සිංහල භාෂාවේ සුපෝෂණය වෙනුවෙන් නූතනයේ ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් සිටින මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා භාෂා - සාහිත්‍ය විෂය ක්ෂේත්‍ර පදනම් කොටගනිමින් අගනා කෘති රැසක් අප වෙත දායාද කළ අයෙකි. සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලියු එම කෘති භාෂා පර් යේෂකයන්ට, අධ්‍යාපනඥයන්ට පමණක් නොව පාසල් දුවා දරුවන්ට පවා අගනා මාර්ගෝපදේශ බවට පත් වූ වග නොරහසකි.
නිවැරැදි සිංහලය, සිංහල රීතිය පොත්පෙළ, සිංහල අක්ෂර විචාරය, සිංහල ජනවහර පොත්පෙළ, අකුරු මිහිර පොත්පෙළ, සිංහල සිරිත් විරිත් ඒ කෘති අතරින් කිහිපයක් පමණි.
මහාචාර්යවරයා මෑතක දී පළ කළ මාලදිවයින් බස පිළිබඳ පර් යේෂණයද කාගේත් අවධානයට ලක් වූ එකකි. මෙම සංවාදය මහාචාර්යවරයා සමඟ පැවැත්වෙන්නේ භාෂාව, එහි ස්වභාවය, නව පර් යේෂණවල අවශ්‍යතාව ආදි කරුණු කිහිපයක් පදනම් කොට ගෙනය.
• ‘මාල දිවයින් බස එදා සහ අද’ නමින් ඔබ රචනා කළ කෘතිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. භාෂා පර් යේෂණවල අවශ්‍යතාව සම්බන්ධයෙන් කතා කරන විට නූතන උදාහරණයක මේ කෘතිය කෙරෙහි අවධානය යොමු කිරීමට අප කැමැතියි. ඒ ගැන යමක් කිව හැකිද?
ඇත්තටම මම මේ පර් යේෂණය සඳහා තෝරගන්නෙ වැඩි දෙනෙක් මෙතෙක් කල් තෝරා නොගත් ක්ෂේත්‍රයක්. සිංහල සාහිත්‍යය ගැන, නාට්‍ය ගැන පර් යේෂණ අධ්‍යයන බහුලව කෙරෙනවා. ඒත් භාෂාව ගැන සොයන පර් යේෂකයන් සීමා සහිතයි. ඒ අයගෙනුත් මාල දිවයින් භාෂාව ගැන හොයන අය නොමැති තරම්. ඒ අනුව මම කළේ බොහෝ දෙනෙක් පර් යේෂණය නොකළ ඉසව්වක් ගැන සොයා බැලීමයි.
මේ පොත ලිව්වෙ මම තනිවම වුණාට ඊට අවශ්‍ය දත්ත සොයා ගැනීමට අපට කීපවරක්ම මාලදිවයිනට යන්නට සිදුවුණා. ඒ යන විට මහාචාර්ය හේමපාල විජේවර්ධන මහතාත් මා සමඟ එකතු වුණා. එහිදී ඉතාම වැදගත් කරුණු ගණනාවක් අපට සොයාගන්නට පුළුවන් වුණා. මාලදිවයිනේ ඉතාම පැරණි තඹ සන්නසක් තිබෙනවා. ‘ලෝ මා පානු’ කියල. ඒක ලියැවිලා තියෙන්නෙ දොළොස්වැනි සියවසේදී. ඒත් මාලදිවයිනේ කාටවත් එය කියවන්නට හැකියාව ලැබිල නෑ. ඒ අකුරු ඒ තරම් පරණයි. ඒ අනුව තමයි අපි මාලදිවයිනට ගිහින් ඒ අකුරු කියවා බලා ඉංග්‍රීසියට පරිවර්තනය කරල මේ පර් යේෂණයට අවශ්‍ය පසුබිම නිර්මාණය වුණේ.
එහිදී තමයි අපට වැටහුණේ මාලදිවයින් බස සිංහල භාෂාවට මොනතරම් කිට්ටු නෑ සබඳකම් තියෙනවද කියන එක. මේ නෑ සබඳකම හරියට අම්මයි දුවයි අතර වගේ කියන්න පුළුවන්. ඒ නිසා මේ දෙක මාතෘ භාෂා හා දුහිතෘ භාෂා ලෙස සලකන්න පුළුවන්. මේ අනුව භාෂාවේ පෝෂණය සඳහා පර් යේෂණ ඉතාම වැදගත් වෙනවා.
• විවිධ භාෂා අතර මේ විදිහේ නෑ සබඳකම් ඇති වෙන්නෙ කොහොමද?
සාමාන්‍ය ප්‍රාණියෙක් ඇති වෙන්නෙ එක්කො මවුගෙන්. එහෙම නැත්නම් බිත්තරයකින්. ඒත් භාෂාවක් ඇති වෙන්නෙ හරියට ඇමීබාවෙක් ඇතිවෙනව වගේ. ඇමීබාවා කියන ජීවියා බිහිවෙන්නෙ එක ඇමීබාවෙක් දෙකට කැඩිලා. අලුතින් බිහිවන ඒ ඇමීබාවා ආයෙම දෙකට කැඩෙනවා. එහෙම දෙකට කැඩි කැඩි තමයි වර්ධනය වෙන්නෙ. භාෂාවත් එහෙම තමයි. ඈත අතීතයේ වංග රටේ කතා කරපු බස ලංකාවට ආවා. කාලයක් යනකොට ඒ වෙන්වීමත් එක්ක ඒ ඇසුරින් නව බසක් බිහිවුණා. තවත් අවස්ථාවක ලංකාවේ අය ගියා මාලදිවයිනට. ඒ ඇසුරින් නව බසක් බිහිවුණා.
• භාෂාවක් යනු මහජන සම්මුතියක්ය යන අදහස ඔබ කොහොමද පැහැදිලි කරන්නේ?
භාෂාව දෙවියන් වහන්සේ අපට දීල ගිය දෙයක් නොවෙයිනෙ. මිනිස්සු තමන්ගෙ අදහස් පළ කරගන්න එකඟතාවෙන් යුතුව සම්මත කරගන්නා දෙයක් මේක. එක් අයෙක් කතා කරන දෙයක් තවත් කෙනෙක් තේරුම් ගන්නෙ ඒ භාෂාවේ සම්මතයක් තියෙන නිසානෙ. ඒ නිසා ඕනෑම භාෂාවක සම්මතයක් තියෙනවා. භාෂාවක් කියන්නෙ ජනතාවක් අතර තමන්ගෙ අදහස් පළ කිරීමට කාලයක් තිස්සේ සම්මත කරගත්ත ශබ්ද සමූහයකට.
• මාතෘ භාෂාවලින් පැමිණි පැරණි තත්සම වදන්වලට එකල තද්භව වදන් බිහිවුණා. ඒත් දැන් දැන් ඉංග්‍රීසි භාෂාවෙන් අපට ලැබෙන වදන් බොහොමයකට තද්භව රූප බිහිවන බවක් පෙනෙන්නට නැහැ නේද? මේ තත්ත්වය භාෂාවේ අනන්‍යතාව සම්බන්ධයෙන් කොහොම බලපායි ද?
ඇමීබාවෙක් දෙකඩ වන බව අපි මුලින් කීවා. පැරැණි මාතෘ භාෂාවලින් එන තත්සම වචන අපේ භාෂාවට එනකොට තද්භව වෙනවා.
හස්ති- ඇතා
ආකාශ- අහස්
භාෂා-බස්
ආදී වශයෙන් තද්භව වෙනවා.
අද බොහෝවිට තාක්‍ෂණික භාවිතයන් නිසා වචන දහස් ගණනක් ඉංග්‍රීසිය ඇතුළු භාෂාවලින් අපට එකතු වෙනවා. අපි ඒ බොහෝ ඒවා මුල් ස්වරූපයෙන්ම ගන්නවා. හැබැයි මේ තත්ත්වය කාලයක් යන විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒක කාලානුරූපව වෙනස් වීමත් එක්ක සිංහල වචන ඒ සඳහා භාවිත වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි කොම්පියුටර් කියන වචනෙ අපි පාවිච්චි කරන අතරෙම පරිගණකය කියන වචනෙත් භාවිත කරනවා. මේ දෙකම සමාජයේ තියෙනවා. ඒකෙ භාවිත අවශ්‍යතාව අනුව තීරණය වෙනවා.
භාෂාව කියන්නෙ මාධ්‍යයක්. ඒ මාධ්‍යය ඒ ඒ පුද්ගලයාට, ඒ ඒ අවස්ථාවට ගැළපෙන පරිදි තමයි යෙදෙන්නෙ. භාෂා භාවිතය තීරණ වෙන්නෙ ඒ අනුව. සරලව ගත්තොත් එකම ඇඳුම හැම ගමනකටම අඳින්න බෑ. මනමාලියෙක් ඇඳගෙන යන විදිහට මළ ගෙදර යන්න බෑනෙ. මළගෙදරට අඳින ඇඳුම කුඹුරට හරියන්නෙ නෑ. කුඹුරට අඳින ඇඳුම පොළට හරියන්නෙ නෑ. භාෂාවත් එහෙමයි. ව්‍යාකරණයේ වුණත් තියෙන්නෙ ඒ නම්‍යශීලි ගුණයයි.
• ඔබ කියන්නේ භාෂාවේ සිදුවන කාලීන වෙනස්වීම් භාෂාවේ පෝෂණයට බලපාන බව ද?
භාෂාව ජීවමාන දෙයක්. ඒ නිසා භාෂාව වෙනස් වෙනවා. ඒක නවත්වන්න බෑ. ඒක කාලීන අවශ්‍යතාවත් එක්ක වෙන්නෙ. එය පිරිහීමක් නොවෙයි. අන්න ඒ භාෂා වර්ධනය සම්බන්ධ කාරණාවල දී තමයි භාෂා පර් යේෂණ ඕනෑ වෙන්නෙ. ‘ෆ’ අක්‍ෂරය සිංහල හෝඩියට එකතු වීම නිසා එහි ඇති ප්‍රයෝජනය දැන් අපට වැටහෙනවා. අන්න ඒ වාගේ නව ප්‍රවණතාවලටයි පර් යේෂණ ඕනෑ වෙන්නෙ.
මහාචාර්ය ජේ.බී. දිසානායක
සංවාද සටහන ගාමිණි කන්දේපොළ