නිල මැස්සෝ මලේ රොන් ගන්නේ
ගිරි මුදුනේ නෙළුම් මල් පීරා
ඉබ්බන් පියාඹති අඹරේ
පිල් විදහා නටයි කලු කපුටා....
මාළුන් දුවයි ගොඩබිමේ
මැදියම් රැයේ ඉර දැකලා
ඌරන් නටයි බැස ගඟුලේ
පෙර වැද්දන් දෙසූ දහම අසලා
සබන් ගාලා ඇගට උලලා....
හොයලා හොයලා අමාරුවෙන් මම මේ සිංදුව හොයා ගන්නේ අන්තර්ජාලයෙන්. නාට්‍යය තමයි කෝ කුක්කෝ. සිංදුව කියන්නේ අපේ හිතවත් මිහිර සිරිතිලක කුමාර තිරිමාදුර ඇතුළු කණ්ඩායම.
මට මේ වගේ සිංදුවක් එක පාරටම මතක් වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සමහර මැති ඇමතිවරුන් දැකලා.
ඉබ්බන් පියාඹති අඹරේ
පිල් විදහා නටයි කළු කපුටා....
මම මතුගම ආනන්දයට කොළඹ නාලන්දෙට කලින් පාසල් ගියේ ගෙවල් ළඟ තියෙන අපේ ගමේ මිරිස්වත්ත මහා විද්‍යාලයට. මගේ අම්මා තාත්තා මේ පාසලේ ගුරුවරු වෙලා හිටියා.
ඔය මිරිස්වත්ත ඉස්කෝලෙට ආව කළුම කළු කොල්ලා තමයි ජය දේව.
අද මුළු රටම දන්න මේ ජයදේව කියන්නේ වෙන කව්රුවත් නෙවෙයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජයදේව රත්නසිරි මහතා.
ගොවිකම ජීවිකාව කරගත් හේරත් සිංඤෝ මාමලාගේ හැම දරුවෙක්ම ඉගෙන ගත්තා. අපේ ගමේ අපි දන්න අයගෙන් ඉස් ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයට ගියේ ඔය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අයියා. පුංචි අපිත් ඔය අයියා දිහා බැලුවේ උගතකු ලෙස ගෞරවයෙන්. ඒ ගෞරවය අපේ අම්මා තාත්තාලගෙත් තිබ්බා.
මේ ලියන්නේ ඒ මල්ලි ගැන.
පසුගිය දවසක ඔහුගෙන් මැති ඇමතිවරු ප්‍රශ්න පිට ප්‍රශ්න අහනවා. ඒ හැම ප්‍රශ්නයක් තුළම තිබ්බේ එකම අරමුණක්.
මොකක්ද දන්නවාද?
“මට සමාවෙන්න. ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය නිකුත් කරපු එක මම කරපු වරදක්”
කියන ප්‍රකාශය කොහොම හරි රත්නසිරි මහත්තයාගේ කටින් ගන්න එක. මේ දිහා හරිම උපේක්ෂාවෙන් යුතුව බලා ඉන්න හේරත් සිංඤෝ මාමා ගේ පුතා තමන් කවදාහරි මිය යන්නේ මේ පොළව මතම බව හරි අපූරුවට ඔප්පු කරලා පෙන්නවා.
වෙසක් එකට පෙන්නපු නැති තොරණ දැන් පෙන්වන්නේ පොසොන් එකට. අන්න ඒ පොසොන් තොරණේ අපි යන්නේ දැන් දෙවැනි කොටුවට.
මේක හුඟක් ඉස්සර කතාවක්. මම දන්න පන්සලක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උසස් පෙළට කළේ කලා විෂයය. දිස්ත්‍රික් ස්ථානය මුල්ම හරිය. දැන් ස්වාමින් වහන්සේ යන්නේ නීති පීඨයට.
හාමුදුරුවො එක දෙයක් දැනගෙන හිටියා. කොච්චර හොඳට නීතිය ඉගෙන ගත්තත් වැඩක් නැහැ. සිවුර අත හරින්නේ නැත්නම් නීතිඥවරයකු වෙන්න බැහැ කියලා. මොකද ඕනෑම පිරිමි කෙනෙක් නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙන්න නම් එක්කෝ ජාතික ඇඳුම අඳින්න ඕනේ. නැත්නම් යුරෝපීය ඇඳුම අඳින්න ඕනෑ. අවසානයේ හාමුදුරුවෝ මූලික අයිතිවාසිකම් නඩුවක් දානවද? එහෙම නැත්නම් නීති උපාධිය අතහැරලා පන්සලට යනවද?
කොහොම වූණත් අවසානයේ ඇඳුම නිසා ඉතිරි වන්නේ ලොකු සමාජ ප්‍රශ්නයක්.
ඇඳුම කියන්නේ සාපේක්ෂ දෙයක්. හැබැයි ඒ සාපේක්ෂ බව මේ සමාජය පද්ධතිය තුළ නිරපේක්ෂ වෙන්න ඕනා. ඉන්දීයාවේ හුඟක් ගම්වල ගැහැනු දවල්ට ඉන්නේ රෑට අදින නයිටිය පිටින්. මේ තත්ත්වය තුළ ගොඩනැගෙන්නේ හරිම අසෝබනයක්.
අන්ද්‍රා ප්‍රදේශයේ දවල්ට නයිටියෙන් ඉන්න ගැහැනුන්ට දඩ ගහන්න නීති ගෙනෙනවා. අවසානයේ දවල්ට අඳින නයිටියට විරුද්ධ ඉන්දියානු සමාජය තුළින්ම මතයක් ගොඩ නැගෙනවා.
ඌව වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසි ආණ්ඩුවේ සේවකයෙක් වුණ මොනරවිල කැප්පෙටිපොළ හරිම වේලාවේ කොහුඹුරේ රටේ රාල එක්ක එකතු වෙනවා. ඒ තමයි ඉතිහාසය.
පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන් ඉදිරියේ නිවටයන් වෙලා ඇඳුමින් අල්ලාගෙන වීරයෙක් වෙන්න හදන විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පිළිබඳව මේ රටේ මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගන්නේ රත්නසිරි මහත්තයා නිසා. මුළු කාරක සභාවේ දිශානතිය මෙන්න මේ ලේකම් වෙනස් කළා.
අර බේසමෙන් තමන්ගේ නිරුවත වසාගත් ගොවියාගේ කතාව හරියට ගැලපෙන්නේ මෙන්න මේ අය ප්‍රශ්න අහන විදිහටය.
ගමක සිටි ගොවියෙක් පරචිත්ත විජාතනය යනු කුමක්දැයි තේරුම් ගත නොහැකිව කල්පනා කරමින්ම නින්දට ගියේය. පසු දින නාන්න ගිය ගොවියා අමුඩය ගොඩින් තබා ඇළට බැස්සෙත් අර පරචිත්ත විජාතනය ගැන කල්පනා කරන ගමන්මය.
ගමේ හාමුදුරුවෝ ඇළ අසලින් වඩිනු දුටු ගොවියා අසල තිබූ බේසමකින් නිරුවත වසා ගෙන දුවන්නේ හිමි නම වඩින දෙසටය.
“අපේ හාමුදුරුවනේ පරචිත්ත විජාතනය කියන්නේ මොකක්ද?”
“උපාසක පරචිත්ත විජාතනය කියන්නේ අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කම”
හිමි නම දෙසීය.
“ඒ කියන්නේ?” ගොවියා නැවත ඇසුවේ ඇත්තටම තේරුණේ නැති නිසාය.
“දැන් බලන්න උපාසක, ඔබ මේ වේලාවේ හිතන් ඉන්නවා ඔය බේසමේ අඩියක් තිබෙනවා කියලා. ඔබ හිතනවා අඩිය තියන නිසා නිරුවත වැහිලා කියලා”
“ඔබ වහන්සේ හරියට හරි” ගොවියා කීය.
“හැබැයි උපාසක ඔය බේසමේ අඩිය නෑ” කියූ හිමි නම නැවතත් යන්නට ගියේය.
සමහර සභාවල සමහර සාමාජිකයන් හා මෙම අඩිය නැති බේසමෙන් නිරුවත වසා ගත් ගොවියා අතර සම්බන්ධය ගොඩනැගීමට උත්සහ නොගන්න.
එය ගොවියාට කරන අසාධාරණයක් බව කරුණාවෙන් සලකන්න.