මහකිරි අම්මාගේ අනුහසින් මතුවූ ගොයම් පඳුර


ගොයම් පඳුර

උතුම් වූ..
මීරියබැද්දේ කිරිඅම්මා දෙවි හාමුදුරුවෝ...
කඳ නමා වැන්දේ....
දන නමා වැන්දේ....
සිරසේ හුරු අත තබා වැන්දේ....
නුහුරු අත හුරුකොට වැන්දේ....
සිරසේ දොහොත් මුදුන් දී වැන්දේ....
මීරියබැද්දේ කිරි අම්මා...
දෙවි හාමුදුරුවෝ....


එම්බා... නැගණියනි ඔතරම් හාස්කම් පාන්නේ සැබෑනම් මේ මහා ගල මතම සිට එක මොහොතකින්ම මා හට දානය පිළියෙළ කරවා දිය හැකිදැයි ඇසූ කල්හි, තමුන්නාන්සේ මහා මොනරුන් ගල මතට පැන නැගී පෙරදිගට පියවරක් පා තබා... සිනාපාමින්... කතරගම දෙවිරදුන් අමතා එම්බා... දෙවි රජුනි...  ඕකත් මහා අපූරුවක් දැයි කියමින් දකුණු විළුඹින් ඇණ..... දියවළක් මවාලා... එක්තැනකින් මතු වූවා වූ ගොයම් පඳුරකින් පිදී පැසී... සහලින් බරව මතුවූ බඳුනකට වැටී රත්වෙවී... පෙණ දමා... එසැණකින් දාන මාන සැලසී කතරගම කන්දස්වාමීන්ට පුද දුන්නේය.....


පස්සර මීරියබැද්දේ දේවාලයේ පැවැති පූජා දෑසින්ම දැක දේවාල බිමෙන් සමුගත්තත් කපු මහතාගේ යාදිනි හඬ දෙසවනේ රැව් දෙමින් තිබේ. ඒ යාදිනියෙන් කියන කතාව මෙසේය.


මීරියබැද්ද කිරිඅම්මා දේවාලය ඉදිරියේ දිස්වෙන බණ්ටිඩිගොඩ කන්දේ සිට දැවැන්ත ගලක් සුළැඟිලි දෙකෙන් අල්ලා ජල පහරකට හෙළා කිරිඅම්මා වෙනුවෙන් පුද පූජාවට ඉන්දියාවෙන් ගෙනා අළු නිධන් කළ ස්ථානයේ (අද දේවාලය පවතින ස්ථානය) ආරක්ෂාව පිණිස පාකර එවනු දුටු කතරගම දෙවියෝ කිරිඅම්මාගේ දේව අනුහසට අභියෝගයක් කළෝය.


කතරගම දෙවියෝ සරදම් සිනාවක් පා, එම්බා නැගණියනි, ඔතරම් හාස්කම් පාන බව සැබෑ නම් මොණරුන් ගල සිට එක මොහොතකින් දානයක් පිළියෙළ කරන්නැයි අභියෝගාත්මකව ඉල්ලීමක් කළහ.


එවිට කිරිඅම්මා දේවමාතාව මොණරුන්ගලට විළුඹින් ඇන දියවළක් මවා ඇත. එම දිය වළෙන් මතුවූ ගොයම් පැළය මොහොතින් පීදී, පැසී, සහල් වී, මතුවූ බඳුනකට වැටී, රත් වී පෙණ දමා දානය සකස් වී ඇත.


කතරගම දෙවියෝ පවා කිරිඅම්මා දේව මැණියන්ගේ බලය දැක විමතියට පත්ව ඇත. මොරණරුන්ගල මත කිරිඅම්මා දේවමෑණියන් මැවූ දියවළ හා ගොයම් පඳුර අදටත් පවතින බව ඇසීමෙන් පසු මගේ ඊළඟ ඉලක්කය වූයේ මොණරුන්ගල සොයා යාමය. 

ගල්ලෙන


දේවාලයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුර ආපසු පැමිණ ඩැමේරියා වතු මාර්ගයේ තවත් කිලෝමීටරයක් පමණ දුර ගමන් කළෙමු. මොනරුන්ගල ගල්තලාව මත පිල් විදහා නටමින් සිටි මොනරු කීප දෙනෙක් අපේ වාහන හඬට බියෙන් ඉගිලී යන අයුරු දක්නට ලැබිණ.ගල්තලාව මතට නගින විටත් කීප දෙනෙක් එහි වැඳුම් පිදුම් කරමින් සිටියහ. ගල්තලාව අවට දසුන් මනහරය. ඈතින් ඈතට දිස්වන කඳු යාය නුබගැබට හාදු දෙනවා වැනිය. වන පෙත හා මෙම පරිසරයටම ආවේනික වූ නෙක පැහැ මල් විශේෂ පරිසරය තවත් හැඩ කළේය. නෙල්ලි ගස් කීපයක් පලබරව ගල්තලාව අසපුවේම සිසිලස සෑදුවේය.


ගල්තලාව මුදුනේ කිසිවකු විසින් මෑත භාගයේ ඉදිකරන ලද බුදු කුටියකි. බුදුකුටිය අසලින් පහතට බසින විටම ගල්තලාවේ නිර්මාණය වූ දියවළ දක්නට ලැබිණි. එහි හැදුන ගොයම් පඳුර නෙත ගැටිණ.


කිරිඅම්මා දේවාලයේ කපු මහතා ආරූඪයෙන් යාතිකා කියමින් උඩපැන විළුඹ බිම ඇන කිරිඅම්මා දේව මාතාව මොණරුන් ගලේ

ඞී.එම්. පුංචි බණ්ඩා

දියවළක් මවා පෑ හැටි රංගනයේ යෙදුන අයුරු මැවී පෙනුණි.මේ එම දියවළය. ඉබේටම ගොයම් ගසක් පැලවී පලබරව සහල් වූ කතාවටද සාක්කි දැන් මාගේ දෑස් ඉදිරියේය. මෙම ගොයම් පඳුරේ ගොයම් පැළයක් පීදුන පැළයක් හා කරලින් බරවූ ගොයම් ගසක් ඇත. මෙම ජලය කිසිදිනක නොසිඳෙන බවත් මෙම ගොයම් පැළය සදාකාලිකවම නොමැරී තිබෙන බවත් පැවසුවේ කිරිඅම්මා දේවාලයේ කපු මහතාය. ඒ කතාව තවත් තහවුරු කරගනු පිණිස අසල්වැසි නිවසක් වෙත ගියෙමි. එහි ජීවත්වන ඞී.එම්. පුංචිබණ්ඩා හැත්තෑවැනි වියේ පසුවන්නෙකි. ඔහු මෙසේ කීවේය.


”ඔව් මහත්තයා, මොන ඉඩෝරයක් ආවත් ඔය ජලය නම් හිඳෙන්නේ නැහැ. ගොයම් පඳුර කවදාවත් නැතිවෙන්නෙත් නැහැ. ගොයම් පඳුර පැළ ගොයම, බණ්ඩි ගොයම, පීදුන ගොයම, කිරිවදින පැසුණු ගොයම යන හැම අවස්ථාවක්ම නිරූපණය වෙනවා. අපටත් හරිම පුදුමයි.අවුරුද්දෙ මුල ජනවාරි 1 වැනිදා සිංහල, දෙමළ වෙනසක් නැතිව ජනයා ඇවිත් ඒ ගල ළඟ දේවදානය හදලා පූජා කර භාරහාර වෙනවා. මහත්තයා දැක්කේ නැද්ද ඔය ගොයම් පඳුර ළඟ පඬුරුදාලා තියෙනවා.


ඔය ගලට පහළින් ගල් ලෙනකුත් තියෙනවා. මම නම් ඒක ගැන ඉතිහාසයක් කියන්න එච්චර විස්තර දන්නේ නැහැ. තාපසයන් හිටිය කියල තමයි කියන්නේ.”


දැන් ඉතින් මා නැවතත් ගල්තලාවට යා යුතුය. සෙමින් සෙමින් ගල්තලාවට නැගී විස්මිත ගොයම් පඳුර අසලට ගියෙමි. පුංචිබණ්ඩා කීවේ සත්‍යයකි.


පඬුරු පුදන පිරිමි දරුවන් දෙදෙනෙකු නෙත ගැටිණ. ”බාරයක් වුණා” ඔවුන් කීවේ මා කිසිවක් විසීමටත් පෙරය.


ජලවළ තුළට බොහෝ දෙනෙක් දමා තිබූ පඬුරුද දිස්විය. සැතපුම් සියයක් පමණ ඈත දසුන් අතර කතරගම කඳුපෙළ පෙනිණ. මේ කතරගම දෙවියන්ගේ අඩවියයි. උන්වහන්සේ මොණරා පිටින් මෙහි වැඩම කළ නිසා මෙම ගල මොණරුන්ගල යන නම ලබා තිබෙන බවටද ජනප‍්‍රවාදයකි. ගල්තලාවේ සිට බඩල්කුඹුර දෙසට විටෙක දළ බෑවුමේ මීටර් 200ක් පමණ පල්ලමට ගිය විට පුංචි බණ්ඩා පැවසූ ගල්ලෙන හමුවිය.


මා ගල්ලෙන තුළ වාඩිවූයේ කියාගත නොහැකි තරමේ ආශ්වාදයකිනි. නිහැඬියාව රජයන මේ ඉසව්වේ එදා කොතරම් සංහිඳියාවකින් තවුස් දම් පුරන්නට ඇත්දැයි සිතින. මෙම ස්ථානය වාණිජකරණයට ලක් නොකොට වසර සිය ගණනක් පැවත එන විශ්වාසයන් හා ඇදහිලිවලට නපුරක් නොකර රැක ගැනීම ඔබට භාරය.

 

සටහන හා ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ

 

බුදු කුටිය

 

මොණරුන් ගල

 

පඬුරු දමන තරුණයෝ