මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනී


මැක්සිම් ගෝර්කි වරක් පැවසූවේ ලොව සියලු දේ බිහිවන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරි වලින් බවයි. එවන් වූ දහසකුත් අම්මාවරුන්ගේ සහ මෙරට ශ්‍රම බලකායේ වැඩිම නියෝජනයක් උසුලන කාන්තාවන්ගේ දිනය යෙදෙන්නේ මාර්තු 08 වැනිදාටය.

උදෑසන අවදි වූ වේලාවේ පටන් තම දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් කැපවන අම්මලාට, අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් තේ දලු නෙලන කාන්තාවන්ට,  කිසිවකු නොමැතිව දුරු රටවල්වල කාසි සොයන කාන්තාවන් ඇතුලු ධෛර්යය සම්පන්න බොහෝ කාන්තාවන්ට සැබැවින්ම කාන්තා දිනයක් අවශ්‍ය වන්නේ නැත.

ඒ සමාජයෙන් ඔවුන් කරන මෙහෙවර වෙනුවෙන් නිසි ඇගයීමක් ලැබේනම් පමණි. ඒ නිසාම අප සමාජයේ ඇතැම් මව්වරු කොතෙක් සිය දරුවන් කෙරෙහි ස්වාමියා කෙරෙහි වෙහෙසුන ද ඔවුන් උපමා කළ හැක්කේ අහසටය. මන් ද වැස්සත් පෑව්වත් අහස බැනුම් අසන නිසාවෙනි. එසේම  අම්මා ද ඇතැම් විට සිය හෘද සාක්ෂියට අනූව වරදකරුවකු නොවුව ද ඇතැම් විට සමාජය විසින් ඇයව වැරදිකරුවෙක් කර හමාරය.

මා විසින් ලියැවුන ළය ඉරී ගීතය නිර්මාණය වන්නේ ද මෙවන් පසුබිමක් තුළය. මහේෂ් විතාන මහතා සංගීතවත් කර ඇති එම ගීතය ගායනා කරන්නේ විශාරද නිපුනි නයනතාරා විසිනි.

ළය ඉරී කිරී එරී

හද තැවුල් ඇවිලී

නම නොකී මව වෙමී

කාසියට විකිණී

 

දෙස් දෙවොල් නින්දා අපහාස ඇවිලී

රන් කැටී මේ සිහින ගිනිගෙන සිගිතී

එකින් එක දින පිරී ජීවිතය විහිදී

කුස පමණි නුඹට හිමි මා නොව පුතුනි

 

සඳ ගිලුණු ගණ රැයක තරු පොකුරු ඇහිඳී

ජීවිතයේ කටු යහන රිදුම් දෙයි ඇමිනී

දස මසක් මා ලෙයින් මා කුසින් දැඩි වී

මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනි

වසර 16 පමණ කාලයක් නීතිඥවරියක වශයෙන් බොහෝ අත්දැකීම් සමුදායකින් කටයුතු කළ මා දිනක් රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර දී දරුවකු විකුණූ මවක් පිළිබඳව පල වූ පුවතකින් සසළ විය. ඒ ඔස්සේ ගලාගෙන ආ සංවේදී හැඟීම් සමුදාය ගීතයක් ලෙස ඔබ අතරට ගෙන එන්නට මා අදහස් කළේ මේ හරහා විශාල සමාජ පණිවිඩයක් ද ලබා දීමේ අරමුණින්ය.

අප සමාජයේ දරුවකු විකිණූ මවක් සේම දරුවකු මිලදී ගන්නා මවක් පිළිබඳව ද අපට ඇත්තේ අයහපත් ආකල්පයක් පමණි. මව් පදවියටවත් නුසුදුසු අය සේ සමාජය ඉදිරියේ කොන් වන ඔවුන් එම දරුවා පාරක තොටක මිය යන්නට නොදා කොතැනක හෝ සතුටින් සිටින්නට ඉඩ හසර දීම පිළිබඳව කිසිදු පැසසුමක් මේ සමාජයෙන් කිසිඳු දිනක ලැබෙන්නේ නැත. මෙවන් සමාජ ගැටලුවලට හේතුවක් ලෙස ආසියාතික සමාජය තුළ දරුවන් නොමැති ගැහැණුන් වද ගැහැණුන් ලෙස හංවඩු ගැසීමට ගත හැසීම ද ප්‍රබල කරුණක් යැයි මට හැඟේ. එමෙන්ම විවාහ නොවී දරුවෙකු සාදන ගැහැණියක් කෙරෙහි සමාජය දක්වන පිළිකුල ද සමාජය විසින් ඔවුන්ව කොන් කරන ආකාරය කෙතරම් වේදනාත්මක දරාගැනීමක් ද යන්නේ දන්නේ ඒ අසරණ කාන්තාවන්ම පමණි. එබැවින් එවැනි මවක් වචනයකින් හෝ පීඩාවට පත් කිරීමට ඔබත් සිතන්නේ නම් ඒ පිළිබඳව තව දුරටත් සානුකම්පිතව දෙවරක් නොව සිය වරක් සිතා බලන්න.

සමාජයේ එක් පසෙකින් විවාහයකින් පසුව දරුවන් නොමැතිව ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්  හමුවීමට යන අම්මාලය. තවත් පසෙකින් විවාහයක් නොමැතිව ගබ්සා මධ්‍යස්ථාන සොයා යන අම්මලාය. ඇතැම් විට විවාහයක් නොමැති දරුවකු බිහිකර සුරැකුම් මධ්‍යස්ථාන තුළ හඩා වැටෙන අම්මලාය. විටෙක කුණු ගොඩවල් අසළ පවා තම දරුවන් දමා යන මරණයට පත් කරන අම්මලාය. මේ සියලු දෑ සිදු වන්නේ ආගම් වාදය කර පින්නාගත් සමාජ සුභ සාධනය කර පින්නා ගත් සමාජ ස්ථරයන් තුළ වීම අතිශය කණගාටුවට කරුණකි.

මගේ රාජකාරී දිවියේ දී ඇතැම් විට සිය දරු ගැබ පවා දරුවන් නොමැති කාන්තාවන් වෙනුවෙන් සිය දරු ගැබ කුලියට දෙන කාන්තාවන් මා හට මුණ ගැසී ඇත. මුදලට හෝ කිනම් අභිලාෂයකින් එය සිදු කළ ද අවසානයේ දී දරුවන් නොමැතිව දුක් විඳින මවකගේ කිරි සිහින සැබෑ කිරීමට ඉන් හැකිවීම පිළිබදව මට ඇත්තේ සියුම් සතුටකි.

මා විසින් ලියූ ගීතය තුළ සිටින කාන්තාව සිය කුස තුළ සිටි දරුවා කෙරෙහි උපදින ආදරය සහ දයාව හේතුවෙන් ඇයගේ ළැම පිරී ළය ඉරී යයි. එහෙත් සිය දරුවා මුදලට විකුණා නීතිය ඉදිරියේ වැරදිකාරියක වීම හේතුවෙන් දැන් ඇයගේ ළැම පිරී යන කිරී බීමට දරුවකු නොමැත. සිය දරුවා මුදලට විකුණා සමාජය ඉදිරියේ වැරදිකාරියක වූ මේ මවට දැන් ඇත්තේ දෙස් දෙවොල් නින්දා අපහාස පමණි. ඇතැමි විට ඒ මව සිය දරුවා සමග සතුටින් සිටින්නට සිහින දකින්නට ඇති. නමුදු දැන් ඒ සියලු සිහින බිඳ වැටී ඇත. ඒ නිසා සිය දරුවාට තමාගෙන් උරුම වූයේ සිය කුස පමණක් බව ඇය ශෝකයෙන් සිහිපත් කරයි. කටු යහනක් වූ ඇගේ දිවියේ තරු පොකුරු ඇහිඳින්නේ කළුවර පිරුණ රාත්‍රියක දීයි.

නීතිඥවරියක ලෙස සේවය කළ ද මට හැගෙන්නේ නීති පොත්වල කෙතරම් වදන් තිබුන ද ඒවා ක්‍රියාත්මක කරන්නේ මේ පොළොවෙහි මිනිසුන්ම බැවින් නීතියේ සුමට බව ඇතැම් විට රළු වන බවයි. ඒ නිසාම දරුවන් නොමැති දරුවකු හදා වඩා ගැනීමට කැමති මව්වරුන්ට සේම සිය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසාවෙන් සිය දරුවා වෙනත් අයකුට හදා වඩා ගැනීමට දෙන්නේ නම් ඒ සියල්ල සිදු කිරීමට වී ඇත්තේ රහසිගතව බවයි. එබැවින් දරුවකු විකුණන මවකට සිර දඩුවම් නියම කිරීම නීතියට අනූව සාධාරණ  වුව ද  හෘද සාක්ෂිය ඉදිරියේ එය කෙතරම් මානුෂීයදැයි විටෙක හැඟෙනු ඇත.

එබැවින් මෙවැනි ගැටලු පිළිබඳව සමාජය බැලිය යුත්තේ සානුකම්පිතය. මෙවන් ගැටලුවලට හේතු වන සමාජ වටපිටාව පිළිබඳව සොයා බැලිය යුතුය. තවදුරටත් වද ගැහැණුන් අයාලයේ යන ගැහැණුන් මේ සමාජයේ සිටිය යුතු නැත. ඒ සියලු දෙනා ආදරණීය ගැහැණුන් ලෙස ආදරණිය මව්වරුන් ලෙස ඔබ පිළිගත යුතුය. ගබ්සා මධ්‍යස්ථාන වෙනුවට විවාහයකින් තොරව හෝ බිහිවන දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්ථාන වැඩි වශයෙන් බිහිවිය යුතුය. එසේම සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර නොවන මෙවන් වටිනා සමාජ පණිවිඩයක් ලබා දෙන හරවත් ගීත ද වැඩි වශයෙන් බිහි විය යුතු බව මගේ අදහස වේ.

නීතිඥ නදී එදිරිසිංහ