.
බුදුන් වහන්සේගේ එම උත්තරීතර මනුෂ්‍යත්වය ප්‍රකට කරන තවත් උදාහරණයක් නම් අංගුත්තර නිකායේ නන්දක සූත්‍රයයි. වයස්ගත කාලයේ උන් වහන්සේ චාරිකාවේ යෙදෙන අවස්ථාවක ජේතවනාරාමයට වැඩමකරන විට භික්ෂූන් වහන්සේ බණ භාවනා කරන කුටිවල පහන් නිවා දමා තිබුණි. භික්ෂූන් වහන්සේ බණ මඩුවට එක්ව සිටින බව දැනගත් උන් වහන්සේ එතැනට වැඩම කළහ. එහෙත් එහි දොර වසා තිබුණි. ඇතුළත දහම් දෙසුමකි. එතැනදී බුදුන් වහන්සේ කල්පනා කළේ මේ මොහොතේ බණ මඩුවට ඇතුළු වීම යහපත් නොවන බවයි. දොර විවෘත කිරීමට බල කිරීම යහපත් නොවන බවයි. ඒ බණ මඩුවේ අවධානය බිඳ වැටෙන හෙයිනි. ඒ නිසාම උන්වහන්සේ ධර්මයට සවන් දෙමින් දෙපා වෙවුලද්දී, තුනටියේ වේදනා විඳිමින් සිටියදී බොහෝ වේලාවක් පිටතට වී සිටියහ. මනුෂ්‍යයකු වශයෙන් උන්වහන්සේගේ චර්යාවන් උත්තරීතර ගති ලක්ෂණ මෙමගින් ප්‍රකට කෙරෙයි. උන්වහන්සේ දෙවියකු නොව ගුණ නුවණින් අගතැන්පත් උත්තරීතර මනුෂ්‍යයකු බව සාධනය කොට පෙන්වන මෙවැනි උදාහරණ ඕනෑතරම් දැකිය හැකිය. මේ සියල්ල මනුෂ්‍ය අත්දැකීම්ය. මිනිසුන් ස්වාභාවිකව විඳින දේවල්ය.
සම්බුදු තෙමඟුල සමරන මේ අවස්ථාවේ වඩාත් වැදගත් වන්නේ බුදුරදුන්ගේ ගුණ මෙනෙහි කිරීමත් උන් වහන්සේගේ උත්තරීතර මනුෂ්‍යත්වය තේරුම් ගැනීමත් බුදු දහමේ දර්ශනය තේරුම් ගෙන එය පිළිපැදීමත්ය. සාම්ප්‍රදායිකව බුදුන් වහන්සේ හඳුනාගන්නට උත්සාහ දරනවාට වඩා බණ පොත, සූත්‍ර ඇසුරෙන් උන්වහන්සේ හඳුනා ගැනීමට උත්සාහ ගැනීම වැදගත්ය. යහපත් සමාජයක් ලෙස ඉදිරියට යාමේ දී මේ කරුණ නිවැරැදිව තේරුම් ගැනීම වඩා පලදායී වේ.
මෙම මනුෂ්‍යත්වය තුළ මතු කෙරෙන ඉතා වැදගත් කාරණයක් වන්නේ අල්පේච්ඡතාවයි. සරල කමයි. වඩාත් ලස්සන වන්නේ පුංචි දෙයයි. පුංචි කමට බුදු දහම වැඩි ඉඩක් ලබා දෙයි. බුදු දහමේ දැකිය හැක්කේ පුංචි ආශාවන් සහිත කෙනකු වීමට කෙරෙන පෙළඹවීමයි. අල්පේච්ඡතාව අහිමිකොටගත්විට සැනසීම අඩු වේ. සතුට සිතින් ඈත් වේ. බණ පොතෙහි ඉගැන්වෙන්නේ සන්තුස්ස ගුණයයි. එනම් ලද දෙයින් සතුටට පත්වීමයි. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව පහසුවෙන් නඩත්තු කළ හැකි අයකු බවට පත්වන්නේ මේ අල්පේච්ඡ ගුණයෙනි.
යහපත් ගුණ ගරුක මිනිසකු තේරුම් ගැනීමේ ඉතා වැදගත් කාරණා සතරක් බුදුන් වහන්සේ කොසොල් රජුට දේශනා කළහ. ඉන් එකක් නම් ශීලයයි. ශීලය යනු චරිතයයි. කල වයස ගෙවුණු පසු බැරි ගැහුණු පසු පන්සල්වල බිත්තිවලට හේත්තු වී නිදි කිරීමෙන් ශීලය ආරක්ෂා කළ නොහැකිය. පුද්ගලයකුගේ ශීලය, හැදිච්චකම, චරිතය තේරුම් ගැනීමට නම් ඔහු ළඟින් ඇසුරු කිරීම අවශ්‍ය වේ. අඳින රෙද්දෙන්, පොරවන සිවුරෙන්, හිනාවෙන් කතාවෙන් ශීලය සෙවිය නොහැක.
දෙවැන්න පුද්ගලයකුගේ වචනය නොහොත් කතාබහයි. ඔහු කතා බහ කරන දෙයින් ඔහුගේ සිත තේරුම් ගත හැකිය. ඔහුගේ හිත පිරිසුදු ද අපිරිසුදු ද දුෂ්ට ද අසත්පුරුෂද යන්න ඔහුගේ කතාවෙන් හෙළිදරව්වේ.
තෙවැනි කාරණය පුද්ගලයකුගේ ආත්ම ශක්තියයි. කිසියම් විපතක් වූ විට ඔහු ඊට මුහුණ දෙන ආකාරය අනුව ආත්ම ශක්තිය මැන ගත හැකිය. විපතකට මුහුණ දීමට ඔහුට ශක්තියක් ඇතිදැයි දත හැකිය. පුද්ගලයකු තේරුම් ගැනීමට බුදුන් වහන්සේ වදාළ සිව් වැනි කාරණය නම් ඔහු සමග සාකච්ඡා කිරීමයි. හැසිරීම්, ජීවිතය, සමාජය, දේශපාලනය ආදි බොහෝ දෑ සාකච්ඡා කිරීමෙන් ඔහුගේ නුවණ මැන බැලිය හැකිය.
එසේම බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී කොසොල් රජුට දේශනා කළේ සමේ පැහැයෙන් පිට පෙනුමෙන් රූපයෙන් පුද්ගලයකු තේරුම් ගත නොහැකි බවයි. නාගයා පිට පෙනුමෙන් ලස්සනය. එහෙත් විස ඝෝරය. කොටියාගේ බාහිර පෙනුම ලස්සනය. එහෙත් වැඩ අවලස්සනය. බුදු දහම තුළ අවධාරණය කෙරෙන්නේ සමේ පාට හෝ පිට පෙනුම බලා පුද්ගලයා කවරෙක් දැයි තීරණය නොකළ යුතු බවය. එහෙත් අප තවමත් බලන්නේම පුද්ගලයාගේ පිට පෙනුම, රූපය සහ සමේ පැහැය යි. පුද්ගලයකු එසේ තේරුම් ගැනීමෙන් සිදුවන්නේ සර්පයකු සමග ජීවත් වීමටයි.
බුදුන් වහන්සේ පැහැදිලි කළේ මැටිවලින් සකසා පිටින් ආලේප ගෑ ආභරණ මෙන් මිනිසුන් හැසිරෙන බවය. ජනයා ඔවුන්ට රැවටී ඔවුන් පසු පස යති. කිසි වටිනාකමක් නැත්තෝ වටිනා අය මෙන් ලෝකයේ ඇවිදිති. පිට පෙනුමට, බැල්මට, කතාවට, සිනාවට, ගමනට රැවටෙමින් ජයවේවායි කියමින් බොහෝ දෙනා ඔවුන් පසු පස යති. එහෙත් මෙසේ පෙනී සිටින්නන්ගේ අභ්‍යන්තරය අපිරිසුදුය. චේතනා කිළිටිය. පුද්ගලයකුට අවශ්‍ය වන්නේ සිත අභ්‍යන්තරයේ පිරිසුදු බවයි. මේ බව බුදුන් වහන්සේ සත්ත ජටිල සූත්‍රයේදී කොසොල් රජුට පැහැදිලි කළහ.
ඊර්ෂ්‍යාව කුහකකම, සිත් හී පුරවාගෙන ලක්ෂගණනින් දන්සල් දුන්නත් ඇත්තම බෞද්ධයකු මතුපිටට එන්නේ නැත. සිතේ දුෂ්ටකම අසත්පුරුෂකම තබාගෙන අහස උසට වෙහෙර විහාර ඉදි කළත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කොට මල් පහන් පිදූවත් ඔහු නියමාකාර බෞද්ධයකු වන්නේ නැත. අවශ්‍ය වන්නේ සිත පිරිසුදු කොට ගැනීමය. සත්වයාගේ අත පය ඇහැ කන හැදුණු පමණින් ඔහුගේ සිත සැදෙන්නේ නැත. මිනිසා යහපත් වන්නේ සිත පහදාගැනීමෙන් සිත පිරිසුදු කොට ගැනීමෙන් පමණි. බුදු දහම ඇතිවූයේ සිත දියුණු හිත හොඳ මිනිසා බිහි කිරීමේ පරමාර්ථයෙනි. කරුණාව මෛත්‍රිය පහළවන්නේ ඔවුන් තුළය.
එබැවින් බුද්ධ චරිතය හා බුද්ධ ධර්මය නිවරැදිව තේරුම් ගෙන ජීවිතය යහපත් කොට ගැනීමේ අරමුණෙහි පිහිටා ක්‍රියා කිරීම අවශ්‍ය වේ.
(*** සටහන – ගාමිණී කන්දේපොළ)