ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය සංවිධානය කළ 2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මනෝහරි ජයලත් රචනා කළ ‘‘ගිරිජා’’ නවකතාවයි.
මෙය මනෝහාරිගේ දෙවැනි නවකතාවයි. ‘‘සංසක්කාරී’’ ඇගේ ප්‍රථම නවකතාව වන අතර ‘‘කඩදොර’’ නමින් නවකතාවක් ද මෑතකදී ඇය රචනා කළාය. මෙම සංවාදය මනෝහරි ජයලත් සමඟ පැවැත්වෙන්නේ එම ‘‘ගිරිජා’’ නවකතාව පසුබිම්කොට ගෙනය.
• ‘‘ගිරිජා’’ ඔබේ දෙවැනි නවකතාව. ඔබේ ප්‍රථම නවකතා වූ සංසක්කාරී වගේම මේ නවකතාවත් නුවර යුගය කේන්ද්‍ර කොටගත් එකක්. නවකතා දෙකේම කේන්ද්‍ර චරිත ස්ත්‍රීන් වනවා වගේම ඔවුන් විවිධ තලවලින් පීඩනයට ලක්වන චරිත. මේ ගැන යමක් කියන්න පුළුවන්ද?
ස්ත්‍රියක් විසින් කරනු ලබන ඕනෑම කාර්යයක ස්ත්‍රීත්වයේ නැඹුරුතාව සහ හැඩ මතුවන එක වැළැක්විය නොහැකි කාරණාවක්. ඒ වගේම ඒක වළක්වන්න අවශ්‍යත් නෑ. ඒක මතුවෙන්න ඉඩ හරින්න ඕනෑ. මමත් ස්ත්‍රියක් නිසා සංසක්කාරී හා ගිරිජා නිර්මාණය වීමේදී ස්ත්‍රීවාදී පැවතුම් හා ස්ත්‍රීවාදී ඍජු ගති නැඹුරුතා පිළිබිඹු වෙනවා ඇති.
ස්ත්‍රිය තමයි ඕනෑම සමාජයක යාන්ත්‍රණය. ඒ සමාජයේ හැඩය ඇයයි. කවර යුගයේදීත් ඒක එහෙමයි. ඒ නිසාම ඇය ආරක්‍ෂිත ස්ථානයක සිටිය යුතුයි. ස්ත්‍රීවාදීන් ඊට එකඟ නැතුව ඇති. ඒ ස්ත්‍රීවාදය හා ආරක්‍ෂිත ස්ථානය පිළිබඳ අනවබෝධය නිසයි. ස්ත්‍රියකට තාඩන පීඩන ඇති වන්නේ නූගත් ගෝත්‍රික අසංවර සමාජවල බව මම විශ්වාස කරනවා. ඒත් සංසක්කාරී - ඩිංගිත්තිත් ගිරිජාත් ඒ කුලකයට ඇතුළත් නැහැ.
ගිරිජා නවකතාව ගත්තොත් එය රජ සමයෙන් වර්තමාන පාලන ස්වරූපයට දැවැන්ත පරිවර්තයකට මුහුණ දෙන යුගයක්. සමාජයේ ආර්ථික රටා පමණක් නොව කුල සිරිත් පවා අභියෝගයට ලක්වන යුගයක්. රම්මා හා ගිරිජා ඒ අභියෝග හඳුනාගන්නා සහ ඒවාට මුහුණදීමේ පිළිවෙත ඉඳුරාම වෙනස්.
ගිරිජා අතීතයෙන් වර්තමානයට පැමිණ සිටින්නියක්. එහෙයින් ඇය වර්තමානයට බොහෝ පණිවිඩ ගෙනැවිත් තිබෙනවා. ඔවුන් දෙදෙනාම ලක්වුණේ එදා සමාජයේ පොදු තාඩන පීඩන සහ කුල සිරිත් ගැමි සිරිත්වලින්. ඔවුන් ඒවාට මුහුණ දුන්නේ ස්ත්‍රීත්වය තුළින්මයි. පුරුෂයකුට තරමටම අභියෝග ජයගන්නට ස්ත්‍රියකට පුළුවන්. සමහරවිට ඊට ලාලිත්‍යය හා නිර්මාණශීලීත්වය එකතුවීමෙන් එය වඩාත් සිත්ගන්නාසුළු වේවි.
මම හිතන්නේ ස්ත්‍රීත්වය නිසාම ඇතිවන අභියෝගයකදී ස්ත්‍රියක් ලෙසම විනා පුරුෂත්වය ආරූඪ කරගෙන ඒ අභියෝග ජයගන්න බෑ. අභියෝග, තාඩන පීඩන ජයගැනීමේ දී ස්ත්‍රියකට නිරන්තරයෙන් සන්නද්ධ විය යුතු අවි තිබෙනවා. ඒ අවි ගැන ගිරිජා තුළ කියැවෙනවා. විශ්වාසය රැකීම, වගකීම් ඉටුකිරීම, පවුල් සංස්ථාව ගොඩනැගීම, නිර්ව්‍යාජවීම වගේ ප්‍රණීත දේවල්. මේවායින් තමයි ස්ත්‍රීන් මෘදු බව තුළම යකඩ ගැහැනුන්වන්නේ.
• ‘‘ගිරිජා’’ නවකතාවේ ගිරිජා වගේම ඇගේ සොයුරිය වන ‘‘රම්මා’’ ස්ත්‍රීන් දෙදෙනකු වුවත් එකම ස්ත්‍රිය තුළ වන නිර්මාණශීලීත්වය හා අධිෂ්ඨානශීලී බව ඔබ නිර්මාණය කරනවා යැයි කෙනෙකු කීවොත් ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ප්‍රබන්ධ කතාවක් ලියලා හමාර කළාට පස්සේ මට ඒක දැනෙන්නෙ ටිකක් දුරින්. ඇත්තටම ඒක සමුගෙන සැතපුම් දහස් ගණනක් ඈතට ගිය කිට්ටු නෑදෑයෙක් ගැන ඇතිවන හැඟීමකට සමාන දෙයක්. ගිරිජා සහ රම්මා කියන චරිත දෙකටම මම ගොඩක් ආදරේ කළා. ඇත්තටම ඉන් වැඩියෙන්ම ආදරේ කළේ රම්මාට. ගිරිජාත් රම්මාත් එකම ගැහැනියකගේ දෙමුහුණුවර කියලා හිතෙනවානම් මම හිතන්නේ පාඨකයකුට ඒ පූර්ණ නිදහස තියෙන්න ඕනෑ.
අපි කා තුළත් අනෙකෙක් ජීවත් වෙනවා. අභියෝගයකදී කඩා වැටුණත් ඊළඟ තත්පරේදී අපව නැගිට්ටවන්නේ අප තුළ ජීවත්වන ඒ අනෙකායි. ගිරිජා ලිවීමේදී මට නම් ඔවුන් දෙදෙනා සහෝදරියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ඇතුළන්තය හඳුනාගෙන තිබීම ඒ සහෝදර බැඳීම ඉතා ගැඹුරින් ආරක්‍ෂා කරගැනීමට ඉවහල් වෙනවා. ලොව පහළවන මිනිස් බැඳීම් තුළින් අතිසංවේදී බැඳීම සහෝදර බැඳීමයි. ඒ හරියට තමන්ගෙ සමානයා මුණ ගැසීමක් වගෙයි. මම ගිරිජා කියන ප්‍රබල චරිතය තුළ ආරක්‍ෂාව ලබන රම්මා නිර්මාණය කළා. ආත්මීය බන්ධනයක් බොහෝ දැඩිවන විට එක් චරිතයකින් අනෙක් චරිතය වෙන්වෙනවා වෙනුවට ඔවුන් එකම චරිතයේ දෙපැත්තවීම කෙසේ වළකන්නද?
• මෑතකදී නිකුත් වූ ඔබේ අලුත්ම නවකතාව වන ‘‘කඩදොර’’ ද ඇතුළු ඔබගේ නවකතා ත්‍රිත්වයේම ඇති සුවිශේෂී බව නම් සිද්ධි හා චරිත නාටකීයව ගොඩනැංවීමයි. එය වර්තමාන සිංහල නවකතාව තුළ සුලභ නොවන දෙයක්. නවකතාවේ මේ නාටකීය ගොඩනැංවීම ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි.
කියැවීමේදී මට තිබෙනවා රස – නීරස හා කැමැති - අකැමැති කුලක. වාර්තාමය ශෛලියෙන් යුතු පොත් කියවීම තරමක් විඩාබරයි. ඒ නිසාම මම මේ ශෛලියෙන් ලියනවා වෙන්න ඇති. එයින් මම අදහස් කරන්නෙ නෑ පාඨකයා සිහින ලොවකට ගෙනයෑමෙන් වැලකී ඔවුන් පාඨක තනතුරෙහි තබා කතාව කීම අඩුවක් හැටියට. ඒ ශෛලීන් දෙකෙන් මා වඩාත් රසවත්වන්නේ මේ කතා කීමේ ශෛලිය තුළයි.
පාඨකයන් නිර්මාණාත්මක ලොවකට ගෙනයාමටත් ඔවුන් එහි සැරිසරනවා දැකීමටත් නාටකීය ශෛලියෙන් ප්‍රබන්ධයක් කිරීම හරිම අසීරු කාර්යයක්. අපි ජීවත්වන වර්තමාන ස්වාභාවික ලෝකය හා සමාන්තර වෙනත් ලෝකයක ජීවත්වීමට සිදු වෙනවා. ඒ අර ප්‍රබන්ධයට අදාළ ලෝකයේ. ඉතිහාස කතාවක් ලියනවිට ඒ ඉතිහාසගත නගරයටම, ගමට, රජමැදුරට ඇතුළු වෙන්න වෙනවා. එතකොට ජීවමානව කතාව ලියැවෙනවා.
ගිරිජාත් එහෙමයි. රජ සමයේ ඉතා තෘප්තිමත් ආර්ථීක රටාවක ස්වකීයත්වය රැකගෙන ආ පවුල්වලට කිසිදා නොදුටු නාඳුනන රැජිනකට යටත් වී සිඳුණු හිසක් හා බිඳුණු පයක් එක්ක ජීවිත අරගලයක නිරත වෙන්න වුණා. මම ගිරිජාත් වුණා. රම්මාත් වුණා. කෙනෙක් විශ්වාස නොකළත් මම සුන්දරාත් වුණා. නාටකීය ස්වරූපයක් කතාවකට එක් වෙන්න ඒ ඒ චරිතවලට සාධාරණව පණ පොවන්න වෙනවා. ඇත්තෙන්ම චරිතය රඟපාන්නෙ නැත්නම් නාටකයක් නෑ. හැබැයි ඒක බරපතළ රංගනයක්. මට ලියන මේසයක් නැහැ. පෑන් නැහැ. මට දැනෙන්නේ ඒවා චරිතයක් තුළට කාවදින්න බාධා වෙන මෙවලම් හැටියට. මම ලියන්නේ දුරකථනයේ. ඒ නිසා මට ඕනෑම පරිසරයක ඒ අය එක්ක ජීවත් වෙන්න පුළුවන්.
‘‘කඩදොර’’ මගේ අලුත්ම නිර්මාණය. අර පොත් දෙකටම වඩා ටිකක් වෙනස් විදිහට ඊට කඳුළක් මුහුවෙලා බව ප්‍රතිචාරවලින් දැනුණා. ‘‘කඩදොර ලියද්දී නාටකීය ස්වරූපය මට ටිකක් සමීප බවක් දැනුණා. එකක් මගේ ගම් පළාත. අනෙක ඒ මගේ අත්දැකීම් සහිත කාලවකවානුවක්. ඒ සඳහා යෙදුණු භාෂා භාවිතයත් ඒ නාටකීය බව මුවහත් කරනවා වෙන්න පුළුවන්.
• ගිරිජා නවකතාවේ ඔබ යොදා ගන්නා භාෂා සුවිශේෂත්වය බොහෝ විචාරකයන්ගේ අවධානයට ලක්වී තිබුණා. ඔබ නැවුම් වචන විශාල සංඛ්‍යාවක් එක නවකතාවක් තුළදී සිංහල භාෂාවට එකතු කරනවා. කොහෙන්ද මෙච්චර අපූරු බසක් ඔබට?
භාෂාව තමයි සන්නිවේදනයේ ප්‍රබලම මෙවලම. මම ජීවත්වන්නේ බහුජාතික බහු ආගමික වටපිටාවක් තියෙන නාවලපිටිය නගරය විවිධ උපසංස්කෘති බහුල සමාජයක්. ඒ වගේම නිරන්තරයෙන් මට විශාල ජන සමූහයක් එක්ක භාෂාමය ගනුදෙනු කරන්නට වෙනවා. මට විවිධ භාෂා උච්චාරණ, අනන්‍යතා, වැරැදි යෙදුම් දැනෙනවා. උඩරට පළාතෙ පමණක් වුවත් සුළුජන කණ්ඩායම් අතර විශාල වෙනස්කම් තිබෙනවා. මට ඒ ගැන උනන්දුවක් තිබෙනවා. ඒවායේ වෙනස්කම් ග්‍රහණය කරගන්න මම ගොඩක් කියවනවා. ඒ පුරුද්ද ඇති වුණේ අම්මාගෙන්. අන් සියල්ලට වඩා ඒ කියැවීමේ පුරුද්ද ඇති කළාට මම අම්මාට ස්තූති කරනවා.
අම්මා කියන කතාවලත් හරිම නාටකීය බවක් තිබුණා. ඇය කතා කියද්දී ඒ ඒ කතාවට අදාළ අතීත වචන එහෙමම කියනවා. මමත් ඒ රීතිය භාවිත කරන්න උත්සාහ කරනවා. මගෙන් එකතුවන හැම අලුත් වචනයකින්ම අපේ භාෂාව තව පොහොසත් වෙන්න ඕනෑ. මිහිපිට තිබෙන ලස්සනම භාෂාව වෙන්න ඕනෑ. ඒ වගේම මම නිර්මාණයක් කරන කාලෙදී වෙනත් පොත් කියැවීමෙන් වළකිනවා. ඒ, ඒ පොත්වල කිසිම හෙවණැල්ලක් මගේ නිර්මාණයට නොවැටීම සඳහා. ලේඛකයකුට භාෂා භාවිතයේ අනන්‍යතාව ඉතාම වැදගත්.
• ඔබ නිර්මාණ රචනයට ප්‍රවිශ්ට වූ ආකාරය ගැනත් යමක් සඳහන් කරන්න?
පාසල් කාලයේත් මම නිර්මාණ කළා. වැඩිපුර ලිව්වෙ කවි සහ කෙටිකතා. ‘‘කඩදොර’’ පොතේ ලියල තියෙන විදියටම කොත්මලේ ජලාශය වැඩ නිමවා විවෘත කිරීම වෙනුවෙන් පැවැති දීප ව්‍යාප්ත පද්‍ය රචනා තරගයට මම ලියූ ‘‘යුගයක යශෝරාවය’’ කියන පද්‍යය මට විශාල දොරටුවක් විවෘත කළා. ඒ යුගයේ කවි කතා කියන එක පාසලෙන් ගෙදරින් දඬුවම් ලැබිය හැකි වරදක් වගේ දෙයක්. අධ්‍යාපන රාමුව තුළ ඒවා අනවශ්‍ය වැඩ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වූ වසර කීපයේදී මම කිසිම නිර්මාණයක් කරලා නෑ. ඒ පවුලේ සමහර වගකීම් නිසා. මම ආයෙමත් ලියන්න ගත්තේ කාලෙකට පස්සේ කොවිඩ් වසංගත කාලයේ. ඒ කියන්නෙ ජීවිතේ සැන්දෑවට ළං වෙලා. මම සාහිත්‍ය ලෝකයේ පමාවී වැඩෙන ගසක් වුණා. කොවිඩ් කාලයේ එතෙක් අපේ නොවින්ද සීමා රහිත නිවාඩුවක් ලැබුණා. කිසිම වගකීමක් නැති දීර්ඝ නිවාඩුවක්. මට ලිවීමේ අවශ්‍යතාව තදින් දැනුණා.
ඉතින් දැන් මම ලියන්නියක්. අනෙක් සියලු තානාන්තරවලට වඩා මම මේ ලියන තනතුරේ අවංකව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මම ලියන්නෙ මගේ ආත්ම තෘප්තිමටයි. මේ ගමනේදී උදව් දුන්න විශාල පිරිසක් සිටිනවා. මගේ අක්කා සමුද්‍රා ජයලත්, විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක ඉනිමංකඩ, දේවක සඳරුවන්, මනෝරාම වීරසිංහ ඇතුළු ඒ හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා. දස්කම් පිරුණු තව බොහෝ දෙනෙක් අපේ සමාජයේ ඇති. ඒ හැමෝටම මේ වගේ අවස්ථා ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
මෙවර විද්‍යෝදය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනූ මනෝහරි ජයලත්