බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා ශ්‍රීමත් සිරිල් ද සොයිසා


ශ්‍රද්ධා සම්පන්න සිංහල බෞද්ධ මහා දානපතියන්, පඬිවරුන් හා දේශමාමකත්වයෙන් යුත් ප්‍රභූවරුන් නිසා එදා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට සිදු වූ සේවාව මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. අද ද එබඳු උතුමන් විරල නැත. ඒ අතුරින් ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු මෙන්ම විශිෂ්ට සමාජ සේවකයකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 125 වැනි ජන්ම දිනය අදට (26) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්ෂ 1896 ඔක්තෝබර් 26 වැනිදා බලපිටියේ බෞද්ධ ප්‍රභූ පවුලක උපත ලද මෙම කුමරා අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ් හා කොළඹ රාජකීය යන උසස් විදුහල්වලිනි. කොළඹ රාජකීය විදුහලේ ද්විතීයික අධ්‍යාපනය ලැබීමෙන් පසු කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥයකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව සිය නීති වෘත්තිය සඳහා තෝරා ගන්නේ කළුතර දිසා අධිකරණයයි.

දිනපතා අධිකරණයේ තම සේවාවෙන් පසු සවස ඒ ආසන්නයේ දුම්රිය මාර්ගය අබියස ඇති බෝධීන්වහන්සේට තෙල් මල් පුදා බුදුන් වැඳ ආශිර්වාද ලබාගැනීම සිරිතක් කරගත් මෙතුමා මෙම ස්ථානය පිළිබඳව මහත් භක්තියෙන් හා ගෞරවයෙන් කටයුතු කළේය. 

ඉන් පසු තම හිතවත් කිහිප දෙනකු සම්බන්ධ කරගෙන 1951 දී කළුතර බෝධි භාරකාර මණ්ඩලය ආරම්භ කළේය. එම ස්ථානය මෙන්ම ඒ ඉදිරිපිට ඇති කඳුගැටයේ චෛත්‍යයක් ද ආරම්භ කොට ගාලු‍ පාරේ යන එන බෞද්ධ අබෞද්ධ සියලු‍ දෙනාගේම පහන් සිත් ජනිත කරවන අලංකාර පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට තම ධනය මෙන්ම ශ්‍රමය ද වැය කළ අතර අද මෙම ස්ථානය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පුද සැලකිලි ලබන උතුම් දර්ශනීය ස්ථානයක් බවට පත්ව තිබීම අපගේ ද අමන්දානන්දයට හේතුවකි. 

කළුතර ප්‍රදේශයේ සියලු‍ බෞද්ධාගමික ස්ථානවල සුබසිද්ධිය සඳහා සුවිශාල සේවාවක් සිදු කළ එතුමා විශේෂයෙන්ම අලු‍ත්ගම කන්දෙ විහාරය, මොරගල්ල ආරණ්‍ය සේනාසනය, පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙන සහ කොළඹ බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටියේ ගංගාරාමය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය ආදී විහාරස්ථානයන්හි දියුණුව සඳහා අපමණ වෙහෙසක් ගත් අතර ඉමහත් පරිත්‍යාග ද පිරිනැමුවේය.

කතරගම කිරිවෙහෙර සංවර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස පත් වූ මෙතුමා මහත් භාරදූර කාර්යයකට අත තැබුවේය. එනම් බුදුරදුන් මොහොතක් සමවත් සුවයෙන් වැඩ සිටි පූජනීය කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම හා කතරගම පූජා භූමියට අවශ්‍ය මහාමාර්ග හා විශ්‍රාම ශාලාව ආදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමය.

ඉතාමත් ඉක්මනින් කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කොට 1970 පෙබරවාරි 26 වැනිදා එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මහතාගේ සුරතින් එය විවෘත කරනු ලැබීය. මේ කටයුතු සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ද නොමඳව ලබාගැනීමට මෙතුමා සමත් විය. මෙතුමාගේ අනගි ශාසනික සේවාවන් පිළිබඳව අවබෝධ කරගත් බෞද්ධ ප්‍රභූවරු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ සභාපති ලෙස ඒකඡන්දයෙන් පත් කරගත් අතර, ඒ තුළින් ශ්‍රී ලංකාව පුරා වෙසෙන බෞද්ධයන්ගේ, බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සුවිශාල කාර්යයන් ගණනාවක් කරනු ලැබීය. 

කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල මෙතුමාගේ පුරෝගාමීත්වයෙන් ඉදි කරන ලද්දකි. එම ගොඩනැගිල්ලෙන් ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යොදවනු ලබන්නේ තරුණ බෞද්ධ සංගමය මගින් සිදු කරන සේවාවන් වෙනුවෙනි. 

ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ සභාපති ලෙසත් මෙතුමෝ ඉමහත් සේවාවන් සිදු කළහ. කළුතර නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කරද්දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා සමීපව ඇසුරු කළ සොයිසා මහතා වසර 12ක් පමණ සෙනට් සභාවේ සභාපතිවරයා ලෙස ශාසනික, ජාතික හා සමාජ සේවා කටයුතු පුළුල් ලෙස සිදු කළේය.

ඒ අතුරින් මගේ මතකයට නැගෙන්නේ අපගේ ගුරු දේවයන්වහන්සේ විසින් ප්‍රකාශ කළ කලපලු‍වාව ගෝතම තපෝවනයේ ආරම්භය හා ඉතිහාසය පිළිබඳව පැහැදිලි කිරීමේ දී එළි වූ විශේෂ කරුණක් පිළිබඳවය. ශ්‍රී ගෝතම තපෝවනය ආරම්භ කිරීමෙහිලා මුල් වූයේ ශ්‍රීමත් ඒ.ඊ. ද සිල්වා මහතා හා එම ආර්යාවය. මේ පවුල ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සමීපතමයින්ය. 

ඒ අයගේ ආරාධනාව මත සෙනට් සභාවේ සභාපති ලෙස ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ගෝතම තපෝවනයට පැමිණියේය. ඔහුගේ නෙත එක්වරම යොමු වූයේ ගෝතම තපෝවනයේ භික්ෂුන්වහන්සේලා භූමිතෙල් ලාම්පු එළියෙන් තම පාඩම් කටයුතු හා වෙනත් ආගමික කටයුතු සිදු කරන අයුරුය. මේ පිළිබඳව තම සිතට නැගුණේ අනුකම්පාවකි. ඊට පසු දිනම රජයේ බලධාරීන් ලවා සෑහෙන ඈතක සිට විදුලි රැහැන් ඇද විදුලි ආලෝකය තපෝවනයට ලබාදීමට කටයුතු කළේය. ඒ අවට කලපලු‍වාවේ සියලු‍ පවුල්වලට විදුලි ආලෝක ලැබුණේ ඉන් පසුවය. 

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා බෞද්ධ පුනර්ජීවනය උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි, මහා දානපතියෙකි. එපමණක් නොව දක්ෂ මෙන්ම දැහැමි ව්‍යාපාරිකයෙකි. පළමුව ‘ස්වර්ණපාලී’ නමින් බස් රථයක් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ අතර පසුව සවුත් වෙස්ටර්න් බස් රථ සමාගම ආරම්භ කළ අතර එය ලක්දිව විශාල මෙන්ම ප්‍රධාන පෞද්ගලික බස් රථ සමාගම විය. 1956 දී රජය මගින් බස් ජනසතු කරන ලද අතර එතුමා ඉතා සතුටින් එම බස් රථ සියල්ල රජයට ලබාදුන්නේ හිස්ව නොව සියලු‍ බස් රථවල ඉන්ධන ටැංකි පුරවාලමිනි.

එමෙන්ම පළමු වරට බලපිටියේ පේෂ කර්මාන්ත ව්‍යාපෘතිය ආරම්භ කොට සිය ගණනකට රැකියා අවස්ථා ලබාදුන්නේය. අතින් වියන ලද බලපිටියේ සරම්, තුවා, ඇතිරිලි එකල ඉතා ජනප්‍රියත්වයට පත් වී තිබුණි.

මෙම ශ්‍රේෂ්ඨ මානව හිතවාදී මිනිසාට ගරු කිරීමක් වශයෙන් නයිට් පදවියක් හිමි විය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ සොහොයුරු වී.ටී. ද සොයිසා මහතා ද තම සොහොයුරා සමග උරෙනුර ගැටී මෙම සේවාවන් සඳහා දායක වීම කැපී පෙනෙන සංසිද්ධියකි. මෙම දෙදෙනාගේම අභාවයෙන් පසු එම අනගි සේවාවන් තම ලොකු තාත්තා හා පියාණන් වෙනුවෙන් පැවැරුණේ දේශමාන්‍ය අජිත ද සොයිසා සහ දේශබන්දු තිලක් ද සොයිසා යන දෙසොහොයුරන්ටය. 

කළුතර බෝධි පරිශ්‍රය ඉතා දර්ශනීය ලෙසත් යනෙන දකින සැදැහැවතුන්ගේ සිත් සතන් සැදැහෙන් පිනා යන සේ නිර්මාණය කර තිබීම පුදුම සහගතය. එම පුණ්‍ය භූමිය තුළ ධර්මශාලා, වටදාගෙය සහිත බෝධි, අංගසම්පූර්ණ ලැගුම් ගෙයක් හා යටිතල පහසුකම් ද සම්පූර්ණ වූවා පමණක් නොව කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් සිදු කෙරෙන දන්නා වූ සේවාවන් ප්‍රමාණාතික්‍රාන්තය. 

සෑම සෙනසුරාදා හා පොහෝ දිනවල ධර්ම දේශනා, ශීල භාවනා වැඩසටහන් මෙන්ම එයට සහභාගි වන උපාසක උපාසිකාවන්ට දන් පැන් පිළිගැන්වීම ද සුවිශේෂීය. ඒ අතර ප්‍රදේශයේ විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධන කටයුතු, දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු, ප්‍රාචීන අධ්‍යාපනය ලබන දිවයිනේ තරුණ භික්ෂුන්වහන්සේලාට සහ දහම් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සියයකට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ගිරිභාණ්ඩ ප්‍රදානය කිරීම, පසුගිය මෑත කාලයේ දී සිදු කරන ලද නිතර පින් වැඩෙන පින්කම්ය.

ඊට අමතරව කළුතර නාගොඩ රෝහලේ භික්ෂු වාට්ටුවක් ඉදිකිරීමට සම්මාදන් වීම, වැඩිහිටි නිවාස දෙකක් සාදා පවත්වාගෙන යාම, මෙහෙණි ආරාමයක් පවත්වාගෙන යාම, තම සොයිසා පරපුරට අයත් බලපිටියේ පාරම්පරික ඉඩමේ පසුගිය සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ පවුල් හැත්තෑවක් සඳහා නිවාස 51ක් සාදවා පිරිනැමීම, පරලොව සැපත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා, වී.ටී. ද සොයිසා මහත්වරුන් ගෙන ගිය සුවිශාල සේවාවන්ට කෘතගුණ සැලකීම් වස් සිදු කරන ලද අනුස්මරණීය සේවාවන්ගෙන් අතලොස්සකි.

ඊටත් වඩා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට මූලස්ථානයක් හෝ කාර්යාලයක් හෝ නොමැති අවස්ථාවක රජයෙන් ලැබුණ කොළඹ වැල්ලවත්තේ භූමි භාගයෙහි රුපියල් කෝටි 6කට නොඅඩු වියදමින් දේශමාන්‍ය අජිත ද සොයිසා මහතා ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාව වෙනුවෙන් තම පෞද්ගලික ධනය යොදවා ඉදි කොට පූජා කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභා කාර්යාලය ශ්‍රී ලංකා අමරපුර වංශයටම කරන ලද උතුම්ම සේවාවකි.

මෙම ගොඩනැගිල්ල ‘ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරය’ නමින් නම් කළේ ද එතුමාට උපහාර පිණිසය. එපමණක් නොව 2020 අගෝස්තු 16 වැනිදා සිට මේ දක්වා එම සංඝ සභා ගොඩනැගිල්ලේ ආරක්ෂාව හා පරිපාලන කටයුතු සඳහා වගකීම ද අජිත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරගෙන යනු ලබන අතර ඒ සඳහා භාරයක් ද ස්ථාපිත කොට ඇත.

මේ අනුව සොයිසා පරපුරේ ශ්‍රී නාමය අනාගත වංශයට ද මහත්, සුවිශාල හා විශේෂිත වන අතර මෙම කටයුතු තෙවන පරම්පරාව මගින් ද අඛණ්ඩව නොපිරිහෙලා ඉටු කරගෙන යාම සඳහා අශාන් ද සොයිසා පුත් රුවනට වගකීම් පැවැරෙන සේ හුරුපුරුදු කිරීම ද අනලස්ව සිදුවන පරමාදර්ශී ක්‍රියාවක් සේ අපි දකිමු.

අද දින සිය 125 වන ජන්ම දිනය සමරන දිවංගත ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාණන් මේ සියලු‍ කටයුතු දෙස දිවැස් හෙළා බලමින් ආශිර්වාද කරන බව අපගේ විශ්වාසයයි.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාට අජරාමර උතුම් නිවන් සම්පත් ලැබේවායි පතමි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, මහා මහෝපාධ්‍ය, අග්ගමහා පණ්ඩිත දොඩම්පහල සිරි චන්ද්‍රසිරි මහ නා හිමි