මානව හිතවාදී දේශපාලනයේ ‘‘කරු සලකුණ’’


ප්‍රවීණ දේශපාලනඥයකු වූ කරු ජයසූරිය මහතාගේ ජන්ම දිනය හෙටට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. මීරිගම, කණ්ඩලම සුන්දර වටපිටාවක් සහිත ගැමි පරිසරයක සැප්තැම්බර් 29 වැනිදා උපන් කරු ජයසූරිය මහතා කඳන්ගමුව රජයේ විද්‍යාලය, කැලණිය ධර්මාලෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය ආදියෙහි සිප් සතර හදාරා, ජාතික සත් සිරිත් හා බෞද්ධාගමික වත් පිළිවෙත් ද මව්පිය පරපුරෙන් දායාද ලෙස ලැබ, ගුණ නැණ සපිරි සදාචාරවත් පෞරුෂයක් උරුම කරගත් ශ්‍රේෂ්ඨ ජන නායකයෙකි.

සමාජ නායකයකු තුළ තිබිය යුතු චරිත පාරිශුද්ධිය, අවංකභාවය, ඍජු ගුණය, සාධාරණත්වය හා සමානාත්මතාවය, නිහතාමනී ගුණය ආදී සුවිශේෂී ගුණයන්ගෙන් ස්වකීය ආත්මය පෝෂණය කරගත් කරු ජයසූරිය මහතා, විරුද්ධ පාක්ෂිකයන් අතර ද පිළිගැනීමට ලක් වූයේ, එතුමන් තුළ වූ අවිරෝධතා ගුණය නිසාය. අන් මත ඉවසීම, ඇහුම්කන් දීම, පොදු මතයට ගරු කිරීම වැනි ගුණාංග හේතුවෙන් සිය පක්ෂය තුළ මෙන්ම විරුද්ධ පාක්ෂිකයන් අතර ද එතුමා ප්‍රියජනක, ගෞරවයට පාත්‍ර වූ චරිතයක් විය.

රටේ නායකත්වයට පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාව පැන නැඟුණු හැම විටකම කරු ජයසූරිය මහතා කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ ද එහෙයිනි. තම භාවිතාව කෙරෙහි අධි තක්සේරුවක සිටි පුද්ගලයන්ගේ බලපෑම් හා මැදිහත්වීම් නිසා රටේ යහපත පිණිස වූ ඒ අවස්ථාවන් මගහැරී ගිය බව ද රහසක් නොවේ.

මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු මෙන්ම කතානායකවරයකු වශයෙන් ද ආදර්ශවත් චරිත භාවිතයකින් ක්‍රියා කළ එතුමා, ස්වකීය දේශපාලන ජීවිතයෙහි සුවිශේෂී සටහන් තැබූ නායකයෙකි. තානාපතිවරයකු ලෙස ජාත්‍යන්තර කටයුතුවලදී ද එතුමා අනුගමනය කළ මධ්‍යස්ථ ප්‍රතිපත්තීන් හා අවංකභාවය හේතුවෙන් දේශයේ අභිමානය ද රාජ්‍ය තාන්ත්‍රිකභාවය ද ආරක්ෂා කිරීමට එතුමා සමත් වූ බව පෙනේ.

කරු ජයසූරිය මහතා රටට ආදරය කළ සැබෑ දේශ ප්‍රේමියෙකි. ජාතිවාදය ප්‍රතික්ෂේප කළ, ජාතික සමගියත්, ආගමික සහජීවනයත් වෙනුවෙන් පෙනී සිටි මානව හිතවාදියෙකි. බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම පිණිස, දේශපාලන කුහකකමින් තොරව, අවස්ථාවාදී නොවී, අවස්ථාවෝචිත ලෙස ක්‍රියා කොට, රටට ජයග්‍රහණය ලබාදුන් නායකයෙකි. පක්ෂය දෙවනු කොට, මව්බිම පළමු කොට සලකා තනතුරු අත්හල පරිත්‍යාගශීලියෙකි. මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි පක්ෂයේ තනතුරු හැර දමා පැවැති රජයට සහයෝගය ලබා දී ත්‍රස්තවාදය පරාජය කිරීමට සහයෝගය ලබාදුන් ආදර්ශවත් ජන නායකයෙකි.

වර්ගවාදය පිටුදකිමින්, සාමානාත්මතාවය අගය කළ, ක්‍රියාත්මක කළ, තමන්ට පැවැරුණු සෑම කටයුත්තක්ම සාර්ථකවම නිම කළ, ජාත්‍යන්තරයේ ද ප්‍රසාදය දිනාගත් විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ජපාන රජයෙන් ‘උදා හිරු’ සම්මානය ද, ඉන්දියානු රජයෙන් ‘ශ්‍රේෂ්ඨ පුරවැසි’ සම්මානය ද දිනා ජාත්‍යන්තරයේ පිළිගැනීමට, ගරු සම්භාවනාවට පාත්‍ර වූ දේශපාලකයෙකි.
පවතින රජයේ ද වැරැදි අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා නිවැරැදි කරගැනීමට අදාළ මග පෙන්වීම සිදු කරන අවංක කෘතහස්ත ජන නායකයෙකි.

රටක් නිසි මග ගැන්වීමෙහිලා විශේෂයෙන් අවශ්‍ය වන්නේ නායකත්ව ආදර්ශයයි. නායකයා - පාලකයා ආදර්ශවත් වූ කල රටවැසියන් ද එයට අනුගත වන හෙයිනි. සමාජයක් නිවැරැදිව ඉදිරියට යන්නේ එම න්‍යාය පදනම් කරගෙනය. වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය සදාචාරමය නාය යාමකට බඳුන්ව, දුර්වලව ඇත්තේ රාජ්‍ය පාලන අධිකාරියෙන් ලැබෙන වැරැදි ආදර්ශ, බලපෑම් හේතුවෙනි. පඤ්ච දුශ්චරිතය හා දස අකුසලය පදනම් කරගත් එම ඛේදවාචකයට - ව්‍යසනයට අද අපි මුහුණ දී සිටිමු. එයින් නිදහස් වන මගක් සෙවීමට කාලය එළැඹ ඇති බව පෙනේ.

මෑත කාලීන දේශපාලන ඉතිහාසයෙහි එබඳු ආදර්ශයන් සපයන රාජ්‍ය පාලකයන් දේශපාලන නායකයන් විරලය. වසර 60කට ආසන්න සමාජ දේශපාලන භාවිතය තුළ ‘කරු සලකුණ’ විශේෂත්වයක් දරන්නේ එතුමන් විසින් සපයන ලද විශිෂ්ට චරිතාදර්ශයන් හේතුවෙනි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි අවංකව, සිතට එකඟව, ධර්මානුකූලව කටයුතු කරන එතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරක්ෂක දායක සභාවේ ගරු සභාපති ධුරය දැරීම ද විශේෂත්වයකි. නිකායේ මහා සංඝ මූලස්ථානය ගොඩනැගීමේ කාර්යයෙහි ද මූලිකත්වය දැරූ එතුමා ශාසනික හා ආගමික කාර්යයන්හි පුරෝගාමී කාර්යයක් ඉටු කරන සැදැහැවතෙකි. බුද්ධශාසන අමාත්‍යවරයා වශයෙන් භික්ෂු නිකාය කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමෙහිලා අප්‍රමාණ වෙහෙසක් දැරුව ද, එතුමන්ගේ නිල කාලය තුළ එය ඉටු කරගැනීමට නොහැකි විය.
එතුමන්ගේ තවත් අපේක්ෂාවක් වූයේ, ත්‍රෛනිකායික භික්ෂු සාමග්‍රියක් ඇති කොට, සංගායනාවක් පවත්වා, පොදු භික්ෂු කතිකාවතක් සම්පාදනය කොට ශාසන චිරස්ථායී වැඩපිළිවෙළක් යෙදීමය. අවස්ථාවාදී නාමික - ආරෝපිත බොදුනුවන්ගේ බල පරාක්‍රමය හේතුවෙන් ඒ සඳහා ද අවස්ථාවක් නොවීය.

වර්තමානයෙහි එතුමා පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙහි නායකත්වය දරමින් සැබෑ දේශ ප්‍රේමිත්වයෙන් යුත්, අවංක චරිතවත් කාර්යක්ෂම නායකත්වයක් බලගැන්වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටී. එතුමාගේ අපේක්ෂාව වන්නේ සියලු ජන කොට්ඨාසවලට දේශයේ පුරවැසියන් ලෙස සමාන අයිතිවාසිකම් සහිතව, ආත්මාභිමානයෙන් යුතුව ජීවත් විය හැකි සාමකාමී වාතාවරණයක් සහිත ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමය. ඒ සිහිනය සැබෑ කරගත හැක්කේ දේශය ද දේශයේ අමිල සම්පත් ද විදේශිකයන් සතු කරමින් සිටින ආත්මාර්ථකාමී, බලලෝභී, දුරාචාරවත් දේශපාලනයෙන් මේ රට නිදහස් කරගැනීමෙන් පමණි. ඒ සඳහා අවශ්‍ය පරිසරය, වාතාවරණය සකස් කිරීම දේශමාමක, බුද්ධිමත් පුරවැසියන්ගේ පරම යුතුකම වන්නේය.

අපේ මුතුන් මිත්තන් දිවි පුදා රැකගත් අපේ මාතෘ භූමියත්, ඒ මාතෘ භූමියේ සියවස් ගණනක් සුරැකි සදාචාරවත් සංස්කෘතියත් ආරක්ෂා කරගැනීම පිණිස කායික - මානසික නිදුක් නිරෝගීවයත්, චිර ජීවනයත් සැලසේවා’යි අපි එතුමන්ට තෙරුවන් සරණ පතමු.

(***)
‘සුබී දීඝායුකෝ භව’
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක
මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමි