(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකාවේ ගංගා ඇළදොළ වැඩි හරියක් විනාශ වෙන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාය. උමා ඔය ව්‍යාපෘතිය නිසා අතු ගංගා රැුසකට අත්වී ඇති ඉරණම මීට පෙර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කළෙමු. මේ කියන්නට යන්නේ ලංකාවේ තවත් විශාල ගංගාවකට අත්වෙමින් ඇති ඉරණම ගැනය. ඒ මා ඔයයි.
මා ඔය ආරම්භ වනුයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙනි. ඇතැම් පිරිස් මෙය ‘මහ ඔය’ ලෙස හඳුන්වයි. ඊට මහනුවර දිස්ත‍්‍රික්කයේ සිට ගලා බසින ප‍්‍රාධාන ජල ධාරාවන් තුනක් පමණ ද එක්වේ.
චාර්ල්ස් ද සිල්වා සමරසිංහ සිරිවර්ධන විසින් රචිත ‘ලංකා වර්ණනාව‘ නම් කෘතියේ 17 වැනි මුද්‍රණයේ (1915) මා ඔය ගැන විස්තර කර ඇත්තේ මෙසේය..
‘‘දිග හැතැම්ම 68කි. දොළොස්බාගේ රාක්ෂව නමැති කන්දේ කම්මල් දොරටුව නම් ස්ථානයෙන් පටන් ගෙන උතුරු දෙසට ගොස් තලගොල්ලේ ඔය සම්භවෙන හරියේදී බස්නාහිර දෙසට හැරී පොල්ගහවෙල සමීපයේ පටන් බස්නාහිර සහ වයඹ පළාත් දෙකට මායිම්ව ගලා ගොස් කම්මල ළඟින් මුහුදට වැටේ. මහනුවර යන දුම්රිය පාර මෙය හරහයටය. රඹුක්කන් ඔය සහ රාගල ඔය මෙහි අතුය. ’’
රඹුක්කන ඔය, හි`ගුල ඔය, කුඩා ඔය, ගොඩිගමුව ඔය, දලගල්ල ඔය ආදිය මා ඔයේ ප‍්‍රධාන අතු ගංගා වේ. දිගින් කිලෝ මීටර 130ක් වන මා ඔයේ පෝෂක කලාපය වර්ග කිලෝමීටර 1538ක් පමණ වේ. වාර්ෂිකව මා ඔය ඔස්සේ ගලා බසින ජල ප‍්‍රමාණය ඝන මීටර් මිලියන 1485ක් පමණ බවට ගණන් බලා ඇත.
මහනුවර, කෑගල්ල, කුරුණෑගල, ගම්පහ සහ පුත්තලම යන දිස්ත‍්‍රික්ක හරහා මා ඔය ගලා බසී. මධ්‍යම පරිසර අධිකාරියේ ලේඛණ ගත වාර්තා අනුව ලක්ෂ දෙකකට පමණ ජනතාවකට සෘජු ලෙස පානීය ජලය සපයනු ලබන්නේ මා ඔයෙනි. මධ්‍යම පරිසර අධිකාරියේ දත්ත එසේ වුවද වාර්තා වන අන්දමට ලක්ෂ 10කට ආසන්න පිරිසක් මා ඔයෙන් ප‍්‍රයෝජන ගනිති.
කෙසේ වෙතත් මේ වන විට මා ඔයට අත්වෙමින් තිබෙනුයේ ඛේදනීය ඉරණමකි. මා ඔයට සෘජුවම මෙන්ම ජලය එකතු වන ඇතැම් ජල මාර්ගවලට ද මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම ඊට හේතුවයි.
මා ඔයට ජලය සපයන ප‍්‍රධාන ජල ධාරාවක් වන ගැරඬියා ඔය ගලා බසින්නේ කඩුගන්නාව කිරිමැටිය හරහාය. යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ හා කාබනික පොහොර නිෂ්පාදන ඒකකය නිසා ගැරඬියා ඔයට අපද්‍රව්‍ය එකතු වෙමින් තිබෙන්නේ මහා පරිමාණ වශයෙනි.
2014 නොවැම්බර් 13 වැනි දා මෙය විවෘත කර ඇත්තේ අපද්‍රව්‍ය කළමනාකරණයට බව කීව ද එය නිසි ආකාරව සිදුවී ඇත්තේ ටික දිනකි. මේ පිළිබඳ වාර්තා වීමත් සමඟ පසුගිය දිනෙක අප එහි යන විට අපද්‍රව්‍ය කළමනාකරණයක් හෝ කාබනික පොහොර නිෂ්පාදනය කෙසේ වෙතත් දකින්නට ලැබුණේ නිසි ක‍්‍රමවේදයකින් තොරව කුණු බැහැර කර ඇති අන්දමයි.
වැසි ජලයෙන් කුණු ගොඩේ අපද්‍රව්‍ය මා ඔයට එකතු වේ. ගැරඬියා ඔය යනු එන් ප‍්‍රධාන ජල පහරකි. මේ කුණු ප‍්‍රශ්නය නිසා මා ඔයේ හා මා ඔයේ අතු ගංගාවල ජලයෙන් ප‍්‍රයෝජන ගන්නා විශාල පිරිසකගේ සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ කියයි. එපමණක් නොව කුණු දමා ඇති ප‍්‍රදේශය ආශ‍්‍රිත ජනතාවට ද මුහුණ දීමට සිදුවී ඇත්තේ අභ්‍යාග්‍ය සම්පන්න ඉරණමකටය.
‘මෙතන ඉතාම ලස්සන ප‍්‍රදේශයක්. වටේම තේ වතු වගේම විවිධ බෝග වර්ග වගා කර තිබෙනවා. අපි මුල ඉඳන්ම විරුද්ධ වුණා මෙතනට කුණු ගෙනවිත් දානවට. මේ පැත්තම දැන් දුඟදයි. ඒ වගේම මැස්සොත් හැම තැනම. වතුර පාරවලටත් කුණු එකතු වෙනවා. අපි බොන්නෙත් ඒ වතුර. මේ වතුර පාරවල් එකතු වෙන්නේ මා ඔයට.’ යැයි ප‍්‍රදේශවාසියකු වන ටී ඩබ්ලිව් ජෝන් (65) මහතා පැවසීය.
ප‍්‍රදේශයේ නිවෙස්වල සෑම ස්ථානයක්ම වැසී ඇත්තේ මැස්සන්ගෙනි. අතට ගන්නා බත් පිඟාන ද මිනිත්තු කිහිපයකින් මැස්සන්ගෙන් වැසී යෑමෙන් මැස්සන් කරදරයේ තරම මනාව පෙන්නුම් කළේය.
මේ නිසා කුඩා දරුවන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ ඉඩක් ඇතැයි ප‍්‍රදේශවාසියකු වන පුෂ්පා කුමාරි දමයන්ති මහත්මිය ප‍්‍රකාශ කළාය.
‘අවුරුදු දෙකක විතර වෙලේ ඉඳන් මේ කුණු ගොඩ නිසා මැස්සන්ගේ ප‍්‍රශ්නය තියෙනවා. දැන් ඒක හොඳටම වැඩියි. අපට තේ එකක් බොන්නවත් නෑ. මට පොඩි බබෙක් ඉන්නවා. එයාට දැන් අවුරුද්දයි. එයාට කෑමක් දෙන්නවත් බැරි තරමට මැස්සෝ. පීඑච්අයිට කිව්වත් මොනවත් වුණේ නෑ. කුණු කන්ද නිසා එක්තරා දේශපාලකයෙක් අපේ පාර හරස් කරලා ගේට්ටුවකුත් දැම්මා. ගමේ මිනිස්සුන්ට යන්න අඩි දෙකයි ඉතුරු කළේ. මැරුණහම මිනී පෙට්ටියක් උස්සන් යන්නවත් අඩි දෙකක් ඇද්ද?’ පුෂ්පා කීවාය.
මේ සම්බන්ධයෙන් සෑම තැනකටම පැමිණිලි කළත් නිසි විසඳුමක් නොලැබුණු බව කිරිමැටිය ආනන්දාරාමාධිපති වළගෙදර සද්ධාතිස්ස හිමියෝ කීහ.
‘මෙතනට කුණු ගෙනත් දාන්න කලින් කිරිමැටිය ඉස්කෝලේ රැස්වීමක් තිබ්බා. පරිසර අධිකාරියෙනුත් එතනට ආවා. ඔවුන් කිව්වා නිසි ප‍්‍රමිතියකට අනුව හරියට මේ වැඩේ කරනවා කියලා. නමුත් වැඩේ පටන් ගත්තම ඔවුන් කියපු විදියට වුණේ නෑ. මෙහෙට ගේන්නේ මේ ගමේ අයගේ කුණු නෙවෙයි. පිට ප‍්‍රාදේශීය සභාවල කුණු තමයි ගෙනල්ලා දාන්නේ. කුණු ටික හේදිලා ඔයට එකතු වෙනවා. මේ ඔයෙන් බොහෝ දෙනෙක් නානවා. දැන් මේ හරියේ නාන්නත් බෑ. මේ ගැන කියන්න ඕන තැන්වලට කිව්වත් ස්ථිර විසඳුමක් නෑ. ’
ඒ මා ඔයට අපද්‍රව්‍ය එකතු වන එක් ස්ථානයක් පමණි.
මා ඔය ආසන්නයේ නිත්‍යනුකූල සහ නීති විරෝධීව ඉදි කළ ඉදි කිරීමේ රැසක් වේ. ගංගාවක් අසල ඉදි කිරීමක් කළ යුත්තේ නියමිත දුරකිනි. ගංගා රක්ෂිතයේ ඉදි කිරීම් කළ නොහැකිය. මා ඔය ආරම්භයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා ගියහොත් මෙවැනි නීති විරෝධී ඉදි කිරීම් ඕනෑ තරම් සොයා ගත හැකිය. මෙම නීති විරෝධී ඉදි කිරීම් ගඟ ආශ‍්‍රිත පාරිසරික පද්ධතියට සිදු කරනුයේ දැඩි තර්ජනයකි.
මා ඔය ආශ‍්‍රිත ඇතැම් වෙළෙඳ සල්, නිවාස ආදියෙන් පිටකරන අපද්‍රව්‍ය කෙළින්ම හරවා ඇත්තේ මා ඔයටයි. මාවනැල්ල සහ අරණායක ප‍්‍රදේශවල මෙය හො`දින් දැක ගත හැකිය. ඇතැම් කඩ සහ හෝටලවල වැසිකිළි පද්ධතිය පවා හරවා ඇත්තේ මා ඔයටය.
මධ්‍යම පරිසර අධිකාරියේ 2013 වසරේ වාර්තාවක ස`දහන් වී තිබුණේ එම වසරේ කළ ජල නියැදි සමීක්ෂණයක දී මාවනැල්ල පාලම දක්වා වන ඉහළ ගංගා කලාපයේ මළ මිශ‍්‍රවීම සියට 16.7ක් තිබූ බවයි. ඉන් වසර හතරකට පසු අද එම ස්ථානවලින් ජල සාම්පල ගෙන පරීක්ෂා කළහොත් තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් විය යුතුය. ඒ මේ වන විට ස්ථාන රැුසකින් මා ඔයට මළ අපද්‍රව්‍ය එක්වන බැවිනි.
මා ඔයේ ඉහළ ගංගා කලාපය ලෙස හැඳින්වෙන්නේ මාවනැල්ලේ පාලම දක්වා වූ කිලෝමීටර 30ක ප‍්‍රදේශයකි. එතැන් සිට ඉඩල්ගම දක්වා කිලෝමීටර 70ක පෙදෙස මධ්‍යම ගංගා කලාපය ලෙස ද, ඉඩල්ගම සිට මුහුද දක්වා කොටස පහළ ගංගා කලාපය ලෙස ද හැඳින්වේ.
මධ්‍යම ගංගා කලාපයට අයත් හිරිවඩුන්න පාලම ප‍්‍රදේශයේ 2013 වසරේ දී කළ ජල සාම්පල පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ සියයට 33.3ක් මළ මිශ‍්‍රවී ඇති බවයි. 2013 අලව්ව ප‍්‍රදේශයේ කළ ජල සාම්පල පරීක්ෂාවේදී මළ මිශ‍්‍ර වීම සියයට 50කි. පෙර සඳහන් කළ පරිදි වර්තමානයේ එය පරීක්ෂා කළහොත් ඇතැම් විට එය අතිශයින් වැඩි වී තිබිය යුතුය. ඒ තරමට මා ඔයට මළ අපද්‍රව්‍ය එක්වීම වැඩි වී තිබේ.
මේ දහස් ගණනකට ජලය සපයන මා ඔයට අත්වී ඇති ඛේදනීය ඉරණමේ එක් පැතිකඩක් පමණි. මෙහි තවත් පැත්තක් තිබේ. මා ඔය ඉහළ ප‍්‍රදේශයේ වනාන්තර විනාශය ද සැලකියයුතු ලෙස ඉහළ යමින් තිබේ. එය තදින්ම දේශගුණ විපර්යාසවලට බලපාන බව පරිසරවේදීහු කියති. පරිසර විනාශය වැඩි වන්නට වැඩි වන්නට එම ප‍්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අඩුවී මා ඔයේ ජල මට්ටමද අඩුවිය හැකි බවට පරිසරවේදීහු අනතුරු හඟවති.
ස්වභාව ධර්මයෙන් ලැබුණු ඇළ දොළ ගංගා මිනිස් ක‍්‍රියාකාරකම් නිසා විනාශ වීමේ අභාග්‍ය සම්පන්න ඉරණමේ ප‍්‍රතිඵල මිනිසාට පමණක් නොව සතා සීපාවාටද සම්පූර්ණ පාරිසරික පද්ධතියටමද බලපායි. පාරිසරික පද්ධතියේ ඇති වන වෙනසේ අහිතකර බලපෑම්වල අවසන් ගොදුර වනුයේ ද මිනිසාමය.
වගකිව යුතු ආයතන මා ඔය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් නොදැක්වුවහොත් නුදුරේදීම විශාල පරිසරික හානිවලට මෙන්ම සෞඛ්‍ය ප‍්‍රශ්නවලට ද මුහුණදීමට සිදු වනු ඇත.
මා ඔය සුරැකීමේ සංවිධානයේ චන්දන සෙනවිරත්න |
අපි ජීවත් වන්නේ මාඔයට ඉහළ. ඒ කියන්නේ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කොටඨාසයේ. එන්න ![]() |
ශ්‍රී ලංකා ජල සංසදයේ කුසුම් අතුකෝරල |
කැලණි ගෙඟන් පස්සේ වැඩිපුරම කර්මාන්ත ති |
මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී වැලිකන්නගේ
යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ හා කාබනික පොහොර නිෂ්පාදන ඒකකයට මුවා වී මා ඔයට ජලය සපයන ගැරඬියා ඔයට කුණු බැහැර කිරීමක් සිදුවෙනවා. මේ ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් ද?
ප‍්‍රාදේශීය සභාවෙන් එවැනි ව්‍යාපෘතියක් කරන බව අපි දන්නවා. ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ඒවායේ සභාපතිවරු අස් වූ ගමන් වැටෙනවා. මෙතැනත් එහෙම ප‍්‍රශ්නයක්ද කියා බැලිය යුතුයි. මේ විදියට කෙලින්ම කුණු ඔයට බැහැර කිරීමක් වෙනවා නම් එය වැරැදියි. අප කිසිසේත් එය අනුමත කරන්නේ නෑ. මේ තත්ත්වය ගැන වහාම සොයාබැලීමක් කරන්නට අප පියවර ගන්නවා.
ඒ වගේම මා ඔය ආසන්නයේ නීති විරෝධීව ඉදි කළ ඉදි කිරීමේ රැසක්ම තිබෙනවා. මේ ගැන නීතිමය පියවර නොගන්නේ ඇයි?
ඒක නම් මෙහෙමයි. ලංකාවේ ඕනෑම ඇළක දොලක ගංඟා මායිමක පෞද්ගලික ඉඩම් තිබෙනවා නම් වෙනම කලාප වෙන් කිරීමක් නෑ. රජයේ ඉඩම් නම් තමයි එහෙම වෙන්නේ. මා ඔයේ තිබෙන ප‍්‍රශ්නය වන්නේ වැඩි ප‍්‍රමාණයක් තිබෙන්නේ පුද්ගලික ඉඩම් වීමයි. මීට කලින් මධ්‍යම පරිසර අධිකාරියෙන්ම නඩුවකුත් දැම්මා. ඒ නඩුවෙදිත් ආවේ මේ ප‍්‍රශ්නයයි. ඉදිකිරීම් බලතල තිබෙන්නේ පළාත් පාලන ආයතනවලටයි නාගරික සංවර්ධන අධිකාරියටයි. ගංගා රක්ෂිතවල ඉදිකිරීම් සඳහා අවසර නොදී සිටීමට මේ ආයතනවලට හැකියාව තිබෙනවා.
ඒ වගේම ඔවුන්ගේ මළ අපවහන පද්ධතිත් ඔයට හරවා තිබෙනවා. මීට එරෙහිව පියවර ගන්න නොහැකිද?
සාමාන්‍ය නිවාසවල මළ අපවහන පද්ධතිවලට වගේම මේවා සම්බන්ධයෙනුත් කටයුතු කළ හැකියි. මේ ඉදිකිරීම් ගැන මාවනැල්ල, අරණායක, රඹුක්කන ප‍්‍රාදේශීය සභාවලට හොයන්න පුළුවන්. ඒ කාරිය හරියට නොකිරීමේ පලවිපාක තමයි මේ තිබෙන්නේ. රජයේ ඉඩම් තිබෙන්නේ වන සංරක්ෂණයටයි ප‍්‍රාදේශීය ලේකම්ටයිටනේ. හොර ඔප්පු හදාගෙන ඉන්නවා නම් ඔවුන් මේ ගැන සෙවිය යුතුයි. මා ඔය තිබෙන ප‍්‍රශ්නය වන්නේ මේ දේවල් නිරවුල් නොවීමයි. මා ඔය ප‍්‍රශ්නය ගැන දිගටම අපි විමර්ශනය කරනවා. මීට කලිනුත් නඩු දාලා තිබෙනවා. මේ තාක්ෂණික ප‍්‍රශ්න නිසා නඩු ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් ආවා.