භාෂාවටත් කවියටත් නාට්‍යකරුවන් දුන් දායකත්වය ඇගයුණේ නෑ


මාතර පුරාණය සහ නිල්දිය උදානය, මයුර සන්දේශය ශාස්ත්‍රීය සංස්කරණය, දේශීය වෙදකම හා බැඳුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, මිරිස්සේ කෝලම් සම්ප්‍රදාය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් ඇතුළු ශාස්ත්‍රීය පර් යේෂණ කෘති කිහිපයක්ම සම්පාදනය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය  ආචාර්ය රංජිත් සේනානායක රචනා කළ නාට්‍ය හා නාට්‍ය කලාව කෘතිය පසුගියදා එළිදැක්වුණි. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධව අප කළ සංවාදයක සටහනකි.

• ඔබේ නවතම පර් යේෂණ ග්‍රන්ථය වන නාට්‍ය හා නාට්‍ය කලාව කෘතියේ සාකච්ඡාවට ලක්වන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමුකරමු.

පර් යේෂණ කෘතියක අන්තර්ගත විය යුතු ක්‍රමවේදය පිළිබඳව අංශ කීපයක් යටතේ මෙහි මුලින්ම කරුණු සාකච්ඡා කෙරෙනවා. නාට්‍ය කලාවේ විශේෂත්වය පදනම් කොට ගනිමින් දීර්ඝව කරුණු ඇතුළත්ව තිබෙනවා. නාට්‍ය ප්‍රභේද, ග්‍රීක් නාට්‍ය කලාව, සංස්කෘත නාට්‍ය කලාව, ඉංග්‍රීසි නාට්‍ය කලාව පිළිබඳව විමර්ශනයක්ද කෘතියට ඇතුළත්. දේශීය නාට්‍ය කලාව සම්බන්ධයෙන් කළ අධ්‍යයන වෙනුවෙන් පරිච්ඡේද කිහිපයක්ම වෙන් වෙනවා. මෙරට නාට්‍ය කලාවේ අතීතයේ පටන් සොකරි, කෝලම්, ටීටර් යුග හරහා නූතන නාට්‍යකරුවන් දක්වාම එහි විස්තර ඇතුළත්.

ඊට අමතරව නාට්‍ය රචනය හා නිෂ්පාදනය කෙරෙහිද මෙහිදී අවධානය යොමුවුණා. නාට්‍යයක විශේෂත්වය කැපීපෙනෙන්නට එහි භාෂාව වැදගත් කාර්යයක් ඉටු කරනවා. එබැවින් ඒ ගැන පාඨකයන්ගේ අවධානය යොමු කරවීමත් අරමුණ වුණා. 

නාට්‍ය කලාවේ පෝෂණයට බුදු දහම බලපෑවේ නැති බවට ඇතැමුන් මත ඉදිරිපත් කොට තිබුණත් එය සාවද්‍ය මතයක් බව මෙහි පෙන්වාදී තිබෙනවා. ඊට අමතරව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය, පාස්කු නාට්‍ය, එක් එක් දෙස් විදෙස් නාට්‍යකරුවන් ගැනත් මෙහි කරුණු ඇතුළත් වෙනවා.

• නාට්‍ය කලාව පිළිබඳ මෙබඳු පර් යේෂණයක් සිදු කිරීමේ අරමුණ හා අවශ්‍යතාව වූයේ කුමක්ද?

මේ සඳහා ප්‍රමුඛ කරුණු කීපයක් බලපෑවා. 80 දශකය වනවිට අපේ රටේ නාට්‍ය කලාව ඉතාම ජනප්‍රිය වුණා. එහෙත් අනූව දශකයේ සිට නාට්‍ය කලාවේ කිසියම් පසුබෑමක් ඇති වූ බව පෙනෙන්නට තිබෙනවා. අපේ විද්‍යාර්ථීන්ට විවිධ අධ්‍යයනවලදී විවිධ ගැටලු මතු වුණා. මේ විෂය ක්ෂේත්‍ර සම්බන්ධ කරගෙන පර් යේෂණාත්මක කෘතියක් පළ කළ යුතුයි කියන අදහස මට ඇති වුණේ ඒ නිසයි.

• කවිය වැනි විෂය ක්ෂේත්‍රවල පෝෂණයටත් නාට්‍ය කලාවේ යම් දායකත්වයක් දක්නට ලැබෙනවානේද? ඒ ගැන ඔබේ අවධානය යොමු වුණාද? 

නාට්‍ය කියන කලාංගය නිර්මාණය වෙලා තියෙන්නෙ කලා ක්ෂේත්‍ර ගණනාවක එක්වීමකින් කවිය ගැන කතා කරන විට පවා නාට්‍යය මඟ හැර යන්න බැරි බවක් පෙනෙනවා. ඒ නිසා බොහෝ සාහිත්‍යාංග අධ්‍යයනයේදීත් නාට්‍ය ඉතිහාසය අධ්‍යයනය වැදගත් වෙනවා.
උදාහරණයක් හැටියට ගත්තොත් සරච්චන්ද්‍රයන්ගේ බොහෝ නාට්‍ය නිර්මාණවලට පදනම් වෙන්නෙ ශෛලීගත සම්ප්‍රදාය. නාට්‍ය ධර්මී සම්ප්‍රදාය තුළ වාචිකාභිනය සඳහා වැඩිපුරම යොදාගෙන තියෙන්නෙ කවි ගායනා. ඒ අනුව කවි කලාව මාධ්‍යයක් හැටියට නාට්‍ය තුළින් අන්තර්ගත කරලා තියෙනවා. භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රය ඒ බව පැහැදිලි කොට තියෙනවා. නාට්‍ය ප්‍රේක්‍ෂකයාට වඩාත් සමීප කළ හැකි සබඳතාවක් හැටියටත් කවිය භාවිත වී තිබෙනවා. කවි කලාවේ දියුණුවටත් මේ තත්ත්වය බලපෑවා.

නාට්‍යය කලා ක්ෂේත්‍ර ගණනාවක එක්වීමෙන් බිහිවූවක් බව ඔබ කිව්වා. නාට්‍යයක කල්පැවැත්මේ හා ශක්තිමත් පදනමක් සහිතවීමේ ගුණය සඳහා එහි භාෂාත්මක භාවිතාවන්ගෙන් සිදුවන බලපෑම කෙබඳුද? 

ඕනෑම කලා නිර්මාණයක වැදගත්ම අංශය තමයි භාෂාව. භාෂාව සුඛනම්‍ය ලෙස භාවිත කිරීමෙන් ඒ කලා මාධ්‍යය රසිකයා තුළට ගෙනියන්න පුළුවන්. රසවින්දනය ඇති කිරීම සඳහා භාෂාවෙන් ලැබෙන්නෙ ලොකුම ලොකු පිටිවහලක්. මනමේ නාට්‍යය ගත්තොත් එහි භාෂාව පරතර කීපයක් ඔස්සේ ගොඩනගාගෙන තිබෙනවා. සිව්පද කවිය, නිසදැස්, ගීත කොටස්, විරිඳු භාවිතයන් ඒ අතර දකින්න පුළුවන්. 

සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවිය තමන්ගේ සැමියා සහ පුතු යන දෙදෙනාම නොමැති අවස්ථාවේදී තමන් කම්පනයට පත් වූ ආකාරය පිළිබඳව බොහොම හැඟීම්බරව ඉදිරිපත් කරනවා.
‘‘ඇසට නෑනේ
දකිනේ පුතු මාගේ
නැත පෙරළා එන්නේ’’
ආදි වශයෙන්. ඒ හැඟීම ප්‍රේක්‍ෂකයකුට මතුවෙන්නෙ එහි භාෂාවේ ඇති ගුණය නිසා. එසේම සිංහබාහු ලෙන් දොර හැර පිටත්ව ගිය වෙලාවෙ සිංහයා තුළ ඇතිවුණු භාව කම්පනය ඉදිරිපත් කිරීමට යොදාගන්න භාෂාව තවත් උදාහරණයක් 
ගල්ලෙන බිඳලා
ලෙන් දොර හැරලා
සිංහබා සිංහබා සිංහබා....

• ඔබ කියන්නේ භාෂාවේ පෝෂණය සඳහා නාට්‍යකරුවන්ගෙන් සැලකිය යුතු මෙහෙවරක් සිදුවූ බවද?

ඔව්. ඒත් ඒක ප්‍රමාණාත්මක විධියට සාකච්ඡාවට ලක්වුණේ නෑ.  නාට්‍යයක් ඉදිරිපත් කරන්නෙ ප්‍රේක්‍ෂකයන්ට සරල හා කලාත්මක මාධ්‍යයක් හැටියට. නාට්‍යය ප්‍රේක්‍ෂකයා හමුවට ගෙනියනකොට ඉතාම වැදගත් වෙනව භාෂාව. ශකුන්තලා නාට්‍යයේ මුවා දිව යන ආකාරය ගැන කියන්නෙ කොහොමද කාලිදාසයන් බලා වරින් වර රිය දෙස ලුහුබැඳ අඹරවමින් ගෙල ලෙස රමණී’

මුවා දුවන ආකාරය ගැන මුවාගෙ චර්යාව පිළිබඳව රස ජනක භාෂාවකින් කියන්නෙ. නාට්‍යයක වාචික අහිනය ඉතාමත්ම රස දැනෙන විදිහට භාවයන් දැනවෙන විදිහට භාෂාව යොදා ගැනීමට අපේ බොහෝ නාට්‍යකරුවන් සමත් වී තිබෙනවා.
ඒත් කිසියම් කලා නිර්මාණයක ගැඹුර ස්පර්ශ කරමින් එය රසවිදින්නට තරම් පුළුල් රසික ප්‍රජාවක් රටේ නැත්නම් රසිකත්වය දියුණු කිරීමට පරිසරයකුත් නැත්නම් සමාජයක් හැටියට අප ලබන ප්‍රතිඵලය කුමක්ද? 

මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි උසස් කලා නිර්මාණ තිබුණත් පවත්නා සමාජ ආර්ථික තත්ත්වයන් නිසා රසිකයන්ට ඒවා රසවිඳින්න අවස්ථා නොලැබීම ප්‍රේක්‍ෂකයන් නොසිටියොත් නිර්මාණයෙන්, පාත්‍ර වර්ගයාගෙන් වැඩක් වෙන්නෙත් නෑ. සමස්ත සමාජ රටාව කිසියම් සංස්කෘතියක රඳවා ගන්න නම් සාහිත්‍ය කලා නිර්මාණ රසවින්දනය අවශ්‍යයි. ආර්ථිකයේ පසුබෑම කලාවේ පසුබෑමටත් බරපතළ ලෙස බලපානවා. ඒ පසු බෑමෙන් සමාජයේ රසිකත්වයත් බිඳ වැටෙනවා.

අනෙක් අතින් සමාජයක් භෞතික දියුණුව පමණක් බලාපොරොත්තු වෙනව නම් යහපත් සමාජයක් ගැන හිතන්න බෑ. සාහිත්‍ය කලාවෙන් තමයි සමාජයක මනුෂ්‍යත්වය මතුවෙන්නෙ. අධ්‍යාපනය පවා වෘත්තිය පාඨමාලාවලටම සීමා වුණොත් භෞතික පැත්ත ගොඩනැඟෙයි. ඒත් ආධ්‍යාත්මික පැත්ත කොහොමද ගොඩනැගෙන්නෙ. අද මනුෂ්‍ය සමාජය කඩාවැටෙන්න හේතුව භෞතික දියුණුව ගැන පමණක් කල්පනා කිරීමයි. විෂය දැනුම තිබ්බට පුද්ගල සමාජ සංවේදී කම නැත්නම් මනුෂ්‍යත්වය මතු වෙන්නෙ නෑ.

සංවාද සටහන ගාමිණි කන්දේපොළ

කොළඹ විශ්විවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ආචාර්ය රංජිත් සේනානායක