මම ‘ලක්හඬ’ හැදුවේ මෙහෙමයි


‘ලක්හඬ’ ගුවන් විදුලියට අද (15) වසර 25ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විසිපස් වසරක් පුරා අපමණ දුෂ්කරතා, බාධක, අභියෝග ජයගෙන, ‘ලක්හඬ’ නම් වූ රාජ්‍ය ගුවන් විදුලි නාලිකාව පැමිණි දුෂ්කර ගමන් මග ගැන පළමු කොට ඊට දායක වූ සැම සිහිපත් කොට ඔවුනට සුබ පතන්නට මෙය අවස්ථාවක් කරගනිමි.

වර්තමානයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධව ‘ලක්හඬ’ පැවතියත්, එහි සමාරම්භය සිදුවූයේ කෙසේදැයි බොහෝ විට, බොහෝ දෙනාගේ මතකයෙන් ගිලිහී තිබෙන්නට පුළුවන. ‘ලක්හඬ’ නිර්මාතෘ වශයෙන් එයට විසි පස් වසරක් සපිරෙන මේ මංගල අවස්ථාවේ දී, එහි සමාරම්භය ගැන ‘අතීතාවලෝකනයක්’ සිදු කිරීම කාලෝචිත යැයි මම විශ්වාස කරමි.

‘ලක්හඬ’ ගුවන්විදුලි නාලිකාව බිහි වූයේ 1996 නොවැම්බර් මස 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නම් වූ මව්තුමියගේ කුසිනි. ඒ වනවිට ජාතික ගුවන්විදුලිය අරඹා හැත්තැ එක් වසරක් ගත වී තිබුණි. පනස් වසරක් ද ඉක්මවා අප රටේ එකම ගුවන්විදුලිය ලෙස පැවතුණු ‘ගුවන්විදුලි මාධ්‍ය ඒකාධිකාරය’ බිඳ වැටුණේ 1977 පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය සමයේ දී ය.

1996 වසර මැද භාගය වනවිට ආරම්භ කර තිබූ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා කිහිපයක් ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ නිසාම රාජ්‍ය ගුවන් විදුලිය ජනතාව අතරින් ඈත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබිණ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවල  නිවේදකයන් භාවිත කළ සරල - සුහද බස් වහර මෙන්ම, නිදහස් අදහස් දේශපාලන බැඳීම්වලින් තොරව ප්‍රකාශ කිරීම එම ජනප්‍රියතාවට හේතු වන්නට ඇත. ජාතික  ගුවන්විදුලිය කිසියම් රාමුවකට කොටුවී, දැඩි නීති රීතිවලට අනුකූලව, පවතින රජයට ළෙන්ගතුව කටයුතු කිරීම එහි යම් පිරිහීමකට හේතු විය.

තත්ත්වය මෙසේ ගතවෙද්දි දිනක්, එනම් 1996 අගෝස්තු මස 20 වැනිදා සවස, එවකට ජනමාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මහතා ඔහුගේ නිල නිවසේ දී සාකච්ඡාවක් සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා, එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලක යන අය කැඳවනු ලැබීය. ඇමැතිතුමාට දින කිහිපයකට පෙර ජනාධිපතිනිය විසින් ජාතික ගුවන්විදුලිය අසන්නන්ගෙන් ඈත්වීම සහ පෞද්ගලික නාලිකා ඉදිරියට පැමිණීම ගැන එතුමියට ලැබුණු වාර්තා කිහිපයක් පිළිබඳව සඳහන් කොට, වහා මේ තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස දැන්වූ බව, එම සාකච්ඡාව ආරම්භ කරමින් ජනමාධ්‍ය අමාත්‍යතුමා පැවසීය.

ඒ අනුව දිගු සාකච්ඡාවක් පැවැති අතර විවිධ අදහස් උදහස් ඉදිරිපත් කෙරිණි. ඒ වනවිට ජාතික ගුවන්විදුලියේ මාධ්‍යවේදියකු ලෙස තිස් තුන් වසරක පලපුරුද්දක් ලබා, එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටි මම, මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා එක් යෝජනාවක් කළෙමි. එනම් නව ආරක නිදහස් මාධ්‍ය ප්‍රවේශයක් සහිතව ජාතික ගුවන්විදුලිය යටතේම අලු‍තෙන් නාලිකාවක් බිහි කිරීමෙන් යම් පමණකට හෝ මේ තත්ත්වය වෙනස් කළ හැකි බවය. කෙසේ වෙතත් අවසානයේ දී තීරණයක් නොගෙනම සාකච්ඡාව අවසන් කෙරිණි.

මේ සාකච්ඡාව ගැන ජනාධිපති මාධ්‍ය උපදේශක සනත් ගුණතිලක මහතා ජනාධිපතිනිය දැනුවත් කොට, මවිසින් නව නාලිකාවක් ආරම්භ කිරීමට කළ යෝජනාව එතුමියට සැල කර තිබුණි. ඒ අනුව දුරකතනයෙන් මා ඇමතූ කුමාරතුංග ජනාධිපතිනිය මගේ යෝජනාව අනුව වහාම අලු‍ත් නාලිකාව ආරම්භ කිරීමට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට එතුමියට ලබා දෙන ලෙස දැන් වූවාය. ඒ බව එතුමිය විසින් ජනමාධ්‍ය ඇමැතිතුමාට ද දන්වා අවශ්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් මා වෙත ලබාදෙන ලෙස ද දැනුම් දී තිබුණි.

සනත් ගුණතිලක මහතා, මවිසින් කළ යෝජනාව ජනාධිපතිනිය වෙත දැනුම් නොදුන්නා නම්, අදින් විසිපස් වසරකට පෙර ‘ලක්හඬ’ බිහි නොවන්නට ඉඩ තිබුණි. නව නාලිකාව මගේ නායකත්වයෙන් ආරම්භ කිරීම සිදුවූයේ එලෙසිනි.

ජාතික ගුවන්විදුලියේ එවකට සේවය කළ පරිණත මාධ්‍යවේදීන් කිහිප දෙනකු නව නාලිකාවට අනුයුක්ත කර ගතිමි. පුවත්පත් දැන්වීමක් පළ කොට අයදුම්පත් කැඳවා, දහස් ගණනක් වූ අයදුම්පත් අතරින්, දේශපාලන හෝ වෙනත් බලපෑම්වලින් තොරව, ලිඛිත හා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තරුණ සන්නිවේදක කණ්ඩායමක් තෝරා ගැනුණි. ඔවුනට ප්‍රවීණ මාධ්‍යවේදීන් ලවා, දේශන පවත්වා ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන්නටද කටයුතු කෙරිණි.

‘ලක්හඬ’ ගුවන්විදුලියට එම නාමය ලබා දුන්නේ අද අප අතර නැති කලාසූරී අරිසෙන් අහුබුදු සූරීන්ය. ‘ලක්හඬ’ ආරම්භයට පෙරත්, පසුවත් විවිධ අසත්‍ය ප්‍රචාර, විවිධ පුද්ගලයන් විසින් ‘ලක්හඬ’ වෙත එල්ල කරන ලදී. මෙය ‘රජයේ තවත් හොරණෑවක්’ බවත් ‘ලක්හඬ, ලත් තැනම ලොප් වන බවත්’ ඔවුන්ගේ චෝදනා අතර ප්‍රමුඛ කරුණු ලෙස දක්වා තිබුණි. එහෙත් ‘ලක්හඬ’ දොරට වැඩීමත් සමඟම අප විසින් හඳුන්වාදුන් නිදහස් මාධ්‍ය භාවිතයට අසන්නන්ගෙන් යහපත් ප්‍රචාර පළවුණි. රජයේ ඇතැම් තීරණ පවා විවෘත සංවාදයකට ලක් කොට, විරුද්ධ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ද ඔවුන්ගේ අදහස් නිදහසේ පළ කිරීමට ඉඩකඩ ලබා දෙනු ලැබීය. ත්‍රස්තවාදී අරගල පැවැති සමයේ යම් බෝම්බ පිපිරීමක් හෝ අනතුරක් සිදු වූ විට, වහාම එම ස්ථානයේ සිට සත්‍ය තොරතුරු අනාවරණය කිරීමේ ක්‍රමවේදයක් ‘ලක්හඬ’  මගින් හඳුන්වා දුනි. ‘සරසවි අසපුව’ - ‘පන්හිඳක ගී අසිරිය’ වැනි නව සංගීතමය වැඩසටහන් සජීවී ලෙස ප්‍රවීණ සංගීතවේදීන්ගේ සහ ගේය පද රචකයන්ගේ නිවෙස්වල සිට මාසිකව විසුරුවා හැරිණි.

මාධ්‍ය භාවිත කොට විවිධ වූ ප්‍රජා සත්කාර ක්‍රියාවලීන් දියත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද ආරම්භ කෙරිණි. කොළඹ ජාතික රෝහලට අභිනවයෙන් දැඩි සත්කාර ඒකකයක් පවා පරිත්‍යග කෙරිණි.  නියං සායෙන් මෙන්ම කොටි උවදුරෙන් අසරණව සිටි ඈත එපිට තර්ජිත ගම්මානවල මිනිසුන් සොයා ගොස් වියළි ආහාර පාන, ඇඳුම් පැලඳුම්, සනීපාරක්ෂක උපකරණ, පාසල් උපකරණ බොහෝ සේ බෙදා දෙනු ලැබීය. සංවත්සර සැමරීමේදී සිදු කළ මෙවැනි වැඩසටහන් අදත් බොහෝ දෙනා ගෞරවයෙන් සිහිපත් කරද්දී දැනෙන්නේ නිහතමානී ආඩම්බරයකි. වන්නි හමුදා කඳවුරට ‘ලක්හඬ’ පුස්තකාලයක් ද, බංකරවල අති දුෂ්කර ජීවිත ගත කළ රණවිරුවන් වෙත කුඩා රේඩියෝ යන්ත්‍ර, උණු වතුර බෝතල්, විදුලිපන්දම් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමද  සංවත්සර සැමරුම්වලදී සිදු කෙරිණි.

මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් නම් ‘ලක්හඬ’ ආරම්භ කළ  දිනයේ සිට එය ගුවන්විදුලි සංස්ථාවට ආර්ථික වශයෙන් කිසිදු බරක් නොවූ බවය. ආරම්භක දිනයේ සිටම වැඩසටහන් වලින් ‘ලක්හඬ’ වාණිජ ආදායමක් ඉපැයූ අතර ගුවන්විදුලි උපකරණ සහ වෙනත් පහසුකම් වෙනුවෙන් මාසිකව රුපියල් දස ලක්ෂය බැගින් ගුවන්විදුලි සංස්ථාවට මුදල් බැර කෙරිණ.

මේ අන්දමින් ඉදිරියට පැමිණි ‘ලක්හඬ’ කෙරෙහි ලැබුණු පොදුජන ප්‍රසාදයත්, වියත් විචාරකයන්ගේ ඇගයීමත් නිසා ‘ලක්හඬ’ ගුවන්විදුලිය පෞද්ගලික නාලිකා අබිබවා ජනතාවට සමීප වූයේය. මේ අතර ස්වාධීන රූපවාහිනියේ ප්‍රධානියා ලෙස මා පත් කිරීමත් සමගම ජනාධිපතිනිය ‘ලක්හඬ’ ගුවන් විදුලි නාලිකාවද ස්වාධීන රූපවාහිනිය හා බද්ධ කළාය.

1996 වසරේ දී ‘ලක්හඬ’ නිර්මාණය කොට, 2005 වසර අවසානය දක්වා ‘ලක්හඬ’ ප්‍රවර්ධනය කිරීමට ලැබීම මගේ ජීවිතයේ කිසි විට අමතක නොවන සිහිවටනයකි.

(***)
නිව්ටන් ගුණරත්න