ලොව බොහෝ දියුණු රටවල් අභ්‍යවකාශය ජයගැනීමට වෙහෙසෙන යුගයක අපේ රට තවමත් සිටින්නේ ඒ ගැන සිතීමටවත් නොහැකි පහළ මට්ටමකය.
ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගැනීමට නොහැකිව ඒ ගැන සිහින මවද්දී කිසිවකුගේ උදව්වකින් තොරව ශ්‍රී ලංකා නාමය අභ්‍යවකාශයට රැගෙන යාමට වෙරදරන අපේ රටේ දක්ෂ තරුණයකු පිළිබඳ තොරතුරු මේ දිනවල අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතී.
මේ අපූරු තරුණයා නමින් තිවංක නෙරන්ජන් දිසානායකය. ඔහු මාවතගම වැලිකුඹුරේ පදිංචිකරුවෙකි. ඔහු පසුගිය දිනෙක මුහුණු පොතේ තම පිටුව හරහා තම නව නිර්මාණය පිළිබඳව විස්තරයක් සහ ඡායාරූප පළකර තිබුණි.
“මගේ අලුත් රොකට් එක හදලා ඉවරයි. වචනයකින් හරි උදව්කරපු ඔක්කෝටම ගොඩාක් ස්තුතියි.” යනුවෙන් එහි සඳහන්කර ඇත. ශ්‍රී ලංකාව අභ්‍යවකාශයට ගෙනයාම සඳහා තනිවම වෙහෙසෙන මේ ලාබාල තරුණයා මේ වනවිට මොරටුවේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටියි.
මේ වනවිට රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක්ම සිදුකර ඇති තිවංක ඔහු නිපදවා ඇති නවතම රොකට්ටුව .''SKY Touch 01 Rocket Hathor Aerospace'' ලෙස නම්කර ඇත. තිවංක එම රොකට්ටුවේ ශ්‍රී ලංකා ජාතික ධජයද පින්තාරු කර ඇත.
පසුගිය 2013 වසරේදී තම රොකට් ව්‍යාපෘතිය පර්යේෂණ මට්ටමෙන් ඇරැඹූ තිවංක එම වසරේ සිට මේ දක්වා අවස්ථා දෙකකදීම තමන් නිෂ්පාදනය කළ රොකට්ටු සාර්ථකව ගුවන්ගත කර තිබීම විශේෂත්වයකි.
ඔහුගේ පළමු නිර්මාණය ්Air Touch 01 Rocket නමින් 2014-04-18 වැනි දිනද, දෙවැන්න ්Air Touch 02 Rocket ලෙස 2015-05-04 වැනි දිනද තෙවැන්න Air Touch 03 Rocket නමින් 2015-07-05 වැනි දිනද සාර්ථකව අත්හදා බලා තිබේ. මාවතගම පිහිටි තිවංකගේ ගෙවත්තේ සහ ප්‍රදේශයේ කුඹුරු යායකදී මෙම රොකට්ටු ගුවන්ගතකර තිබේ.
තිවංකගේ අලුත්ම රොකට්ටුවේ බර කිලෝග්‍රෑම් 100 කි. උස අඩි 15 කි. එහි විෂ්කම්භය අඩි එකකි. තනි එන්ජිමකින් ක්‍රියාත්මක වන මෙය කිලෝමීටර් 18 ක 20 ක පමණ දුරකට ගුවන්ගත කිරීමේ හැකියාවක් පවතින බව තිවංක විශ්වාස කරයි. එසේම මෙය පැයට කිලෝමීටර් 800 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකිවන පරිදි සැලසුම්කර ඇත. රොකට්ටුව සිරස්ව ගුවන්ගත කිරීම සිදුකෙරෙන අතර එය දුරස්ථ පාලකයක් මගින් සිදුකෙරෙනු ඇත.
ගුවන්ගත කළ රොකට්ටුව |
තිවංක මේ වනවිට ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ (German Tec) බල විදුලි ඉංජිනේරු අංශයේ සිවුවැනි (අවසාන) වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. කුරුණෑගල වයඹ රාජකීය විදුහලේ වානිජ අංශයෙන් උසස් පෙළ හදාරා අවසන් කර තිවංක 2012 වසරේදී ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඇතුළත් වී තිබේ.ඔහුගේ මුහුණු පොත් වෙබ් අඩවිය පිරික්සූ විට එහි බොහෝවිට අන්තර්ගතවූයේ ගුවන්යානා, අභ්‍යවකාශ යානා තාක්ෂණය, නවීන යුද අවි වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ පින්තූරය. වෙනත් තරුණයින් තම මුහුණු පොතේ පිටු විවිධ විප්‍රකාර සහ විහිළු තහළු වලින් පුරවත්දී තිවංක ඊට හාත්පසින්ම වෙනස්ව ඔහුගේ සිතෙහි හටගත් සිහිනයක් සැබෑකර ගැනීමට උපකාරීවන්නාවූ පින්තූර සහ දත්ත වලින් පුරවා තිබෙනු දැකිය හැකිය.
තිවංක ඔහුගේ නිර්මාණය ගැන විස්තර කළේ මෙසේය.
“පාසලෙන් ඉවත්වුණාට පසුව මම කෙළින්ම ගියේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට. උසස්පෙළ වාණිජ හැදෑරුවාට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ගිහින් කාර්මික පාඨමාලාවක් හැදෑරීම මට ප්‍රශ්නයක් වුණේ නැහැ.”
“මම එහිදී බල විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරනවා. නමුත් මම මේ කරගෙන යන රොකට් තාක්ෂණය කිසිම ලෙසකින්වත් බල විදුලි ඉංජිනේරු විද්‍යා විෂයයට සම්බන්ධ නැහැ. ලංකාවේ කිසිම තැනක රොකට් ගැන තාක්ෂණ උගන්වන්නේ නැහැ. ඒ ගැන දැනුම තියෙන අයත් නැහැ. ඒ නිසා මට මේ තාක්ෂණය ගැන තනියම ඉගෙනගන්න සිද්ධවුණා.”
“මම පුංචි කාලයේ ඉඳලාම රොකට්, ප්ලේන්, හෙලිකොප්ටර් වාගේ උඩයන දේවල්වලට හරිම ආසයි. මේ නිසා මම ඒ වාගේ දේවල් මට අතට අහුවෙන දේවල්වලින් හදන්න උත්සාහ කළා. හැබැයි රොකට් කියන දේ කවුරුවත් සෙල්ලම් බඩුවකටවත් හදලා තිබුණේ නැහැ. මේ නිසාම මට අවශ්‍යවුණා ඒකම කොහොම හරි හදලා බලන්න.”
“මේ නිසා මම පාසල් යන කාලේ ඉඳලාම රොකට්ටුවක් හදන්න උත්සාහ කළත් හරිගියේ නැහැ. ඊට පසුව මම රොකට් හැදීම නවත්තලා දැම්මා. නමුත් ජර්මානු කාර්මික ආයතනයට ආවාම මට ආයේම රොකට්ටුවක් හැදීමේ අදහස, ආශාව ඇතිවුණා. මුල් අවුරුද්දේ අසාර්ථක වුණත් 2014, 2015 වර්ෂවලදී මගේ උත්සාහය සාර්ථක වුණා. මේ කාලයේදී පර්යේෂණාත්මක මට්ටමෙන් මම හදාපු රොකට් සාර්ථක වුණා.”
“මේ රටේ රොකට් නැහැ වගේම රොකට් හදාපු අය හිටියෙත් නැහැ. ඒ නිසා මට ඒ ගැන අවශ්‍ය දැනුම ලබාගන්න නාසා, අයිඑස්ආර්ඕ කියන ලෝකයේ රොකට් ගැන ප්‍රසිද්ධ ආයතනවලින් යවාපු රොකට්ටුවල විස්තර සොයාගෙන ඒවායේ දත්තවලට අනුව මගේ රොකට් නිර්මාණය කළා. අහල පහල තියෙන යකඩ කෑලි හොයාගෙන මම කොහොම හරි මගේ නිර්මාණය කරගෙන ගියා. කොහොම හරි මම රොකට් හැදුවා.”
“මේ රොකට් හදන්න ඇත්තටම මට සෑහෙන මුදලක් වියදම් වුණා. මට පුහුණුව ලබන කාලයේදී ආයතනයෙන් ලබාදෙන දීමනාවෙනුයි, ගෙදරින් මට එවන මුදල්වලින් කොටසකුයි ඉතිරි කරගෙන කොහොම හරි මගේ වැඬේ සාර්ථකව කරගෙන ගියා. අම්මා තාත්තා හැර මේ සඳහා මට පිට කවුරුවත් මුදලින් උදවු කරලා නැහැ. ඒවගේම දැනුමෙන් උදවු කරලාත් නැහැ. අන්තිමට නිර්මාණය කරපු රොකට්ටුවට මට රුපියල් ලක්ෂයක් විතර වියදම් වුණා.”
“රොකට්ටුවල බලය හා වේගය නියම තාක්ෂණයට අනුව මම නිර්මාණය කළා. හැබැයි මට තිබුණු මුදල් තත්ත්වය අනුව රොකට්ටු නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සිදුකළා. එකක් හදලා ඉවරවෙලා ඊළඟ එකට සල්ලි එකතුකරලා ඒ විදිහට තමයි මගේ ව්‍යාපෘතිය කරගෙන ගියේ. මේ සඳහා මම කාටවත්ම කරදර කරලා නැහැ.”
“සාමාන්‍යයෙන් රොකට්ටුවක් කක්ෂගත කිරීමට නම් අඩුම ගානේ කිලෝමීටර් 200 ක් 300 ක් පමණ ඉහළට යායුතුයි. මම තවම කරන්නේ පර්යේෂණ මට්ටමේ ගුවන් ගතකිරීමක් පමණයි. පළමුවැනි රොකට්ටුව උඩ ගියේම නැහැ. දෙවැනි එක අඩි හයක් පමණ උඩ ගියා. අන්තිමට යවාපු එක කිලෝමීටර් එකහමාරක් පමණ උඩට ගියා. හැබැයි අලුතින්ම හදලා තියෙන එක කිලෝමීටර් 18 ත් 20 ත් පමණ උඩ යයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” “සාමාන්‍යයෙන් ලෝකයේ රොකට් යැවීමට ප්‍රධාන වශයෙන් තාක්ෂණ ක්‍රම තුනක් භාවිතා කරනවා. පළමු ක්‍රමය ද්‍රව ඉන්ධන භාවිතයෙන් රොකට්ටුවක් අහසට යැවීම, ඊළඟ එක තමයි ඝන ඉන්ධන භාවිතය. තුන්වැනි ක්‍රමය තමයි ඝන සහ ද්‍රව දෙකම එකතු කර හයිබි්‍රඞ් ක්‍රමයට රොකට්ටු යැවීම. බහුලවම භාවිතාවන ක්‍රමය ඝන ඉන්ධන භාවිතා කරන එන්ජිමකින් රොකට් යැවීම. ඒ ක්‍රමය තමයි මගේ රොකට්වලටත් යොදාගත්තේ.”
“මම තවම කරගෙන යන්නේ පර්යේෂණයක් නිසා රොකට් එකින් එක නිර්මාණය කරලා ඒවායින් ලබාගන්නා දත්ත හා සාර්ථක අසාර්ථකභාවය අනුව තමයි මම ඊළඟ රොකට්ටුව නිර්මාණය කරන්නේ. ඒ නිසා උඩයන රොකට් එක ඉබේම පොළොවට වැටීමයි මට අවශ්‍ය වී තිබෙන්නේ. එහිදී රොකට්ටුවේ ඉහළ යාම වගේම පතිතවීමේ සාර්ථකත්වය මට අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙනවා.”
“මේකේ ශබ්දය කිලෝමීටර් ගාණක් දුරට ඇසී තිබෙනවා. ඒවගේම රොකට්ටුව ගුවන්ගත කිරීමේදී තුන්වැනි එකට වඩා අලුත් එකේ දුම්වළල්ල අඩි 30 ක් දුරට පැතිර යයි කියලා මම විශ්වාස කරනවා.” යැයිද තිවංක තම නිර්මාණයේ කටයුතු පැහැදිලි කරමින් පැවසීය.
තිවංක නිර්මාණය කළ සිවුවැනි රොකට්ටුව ගුවන්ගත කිරීමේදී එය බොහෝදුරකට ඉහළ යාවි යැයි විශ්වාස කෙරෙන බැවින් ඒ සඳහා රජයෙන් අවශ්‍ය ගුවනේ අවසරය ලබාගැනීම සඳහා තිවංක මේ දිනවල කටයුතු කරමින් සිටියි.
“මගේ අනාගත එකම බලාපොරොත්තුව රොකට් හැදීම පමණයි. මට පුළුවන් වුණොත් මගේ රට වෙනුවෙන් සාර්ථක රොකට්ටුවක් හදන්න මම ඒක කොහොම හරි කරනවා. ඒ සඳහා මට මේ රටෙන් උදවු උපකාර නොලැබුණොත් වෙන රටකට ගිහින් හරි මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්නවා.”
“මගේ දෙමාපියන්ගෙන් මේ සඳහා ලැබුණු සහයෝගය නම් උපරිමයි. ඒ සහාය මට නොලැබුණා නම් මට මේ තරම් දුරක් සාර්ථකව මේ වැඬේ කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මොන ප්‍රශ්නයක් ආවත් මේ වැඬේ නතර නොකර ඉස්සරහට කරගෙන යන්න කියන දිරිගැන්වීම සහ ආශිර්වාදය තමයි මගේ අම්මයි, තාත්තායි මට නිතරම ලබා දුන්නේ. මගේ එකම සහෝදරයාත් මේ සඳහා මට ගොඩාක් උදවු කළා. මේ සහාය විස්තර කරන්න මට වචන නැහැ” ඔහු හැඟීම්බරව පැවසීය.
ලොව බොහෝ දියුණු රටවල් රොකට් තාක්ෂණයෙන් ඉදිරියට යාමට වෙහෙසෙන යුගයක පසුගිය කාලයේදී අපේ රටෙන්ද එවැනි රොකට්ටුවක් ගුවන්ගත කිරීමට යන බවට විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නද අවසානයේදී එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට පත්විය. ඒ සඳහා යැයි කියමින් රටේ මුදල් කොපමණ වැය කළාදැයි නොදනිමු.
එවැනි කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නොලබමින් වුවද රට ගැන සිතා අභ්‍යවකාශය ජය ගැනීමට වෙරදරන මේ දක්ෂ තරුණයාට අතදී ඔහුගෙන් රටට සේවයක් ලබාගැනීම නව රජයේ බලධාරීන්ගේ වගකීම වනු ඇත. එසේ නොවුවහොත් අපට හිමි මේ සම්පතින් වෙනත් රටක් ප්‍රයෝජන ගනු නියතය.