මහත්වරුන්ගෙන් ගිලිහුණු අපේ ක්‍රිකට් ක්‍රීඩාව


ක්‍රිකට් වසන්තය එක්වරම රුදුරු ගිම්හානයකට යටත් වී තිබේ. ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් තහනම් කර තිබේ. එක්වරක් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් රටක් හා දෙවරක් ක්‍රිකට් ලෝක අනුශූරයන් වූ රටක් මෙන්ම විස්සයි - 20 ලෝක කුසලානය  දිනූ රටක් වන ශ්‍රී ලංකාවට මෙම තහනම නින්දනීය කැළලකි. දැවැන්තම අවමානයකි. මෙම තහනම තව දුරටත් තහවුරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් 21 වැනිදා තීරණය කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම ක්‍රීඩාව පැත්තෙන් මෙන්ම ආර්ථිකය පැත්තෙන්ද රටට බලවත් අලාභයකි. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මාසයේ මෙරට පැවැත්වීමට සියල්ල සූදානම් කරමින් තිබිණි. එහෙත් ක්‍රිකට් තහනම නිසා එම තරගාවලිය අපට අහිමි විය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති රටක ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්විය නොහැකිය යන ස්ථාවරය නිසා ය. එහෙයින් එම තරගාවලිය දකුණු අප්‍රිකාවට ගියේය. එම තරගාවලිය අහිමිවීම නිසා ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කට අධික ය. ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටින මොහොතක එවන් මුදලක් රටට අහිමිවීම බරපතළ ප්‍රශ්නයකි. එමෙන්ම මෙම තරගාවලිය සංචාරක ව්‍යාපාරයට ද බලවත් රුකුලක් විය. එහෙත් ඒ සියල්ලම රටට අහිමි විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරට ක්‍රිකට් තහනම් කරනු ලැබුවේ ක්‍රිකට් පරිපාලනයට එල්ලවන දේශපාලන අතපෙවීම හේතුවෙනි. එබඳු දේශපාලන අතපෙවීමක් නැතැයි කාටවත් කිව නොහැකි වාතාවරණයක් ඉකුත් සමයේ තිබිණි. එක් අතකින් රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා සමාජ ඡන්දයෙන් තේරීපත් වූ ක්‍රිකට් පරිපාලනය වෙනුවට අතුරු කමිටුවක් පත් කළේය. ක්‍රිකට් බලධාරීහු අධිකරණයට ගියහ. අධිකරණයෙන් එම අතුරු කමිටුවට වාරණ නියෝගයක් ලබා දුන්නේය. ඔය අතරවාරයේ පාර්ලිමේන්තුවේ දිනක විවාදයක්ද පැවතුණි. ආණ්ඩු පක්ෂයේ ඇතැම්හු හා විපක්ෂයේ පිරිස් ක්‍රිකට් පරිපාලනය තදින් විවේචනය කළා පමණක් නොව ක්‍රිකට් පරිපාලනය ඉවත් කළ යුතු බවට යෝජනාවක් ද සම්මත කරගත්හ.

මෙම සමස්ත ක්‍රියාදාමයම මුළුමනින්ම දේශපාලනික මුහුණුවරක් ගත්තේය.  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ‘‘මෙතැන තිබෙන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ දෙපිරිසක් අතර ප්‍රශ්නයක්’’ බවය. රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ‘‘ක්‍රිකට් ආයතනය සතුව ඇති මහ ධන නිධානය නිසා මෙම ප්‍රශ්න ඇතිවන’’ බවය. වත්මන් ක්‍රිකට් පරිපාලනය පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බවය.

කවුරුන් කුමක් කීවද අවසානයේ දී සිදුවූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තහනම්වීමය. විපක්ෂයේ ඇතැම් පිරිස් ක්‍රිකට් ප්‍රශ්නය තමන්ට දේශපාලන වාසි ලබාගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගත්හ. තවකෙක් තමන්ට ක්‍රීඩා සමාජ ඡන්දවලින් ක්‍රිකට් පරිපාලනයට පැමිණිය නොහැකි හෙයින් අමාත්‍යවරයාගේ අතේ එල්ලි ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට උත්සාහ කරති. එහි තාර්කික අන්තය මෙරට ක්‍රිකට් තහනම් වීමය.

ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. එහෙයින් මෙහි මතුවන  ඕනෑම ප්‍රශ්නයක් මහත්මා ලීලාවෙන් විසඳාගත යුතුය. ඒ වෙනුවෙන් පළමුවෙන් සියල්ලන්ම මහත්වරුන් විය යුතුය. නැතහොත් ක්‍රිකට් ‘බල්ලට’ යනු ඇත.

(***)