රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ශක්තිමත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් ආණ්ඩු පක්‍ෂයක පැවැත්ම අත්‍යවශ්‍ය වන අතරම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සම්බන්ධයෙන් වඩා ක්‍රියාශීලි ශක්තිමත් විපක්‍ෂයක පැවැත්ම ද නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක පැවැත්මට හේතූවෙයි.
පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විපක්‍ෂය යනු විකල්ප ආණ්ඩුව හෙවත් ඡායා ආණ්ඩුව (Shadow government) යි. විපක්‍ෂයේ ශක්තිමත්භාවය පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් පමණක් තීරණය වන්නේ නැත. නව ජනාධිපතිවරයකු යටතේ නැවුම් බලාපොරොත්තු රාශියක් මත ව්‍යවස්ථාදායකයට, නැතිනම් පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත්කරගැනීම තව දින කිහිපයකින් සිදුවීමට නියමිත අතර, ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍ය කාරණයක් බව සිහිපත් කළ යුතුය. පාර්ලිමේන්තුවට තෝරා පත් කළ යුත්තේ කවර සුදුසුකම් සහිත පුද්ගලයන් දැයි අප තේරුම්ගැනීම ද වැදගත්ය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය හා සම්බන්ධ විපක්‍ෂයේ කාර්යභාරය පිළිබද ආදර්ශ මොඩලය බ්‍රිතාන්‍යයයි. එහිදී විපක්‍ෂයට ආණ්ඩු පක්‍ෂයට සමාන තත්වයක් හිමිවන අතර එය අනාගත ආණ්ඩුව (future government) එසේ නැතිනම් ඊළඟ ආණඩුව (next government) වශයෙන් කටයුතු කරයි. යම් විටෙක ආණ්ඩුව බිද වැටුණොත් ආණ්ඩුවේ කාර්යභාරය ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ විපක්ෂය විසිනි.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගැනීම මගින් ආණ්ඩු පක්‍ෂය සිය බලය තහවුරුකොට පවත්වාගෙනයාම සාමාන්‍යයෙන් සිදුවන අතර, විපක්‍ෂයේ බලය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වයට වැදගත් දායකත්වයක් සපයයි. පාර්ලිමේන්තු වාද විවාද මගින් ඇරැඹෙන විපක්‍ෂයේ කාර්යභාරය ආංශික අධික්‍ෂණ කමිටු තුළ සිදුකරන සක්‍රීය සහභාගිත්වයන් මගින් තවදුරටත් තහවුරුකරගත හැකිය. අනෙක් අතට විධායකයේ වගවීම සහතික කරවීම වෙනුවෙන් පිහිටුවා ඇති මෙවැනි කමිටුවලට විපක්‍ෂය නියෝජනය කරමින් සහභාගීවිය යුත්තේ බුද්ධිමත් සහ දැනුමක් සහිත ප්‍රාමාණිකයන්ය. ශක්තිමත් විපක්‍ෂයක් පැවතීම මගින් විධායකයේ සහ ආණ්ඩුවේ බලය යම් සංවරණයකට ලක්කළ හැකිය. තව ද මෙරට විවිධ ආණ්ඩුක්‍රම තුළ ක්‍රියාත්මක වූ ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂය නියෝජනය කළ බොහෝ නුසුදුසු සාමාජිකයන් ද එවැනි කමිටුවල නියෝජතයන්වීම හේතූකොටගෙන විපක්‍ෂයේ කාර්යභාරය නිසිලෙස ඉටු නොවීම මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය නිර්මාණය වී තිබේ. එහෙයින් ඇතැම් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමටත්, පාදඩ දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් සිදුකිරීමත් වැදගත් වෙයි. මැතිවරණය අවසානයේදී සුසුම්ලනවා වෙනුවට මූල්‍ය පාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, නීතී සහ කෙටුම්පත් සම්පාදනය වැනි දේ පිළිබද දැනුමක් සහිත දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමේ ජනවරම ඇත්තේ මහජනතාව වන අපටය. එහෙයින් මෙවර මහ මැතිවරණයේදීවත් අපරාධකරුවන්, දූෂිතයන් සහ ස්ත්‍රී දූෂකයන්, කොන්ත්‍රාත්කරුවන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සහ වෙනත් ආකාරයේ නුසුදුස්සන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමට කටයුතු කළ යුතුය. ආණ්ඩු පක්‍ෂයට මෙන්ම විපක්‍ෂයටද පත්කළ යුත්තේ දේශපාලන කවටයන් නොව සාර්ථක වියහැකි ජනතාවාදී දේශපාලකයන්ය.
1978 මෙරටට විධායක ජනාධිපති ක්‍රමය හදුන්වාදීම මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට ලක්වීම ඇරඹුණද, වෙස්මිනිස්ටර් ක්‍රමයේ අභාසය ලත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විපක්‍ෂයට සැලකිය යුතු කාර්යභාරයක් හිමි විය. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට යොමුකරවිම මගින් ජනතා අභිලාෂ සාක්ෂාත් කරමින් මහජන වරම ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරුණේ විපක්‍ෂයටය. මෙරට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ 1950, 1960 සහ 1970 දශකය අවසානය දක්වා වූ කාල පරිච්ඡේදය තෙක් ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයත්, පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් වගකිවයුතු කාර්යභාරයක් සිදුකළ අතර, එම කාල පරිච්ඡේදය විපක්‍ෂයේ කාර්යභාරය හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ස්වර්ණමය යුගය වශයෙන් හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. එසේම 1980 -2005 කාල පරාසය තුළත් විපක්‍ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු කාර්යභාරයක් අඩු වැඩි වශයෙන් සිදුකළ ද එහි ශීඝ්‍ර කඩා වැටීම සහ පසු බැසීම ඇරැඹුණේ 2005 මහින්ද රාජපක්‍ෂ පාලනයේ ආරම්භයත් සමගිනි.
2005 න් පසු මෙරට විපක්ෂයේ කාර්යභාරය දුර්වලවීම කෙරෙහි බලපෑ කාරණයක් වූයේ පැවැති ආණ්ඩු පක්‍ෂ විසින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබාදී ඔවුන් ආණ්ඩු පක්‍ෂයට ලබාගැනීමට කටයුතු කිරීම ය. විපක්‍ෂය හෑල්ලුවට ලක්වීම වේගවත් විය. පාර්ලිමේන්තුවට පිටතදීත් වික්‍ෂය කඩා දැමීම මගින් විපක්‍ෂයේ කාර්යභාරය දුර්වල වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය බිදවැටීමකට ලක්විය. 1948 සිට ද්වි පක්‍ෂ සහ ද්වි සභාග ක්‍රමයේ ශක්තිමත් පක්‍ෂ ලෙස මෙරට දේශපාලනය තුළ පැවැති එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි බොහෝමයක් ප්‍රධාන පක්‍ෂවල කඩා වැටීම අවසන් වූයේ රාජපක්‍ෂ පරම්පරාවේත් කඩා වැටීම සමගය. 2005 න් පසු විපක්‍ෂයේ කාර්යභාරය හානියට ලක්වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වූ අතරම, විපක්‍ෂය පිළිබදව පැවැති මහජන විශ්වාසයත් බිදවැටීමකට ලක්විය. එහෙයින් මෙවර මැතිවරණයේදී මෙවැනි පිරිස් හෝ ඔවුන්ගේ අවශේෂයන් හඳුනාගෙන තම වටිනා ඡන්දය භාවිත කිරීමට අප වග බලාගත යුතුය. අනෙක් අතට විවිධ උපක්‍රම මගින් පක්‍ෂ කඩා දමන සංස්කෘතිය වහා වෙනස් කිරීමේ කාලය දැන් එළඹ තිබේ. දේශපාලන සහභාගීත්වය විකෘතිකරන දුර්වල විපක්‍ෂයක් බිහිකිරීමට ඉවහල්වන පක්‍ෂ මාරුකිරීමේ ක්‍රමයට තිත තැබිය හැකි බලයක් ආණ්ඩු පක්‍ෂයට ලබාදීම මගින් මන්ත්‍රීවරුන්ට පක්‍ෂ මාරූ කිරීමට ඇති අයිතියට විරුද්ධව පණතක් පාර්ලිමේන්තුව තුළින් සම්මත කර ගැනීමට බලයට පත්වන ආණ්ඩුවට බලපෑම්කළ යුතුය. බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රමය එහි යහපත් සම්ප්‍රදායන් මත ගොඩනැගී ඇති අතර, අප රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය යහපත් දේශපාලන සම්ප්‍රදායන් යටපත්කොට තිබේ. මෙරට පාර්ලිමේන්තුවට පැමිණීමට බොහෝ දෙනකු උත්සහ කරන්නේ, වාසි සහ වරප්‍රසාද ලබා ගැනීමේ වේදිකාවට ප්‍රවිෂ්ට මාර්ගය එය බැවිනි. පක්‍ෂ ප්‍රතිපත්ති මතවාදයක් හෝ කිසිදු දැක්මක් නැති මෙවැනි ඇතැම් පක්‍ෂ සහ කණ්ඩායම්වල පුද්ගලයන් තමන් විපක්‍ෂයට පත් කරන්නැයි ඉල්ලා සිටින්නේ විපක්‍ෂයෙන් බලයට පත් වී පසුව ආණ්ඩු පක්‍ෂයට පැනගැනීමේ යටි බලාපොරොත්තුවකින් විය හැකිය. එවැන්නන් දේශපාලන ක්‍රමයෙන් පිටතට තල්ලුකොට දැමීමේ වගකීමෙන් අපට මිදිය නොහැකිය. මන්ද මන්ත්‍රීවරුන් බලයට පත් කරන්නේ ඡන්ද දායකයන් වන අප වීම හේතූකොටගෙන එවැන්නන් මහජන නියෝජිතයන් ලෙස පත්කර ගතහොත් එහි වගකීම අප විසින්ම දැරීය යුතු බැවිනි.
බ්‍රිතාන්‍ය තුළ විපක්‍ෂයේ කාර්යභාරය වන්නේ ආණ්ඩුවේ සාර්ථක සැළසුම් ක්‍රියාවට නැංවීමට සහයෝගය ලබා දෙමින් පාර්ලිමේන්තවේ වාද විවාදවලට ඵලදායි සහ ක්‍රියාශීලී ආකාරයෙන් සම්බන්ධ වෙමින් රට ගොඩ නැංවීමට දායක වීම ය. මෙරට තුළ ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයද බොහෝ විට ක්‍රියා කොට ඇත්තේ ජාතික අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට මුල් තැන දෙමින් ක්‍රියා කිරීමට නොව තම පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වයේ අවශ්‍යතාවට මුල් තැන දීම මගින් මැතිවරණ ජයග්‍රහණ සිදුකර ගැනීම උදෙසා ය.
විශේෂයෙන් මෙරට බොහෝ කාලයක් පැවති විපක්‍ෂය මගින් පෙන්නුම් කරන පොදු කාරණය වන්නේ ආණ්ඩු පක්‍ෂය පෙරළා දැමීමේ පටු පරමාර්ථ සහිත ව සිදුකරනු ලැබු දැඩි විවේචනයන් ය. මෙය බොහෝ විට දැඩි විනාශකාරී මානසික තත්වයන් මත සිදු කරනු ලැබූ ඒවා බව ද පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂය කටයුතු කරන්නේ නිසි දත්ත සහ තොරතුරු මත පදනම් වෙමිනි. ඔවුන් එවැනි වාද විවාදවලින් අපේක්‍ෂා කරන්නේ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කිරීමට නොව ආණ්ඩුව නිසි මගකට ගෙන ඒම සඳහා ය. එහෙයින් මෙවර මැතිවරණයෙන් බලයට පත්වන පාර්ලිමේන්තු කණ්ඩායම ක්‍රියා කළ යුතු වන්නේ යහපත් දේශපාලන සංස්කෘතියක් මත පදනම් වෙමින් බව මතක තබා ගත යුතු ය. විශේෂයෙන් ආණ්ඩු පක්‍ෂය මෙන් ම විපක්‍ෂය ද කටයුතු කළ යුතු වන්නේ සත්‍ය තොරතුරු සහ දත්ත මත පදනම්ව ය. එසේම පොදු ජනතා සුබ සාධනය මත පදනම් ව යහපත් ජනතා පැවැත්මක් සහතික කිරීම වෙනුවෙන් ජනතා නියෝජිතයන් කටයුතු කළ යුතු ය. එසේ ම එවැනි පොදු කාරණාවලදී ආණ්ඩු පක්‍ෂය මෙන් ම විපක්‍ෂයත් ජනතා අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීම සිදුකළ යුතු ය. එහෙත් විපක්‍ෂයේ කාර්යභාරය පිළිබඳ අතීත අත්දැකීම් මගින් පෙන්වා දෙන්නේ ජනතා අපේක්‍ෂා සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සහයෝගයෙන් ක්‍රියාකොට නොමැති බවයි. ඒ එසේ වීම හේතු කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වීම මෙරට දේශපාලන ක්‍රමය තුළ ස්ථාපිත වී තිබේ.
බලයට පත්වන මහජන නියෝජිතයන් තමන්ට ලැබුණු මහජන වරම නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ නැති විට විපක්‍ෂය තම හඬ පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතදීත් අවදි කළ යුතු ය. එයට හේතුව ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය නිසි මගට ගෙන ඒමේ වගකීම පැවරී ඇත්තේ විපක්‍ෂයට ය. විශේෂයෙන් පාර්ලිමේන්තුව තුළ සිදුකරන නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී පක්‍ෂ භේදයකින් තොර ව ඊට අවශ්‍ය යෙදවුම් ලබා දීමට කටයුතු කිරීම මගින් පාර්ලිමේන්තුව තුළ යහපාලනය වගවීම සහ වගකීම සහතික කිරීමට විපක්‍ෂය කටයුතු කළ යුතු ය. විශේෂයෙන් කෝප් සහ කෝපා වැනි කමිටුවල සිටි විපක්‍ෂයේ කණ්ඩායම්වලට සැලකිය යුතු කාර්යභාරයක් පැවරී තිබුණත් ඔවුන් එහිදී එම කාර්යභාරය සිදුකළේ ද යන්න ගැටලුවකි. විශේෂයෙන් මුදල් අවභාවිතය සම්බන්ධ කරුණු රාශියක් තිබුණත් ඔවුන් ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය කොතරම් වගකීම් සහගතද යන්න ගැටලුවකි. අනෙක් අතට මෙරට පැවති ආණ්ඩු පක්‍ෂ මෙන් ම විපක්‍ෂයත් දූෂණ වලට සහයෝගී ව කටයුතු කර ඇති ආකාරය මෙරට දේශපාලන ඉතිහාසය පරීක්‍ෂා කිරීමේදී පෙනී යයි. ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේ ඇතැම් පිරිස්ද බොහෝ දූෂණවලදී ආණ්ඩු පක්‍ෂය සමග සහයෝගයෙන් කටයුතු කළ බවට සාක්‍ෂි ඉදිරිපත් වෙමින් පවතී.
මෙවැනි තත්වයක් මගින් පෙන්නුම් කළේ විපක්‍ෂයේ අසාර්ථකභාවය යි. අනෙක් අතට ආණ්ඩු පක්‍ෂය ගෙන එන අණපනත් කොතරම් ජනතාවාදී ඒවා ද යන්න පිළිබඳ තීරණ ගත හැකි ශක්තිමත් සහ බුද්ධිමත් විපක්‍ෂයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් ය. පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සාර්ථක වාද විවාදයන්ට සම්බන්ධ වෙමින් ජනතාවාදී අණපනත් සම්මත කරවා ගැනීමට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකළ යුතුය. ජනතාවාදී නොවන අණපනත්වලට නිසි විරෝධතාව දක්වමින් එවැනි අණපනත් සම්මත කිරීම වැළැක්වීමට ක්‍රියාකළ යුතු ය. නිදසුන් ලෙස පසුගිය වසර දෙකක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ අණපනත් 70කට වැඩි ගණනක් ගැඹුරු වාද විවාදවලින් තොරව සම්මත කරගෙන තිබේ. අනෙක් අතට සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මනාප ක්‍රමය මත පදනම් ව ක්‍රියාත්මක වන මෙවර මැතිවරණයේදී නුසුදුස්සන් පාර්ලිමේන්තුවට නොයැවීමේ වගකීම ඇත්තේ මහජනතාව වන අපට ය. සාර්ථක ආණ්ඩු පක්‍ෂයක් මෙන්ම සාර්ථක විපක්‍ෂයක් පාර්ලිමේන්තුවට ගෙන ඒම මගින් ජනතා අපේක්‍ෂා සාක්ෂාත් කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගත හැකිය. එසේම විධායක ජනාධිපති ක්‍රමය නිසා විරුද්ධ පක්‍ෂය පාර්ලිමේන්තුව තුළ දුර්වල ආයතනයක් බවට පත් වීමත් ජනතා විශ්වාසය පළුදු වීමත් පසුගිය කාල පරිච්ඡේදයේ දී සිදු විය. මෙලෙස පාර්ලිමේන්තු විශ්වාසය බිඳ වැටීමෙන් ජනතා පරමාධිපත්‍යය ගැටලුවකට මුහුණ දෙයි. රටක පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ශක්තිය වර්ධනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ හැකි අතර එමගින් පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා විශ්වාසය ද ඉහළ නැංවිය යුතු ය. එහෙයින් විපක්‍ෂය දුර්වල කරන උපක්‍රම මෙරට දේශපාලන සංස්කෘතියෙන් අතු ගා දැමීමට කාලය දැන් එළඹ තිබේ.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)