මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ටත් ලිංගික හිංසන හිටපු මන්ත්‍රිනි රෝසි - උපේක්ෂා කියන කතාව


06_SLMA_P18_Back

 

කාන්තාවන්ට අතවර කිරීම් පිළිබඳ සිදුවීම් අතිවිශාලය. සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තා හිංසනයන් සිදුවන බව අපට දිනපතා අසන්නට දකින්නට ලැබෙන දෙයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආරක්ෂක අංශ, පොලිසිය, හෙද සේවය මේ සියල්ලකම ඇතැම් කාන්තාවන් විවිධ අංශයෙන් අතවරයන්ට මුහුණ දෙන බව වාර්තාවෙයි. එහෙත් දේශපාලන ලෝකයේද මෙවැනි අතවර සිදුවන බවට මේ මෑතකදී අනාවරණය වූයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහා සභාව රැස්වූ අවස්ථාවේය. එහි වෙබ් අඩවියේ පළවූයේ ශ්‍රී ලංකාවේද එවැනි දෑ සිදුව ඇති බව ය.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්ද මාධ්‍යයෙන් වාර්තා විය.


“-ඉරිදා ලංකාදීප”ය උපේක්ෂා ස්වර්ණමාලි  සහ හිටපු ඇමැතිනී රෝසි සේනානායක යන මහත්මීන්ගෙන් කළ විමසුමකි.

 


මාව වචනයෙන් හිංසනයට ලක් කළා. ප්‍රශ්නයක් අහන්න නැගිට්ටම සුදුසු නැති කතාවක් කියනවා


හිටපු ඇමැතිනී රෝසි සේනානායක

 


අදටත් අපි ජීවත්වන්නේ මාතෘ මූලිකත්ව සමාජයක නෙවෙයි. කවුරු මොනව කිව්වත් මේක පීතෘ මූලික සමාජයක්. රැකියාවකදීත් උසස්වීමකදීත් මේ තත්ත්වය කාන්තාවන් සියලු දෙනාටම බලපාන දෙයක් ලෙස පෙන්විය හැකියි.


මේ නිසාම අපි කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනාවලියක් ඉදිරිපත් කළා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ කටයුත්තට මුල් වුණා. මානව හිමිකම් නීතිය ඇතුළු සියලු අංශවලට අදාළ කරුණු ඒ යෝජනාවලියට ඇතුළත් වුණා. දැන් ඒ යෝජනාවලියෙන් සියයට 80ක් වත් ක්‍රියාත්මක කර ගැනීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.


පසුගියදා ක්‍රිකට් ආයතනයෙන් කාන්තාවක් ලිංගික පීඩාවට පත්වී ඇති බව වාර්තා වුණා. ලිංගික හිංසනය සිදුවෙනවා. මම පාර්ලිමේන්තුව නියෝජනය කරද්දි සිදුවූ දේවල් තියෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නෙ -මම කැමැත්තෙන් ඉදිරිපත් වෙනව ඔබට පිළිතුරු දීමට ඔබ වැනි සුන්දර කාන්තාවකට පිළිතුරු දීමට යනාදි වශයෙන් ප්‍රකාශ කරන ඇමැතිවරු හිටියා. මම සුරූපී නිසා නෙවෙයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියක් ලෙස මමත් ඒ අය හා සමාන තලයක සිටින බව සිතා පිළිතුරු දිය යුතු වෙනවා. මගේ සුරූපී බව හෝ මම ගැහැනියක් නිසා හෝ විහිළු තහළු කරමින් මගේ ප්‍රශ්නයට පිළිතුරුදීම වැරැදියි.


මේක හැම තැනටම බලපානවා. මේ බලපෑම නිසාම ව්‍යවස්ථාවට යෝජනාවලියක් ඉදිරිපත් කළා. පළාත් පාලන මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීමට යෝජනා කළා. මම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 2013 දී එය ඉදිරිපත් කළ අවස්ථාවේ අඩු වශයෙන් සභාගත කිරීමටවත් ඉඩ දුන්නෙ නැහැ. පිරිමි ඒ තරමට බයයි. දක්ෂ කාන්තාවන් ඉදිරියට එනවට පිරිමි බයයි. අපේ පක්ෂයෙ නායකතුමා මට උදව් කරල ඒ යෝජනාව පසුව සභාගත කළා. අපි ගේන යෝජනාවක් ගැනවත් සැලකිලිමත් නොවුණා පමණක් නොව පාර්ලිමේන්තුවෙවත් නිසි තැනක් ලැබුණේ නැහැ.


පාර්ලිමේන්තුවෙදි මම කතා කරන විට ඇතැම් අවස්ථාවල උසුළු විසුළු කළ අය ඉන්නවා. ප්‍රශ්නයක් අහන්න නැගිට්ටම සුදුසු නැති කතාවක් කියනවා. පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයකත් ඒ වගේ දේවල් සිදුවීම ගැන කනගාටු වෙනවා.


අද පාර්ලිමේන්තුවට තේරීපත්වෙන අය ගැන හිතුවම ඒ ගැන වචන දෙකක් නැහැ. ඒ අයගේ අසාමාන්‍ය ලෙස හැසිරීම සාමාන්‍ය දෙයක් වෙලා.
බිම් මට්ටමේ කර්මාන්ත අංශවල සේවය කරන කාන්තාවන් පවා රැකියා ස්ථානවලදී මඟ තොටේදී ගෙදර දොරේ සිදුවන ලිංගික හිත් පීඩාවන් හැම තැනදීම මුහුණදීමට සිදුවෙනවා.


ප්‍රශ්නයක් අසනවිට හෑල්ලුවට ලක් කළ අවස්ථා ඇතිවූයේ මම රෝසි සේනානායක නිසාද? මම ඕනෑ ප්‍රශ්නයකට මුහුණදීමට සූදානම් කාන්තාවක් නිසාද? කියල කියන්න දන්නෙ නැහැ. මට ගරුත්වයක් තිබුණා. මට කායික වශයෙන් කාගෙන්වත් බලපෑමක් තිබුණේ නැහැ. අදත් කාන්තාවක් වූ පමණින් හෑල්ලුවට පත් වෙනවා. කාන්තාව වැදගත් නැහැ කියන ස්ථාවරයක පිරිමි අය ඉන්නෙ. 


බොහෝ ස්ථානවලදී බරපතළ තීන්දු තීරණවලට එළඹිය හැක්කේ පිරිමින්ට පමණක් යන මතය සමාජයෙ තියෙන්නෙ. මේ මතයෙන් අප මිදෙන්න අවශ්‍යයි. 
මම පාර්ලිමේන්තුවට යන්න උත්සාහ කළේ කාන්තාවගෙ අයිතීන් ආරක්ෂා කිරීමට. මගේ පරාජය කාන්තාවගෙ පරාජයක්. කාන්තාවට ඡන්දය නොදෙන එක ගැන මා දුක් වෙනවා. 


රෝසි සේනානායක ලෙස මගේ ප්‍රතිරූපය නිසා කිසියම් දෙයක් පහසුවෙන් කර ගැනීමේ හැකියාව මට තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී සමහරු කථා කරන විලාසය වෙනස්. මම තනතුරු ගණනාවක සේවය කළා. එහෙත් බොහෝ විට වේදිකාවලදී තවමත් රූප සුන්දරී කියල කියන අවස්ථා තියෙනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් තවමත් බලනවා. ඒක ජීවිතයෙ එක් එක් මංසන්ධිවලදි ගමන් කරන ඒ අවස්ථාවන්. සමාජයට යම් සේවයක් කරල තියෙනවා නම් ඒක ඉස්මතු කරන්නෙ නැහැ.


 

 

දික්කසාදයෙන් පසු ඇතැම් දේශපාලකයන් මට අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා. සමහරු පෙම් සබඳතාවලට කතා කළා


හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි


ඇතැම් දේශපාලනඥයන්ගේ හැසිරීම ඉතාම පහත් තත්ත්වයකින් පවතින්නෙ. හැමෝම නොවෙයි. ඇතැම් අයගෙන් ලිංගිකත්වය පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුව තුළදීත් හිරිහැර සිදුවෙයි. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අනිසි බලපෑම්වලට මුහුණදීමට වන අවස්ථා ද වුණා.


විශේෂයෙන් දේශපාලනය වෙනත් ක්ෂේත්‍රවලට වඩා විශේෂිත එකක්. ආගමික අංශ සංස්කෘතික අංශවලට වඩා වෙනස්. දේශපාලනය විවිධාකාරයි. විවිධ අංශවලට විහිදෙන ක්‍ෂේත්‍රයක්. ජනතාවට සේවය කිරීමේදී දේශපාලකයා ගැහැනියක්ද පිරිමියෙක්ද කියා බලපාන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය සේවාවයි. 
ඒ සේවය ඉටු කිරීමේදී මන්ත්‍රීවරියකට මුහුණපෑමට සිදුවන විවිධ දුෂ්කරතා තිබෙනවා. එහිදී ඇතැම් අවස්ථාවල මන්ත්‍රීවරියක් වශයෙන් මම අසීරුතාවයන්ට පත්වූ අවස්ථා බොහොමයකි. ඇතැම් දේශපාලනඥයන් බලය ඉස්මතු කර ගැනීමට උත්සාහ කළ අවස්ථා ද විය.


මා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ විවාහක කාන්තාවක් ලෙසටයි. ඒ අවස්ථාවේ මට තිබූ පිළිගැනීම හා මා දික්කසාදවීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. දික්කසාදයෙන් පසු ඇතැම් දේශපාලනඥයන් මට අනවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා. තවත් අය ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට යෝජනා කළා. එවැනි යෝජනා කළ අය විවිධ මාර්ගවලින් මා කොටුකර ගැනීමට උත්සාහ කරන අයුරු පෙනී ගියා.


ඇතැම් අය මට ඔවුන්ගේ කාර්යාලයට එන ලෙස ආරාධනා කර සිටියා. තවත් අය විදේශ සංචාරවලට මා රැගෙන යාමට උත්සාහ කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට දුරකථනයෙන් කතා කරන ලෙස ප්‍රකාශ කළා. එවැනි අත්දැකීම් මා ලබා තිබෙනවා.


මා නැවත වරක් ප්‍රකාශ කළ යුතුයි හැමෝම මෙහෙම නැහැ. ඉතා උසස් ලෙස මන්ත්‍රීවරියන්ට ගෞරවය දක්වන දේශපාලනඥයන් සිටින බව කිව යුතුයි.
මෙවැනි තත්ත්වයට පත්වූ පිරිස අතළොස්සක්. ඒ සුළු පිරිසගේ හැසිරීම කතාබහ බොහොම කනගාටුදායකයි. 

m