”හෙට උදේ මාව එල්ලනවා යැයි සිරිපාල මට කිව්වා. ඔහුව නාවන්න රැගෙන එන්නේ මා සිටපු සිරමැදිරිය ළඟටයි. ඒ අතරෙත් ඔහු මා සමග කතා කළා. සිරිපාල එල්ලා මැරීමට නියමිත දිනයේ උදේ හතට විතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් සිරිපාලව ට්‍රොලියක දමාගෙන තල්ලූ කරගෙන ගියා. ඒවන විටත් සිරිපාල මිය ගිහින් බව මට පෙනුනා.”
මේ හෙළිදරව්ව කරන්නේ මරුසිරා සමග බෝගම්බර සිරමැදිරියේ එකට සිරබත් කෑ අයෙකි. ඔහු ගම්පහ ජේ.ඒ. මුනිදාස ජයසිංහ හෙවත් ගම්පහ මුනිදාසය. මේ වන විට හැත්තෑවන වියේ පසුවන මුනිදාස වසර 32 ක්ම බන්ධනාගාරයේ දී දඬුවම් ලබා සිරගත වූ අයෙකි.
මරුසිරා, චීනා, නවරියන් වැන්නන් සමග බන්ධනාගාරගතව සිටි මුනිදාස ගාල්ල, අනුරාධපුර, මහර, වැලිකඩ, මැගසින්, යාපනය හා බෝගම්බර යන සිරගෙවල්වල මෙම වසර 32ක කාලය ගතකර තිබේ. වරක් අනුරාධපුරයේ සිට ගම්පහ අධිකරණයට රැගෙන ආ මුනිදාස සමග එකට මාංචු දමාගෙන සිටියේ මීරිගම පදිංචිකරුවකු වූ ධර්මේ නැමැත්තෙකි. දුම්රියේ පැමිණ ගම්පහ දුම්රිය ස්ථානයෙන් බහින විටම මුනිදාස බන්ධනාගාර නිලධාරියෙකුට පහර දුන්නේය. ධර්මේ ද ඒ සඳහා උදව් කළේය. කලින් සැලසුම් කළ පරිදි අසල නවතා තිබූ මෝටර් රථයක ඩිකියට දෙදෙනාම රිංගා ගත්තේ අත්ලා තිබූ මාංචු පිටිනි. පසුව දෙදෙනා පලා ගියහ.
මෙම සිදුවීමෙන් පසුව මුනිදාස අල්ලා ගැනීම සඳහා එවකට පුවත්පත්වල දැන්වීම් ද පළ කළේ මුනිදාස අල්ලා දෙන අයෙකුට මුදල් ත්‍යාගයක්ද දෙන බව සඳහන් කරමිනි. එහෙත් මුනිදාස අල්ලා ගැනීම පොලීසියට ඒ තරම් පහසු නොවීය. පොලිසිය මුනිදාස අල්ලා ගැනීමට විශාල මෙහෙයුමක් දියත් කර තිබුණි. මුනිදාස පොලීසිය අතින් මැරුම් කනු ඇතැයි ඔහුගේ මව දැඩි ලෙස බියවී සිටියාය. දින ගණනාවක්ම නොකා නොබී දුකෙන් කාලය ගතකළ ඇය රෝගාතුර වූවාය. ඇය සිය පුතුගෙන් ඉල්ලා සිටියේ පොලිසියට බාර වෙන ලෙසය.
තම මව ආහාර කිසිත් නොගෙන දුක්විඳීම නිසා පොලිසියට බාරවිය යුතුයැයි මුනිදාස කල්පනා කළේය. මීගමුව පොලිසිය වෙත බාර වෙන්නට නීතිඥයකු සමග මුනිදාස ගමන් ගත්තේ නීතිඥවරයාට අයත් වාහනයකිනි. වාහනයට තෙල් ගැසීමට ජාඇල දී ඉන්ධන පිරවුම්හලක නැවතූ විට එහි පොලිස් ජීප් රථයක් ද නවතා තිබිණි. එහි සිටි පොලිස් නිලධාරීන් මුනිදාසව හඳුනා ගත්තේය. වහා ඔහු අත්අඩංගුවට ගන්නට පොලිසිය උත්සාහ කළ විට මුනිදාස කළේ දිවගොස් අසළ පිහිටි දඬුගම් ඔයට පැනීමය. කෙසේ හෝ පසුව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුනිදාස යළිත් සිපිරිගෙට යැවිණි.
බන්ධනාගාර නිලධාරීන් සමග වරින්වර ගැටුම් ඇතිකරගත් නිසා මුනිදාස යළි යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට අයත් දඬුවම් කාලය තවත් වසර ගණනකින් දීර්ඝ විය. යාපනේ බන්ධනාගාරය තුළ සිටින විට ඔහු වරක් බන්ධනාගාර නිලධාරීන් හා ගැටුම් ඇතිකරගත් අතර එහි ප‍්‍රතිඵලය වූයේ ”බාස්කර්සිංහම්” නැමැති බන්ධනාගාර නිලධාරියා මුනිදාසගේ එක් පාදයක් කඩා දැමීමයි.
පසුව මුනිදාසව මහර බන්ධනාගාරයට මාරු කර එවන ලදී. පසුව බන්ධනාගාරය තුළ දී කිසිවකු විසින් මුනිදාසගේ හිසට ගලකින් පහරදීම නිසා ඔහුගේ හිසට බරපතළ හානි සිදුවී තිබුණි.
මුනිදාස පළමුවරට සිරගත වන්නේ අවුරුදු 18දීය. ඒ මිනීමැරුමකට චෝදනා ලබමිනි. ගම්පහ පහළගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා කරමින් සිටිය දී එතැන දී සිදුවූ බහින් බස්වීමක දී මුනිදාස තවත් පුද්ගලයෙකුට පිහියෙන් ඇන්නේය. එම වරදට වසර 10ක සිරදඬුවමක් මුනිදාසට ලැබිණි. වරින්වර මුනිදාසට එල්ල වූ චෝදනාවලට වසර 50 කට අධික සිරදඬුවම් හිමිවුව ද බන්ධනාගාර නීතිරීතිවලට අනුව ඔහුට සිරගතවීමට සිදු වූයේ වසර 32 ක කාලයකි.
බන්ධනාගාරයේදී මරු සිරා සමග මිත‍්‍ර වූ මුනිදාසට ඒ මිතුදමේ මතකයන් රැසක් නොනැසී පවතී.
”සිරිපාල එල්ලා මරා දමන දිනය ළං වන විට ඔහුට රාත‍්‍රියට නින්ද ගියේ නැහැ. ඒ නිසා ඔහු වෛද්‍යවරුන්ගෙන් නිදි පෙති ඉල්ලාගෙන බිව්වා. ඔහු හැමදාම රාත‍්‍රියට මත්පැන් ඉල්ලාගෙනත් බිව්වා. ඔහු මත්පැන් බිව්වා මිස නිදිපෙති බිව්වේ නැහැ. ඔහු ඒ පෙති ටික එකින් එක එකතු කළා. වෛද්‍යවරු ඒ බව දැනගෙන හිටියේ නැහැ.
සිරිපාල එල්ලා මරා දමන්නට නියමිත දිනයට කලින් දිනයේ මට හමුවුණා. ඔහු කිව්වා හෙට මාව එල්ලන බව. සිරිපාලගේ මුහුණ මැළවිලා ගිහින් තිබුණා වගේ මතකයි. ඒත් ඔහු එදා හොඳින් නා ගත්තා. ”මාව අවසාන වතාවට බලාගනින්. හෙට ඉඳන් මම ආයෙ එන්නේ නෑ” කියලත් සිරිපාල කිව්වා.
පසුවදා උදේ සිරිපාලව එල්ලා මරා දමන්නට නියමිතව තිබුණා. උදේ 7 ට විතර මම දැක්කා නිලධාරීන් දෙදෙනෙකු ට්‍රොලියක දමාගෙන සිරිපාලව අරගෙන යනවා. එල්ලා මරා දමන්නට නියමිත වේලාවට කලිනුයි මා එය දැක්කේ. ඒත් ඒ වෙලාවේ මම දැක්ක විදිහට සිරිපාල මිය ගොස් සිටියා. ඔහුගේ මළ සිරුර තමා එහෙම තල්ලූ කරගෙන ගියේ.
වෛද්‍යවරු දීපු නිදිපෙති එකතු කරලා සිරිපාල එදා පාන්දර ඒ සේරම එකවර බීලා කියලා පසුව ආරංචි වුණා. සිරිපාල එල්ලා මැරීමට කලින් ඔහු සියදිවි හානි කරගත්තා කියලා ඒ කාලෙ බන්ධනාගාරය ඇතුළේ විශාල රාවයක් ගියා. සිරිපාල මට වඩා අවුරුදු ගාණකින් බාලයි. මුනිදාස කියයි.
මුනිදාස සිරගතව සිටින කාලය තුළ බන්ධනාගාරයේ දී කළේ ඇඳුම් මැසීමේ කාර්යයයි. ඒ අතරතුර ඔහු කරාටේ හා කුංෆු යන ක‍්‍රීඩාවන් ද ප‍්‍රගුණ කළේය. කරාටේ වලින් සතුරන්ට පහර දෙන හැටිත්, කුංෆු ක‍්‍රීඩාවේ දී සතුරු ප‍්‍රහාර වලින් වැළකෙන අයුරුත් මුනිදාස දැනටත් අප ඉදිරියේ අත් වේගයෙන් විහිදුවමින් පෙන්වයි.
අවුරුදු 80කට ළංවී සිටින මුනිදාසගේ එම පහරක් වුවද ප‍්‍රතිවාදියකුට වැදුණහොත් බරපතළ හානි සිදුවන්නට හැකි බව තේරුම් යන්නේ තවමත් එම පහරවල් වේගවත් නිසාය.
රගර් ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළ මුනිදාස තම ජීවිතයේ අවසාන කාලයේදී සාහිත්‍ය කලාව කෙරෙහි දැඩි ලෙස යොමුවී සිටිත්ය. පුවත්පත්වල පළවන සාහිත්‍ය පිළිබඳ වැදගත් ලිපි ලේඛන රැසක් මුනිදාස සතුව පවතියි.
”මහත්තයෝ සාහිත්‍ය කලාවට මම මුල ඉඳලම නුඹුරු වුණානම් මම එක දවසක්වත් බන්ධනාගාරයේ තපින්නේ නැහැ.”
අවිවාහකයෙකු වූ මුනිදාස අවසන් වශයෙන් කීවේය.