ජීවිතය නිවැරැදි මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාගය ඒ වෙනුවෙනි.
කොස්වත්ත බිංගිරිය ඩී. එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි
නිලමේගේ වීරවික්‍රමය ඔහුගේ ජීවිතයටම බලපෑ හැටි
එක්දහස් නවසිය පනහ වර්ෂයේ ජීවත්වූ ඔහු අපි “නිලමේ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. තම ගමේ විහාරස්ථානයේ ප්‍රධාන දායකයකු ලෙස කටයුතු කළ ඔහු එම පින් දහම් කටයුතුවලින් බැහැරව පසුකාලීනව පාපමිත්‍රයන් සමග එක්ව තදින් සුරාවට ඇබ්බැහි විය. තම ගෙවත්තේ පොල් ගස් කිහිපයක් මැද ඉන් රා පිළියෙල කරගත් “නිලමේ” තම පාප මිතුරන් හා එක්ව දිනපතා දවස පුරා රා බීමට පටන් ගත්තේ රාවලට අරක්කුද මිශ්‍ර කර ගනිමිනි.
මෙසේ මත්පැනට ඇබ්බැහිවූ ඔහු තම මිතුරන් සමගින් රාවලට අරක්කු මිශ්‍රකර බීමෙන් පසු ඔහු සිහිවිකල්ලෙන් පිස්සකු මෙන් හැසිරෙන්නට වූ අතර දිනෙන් දින දඩමසටද ඇබ්බැහි විය. තම ගෙදර ඇතිකරන බල්ලා දඩයමට පුරුදු පුහුණු කළ ‘නිලමේ’ දිනපතාම තම බල්ලා ද කැටුව දඩයමේ යන අතර තලගොයෙකු, මීමින්නෙකු, හාවෙකු දුටුවිට හනික බල්ලාද උසිගන්වමින් උන් පසුපස එළවා එම සතාව අල්ලා ගන්නේ තමාගේ වීර වික්‍රමය විදහාපාමිනි. එම සතාව අල්ලාගන්නා ‘නිලමේ’ සතාව වලිගයෙන් අල්ලා ගසක ගසා මරාගෙන තම නිවසට රැගෙන ගොස් උයා පිහාගෙන රා අරක්කු සමගින් එම මස් භුක්ති විඳිනුයේ මහත්වූ කෑදරකමිනි.
මෙසේ දිනපතා පාපතර ක්‍රියාවල යෙදුණු ඔහු පසමිතුරන් හා එක්ව දිනපතා මෙවැනි දුෂ්චරිත ක්‍රියාවල යෙදුණු අතර දිනක් හොඳහැටි තදබල ලෙස මත්පැනින් සප්පායම්වී තම සගයන් සමගින් ගමේ විහාරස්ථානය වෙත ගියේ වැනි වැනී ය. පන්සලේ ඝණ්ඨාර කුලුන සමීපයට ගිය ‘නිලමේ’ තමාගේ වීර වික්‍රමය අන් අයටද පෙන්වා ලීමේ අදහසින් ‘රා මුට්ටියකට ඔට්ටු අල්ලා’ බීමතින් ඝණ්ඨාර කුලුන මුදුනටම නැංගේ ඔහුගේ සගයන්ද මවිතයට පත්කරවමිනි. ඔවුන් මහත් සේ බියපත්ව ඝණ්ඨාර කුලුනෙන් බිමට බසින ලෙස ඉල්ලුවද ඒ කිසිවක් ගණනකටවත් ගණන් නොගත් නිලමේ කුලුන මත දිගා වූ අතර නැගිට ඝණ්ඨාර කුලුනෙන් බිමට බැසීමට තැත්කරත්ම ඔහු ඉන් ඇද වැටුණේ ඝන්ඨාර කුලුණේ පහළින් තිබූ කොන්ක්‍රීට් බැම්ම උඩටය.
කොන්ක්‍රීට් බැම්මේ තදින් හිස වැදුණු ‘නිලමේ’ අනෙක් අය බලා සිටියදීම අවසන් හුස්ම හෙළුවේ තමාගේ “වීර වික්‍රමය” අන් අයටද පෙන්වාලමිනි. තමා මෙතෙක් කළ ඒ සියලු පාපක්‍රියාවල ආදීනව මේ ජීවිතයේදීම ඔහුට පටිසන් දුන් බැව් මෙයින් හොඳහැටි පැහැදිලි වනු ඇත. මෙහි නම් මනංඃකල්පිතය. මෙය සත්‍ය සිදුවීමකි. (නිලමේට අත්වූ මෙම පටිසන්දීම ඔහුගේ විහාරස්ථාන භූමියේදීම අත්වීම විශේෂිත සිද්ධියක් විය.)
පව්කරන්නේ බලාගෙනයි දරු පවුල්වලටද විපාක දිය හැක
මොරටුව, අඟුලාන, උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි විහාරාධිපති හේනේගම අමරනන්ද හිමියන් ලියා එවූ කතාවකි.
පාපයට, ක්ලේශයට නිරන්තරයෙන් බර අපගේ සිතෙහි සිතුවිලි ධාරාව නිවැරදි කර ගෙන දිවි ගෙවීමට හැම විටම උත්සාහවත් විය යුතුය. එවිට මෙලොවදී සතුටින් විසිය හැක. පරලොවද දිනිය හැක. අකුසල, පාපකාරී ක්‍රියා මී පැණි මෙන් රසවත් වුවද ප්‍රතිඵලය හැම විටම ගින්දර මෙන් බියකරුය. පින-පව පිළිබඳව අල්පමාත්‍ර හැඟීමක් නොමැතිව සිදුකළ ක්‍රියාවක දිට්ඨධම්මවේදනීය ලෙසින් ලද දුක් විපාක පිළිබඳ කථාන්තරයක් මට නිරතුරුව සිහියට නැගෙයි. පව විපාක දීමේදී දරු පවුල්වලට පවා බලපෑම් කළ අයුරු පිළිබඳව විමසිලිමත්වීමට මෙම කතා පුවත අපහට අපූරු පාඩමක් කියා දෙයි.
මීට වසර 35 කට පෙර මම පැවිදිබිමට පත්වීමෙන් පසු අධ්‍යාපනය ලැබීම සඳහා ගුරු හාමුදුරුවන් විසින් මා අගනුවර ප්‍රකට පිරිවෙනකට ඇතුළත් කරනු ලැබූ අතර, එම පිරිවෙන ආසන්නයෙහි තිබූ පන්සලක නවාතැන් පහසුකම් සපයා දෙන ලදී. මෙම පන්සලෙහි තවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සිටි අතර පන්සලට යාබදව තිබූ කාමර පෙළක අගනුවර විවිධ ආයතනයන්හි රැකියාවල නියුතු ගිහි පිරිසක් ද වූහ. මෙම ගිහි පිරිස වැඩි දෙනා අපට ඉතා හිතවත් අය වූහ. ඔවුනට හැකි පරිදි අපගේ ඉගෙනීමට අවැසි පොත්-පත් ගෙනැවිත් දුන් අතර ඇතැම් දිනයන්හි දාන වේල පවා පිළියෙල කර දෙන ලදී. මේ අය අතර සිටි ‘සමීර’ අයියා පෞද්ගලික ආයතනයක සේවය කළ අවු. 25 ක පමණ අයෙක් විය. ඔහු අපට ඉතා ලෙන්ගතු කෙනෙක්ද විය. ඔහුගේ ඇවතුම්-පැවතුම් පවා ඉතා පියකරු විය. එක්තරා දිනෙක සමීර අයියා වෙනුවෙන් අප නේවාසිකව සිටි පන්සලට දුරකථන පණිවුඩයක් ලැබුණේය. එමගින් කියැවුණේ සමීර අයියාගේ පියා හදිසියේ මියගිය බව ය.
අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම පිණිස පන්සලෙහි නේවාසිකව සිටි ගිහි-පැවිදි අපි වැඩි දෙනෙක් සමීර අයියාගේ නිවසට ගියෙමු. මුහුදුබඩ පෙදෙසක පිහිටා තිබූ එම නිවසෙහිදී දැන ගත් පරිදි මරණයට හේතුව වූයේ වසමිශ්‍ර මත්පැන් වර්ගයක් පානය කොට තිබීමය. මෙම විස මත්පැන් පානය කිරීම නිසා තවත් දෙදෙනෙකු මියගොස්, කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ආරෝග්‍ය ශාලාවට ඇතුළත් කොට තිබුණි.
පියාගේ අවසන් කටයුතු නිමාවී දින දහයකින් පමණ සමීර අයියා නවාතැනට පැමිණියේය. පියා නිතර මත්පැන් පානය කරන බවත් එදින පානය කර තිබූ මත්පැන් මුට්ටියට කවුරුන් හෝ වස මුසු කර තිබූ නිසා ඒ පිළිබඳව පොලිසිය පරික්ෂණයක් සිදු කරන බව ඔහු පැවැසුවේ පියා ගැන අතිශය කනගාටුවෙමිනි. දැනට නිවසෙහි අසනීපයෙන් පසු වන මව සමඟ අවිවාහක අයියා කෙනෙකු සිටින බව හා තවත් අයියා කෙනෙකු විවාහ වී ගමට ආසන්නයෙහි වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව කියූ සමීර අයියා මවගේ දුක සැප සොයමින් ඇයට ඇප උපකාර කිරීම සඳහා ගමට යෑමට සූදානම් විය. ඒ සඳහා රැකියාවෙන් ඉවත්වීමට ගෙන තිබූ අදහසට අප එකඟ නොවූවද ඔහු සිය මතය වෙනස් නොකළේය. පියාගේ මරණය සිදුවී මාසයක පමණ කලක් ගත වූ විට සමීර අයියාගේ මව ද මියගිය අතර අපි එම අවමංගල්‍යය උත්සවයට ද සහභාගී වීමු. සමීර අයියා ගමට ගිය පසු අප සමග තිබූ සමීප සබඳතාවන් දුරස් විය. එසේ වුවද ඔහු පිළිබඳ තතු අප සමඟ පන්සලෙහි වැඩ සිටි ශිෂ්‍ය හිමි නමක් මගින් දැන ගත හැකි විය. නමින් සමිත හිමි වන ඒ හිමියන් සමීර අයියාගේ ගමට සමීප අරමක හිමි නමක්වූ අතර සෑම සති අග නිවාඩුවකටම තම විහාරස්ථානයට වැඩම කර සඳුදා උදෑසන නැවත කොළඹට පැමිණෙයි.
සමීර අයියාගේ නිවසෙහි සිටි අවිවාහක අයියා නන් දොඩවමින් ඉබාගාතේ ඇවිදිමට පටන් ගැනීම නිසා ඔහු එක්තරා ආරෝග්‍යශාලාවක මානසික රෝගී වාට්ටුවකට ඇතුළත් කළ බව සමිත හිමියන් අප සමඟ පැවසුවේ සමීර අයියාගේ පියා මියගොස් තෙමසක් ගෙවීමටත් පෙරය. කාලය තවත් දෙමසක් ගත වූ විට සමීර අයියාගේ විවාහක සොහොයුරා යතුරුපැදියකින් යන විට මහමඟ ඇද වැටී මියගොස් තිබුණි. මෙම හදිසි මරණය අබිරහසක් විය. මියගිය ආකාරය ගැන නිශ්චිත නිගමනයක්ද නොවීය. ඒ පිළිබඳ විවිධ කතා ගමේ ගොඬේ පැතිරෙන බව සමිත හිමියන්ගෙන් අපි දැන ගතිමු.
කෙසේ වුවද කෙටි කලක් තුළදී මියගිය සිය සොයුරාගේ වෙළෙඳ ව්‍යාපාරයෙහි පාලනය සමීර අයියා බාරගෙන තිබුණි. එපමණක්ද නොව සිය මියගිය සොයුරා විවාහවී සිටි තැනැත්තියගේ නැඟණිය සමග ඔහු විවාහ විය. මෙලෙස වසරක් පමණ ගිය පසු දිනක් සමීර අයියා අප බැහැ දැකීමට කොළඹට පැමිණියේය. ඒ වන විට ඔහු සියලු සිදුවීම්වල වේදනාව අමතක කොට තිබුණි. සමීර අයියා අපහට පොත්පත් ගැනීමට මුදල්ද කාමරවල සිටි හිතවත් ගිහි පිරිස වෙනුවෙන් සංග්‍රහයක්ද පවත්වා පසු දින උදෙන් නැවත ගමට ගියේය. ගමෙහි විවිධ කටයුතුවලට සහභාගී වෙමින් බොහෝ දෙනෙකුගේ සිත් දිනා ගනිමින් සමීර අයියා ඉතා සැහැල්ලුවෙන්, සතුටින් කල් ගෙවන අතර, වෙළෙඳ ව්‍යාපාරයද මනාව සිදුකර ගෙන යන බව සමිත හිමිගෙන් දැන ගැනීමට හැකි විය.
වසර අග ලද පිරිවෙන් නිවාඩු කාලය ගත කිරීමට මම පැවිදිවූ විහාරස්ථානයට වැඩියෙමි. ඒ අතර දිනක විහාරස්ථානයට දුරකථන පණිවුඩයක් දුන් සමිත හිමියන් විසින් සමීර අයියා ද හදිසියේ මියගිය බව පවසා අවසන් කටයුතු සඳහා වඩින ලෙස දන්වන ලදී. මම එදිනම සමිත හිමියන්ගේ අරමට වැඩම කර සමීර අයියාගේ නිවසට ගියෙමි. ඔහුගේ දේහය දැකීමෙන් මට ඇතිවූ වේදනාව යටපත් කර ගත්තේ ඉතා අසීරුවෙනි. මෙතරම් ගුණ යහපත් චරිතයකින් යුත් කෙනෙකු හට සිදු වූ විපත අදහා ගැනීමට නොහැකි විය.
සමිත හිමියන් පැවසූ පරිදි මීට දින හතරකට පෙර සමීර අයියාගේ මිතුරෙකුගේ මවද මියගොස් ඇත. එම මවගේ දේහය එම්බාම් කිරීම මිතුරාගේ නිවසේදීම සිදුකර ඇත. එම කටයුතුවලට සමීර අයියා උදව් කර ඇත්තේ තරමක් මත්පැන් පානය කරමිනි. එම්බාම් කටයුතු අවසන් කොට ගෙයින් පිටතට පැමිණි සමීර අයියා යළිත් ගෙට ගොස් ඇත්තේ තවත් මත්පැන් පානය කිරීමටය. එහෙත් මත්පැන් වෙනුවට ඔහු පානය කර තිබුණේ එම්බාම් කිරීම සඳහා ගෙනැවිත් තිබූ දියර වර්ගයෙකි. සැණෙකින් ඔහු රෝහල් ගත කළද ඒ වන විටද මියගොස් තිබුණි.
අවමඟුල් උත්සවයට සහභාගිවී මම එදින සමිත හිමියන්ගේ අරමෙහි නවාතැන් ගතිමි. අප දෙදෙනා සමීර අයියාගේ හදිසි වියෝව ගැන වේදනාබරව කතා බහ කරමින් සිටියදී මෙම විහාරස්ථානයට වැඩම කර සිටි වැඩිහිටි හිමිනමක් අපගේ කතා බහට එකතු විය. උන්වහන්සේ කර්ම විපාක පිළිබඳව සරලව අපහට පැහැදිලි කළේ ඇඟ කිළි පොලා යන කතාවකි.
මෙම ප්‍රදේශයට තරමක් ඈතින් ඉපැරණි විහාරස්ථානයක් තිබේ. ඉතා වටිනා පෞරාණික පුරාවස්තු රැසක් එහි තැන්පත් කර ඇත. ඈත එපිට පෙදෙස්වලින් පවා වන්දනා පිරිස් පැමිණ එම පුරාවස්තු දැක බලා ගෙන මහත් සැදැහැයෙන් වන්දනා මාන කරති. විවිධ අපල උපද්‍රව දුරු කර ගැනීමට මෙන්ම සෙත් ශාන්ති කරගැනීමට විශාල පිරිසක් නිතිපතා පැමිණෙන මෙම විහාරස්ථානයෙහි රන්මුවා බුදුපිළිමයක් තිබී ඇත. එම පිළිම වහන්සේ අතුරුදන්වූ අතර එය සොයා ගැනීමට පොලිසිය මෙන්ම දායකකාරකාදීන්ද ගත් ප්‍රයත්නය නිෂ්ඵලවී ඇත. මේ නිසා විහාරස්ථානයෙහි වැඩ සිටි වියෝවෘද්ධ නායක මාහිමියන් පවා ගිලන්වී තිබේ. කාලය වසර දෙකක් පමණ ගත වන විට අපරාධකරුවන්ට සිය හෘද ශාක්ෂියෙන්ම යහතින් සිටීමට ඉඩ නොදුන්නේය. ඔවුන් අතර නිතර ආරවුල් ඇති විය. එම ආරවුල් ඔවුන්ගේ පවුල් අතරද පැතිරිණි. බුදු පිළිමය සොරා ගත් අයගේ නම් ගම් හෙළිවිය. අපරාධයට සබැඳී වූ එක් අයෙකු නම් සමීරගේ පියාය. මත්පැන්වලට වස මුසුවී ඔහු සමඟ සොරකමට හවුල්වූ සෙසු පුද්ගලයාද මියගියේය.
පිළිමය මකා රන් භාණ්ඩ සාදා එම රන් භාණ්ඩවලින් කොටසක් විකුණා තවත් කොටසක් පුද්ගලික පරිහරණයට යොදා ගනු ලැබීය. මෙයට සම්බන්ධිත රන්කරුවා ගෙළ වැළලාගෙන මියගොස් තිබිණි. එපමණක්ද නොව මෙම අපරාධයට අදාළ පවුල් තුනෙහිම සාමාජිකයන්ටද කර්ම විපාකය එළව එළවා පහර දෙන බව උන්වහන්සේ පැවැසූහ. ලොව පාලනය කරන ස්වභාව ධර්මයද විශ්ව ශක්තියද හෘද ශාක්ෂියටත් වඩා බලවත් බව පවසා උන් වහන්සේ අප දෙස බලා නිහඬ වූයේ සමීර අයියාට අත්වූ ඉරණම වටහා ගත්තාදැයි විමසන්නාක් මෙනි.
බුදු පිළිමවල සිරස කඩා, දාගැබ් වනසා ඒවාහි තැන්පත් (නිදන්) කොට ඇති වටිනා පූජා භාණ්ඩ සොරකම් කිරීමට, නිදන් වස්තු මංකොල්ලකෑමට සිතන පවිටුන්ට තමන් විසින් සිදු කරනු ලබන පාපයන්හි විපාක තමන්ට පමණක් නොව කිසිවක් නොදන්නා අහිංසක දරු පවුල් පසුපසද එළව එළවා “දිට්ඨධම්මවේදනීය” වශයෙන්ම විපාක දෙන බවම සිහිපත් කර ගැනීමට මෙම සත්‍ය කතා පුවත කදිම පාඩමකි.
මෙවැනි කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.