අනුන්ගේ ගීත ගැයීම යන මාතෘකාව විටින් විට කතාබහට ලක්වෙන එකකි. ඒ පිළිබඳ උදාහරණ ඕනෑතරම් දැක්විය හැක. මේ දිනවල ද දන්නෝ බුදුන්ගේ ගීතය හරහා නැවතත් අනුන්ගේ ගීත ගැයීම සහ ගීත විකෘති කිරීම පිළිබඳ උණුසුම් කතාබහක් පැතිර යමින් තිබේ. එය රාජ්‍ය නායකයින් මැදිහත් වන තරමට බරපතළ සිද්ධියක්වී ඇත. අනුන්ගේ ගී ගැයීම අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. එය කාලාන්තරයක් පුරා විවිධ පුද්ගලයින් අතින් සිදුවූවකි. විවිධ අවස්ථාවල මෙසේ අනුන්ගේ ගීත ගයා රටේ මාතෘකාවක් වූ ගායන ශිල්පීන් සහ ශිල්පිනියෝ ඕනෑ තරම් සිටිති. මේ ලිපිය හරහා අප එවැනි උදාහරණ කීපයක් පිළිබඳ මතකය අලුත් කිරීමට උත්සාහ ගන්නේ එම ලැයිස්තුවේ සිටින ගායක ගායිකාවන්ගේ තරාතිරම පිළිබඳව සිතා බලන ලෙසද මතක් කරමිනි. මන්ද යම් යම් සිදුවීම්වලට දොස් නගන පුද්ගලයින් ඒ දේම අතීතයේ සිදුකර ඇත. ඒ නිසාම එය දෛවෝපගත සරදමක් සේ පෙනේ.
බොහෝ දෙනා බොහෝ අවස්ථාවල විවිධ හේතු නිසා අනුන්ගේ ගීත ගායනා කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් අද එය අර්බුදයක්වී ඇත්තේ ඒ සිදුවීම තුළ කිසිදු සදාචාරයක් නැතිවීම සහ එය වාණිජ පරමාර්ථයෙන් කරන ව්‍යාපාරයක්වී ඇති නිසාය.
ඕනෑම ආධුනික ශිල්පියෙක් හෝ ශිල්පිනියක ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අනුන්ගේ ගීතයක් ගායනා කරමිනි. එය අද මෙන්ම එදා ද සිදූ වූ දෙයකි. අද සිටින ප්‍රවීණයන් බොහෝ දෙනා එදා පිබිදෙන ගායක පරපුර වැනි වැඩසටහන්වලදී අනුන්ගේ ගී ගයා ක්ෂේත්‍රය තුළ තැනක් හදාගත් අයයි. එදා එය අර්බුදයක් වූයේ නැත. එසේම ඒවා විකෘති වීමක් වූවායැයි චෝදනා ආවේද නැත. අද රියැලිටි වැඩසටහන් හරහා මෙය වඩාත් අර්බුදයට ගොස් ඇත්තේ එය තනිකර වෙළඳාමක්වී ඇති නිසාය. එසේම ඇතැම් විට එම ගීත මුලින් නිර්මාණකරුවන්ගේ කිසිදු අවසරයකින් තොරව විවිධාකාරයට වෙනස් කිරීම්වලට ද ලක්කර ගායනා කරන අවස්ථා ඇත. මෙය අද සංගීත ක්ෂේත්‍රය තුළ තිබෙන බරපතළ අර්බුදයක් බවට පත්වී තිබේ.
අනුන්ගේ ගීත ගායනා කිරීමේ අතීතය පිළිබඳ විපරම් කිරීමේදී උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැක. ඒවා නඩුවක් දක්වා දුරදිග ගිය අවස්ථා ද තිබේ.
විශාරද නන්දා මාලනී ග්‍රැමෆෝන් ගී නමින් ඊට පෙර සිටි ගායක ගායිකාවන් ගායනා කළ පැරණි ගී කැසට් පටයක් සින්ග් ලංකා ලේබලය යටතේ නිකුත් කර ඇත. මේ සිදුවීම අනුන්ගේ ගී ගයන බොහෝ දෙනා තමාගේ ගැලවීමට හෝ නිදහසට පාවිච්චි කරන උදාහරණයක්වී ඇත. නන්දා මාලනීට හොඳ නම් අපට නරකද කියන පිරිස් නැතුවා නොවේ.
නන්දා මාලනීගේම සිංදු අමිල් තරංග නම් සංගීත කණ්ඩායමක ගායකයෙක් ගායනා කළ සිදුවීමක් ද අපට මතකය. එම ගීත ගායනා කරන්නේ පිරිමි කටහඬකින් ද ගෑණු කටහඬකින්ද යන්න හරියටම සිතා ගැනීමට බැරි තරමට විකෘති වීමක් සිදුවී ඇති බවට විශාල කතාබහක් ඒ දිනවල ඇතිවිය.
බොහෝ දෙනා අනුන්ගේ ගීත ගායනා කිරීමේදී ඉදිරියට දාන්නේ ඒවා සංරක්ෂණය කිරීමට හෝ එම ශිල්පීන්ට උපහාර පිණිස ඒවා සිදු කරන්නේය යන අදහසයි. සැබෑවටම ඒවා සංරක්ෂණය සඳහා නැවත ගායනා කරන අවස්ථාවන් ද නැතුවා නොවේ. නමුත් බොහෝ විට සිදුවන්නේ බොර දියේ මාළු බානවා වගේ බිස්නස්ය.
ස්වාධීන අනන්‍යතාව සහිත ක්ෂේත්‍රයේ යම් තැනකට පැමිණි අයද කිසිදු හේතුවක් ඇතුව හෝ නැතුව මෙවැනි අනුන්ගේ ගීත ගැයීමේ පුරුද්දට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයන් දැකිය හැකිය.
නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව වැනි ගායිකාවන් තමන් ගායිකාවන් ලෙස යම් තැනක් අත්පත් කර ගැනීමෙන් පසු අනුන්ගේ ගී ගැයූ අවස්ථා මෙන්ම ඒ පිළිබඳ චෝදනාවට ලක්වූ අවස්ථාද තිබේ. නිරෝෂා මුලින් සුජාතා අත්තනායකයන්ගේ ‘ආදරේ මන්දිරේ’ ගීතය ද පසුව මාලනී බුලත්සිංහලගේ ‘හිමිනැති පෙමකට’ ගීතයද ගැයුවාය. මේවා මොන හේතුව නිසා නැවත ගැයුවාදැයි අපි නොදනිමු. අද ‘රිගින්ටෝන්’ හරහා මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරය ජයටම කෙරීගෙන යන අතර මේ නැවත ගායනා කිරීමද මීට සම්බන්ධ බවද අසන්නට ලැබේ. කූට ලෙස මුල් නිර්මාණකරුවන් රවටා ඔවුන්ගේ ගීත කොල්ලකන අවස්ථා ද මේ ‘රිගින්ටෝන්’ බිස්නස් එක හරහා ඉහළින්ම කෙරෙන්නකි.
සමිතා එරන්දතී මුදුන්කොටුව ද පැරණි ගීත රැසක් නැවත ගායනා කර ඇත. ‘සිළුමිණි සෑය වඳිම්’ ඇතුළු ගී රැසක් ඒ අතර වේ. මේ බොහෝ ගීතවල මුල් අයිතිකරුවන්ගෙන් මේ සඳහා අවසර ගත්තාදැයි නොදනිමු. මේ ඇතැම් ගීත නිර්මාණයවී ඇත්තේ ගුවන් විදුලි සංස්ථාව මගිනි. මේ ගීත බෙහොමයක් මුල් ගායනා ලෙසින්ම ගුවන් විදුලි සංස්ථාව තුළ සංරක්ෂණයවී ඇති බවද කියවේ.
සනත් නන්දසිරි ගායනා කළ ජනප්‍රිය ගීත නව පරපුරේ අය ගායනා කළ සිදුවීමක් පසුගියදා බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ‘විකසිත වත කමලේ’ යන සනත්ගේ ගීතය අමල් පෙරේරා නැවත ගායනා කිරීම මුල් ගීතවල අයිතිකරුවන් දන්නේවත් නැතැයි මාධ්‍ය වාර්තා කළේය. ඒ නවක ශිල්පීන් කිසිදු වගවිභාගයක් නැතුව පැරණි ගීත ගායනා කරන්නේ ප්‍රවීණයන් කෙරෙහි කිසිදු ගෞරවයක් ද නැතිවය.
භාතිය සන්තුෂ් දෙදෙනා ‘සිරිසඟ බොධි මාළිගාවෙදි’ ගීතය වෙනස් ආකාරයකට ගායනා කරමින් දැඩි විවේචනයට ලක්වූ ආකාරය ද මේ සඳහා සුවිශේෂ උදාහරණයකි. ඕනෑම ගායකයෙක් හෝ ගායිකාවක් මුල් ගීතයට සීයට සීයක් සමානව නැවත ගැයීමට දක්ෂතාවක් දක්වන්නේ නැත. නමුත් එය විකෘති කිරීමක් දක්වා යාම නම් සමාව දිය හැකි කරුණක් ද නොවේ.
මෙවැනි සිදුවීමකට තවත් කදිම උදාහරණයක් වන්නේ පණ්ඩිත් අමරදේව විසින් ගායනා කරනු ලැබූ ගීත රැසක් ඊට සමාන හඬක් ඇති ඩබ්ලිව්.ඩී. අරියසිංහ ලවා ගායනා කරවීමේ සිද්ධියයි. මේ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ඒ ගීත සංගීතවත් කළ කේමදාසයන් වීම මෙම සිදුවීම වෙනම තැනකට රැගෙන යාමට සමත් විය. මේ පිටුපස සිදුවූ ඇත්ත කතාව දන්නේ ඒ සඳහා සම්බන්ධ වූ අයමය. මේ හා සම්බන්ධව විවිධ කටකතා නම් බොහොමයක් පැතිරී ගියේය. ඒවායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් කලාකරුවන්ගේ කෙරුවාවල් පිළිබඳ රසිකයින්ට මෙවැනි සිදුවීම් හරහා යම් යම් ඉඟි ලැබේ.
මෙවැනි සිදුවීමක් දුරදිග ගිය අවස්ථාවකට උදාහරණයක් ලෙස ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ ගීතය සංගීත් විජේසූරිය නැවත ගායනා කිරීමේ සිද්ධිය දැක්විය හැකිය. මෙහි මුල් ගීතය ගායනා කර ඇත්තේ විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල විසිනි. හඞ්සන් සමරසිංහ රචනා කර ඇති මේ ගීතය සංගීත් විජේසූරිය නැවත ගායනා කිරීම නැවතුණේ අධිකරණය ඉදිරියට ගොස්ය. අධිකරණයෙන් බේරාගත් මෙවැනි සිදුවීම් කීපයක්ම පසුගිය දිනවල අපට අසන්නට ලැබුණි.
විටින් විට විවිධ ආකාරයට හිතු හිතූ හැටියට බොහෝ දෙනා නැවත නැවත ගායනා කළ ගීත රැසකට උරුමකම් කියන ගායකයෙක් ලෙස එච්.ආර්. ජෝතිපාල හැඳින්විය හැකිය. ජෝතිපාලගේ ගීත තරම් වෙනත් අය තම තමන්ට රිසිසේ ගායනා කළ වෙනත් ගායකයෙක් නැති තරම්ය. ඒ නිසාම මියගොස් වසර තිහකට ආසන්න වුවද ජෝතිපාලගෙන් යැපෙන පිරිස් අද ද බොහෝ වෙති. රූකාන්ත ගුණතිලක, නිමල් පීරිස් වැනි අය ජෝතිපාලගේ ගීත කැසට් පිටින් වෙළඳ පොළට නිකුත් කළහ. ඒ ඇතැම් නිෂ්පාදන නම් කර තිබුණේ ‘අසහාය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ට උපහාර පිණිස’ යන දවටනය සහිතවය. ජෝතිපාලගේ ගීත රියැලිටි වැඩසටහන් ව්‍යාප්ත වීම හරහා ද නැවත නැවත බොහෝ දෙනාට ගොඩයෑමේ මාර්ගය සාදන්නට සමත් විය.
සුරේන්ද්‍ර පෙරේරා මේ වැඩසටහන් හරහා ජනප්‍රිය වූයේ ද ජෝතිපාලගේ ගීත ගායනා කිරීම නිසාය. ඒ නිසා ඔහුට ජෝතිපාලගේ අඩුව පිරිමැසිය හැකි වනු ඇතැයි ඇතැම් විචාරකයින් පවා අදහස් පළ කළා අපට මතකය.
ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ද විවිධ අය විසින් නැවත ගායනා කර එම සිදුවීම උසාවියෙන් කෙළවර වූ ආකාරය අපට මතක් වේ. ක්ලැරන්ස්ගේ ගීත රජිව් සෙබස්තියන් ගායනා කිරීම හා ඒ සමග විජේවර්ධන පවුලේ උදවිය මේ සඳහා විරෝධය පෑම ප්‍රසිද්ධියට පත් කරුණකි. ක්ලැරන්ස් ගීත මේරියන් සංගීත කණ්ඩායම ද විටින් විට ගායනා කර ඇත. ඒ ගීතවලින්ම ඔවුන් ප්‍රසංග පවා පවත්වා ඇත. මේ සඳහා ද විරෝධතා එල්ල වූ බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. විජේවර්ධන පවුල මගින් ක්ලැරන්ස් ගීත රැසක අයිතිය කැසට් ආයතනයකට පැවරූ බවද අසන්නට ලැබේ. ඒ හරහා වෙනත් ගායක ගායිකාවන් පිරිසක් ලවා මේ ගීත නැවත ගායනා කිරීම ද සිදුවිය.
සුජාතා අත්තනායකගේ ගීත දැන් බොහෝ විට ගායනා කරන්නේ ඇයගේ සහෝදරිය වන රංජනී පෙරේරාය. නමුත් ඒ ඇතැම් ගීත සුප්‍රියා අබේසේකර සංදර්ශනවල ගායනා කරන අතර ඒ ගීතවල අයිතියක් සුප්‍රියාට දී නැති බව සුජාතා අත්නායක පසුගියදා පුවත්පත්වලට ප්‍රකාශ කළාය. සන්දනායක යුවළගේ ගීත ද මෙසේ සුප්‍රියා විසින් තමන්ගේ හඬින් නිතර ගායනා කරන බව පෙනේ.
සුනිල් ශාන්තගේ බොහෝ ගීත අයිවෝ ඩෙනිස්ගේ හඬින් ගයා ඇත. දැන් වෙනත් ගායකයින් විසින් ද මේ ගීත ගයා ඇත. ඒ ඇතැම් ගීත කුමන අරමුණින් ගැයුවාදැයි නොදන්නා මුත් ගීතයේ අයිතිය කලාවේ සුජාත භාවය ගැන මහා පුරසාරම් දොඩවන බොහෝ දෙනා කුමන හේතු නිසා හෝ අනුන්ගේ ගීත ගයා ඇත.
විජය කුමාරතුංගගේ ගීත පසු කාලයේ මංජුල වර්ණකුලගේ හඬින් ගයා ඇත. විජයගේ හඬට ඉතා සමීප හඬක් ඇති මංජුලගේ හඬින් ගැයූ මේ ගීත විකෘති කර ඇතැයි චෝදනා නොආ නමුත් කැසට් හා සී.ඩී. ලෙස වෙළඳපොළට නිකුත් කර ඇත.
‘මාස්ටර් සර්’ ගීතය ද විවිධ අය විසින් ගායනා කළ ගීතයකි. එහි මුල් ගැයුම නෙවිල් ප්‍රනාන්දු ගෙනි. පසුව එය නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරන ලදි. දැන් ඒ ගීතය බොහෝ දෙනා දන්නේ නීලාගේ ගීතයක් ලෙසය. ඇය ඇගේ ඒකපුද්ගල ප්‍රසංගය නම් කර ඇත්තේ ද ‘මාස්ටර් සර්’ නමිනි. එහි සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් පසුව ඒ ගීතය භාතිය සන්තූෂ් වෙත ලබා දුන් බවද එයට නීලා වික්‍රමසිංහ දැඩි ලෙස විරෝධය පෑ බවද මාධ්‍ය වාර්තා කළේය.
මේ ආකාරයට ගීත නැවත නැවත ගායනා කිරීම සඳහා තවත් උදාහරණ රැසක් සැපයිය හැක. මේ ගීත විවිධ අවස්ථාවල නැවත ගායනාවී ඇත්තේ විවිධ අරමුණු මතය. මේ ගැයුම් විකෘතිවීම් දක්වා පැමිණි අවස්ථා ද ඒ සඳහා සමාජ විරෝධයන් මතු වීම ද දැකිය හැකිය. කෙසේ වෙතත් මෙය පහසුවෙන් නතර කළ හැකි දෙයක් ද නොවේ.
මේ පිළිබඳ ඉතාම ලිබරල් මතවාදයක සිටින ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ අදහස වඩා වැදගත් යැයි සිතේ. ඔහු පවසන්නේ තමාගේ ගීත නම් ඕනෑ කෙනෙකුට වෙනත් ආකාරයකට වුවද ගායනා කිරීමට ඕනෑ වෙලාවක දීමට සූදානම් බවය. එයින් ඔහු තෘප්තියක් ලබන බවද ඔහු ආඩම්බරයෙන් පවසයි. ගීතයේ අයිතියට බැණඅඬගසා ගන්නා අයට සුනිල් පෙරේරාගේ මේ අදහස කදිම පිළිතුරකි. කවුරු කෙසේ ගැයුවද ගීතය මුල් ගැයුමේ අගය අඩු නොවන බව කියන ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් පවසන්නේ ‘වගේ අය වැඩිවෙන විට අගේ මගේ’ යනුවෙනි.