මහජන මුදල් මකර කටට යැවූ මහනුවර උමං මාර්ග ව්‍යාපෘතිය


ශ්‍රී ලංකාවේ සශ්‍රීක කඳුකරයේ පිහිටා ඇති මහනුවර විස්මිත ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් සංස්කෘතික උරුමයත් සමග ආකර්ෂණය වන නගරයකි. නගරයේ කේන්ද්‍රස්ථානය වන්නේ නිස්කලංක මහනුවර වැව වන අතර එය හරිත කඳුවලින් වටවී ඇත. පුරාණ විහාරස්ථානවලින් පිරී තිබේ. විශේෂයෙන් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන පූජනීය දළදා මාලිගාව, නගරයේ විචිත්‍රවත් උද්‍යාන, විශේෂයෙන් පේරාදෙණියේ රාජකීය උද්භිද උද්‍යානය, විවිධ වෘක්ෂලතා මාලාවක් ප්‍රදර්ශනය කරයි.

සිසිල් දේශගුණය එහි චමත්කාරය වැඩි කරයි. මහනුවර හරහා ගමන් කරන අමුත්තන්ට සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය, වර්ණවත් වෙළඳපොළ සහ දේශීය සංස්කෘතියේ රිද්මානුකූල අංග අගය කළ හැකිය. මහනුවර නගරයේ ආරම්භය 14 වැනි ශත වර්ෂය දක්වා විහිදෙන අතර තුන්වැනි විමලධර්මසූරිය රජතුමා (1357-1374) විසින් මහනුවර රාජධානිය රටේ අගනුවර ලෙස මුලින්ම නම් කරන ලදි. එතැන් සිට වසර 130 කාලයක් රජවරුන් අගනගරය ලෙස තෝරා ගත්තේ මහනුවර නගරයයි.  එය අවසන් වූයේ පළමු වැනි රාජසිංහ රජු (ක්‍රි.ව. 1581 - ක්‍රි.ව. 1592) සීතාවකපුර අගනගරය කර ගැනීමත් සමඟය. මෙම සාක්ෂි අනුව මහනුවර නගරය ඓතිහාසික, ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් වැදගත් මධ්‍යස්ථානය බවට කිසිදු සැකයක් නැත. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගරයක් ලෙසට මහනුවර නගරය සැළකෙයි. මධ්‍යම පළාතෙහි ප්‍රධානතම වෙළෙඳ, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන හා ආගමික මධ්‍යස්ථානය ලෙස ද ක්‍රියා කරයි.

මහනුවර නගරයේ පවතින ප්‍රධාන ගැටලුවක් ලෙස “රථවාහන තදබදය”‍ හඳුනාගත් අතර ඒ හේතුවෙන් නගරයට පැමිණෙන්නන් මෙන්ම නගර තුළ ජීවත්වන හුදෙක් ජනී ජනයා දැඩි අපහසුතාවයකට ලක් වෙති. තවද දෛනික කාර්යයන් සිදු කර ගැනීමේ දී ඇතිවන අපහසුතා මෙන්ම සේවා ලබා ගැනීමේ දී කාර්යක්ෂමතාවයෙහි අඩු බව ද නගරය තුළ කලබලකාරී මෙන්ම නොසන්සුන් වාතාවරණක් ඇති කිරීමට හේතු වී ඇත. භූගෝලීය පිහිටීම අතින් සුවිශේෂී මෙම නගරය තුළ දැඩි වේලාවක් රථ වාහන මාර්ග තුළ රඳා පැවතීම හේතුවෙන් නගරය තුළ වායු දූෂණය වැඩිවීමට ද වක්‍ර ආකාරයෙන් හේතු වන බව හඳුනාගත හැකිය. මහනුවර නගරය වෙත පැමිණෙන දෙස් විදෙස් ජනයාට මෙන්ම නගරය තුළ ජීවත් වන ජනයාට ද දෛනික කාර්යයන් කාර්යක්ෂම කර ගැනීමට මෙයින් බාධා ඇති වී තිබේ. සාමාන්‍ය දිනයක මහනුවර නගරයට ලක්ෂ හයකට ආසන්න ජනතාවක් කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේ කුඹුර යන ප්‍රදේශ හරහා පැමිණෙති. පෙරහර සමයෙහිදී එය ලක්ෂ දහය දක්වා වැඩි වේ. එවිට මෙම වාහන තදබදය තවදුරටත් උග්‍ර වේ.

මෙම මහනුවර නගරයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස තැන්නෙකුඹුර සහ සුදුහුම්පොළ අතර කි.මී. 4.36 ක දුරකින් යුතු උමං මාර්ග 04 ක්, පාලම් 03 ක් හා අන්තර් හුවමාරු 04 කින් සමන්විත මංතීරු 04 ක මාර්ගයක් ඉදිකිරීමට නියමිතව තිබුණි. මහනුවර නගරයට තරමක් ඈතින් පොළොව යටින් දිවෙන මෙම මාර්ගය කිලෝමීටර් පහ හමාරක දුරකින් යුක්තය. එයට නුවර වෙල හංදිය අම්පිටිය අසලින් සහ බෝගම්බරින් අන්තර් හුවමාරු ස්ථාන දෙකක් ද ඇතුළත් වේ. දෙයියන්නේවල සිට සුදුහුම්පළ දක්වා මීටර් 900ක දිගින් යුතුව ද, සුදුහුම්පළ සිට බෝගම්බර දක්වා මීටර් 660ක දිගින් යුතුවද, අම්පිටියේ සිට රතු බෝක්කුව දක්වා මීටර් 1,20ක දුරින් යුතුවද, රතු බෝක්කුව අසල සිට තැන්නෙකුඹුර දක්වා මීටර් 1,680ක දුරින් යුතුව ද මෙම උමං මාර්ග පද්ධතිය ඉදි කිරීමට සැලසුම් කර තිබුණි.

මෙම උමං මාර්ගය ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම් ඇතුළත්ව අන්තර් ජාතික තත්වයෙන් යුතු නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. මෙය මෙරට ඉදිකිරීම් ආරම්භ කළ ප්‍රථම ද්විත්ව මංතීරු උමං මාර්ගය ද වේ. සැබවින්ම ශ්‍රී ලාංකීය ජනතාවට නැවුම් අත්දැකීමක් එක් කරමින් ඉදිකිරීමට නියමිත වූ මෙම උමං මාර්ගය නිසා මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාලිගය පෙදෙසේ තැන්නේ කුඹුර දක්වා මාර්ගයෙහි තදබදය අවසන් වනු ඇත.

පදික උමං මාර්ග පහක්ද අලු‍තින් ඉදි කිරීමට සැලසුම් කර තිබුණි. මේ වන විට මහනුවර නගරයේ ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසලින් පදික උමං මාර්ගයක් ඉදිකර තිබේ. ඊට අමතරව විදුලිබල මණ්ඩලය, මධ්‍යම වෙළෙඳපොළ ඩී. එස්. සේනානායක විදුහල, පේරාදෙණිය රෝහල, ඔරලෝසු කණුව ආසන්නයෙන් ද පදික උමං මාර්ග ඉදි කිරීමට නියමිතව තිබුණි. බර්ඩ් පාර්ක් විදුලිබල මණ්ඩලය අසලින්  ඉදිකෙරෙන පදික උමං මාර්ගය අවසන් වන්නේ ඉදිරියෙන් ඇති මධ්‍යම වෙළඳපොළ පිහිටි බැම්ම ඇතුළිනි. එය මීටර් හතළිහක් පමණ දිගය.

මධ්‍යම වෙළෙඳපොළ දෙසට යාමට අවශ්‍ය නැති, ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ දුම්රිය පොළ දෙසට යන ජනතාවට විදුලිබල මණ්ඩලය දෙසින් මීටර් දෙකක පමණ පදික වේදිකාවක් සාදා දීමට නියමිතය. මෙම උමං මාර්ගය ද ඉතාමත් විසිතුරු අන්දමින් සාදා නිම කිරීමට කටයුතු සැලසුම් කර තිබුණි. මේ සඳහා මිලියන හැටකට ආසන්න මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ. මහනුවර මහා මායා බාලිකා විදුහල අසලින් ඇති ප්‍රධාන මාර්ගයට පහළින් පොකුණක් පිහිටා තිබේ. ඒ මැදින් කුඩා පාලමකි. එය ප්‍රධාන මාර්ගය තෙක් උස්සා අලු‍තින් පාලමක් සාද ඒ දෙසින් වාහන ධාවනය කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත. එපමණක් ද නොව මහනුවර වැව කෙළවර දෙසින් ප්‍රධන මාර්ගයට පිවිසීමට ඇති මං තීරුව ප්‍රධාන මාර්ගයක් ලෙස සාදා ඒ දෙසින් වාහන ධාවනය කිරීමට ද නියමිතය. පාසල් ආරම්භ වෙන සහ අවසන් වෙන කාලයේ දී සිදුවන වාහන තදබදයට එය කදිම විසඳුමකි. මේ සඳහා මිලියන අනූහතරක මුදලක් වැය කිරීමට නියමිතය. ලු‍චි පිරිස් මාවත ද පළල් කිරීමට නියමිත වේ.

මෙම උමං මාර්ග ව්‍යාපෘතිය මාස 58 කින් ඉදිකර අවසන් කිරීමට ඇස්තමේන්තු කර තිබුණි. ව්‍යාපෘතිය සඳහා EDCF - කොරියානු මූල්‍යකරණ නියෝජිතායතනය සමඟ ඩොලර් මිලියන 252.3 ක එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 50,461 ක වියදමක් ද ඇස්තමේන්තුගත කර තිබුණි. 2021 සැප්තැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර මෙම ව්‍යාපෘතිය අවලංගු කර වෙනත් ඉහළ ප්‍රමුඛතා ව්‍යාපෘතියකට මුදල් වෙන් කරන ලෙස 2017 අගෝස්තු 21 දින ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවෙන් ඉල්ලා තිබුණු බැවින් ඒ වන විට ව්‍යාපෘතිය අක්‍රියව පැවතිණි. පසුව ව්‍යාපෘතිය සහ එහි කාර්යයන් ආරම්භ කිරීමට පෙර මහනුවර උමං මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම තක්සේරු කිරීම සඳහා 2021 මාර්තු 25 දින මාර්ග සංවර්ධන අධිකාරිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට එළඹ තිබුණි.

2017 වසරේ සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුබිම් වැඩකටයුතු සකස් කර තිබුණි. එහෙත් 2023 දෙසැම්බර් 31 වන විට පාරිසරික බලපෑම් තක්සේරුව පමණක් අවසන්කර තිබුණු අතර මුළු කොන්ත්‍රාත් වටිනාකම වූ රුපියල් මිලියන 95.75න්, රුපියල් මිලියන 78.36 ක මුදලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙවා තිබුණි. රටේ පැවති අයහපත් තත්වය මත ක්ෂේත්‍ර කටයුතු ප්‍රමාද වීම, ඉන්ධන හිඟය මත සිදුරු ගවේෂණ කටයුතුවලට බාධා පැමිණීම හේතුවෙන් අවස්ථා 03 කදී මෙම කොන්ත්‍රාත් කාල සීමාව දීර්ඝ කර (EOT) තිබුණි. 2023 දෙසැම්බර් 31 දිනට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව පිළියෙල කිරීම, නැවත පදිංචි කිරීම් සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීම සහ ව්‍යාපෘති පරිපාලන කටයුතු සඳහා එකතුව රුපියල් මිලියන 90.75 ක පිරිවැයක් දේශීය අරමුදල් මඟින් වියදම් කර තිබුණු අතර සියයට 2.9 ක භෞතික ප්‍රගතියක් පමණක් ළඟා කර ගෙන තිබුණි. ඉඩම් අත්පත් කර ගැනීම, උපදේශන කටයුතු සහ සිවිල් වැඩ 2021 වර්ෂයේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද, පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ කටයුතු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය

අවසන් වන විටත් කිසිදු කාර්යයක් ආරම්භ කර නොමැත.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු විමසීම සඳහා මහනුවර මාර්ග සංවර්ධන අධිකාරිය ඇමතූ විට ඔවුන් ව්‍යාපෘති අධ්‍යක්ෂගෙන් තොරතුරු ලබාගත යුතු බව පවසා දුරකථන අංකයක් ලබා දුණි. ව්‍යාපෘති අධ්‍යක්ෂක ඇමතූ විට ඔහු පැවසූවේ ලේකම්තුමාගේ අවසරයකින් තොරව තොරතුරු ලබා දීමට නොහැකි බව සහ ඔහු හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂක බවයි. එනම් ඔහු ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇති බවයි. මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක මඩුල්ල මහනුවර නගරයේ ප්‍රධාන ව්‍යාපෘතියක ව්‍යාපෘති අධ්‍යක්ෂක මාරු වූවා ද යන්නත් නොදනී නම් මෙම ව්‍යාපෘති මෙලෙස අතර මග නැවතීම පුදුමයක් නොවන්නේය.

පෙරදී සඳහන් කළ පරිදි මෙරට සුන්දරම නගරයක් වන මහනුවර නගරයේ සුන්දරත්වය විවිධ හේතු මත වියකී යාම කනගාටුවට කරුණකි. මිලියන ගණනින් මුදල් ද වියදම් වී ඇත. මහනුවර නගර තදබදය ද අඩු වී නොමැත. මෙලෙස මිලියන ගණන් වියදම් කරනු ලබන්නේ ජනතාවගේ මුදල්ය. වර්තමානයේ දී ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පසුගාමී තත්වයක පවතී. එවන් වටපිටාවක නගර සංවර්ධන ව්‍යාපෘති යැයි කියා මිලියන ගණනින් මුදල් නාස්ති කිරීමෙන් ශ්‍රී ලංකාව අනගතයේදීත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවටම පැවතීම අරුමයක් නොවන්නේය.

 

(***)

ශෂිකා අබේරත්න