භාෂා ප්‍රශ්නය නැති ප්‍රශ්න හදා ගැනීමක්


මෙරට ඇතැම් ස්ථානවල සවි කරනු ලැබ ඇති නාම පුවරු වල මෙරට රාජ්‍ය භාෂා දෙකෙන් එකක් වන දෙමළ භාෂාව වෙනුවට චීන මහජන සමූහාණ්ඩුවේ නිල රාජ්‍ය භාෂාව වන මැන්ඩරීන් භාෂාව යොදා ගනු ලැබූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.

එහෙත් පුදුමයකට මෙන් එවැනි සිද්ධීන් එකකට හෝ වගකිව යුත්තකු ගැන වාර්තා වූයේ නැත. මේ අතර ආණ්ඩුවේ කිසිඳු දේශපාලනඥයකු හෝ රජයේ නිලධාරියකු මෙසේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ උල්ලංඝනයවීම ගැන උනන්දුවක් හෝ සැලකිල්ලක් දැක් වූ බවක් ද පෙනුණේ නැත. එහෙයින් මෙම සිදුවීම් වලට වගකිව යුත්තන් හෙළිදරව්වීම හෝ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීම හෝ අපේක්ෂා කළ නොහැකිය.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නොතකා කටයුතු කිරීමේ මෙවැනි සිද්ධීන් ගණනාවක් ප්‍රධාන දහරාවේ ජනමාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබීමත් ඒවා සියල්ලෙහි ඇති සමාන බවත් ඒ සියල්ල අතර කුමක් දෝ සබඳතාවක් ගැන ඉඟි කරයි. මේවා අහඹු සිදුවීම්මදැයි සැක සිතෙන්නේ ඒ නිසාය.

අනෙක් වැදගත් කාරණය නම් මෙසේ රාජ්‍ය භාෂාවක් හෝ රාජ්‍ය භාෂා දෙකම හෝ නොතකා හැරීමේ සිදුවීම් චීන ආයතනවල හෝ චීන මුදල් ආධාර මත ක්‍රියාත්මක ආයතන හෝ ව්‍යාපෘතිවල දක්නට ලැබීමයි. ඒ අනුව ද මේ සිදුවීම් අත්වැරදීම් ද නැත්නම් සැලසුම් සහගත ඒවා දැයි කෙනකු සිතන්නට පෙළඹීම ස්වාභාවිකය.

රාජ්‍ය ආයතනවලින් නිකුත් කෙරෙන ලිපි ලේඛනවල ඒවායේ දැන්වීම් පුවරුවල හා නාම පුවරුවල දෙමළ භාෂාවට නිසි තැන නොලැබෙන බවටත්, බොහෝ විට නාම පුවරු ආදියේ දෙමළ බස විකෘති කරනු ලැබ ඇති බවටත් දෙමළ පිරිස් චෝදනා කරමින් සිටින වට පිටාවක මෙසේ චීන හෝ චීන ආධාරයෙන් ක්‍රියාත්මක ආයතනවලද එසේම සිදුවන බවට චෝදනා එල්ල වේ.

රජයේ ආයතනයක දෙමළ භාෂාව විකෘති කෙරෙන බවට එල්ල වන චෝදනාවට වඩා යම් ආයතනයක දෙමළ භාෂාව ඉවත් කොට ඒ වෙනුවට චීන භාෂාව යොදා ගන්නා බවට කෙරෙන චෝදනාව බරපතළය. මෙවැන්නක් සිදු වූ විට එය දෙමළ ජනතාව තමන්හට කරන ලද මදිපුංචිකමක් ලෙස සැලකීම අනිවාර්යය. එය නොකඩවා සිදුවන විට ඔවුන්ගේ හා එම හැඟීම තහවුරුවීම ද වැළැක්විය නොහැකිය.

චීන හෝ චීන ආධාරයෙන් ක්‍රියාත්මක වන ආයතනවල මෙවැනි දෑ සිදුවන බවට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානයට ලක් කෙරුණේ 2019 සිටය. කොළඹ නගරාශ්‍රිත සහ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ නාම පුවරුවේ සටහන් වී තිබුණේ සිංහල, මැන්ඩරීන් හා ඉංග්‍රීසි නම් පමණි. රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව එම නාම පුවරුවෙන් හැළී තිබිණි.

මෙය එවකට ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා කටයුතු පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතාගේ අවධානයට ලක්කෙරිණි. ඔහු ඒ සම්බන්ධයෙන් ‘‘විදේශිකයන්’’ හට චෝදනා කළේය. ඉන්පසු ඔහු සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහනක් පළ කළේය. ‘‘ශ්‍රී ලංකාවේ ඇති චීන ආයතනවල දේශීය භාෂා නීතිය උල්ලංඝනයවීම පිළිගත නොහැකිය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය දෙන්නට කැමැත්තෙමු. එසේම චීන තානාපති කාර්යාලය ඇතුළු සියල්ලන් හමුවන්නට අදහස් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් දේශීය නීතිවලට ගරු කළ යුතුය. චීන ව්‍යාපෘතිවල නාම පුවරුවල සිංහල හා දෙමළ යන රාජ්‍ය භාෂා දෙකම හෝ එකක් නොතකා හැර මැන්ඩරීන් හා ඉංග්‍රීසි පමණක් යොදා ගැනීම ගැන අපට පැමිණිලි ලැබෙමින් තිබේ. අපගේ පරිත්‍යාගශීලීත්වය ආරම්භ වන්නේ විදේශිකයන් දේශීය භාෂාවලට ගරු කිරීමෙන් පසුව පමණි.’’

කෙසේ වෙතත් එවැනි වැරැදි සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගනු ලැබූ බවට කිසිදු පුවතක් වාර්තා වූයේ නැත.

රාජ්‍ය භාෂා නොතකා හැරීම පමණක් නොව එක්තරා ආකාරයක විහිළු සහගත සිද්ධියක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා විය. එනම් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ඉංග්‍රීසි හා චීන (මැන්ඩරීන්) භාෂාවෙන් පමණක් දුර ගමන් සේවා දැක්වෙන දුම්රිය කාලසටහනක් සවිකරනු ලැබීමය. එහි දෙමළ භාෂාව පමණක් නොව සිංහල භාෂාවද නොතකා හැර තිබිණි.

මේ පිළිබඳව ජනමාධ්‍යවේදීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පවසා තිබුණේ මේ ගැන පරීක්ෂණයක් පැවැත්වෙන බවය. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ සිවප්‍රගාසම් මදිවානන් මහතා පවසා තිබුණේ චීන ආයතනවල මෙවැනි දෑ සිදුවන බවත් එය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්ය.

විදේශ භාෂා දෙකකින් පමණක් දුම්රිය කාලසටහන ප්‍රදර්ශනය කරන්නට ගල්කිස්ස දුම්රිය ස්ථානය යනු විදේශිකයන් පමණක් භාවිතා කරනු ලබන දුම්රිය ස්ථානයක් නොවේ. ඇත්ත වශයෙන්ම එය වැඩියෙන්ම භාවිතා කරන්නේ අවට සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවයි. ගල්කිස්ස සංචාරකයන් ගැවසෙන ප්‍රදේශයක් වුවද එම දුම්රිය ස්ථානය භාවිත කරනු ලබන්නේ ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් විසිනි. දුම්රිය බලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන බව පැවසුවද කිසිවකු ඊට වරදක් වූ බවට වාර්තාවූයේ නැත.

මෑතකදී ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කරනු ලබන්නේ පොට්සිටි කලම්බෝ සමාගම විසිනි. එය චීනයේ චයිනා හාබර් ඉන්ජිනියරිං සමාගම යටතේ ඇති සමාගමකි. එම සමාගම විසින් වරාය නගරය සඳහා ගොඩ කරන ලද භූමි භාගයේදී ද පසුගියදා මෙම ගැටලුව මතුවී තිබිණි.

සමාගම විසින් අලුත් භූමිභාගයේ එක් කොටසක සිටුවන ලද නාම පුවරුවක සිංහල භාෂාවෙන් ‘‘මැද උයන’’ යනුවෙන් ද එම අර්ථයම ඉංග්‍රිසි හා චීන (මැන්ඩරීන්) භාෂාවලින්ද ලියා තිබිණි. රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව එහිද නොතිබිණි. මේ ගැන සමාජ මාධ්‍යවල විවේචන හා උසුළු විසුළු පළ වන විට පෝට් සිටි කලම්බෝ සමාග කරුණු පැහැදිලි කරමින් ඉකුත් 17 වැනිදා නිවේදනයක් නිකුත් කොට තිබිණි.
එහිදී එම සමාගම පවසා තිබුණේ දැනට වරාය නගර භූමිය තුළ සිටුවනු ලැබ ඇති දැන්වීම් පුවරු එම භූමියේ සේවය කරන දේශීය පිරිස වෙනුවෙන් හා අවසර ලබා එහි පැමිණෙන්නන් සඳහා පමණක් සිටුවනු ලැබ ඇති බවත්, එහෙයින් ඒවායේ සියලුම රාජ්‍ය භාෂාවලින් අදාළ කරුණු සඳහන් වීමේ අවශ්‍යතාවක් නැති බවත්ය.

ඒ අනුව මතුවන ප්‍රශ්නයක් නම් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා බඳවා ගනු ලැබූ දේශීය කම්කරුවන් හා නිලධාරින් අතර දෙමළ බස කතා කරන අය නැතිද යන්නයි. මෙම නාම පුවරුව පිළිබඳ ප්‍රශ්නය මුලින්ම මතුවූයේ ඉකුත් දෙසැම්බර් මාසයේ බවත් ඒ අනුව එය ඒ දිනවලම ඉවත් කෙරුණු බවත් දැන් සමාජ මාධ්‍යවල පළවන්නේ පැරණි ඡායාරූපයක් බවත් එම සමාගම තම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබිණ. එක් අතකින් වරාය නගර ඉදිකිරීමේ භූමියේ ඇති නාම පුවරුවල සියලුම රාජ්‍ය භාෂා ඇතුළත්වීමේ අවශ්‍යතාවක් නැතැයි සමාගම පවසන හෙයින් අදාල නාම පුවරුවේ වරදක් නැතැයි එම සමාගම පවසයි. එසේ නම් එය ඉවත් කළේ කුමකටදැයි යන ප්‍රශ්නය මතුවේ.

රාජ්‍ය භාෂා භාවිතය පිළිබඳ වඩාත් නිශ්චිතව සඳහන් කරන්නේ නම් නාම පුවරු ආදියේ දෙමළ භාෂාව ඉවත් කොට මැන්ඩරීන් භාෂාව යොදා ගැනීම පිළිබඳ බරපතළම සිද්ධිය වාර්තාවූයේ පසුගිය සතියේය. එනම් මැයි 19 වැනිදාය. එදින නීතිපති දෙපාර්තමේන්තුවේ ස්මාර්ට් පුස්තකාලය නීතිපති දස්පුලද ලිවේරා මහතා හා මෙරට චීන තානාපති ක්වී සෙන්හොං විසින් විවෘත කෙරිණි. එම විවෘත කිරීම සංකේතවත් කෙරුණේ එම දෙදෙනා විසින් සමරු ඵලකයක් නිරාවරණය කිරීමෙනි.

ගැටලුව නම් එම ඵලකයේද දෙමළ භාෂාවෙන් එම විවෘත කිරීම සටහන් කරනු ලැබ නොතිබීමයි. එය සටහන්ව තිබුණේ සිංහල, ඉංග්‍රීසි හා මැන්ඩරීන් භාෂා වලිනි. ඩේලි මිරර් පුවත්පත සහ සමාජ මාධ්‍ය විසින් මෙම තත්ත්වය ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් පසු එදිනම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිෂාරා ජයරත්න මෙනෙවිය නිවේදනයක් නිකුත් කරමින් එම ඵලකය ඉවත් කළ බව සඳහන් කළාය. එම ඵලකයේ දෙමළ භාෂාව නැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරින් දැන නොසිටියා විය යුතුය. එහෙත් ගැටලුව නම් රජයේ නීති උපදේශකයා වන නීතිපතිවරයාගේ කාර්යාලයේම මෙසේ රජයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වීමයි.

මේවා ප්‍රසිද්ධියට පත් සිද්ධීන්ය. තවත් සිද්ධින් ඇති බව මනෝ ගනේෂන් මහතා හා මදිවානන් මහතා කළ ප්‍රකාශ වලින් හැඟවේ. එසේ නම් මේවා අහඹු අත්වැරදීම්මද යන ප්‍රශ්නය ඕනෑම කෙනකු තුළ මතුවීම සාධාරණය. අනෙක් අතට සිදුවීම් ගණනාවක් සිදු වීමත් ඒවායේදී බොහෝ විට දෙමළ භාෂාව ඉවත් කරනු ලැබ තිබීමත් තේරුම් ගන්නේ කෙසේද? එක් දෙයක් පමණක් පැහැදිලිය. එනම් මෙවැනි සිදුවීම් මගින් චීන සමාගම්වලට හෝ මෙරට බලධාරීන් හට හෝ කිසිඳු වාසියක් අත් නොවේය යන්නය. සිදු විය හැකි එකම දේ දෙමළ භාෂාව නොතකා හැර ඇති බව දැන ගත් විට දෙමළ ජනතාවත් දෙමළ හා සිංහල භාෂාව නොතකා හැර ඇති බව දැන ගත් විට සිංහල හා දෙමළ යන ජන කොට්ඨාස දෙකත් සිත් වේදනාවට පත්වීම පමණි.
රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව මෙසේ චීන හෝ චීන ආධාර ලබන ආයතනවල නාම පුවරු වලින් ඉවත්වීම ගැන රටේ අනෙක් ජන කොට්ඨාසවලට සතුටු විය හැකිද? අපට එවිට මතක් වන්නේ වරාය නගර භූමියේ නාම පුවරුව පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා තම ට්විටර් ගිණුමේ පළ කළ අදහසකි. ‘‘දෙමළ අක්ෂර නැත. කමක් නැහැ. නුදුරේදීම සිංහල ද නැති වී යනු ඇත. ශ්‍රී ලාංකිකයනි, අඩු තරමින් එවිටවත් අවදි වන්න’’ යනුවෙන් ඔහු සඳහන් කොට තිබිණි.

මෙම සිද්ධීන් පිළිබඳ මතභේදය මතු වී ඇත්තේ ඒ හා සම්බන්ධ වූ දේශපාලන වටපිටාවක් තුළය. එනම් පසුගියදා සම්මත කරනු ලැබ පෙරේදා කතානායකවරයා විසින් සහතික කරන ලද වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත යටතේ පත් කරන්නට නියමිත වරාය නගර ආර්ථික කොමිසම යටතේ ශ්‍රී ලංකාවේ චීන කොළනියක් බිහිවනු ඇතැයි විපක්ෂ දේශපාලනඥයන් පවසන වකවානුවකය.

භාෂාව හා ආගම යනු සංවේදී කරුණුය. දස දහස් ගණනකට ජීවිත අහිමි කළ තිස් වසරකට වැඩි කාලයක් දිග්ගැස්සුණු යුද්ධයට බලපෑ ප්‍රධාන කරුණු වලින් එකක් වූයේ භාෂා භාවිතය පිළිබඳ ප්‍රශ්නයයි. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටියදී සිංහල පමණයි පනත යනුවෙන් ඇතැමුන් හැඳින් වූ රාජ්‍ය භාෂා පනත සම්මත වූ පසුත් 1957 දී වාහන වල අංක තහඩුවේ සිංහල ශ්‍රී අක්ෂරය යොදන්නට තීරණය කෙරුණු පසුත් ක්ෂණිකව හා දීර්ඝ කාලීනව ඇති වූ තත්ත්වය කිසිවකුටත් අමතක කළ නොහැකිය.

1960 ගණන් වල චීන සෝවියට් මතභේදය හට ගත් කාලයේ සිට 1980 ගණන් වල මුල දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි මතවාදී බලපෑමක් මෙරට දෙමළ වාමාංශිකයන් කෙරෙහි ඇති වී තිබුණ ද එම බලපෑම මෙරට බෙදුම්වාදී යුද්ධයත් සමග අහෝසි වී  ගියේය. එවැනි බලපෑමක් තිබුණ ද මෙරට දෙමළ සාමාන්‍ය ජනයා චීනයට වඩා, ඇතැම් විට ශ්‍රී ලංකාවටත් වඩා මානසික වශයෙන් හා සංස්කෘතික වශයෙන් සමීප වන්නේ ඉන්දියාවටය. ඒ ඔවුන් ද්‍රවිඩ වාර්ගික භාෂාමය ජන කොට්ඨාසයක් වන හෙයිනි.

අනෙක් අතට චීනය හා ඉන්දියාව අතර හොඳ හිතක් නැත. ඒ අනුව මෙරට දෙමළ ජනයා ද චීන බලපෑම් කෙරෙහි ප්‍රසාද ජනක හැඟීමකින් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය. එසේ තිබියදී චීන හෝ චීන ආධාර ඇතිව කෙරෙන ව්‍යාපෘති හා කටයුතු වලදී දෙමළ භාෂාව හැළී යන්නේ නම් දෙමළ ජනතාව එය අහඹු තත්ත්වයක්සේ පිළිගනු ඇත්ද? මෙවැනි තත්ත්වයක් රටට අවශ්‍ය නැත. මෙම අනවශ්‍ය තත්ත්වය ඉතා සුළු තීරණයකින් වළක්වා ගත හැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)