මහාමාර්ගවල මරු කපොලු දුටු සැණින් ඉවත් කරන්න ඕනෑ


අප රට මිනිස් වාසයට නුසුදුසු ද යන ප්‍රශ්නය මතු කෙරෙන පුවත් ඕනෑ තරම්ය. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ එබඳු පුවතකි. එම පුවතින් කියැවුණේ ගොතටුව කොස්වත්ත මාර්ගයේ ජලාපවහන මණ්ඩලය අසල ජල නළයක් පුපුරා යාමෙන් හෑරුණු අඩි 6ක් පමණ ගැඹුරු වතුර වළකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පියකු සහ දියණියක යතුරුපැදිය සමග ඇදවැටී ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන් දෙදෙනා බේරාගත් සිද්ධියයි.

එම පියා සිය දාහතර හැවිරිදි දියණිය යතුරු පැදියේ තබාගෙන පාසලට රැගෙන යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙයින් දෙදෙනාගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙන් බව පොලිසිය සඳහන් කර ඇත. පැති ගණනාවකට අවධානය යොමු කළ යුතු ප්‍රවෘත්තියකි.

දෙනෝදාහක් ජනී ජනයා ගමන් කරන මාර්ගයක අඩි 6ක් තරමේ ගැඹුරු වළක් තිබීම එක් අතකින් විශ්වාස කළ නොහැකි තරම්ය. එහෙත් එය සත්‍යයකි. එම වළ හෑරී ඇත්තේ ජල නළයක් පුපුරා යාමෙනි. ඒ අනුව එය අනපේක්ෂිත සිදුවීමකි. එහෙත් එබඳු අනපේක්ෂිත සිදුවීමකින් අනපේක්ෂිත අනතුරු ඇතිවිය හැකි යැයි අපේක්ෂා කළ යුතුව තිබිණි.

ප්‍රවෘත්තියට අනුව ජල නළය පුපුරා ගොස් තිබෙන්නේ ගොතටුව – කොස්වත්ත මාර්ගයේ ජලාපවහන මණ්ඩලය අසලය. මෙවැනි අනතුරක ගැඹුර වටහා ගැනීමට සමත් එකදු නිලධාරියකු හෝ සේවකයකු එහි නොසිටියේ ද යන්න ප්‍රශ්න කිරීම අසාධාරණ නැත. මෙම ආයතනවල එම ආයතනවලට දරාගත නොහැකි තරමේ සේවකයෝ සිටිති. එමෙන්ම නඩත්තු අංශය ද වේ.

මෙවැනි අනතුරුදායක අවස්ථාවක දී ක්ෂණයකින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් තිබිය යුතුය. මහ පාරේ අඩි 6ක් තරම් වළක් හෑරී මිනිස් ජීවිත බිලිගන්නා මරු කටක් නිර්මාණය වී තිබිය දී මෙම නිලධාරීන් හා සේවකයන් නිදාගෙන සිටියේ ද? යන ප්‍රශ්නය පැන නගී. ඒ සමගම තම වගකීම, රාජකාරිය සම්බන්ධයෙන් අවබෝධයක් සහිත කිසිවකු හෝ එහි නොසිටීම ද අවාසනාවකි.

දියණිය යතුරු පැදියේ තබාගෙන යතුරු පැදිය ධාවනය කළ පියාගේ නොසැලකිලිමත් කම මෙම අනතුරට හේතු වූවා ද විය හැකිය. එහෙත් මහා මාර්ගයක අඩි 6ක් තරමේ ගැඹුරු වළවල් ඇතැයි මාර්ගයක ගමන් ගන්නා කිසිවකු හෝ සිතනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

කොළඹ මහ වැසි ඇද වැටුණු දිනයක සිමෙන්ති ආවරණය ඉවත් කර තිබූ කානුවකට වැටී තරුණියක මිය යාමේ පුවත මෙයට දෙතුන් වසරකට ඉහත දී වාර්තා විය. ජලය ගලා යාම නිසා සිමෙන්ති ආවරණ ඉවත් කර ඇති බව නොපෙනෙන බවත් එකල එම ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් විය.

එසේනම් එම මරණයට වගකිව යුත්තේ එම තරුණියගේ නොසැලකිලිමත් බව නිසා යයි යමෙකුට පැවැසිය හැකිද? අදාළ රාජ්‍ය ආයතන පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් වඩ වඩාත් වගකීම් සහගත විය යුතුය. පුරවැසියා මහ මගට පිවිසෙන්නේ අකාලයේ මරු වැළඳ ගන්නා අදහසින් නොවේ. එබඳු අනාරක්ෂිත පරිසරයක ජීවත් වීමට සිදුවීම යනු එම ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.

පෙර සමාජයේ පොදු සාමුහිකත්වයක් තිබිණි. මෙබඳු අවස්ථාවක දී ඒ අසල පදිංචිකරුවන් මෙන්ම ඒ අසලින් ගමන් ගන්නා පිරිස් අනතුර සම්බන්ධයෙන් කුමන හෝ සංඥාවක් සලකුණු කරති. අවම වශයෙන් කෙසෙල් පැළයක් හෝ එහි රඳවා තබති. එහෙත් සාමුහික විචාර බුද්ධිය ගිලිහී ගිය සමාජයක එවැන්නක් අපේක්ෂා කළ නොහැකිය. මෙහිදී බලාපොරොත්තු විය හැක්කේ සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් වාගාඩම්බර ඇදබාන සමාජයකි. අප යමින් සිටින්නේ එතැනට ද යන ප්‍රශ්නය මගහැර යා නොහැකිය.

(***)