භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කිරීමේ පුවත ජූනි 12 වැනිදා අප පුවත්පතේ පළ වූයේය. එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචාරක කර්මාන්තයට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල වූ ආනයන සීමාකරණයට යටත් ව තිබූ භාණ්ඩ රාශියක ආනයන සීමා ඒ අනුව ඉවත්කර ඇත. ආනයන සීමාකරණයට ලක්ව ඇති භාණ්ඩ ලැයිස්තුව 1216 දක්වා අඩුවී ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.
ආනයන සීමා කිරීමෙන් සිදුවන අතුරු ප්‍රතිඵල සියල්ල නොතකා පසුගිය වසර දෙක තුළ විශේෂ ගැසට් පත්‍ර මගින් විවිධ ආනයන භාණ්ඩ සීමා කිරීමට රජයට සිදුවිය. රටේ විදේශ සංචිත සිඳී යාම නිසා මූලික අවශ්‍යතා වූ ඉන්ධන හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිසි වෙලාවට ආනයනය කර ගත නොහැකි විය. ගව් ගණන් දිග ඉන්ධන හා ගෑස් පෝලිම් රට තුළ සුලබ විය. මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමේ හැකියාව පවා අහිමි වූයෙන් රටේ ජනයා පාරට බැස උද්ඝෝෂණය කළෝය. විදුලිය නිපදවා ගන්නට ප්‍රමාණවත් ඉන්ධන නොතිබූ බැවින් ජනයා අඳුරේ අතපත ගෑවෝය. මෙම තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් ආනයන ගෙන්වා ගැනීම උදෙසා රටේ සියලු ආනයන අවශ්‍යතා කැපකොට විදේශ විනිමය ඉතිරිකර ගන්නට සිදුවිය.
ඒවා නිසි සැලැස්මක් සහිතව පැන වූ ආනයන සීමාකරණය නොවන බව පැහැදිලිව පෙණින. ආනයන සීමා කිරීමෙන් ඉතිරි කර ගන්නට උත්සාහ දැරූ විදේශ විනිමය මෙතෙකැයි ගණන් බැලීමක් කරනු එම අවස්ථාවල අපි නොදිටිමු. එම ආනයන සීමාකරණය ඔස්සේ රට තුළ සිදු වන නිෂ්පාදනය කෙතරම් දුරට අඩාල වේද යන්න පිළිබඳ ගණන් බැලීමක් ද සිදු නොවීය.
මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩවල සංයුතිය සලකා බැලීමේ දී දේශීය කර්මාන්තවලට ඒවා නැවැත්වීමෙන් සිදුවන හානිය ගැන යම් අදහසක් ඇති කර ගත හැකි ය. 2017 සිට 2020 දක්වාම මෙරටට ආනයනය කරන භාණ්ඩ වලින් සීයට 49 ක් පමණ අතර මැදි භාණ්ඩ වේ. සීයට 14 ක් පමණ ආයෝජන භාණ්ඩයෝය. අතරමැදි භාණ්ඩ යනු තවත් කර්මාන්තයක අමුද්‍රව්‍ය නැතහොත් නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙනත් භාණ්ඩයෝය. ප්‍රාග්ධන භාණ්ඩ යනු නිෂ්පාදන කර්මාන්ත උදෙසා උපකාරී වන යන්ත්‍ර සූත්‍ර ආදිය යි. ඉදිකිරීම් කර්මාන්තයටත්, සංචාරක කර්මාන්තයටත්, ස්වයං රැකියාවලටත් අදාළ භාණ්ඩ රාශියක් මේ අනුව සීමාකරණයට ලක් විය. නිෂ්පාදන කර්මාන්ත හා බැඳුණු සේවාවලට අදාළ, පරිගණක හා ජංගම දුරකතන ගෙන්වීම ද සීමා කෙරිණි.
පසුගිය වසරේ රටේ ආර්ථිකය සියයට 7 කින් පමණ සංකෝචනය වීමට ද මෙම තත්ත්වය බෙහෙවින් බලපෑවේය. 2023 වසරේ පවා ආර්ථිකය සියයට 4 කින් පමණ සංකෝචනය වෙතැයි අපේක්ෂා කෙරේ.
ගෝලීයකරණයට ලක් වූ මේ යුගයේ රටක දේශීය කර්මාන්ත හුදෙකලාව පවතින ඒවා නොවේ. අපනයනය මූලික කරගත් නිෂ්පාදන කර්මාන්තයේ දී සාම්ප්‍රදායික නිෂ්පාදන සාධක පිළිබඳ සංකල්ප මේ වන විට වෙනස් වී තිබේ. අතීතයේ දී මෙන් නූතන ලෝකයේ කර්මාන්ත ස්ථානගත වනුයේ හුදෙක් අමුද්‍රව්‍ය, ඉන්ධන හා වෙළෙඳපොළ සමීපතාව පදනම් කරගෙන නොවේ. අමුද්‍රව්‍ය හා ඉන්ධන බොහෝ අවස්ථාවල ආනයනය කරන ලද ඒවාය. බොහෝ විට ලාභ ශ්‍රමය හා සෘජු විදේශ ආයෝජන මත කර්මාන්ත ස්ථානගත වේ.
ස්වයං පෝෂණය පිළිබඳ මතවාද ද දැන් යල් පැන ගොස් ඇත. විදේශ වෙෙළඳාම උදෙසා රටක් නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන්නේ නම් විදේශ වෙළෙඳ පොළේ තරග කළ හැකි ගුණාත්මක බවෙන් යුතු අඩු නිෂ්පාදන වියදමකින් නිපදවන භාණ්ඩවලට රටක් ප්‍රමුඛතාව දිය යුතු වේ. ඇතැම් භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීමේ දී වැයවෙන නිෂ්පාදන වියදම අධික නම් ඒවා ආනයනය කර, විදේශ වෙළෙඳපොළට ලාභදායීව ඉදිරිපත් කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය තෝරා ගැනීම සාපේක්ෂ වශයෙන් වාසිදායකය.
රටක විදේශ වෙෙළඳාම ද හුදෙකලාව පවතින්නක් නොවේ. විදේශ වෙෙළඳාමේ වාසි තනි අතට ගලා එන්නේ නැත. එම නිසා ආනයන නවතා අපනයන වර්ධනය පමණක් සිදු කිරීමට මාන බැලීම මුග්ධ ක්‍රියාවකි. ද්වි පාර්ශවික හා බහු පාර්ශ්වික වෙෙළඳ ගිවිසුම්වලට එළැඹීමේ දී ආනයනය සහ අපනයනය යන කාරණා දෙකම වැදගත් වේ.
නොබෝදා ආනයන සීමා ඉවත් කර ඇති භාණ්ඩ බොහොමයක් රටේ ඉදි කිරීමේ කර්මාන්තය ඉහළ නැංවීමට දායක වන ඒවාය. සංචාරක කර්මාන්තයට දායක වන, ඇතැම් පාරිභෝගික භාණ්ඩ ද ඒවා අතර වෙයි. ඇතැම් පාරිභෝගික භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීම රට තුළ උද්ධමනය අඩු කිරීමට ද හේතු වේ. එම නිසා සමස්තයක් වශයෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීම, ආර්ථිකය වර්ධනය වීමට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් අවසාන වශයෙන් සිදුවිය යුත්තේ, රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගොස් සමස්තයක් වශයෙන් නිෂ්පාදනය වර්ධනය වීමයි. කෙසේ වුවද අදුරදර්ශී ලෙස පරිභෝජන භාණ්ඩ රට තුළට ගෙන්වීම දිරිමත් කළ යුත්තක් නොවේ.
(***)