මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය සැප්තැම්බර් 11 දා සිට ඔක්තෝබර් 13 දක්වා පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාවේ වගවීම හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව කරුණු දැක්වීම සිදු වේ. 2009 දී යුද්ධය අවසන් වූ තැන පටන් එම කවුන්සිලයේ වාර්ෂික සැසිවාරවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන නිරන්තරයෙන් විමර්ශනයට ලක් විය.

මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද ප්‍රධාන යෝජනා දෙකක් තිබේ. 46/1 හා 51/1 යනු එම යෝජනාය. මේවායෙන් මූලිකව අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ තවදුරටත් මානව හිමිකම් උල්ලංඝනයවීම් සිදුවන බවත් ඒවා නිරන්තර පරීක්ෂණයට ලක් කළ යුතු බවත් සහ ජාත්‍යන්තර සහාය ඇතිව පිහිටුවන මණ්ඩලයක් හරහා ඒවා ගැන විමර්ශන කළ යුතු බවත්ය. එහෙත් ශ්‍රී ලංකාව ඊට විරුද්ධත්වය පළ කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මගින් මෙරට මානව හිමිකම් උල්ලංඝනයවීම් ගැන සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ සිදුවිණි යැයි කියන යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමත් ඒවා ගැන විමර්ශනය කිරීමත් සිදු කරන බව අමතක නොකළ යුතුය. එයින් ඉදිරිපත් කරන වාර්තාවල අන්තර්ගත තොරතුරුත් පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලයේ සෑම සැසියකදීම ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරයි. විමර්ශනයට බඳුන් වන අනෙක් රටවල් පිළිබඳවද එසේ වාර්තා ඉදිරිපත් කිරීම සිදු වේ. ඒ අනුව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව සැප්තැම්බර් 6 වැනිදා නිකුත් කෙරිණි.

එම වාර්තාව මගින් මානව හිමිකම් සම්බන්ධයෙන් මේ මොහොතේ ලංකාවේ පවතින තත්ත්වය ගැනත් ලංකාවේ වගවීමේ ස්වභාවය ගැනත් විමර්ශනාත්මක කරුණු රාශියක් ඉදිරිපත් කර තිබේ. යුද්ධයේ දී සිදුවිණි යැයි චෝදනා එල්ල වන යුද අපරාධ හා ඒවායෙන් මියගිය අයටත් වින්දිතයන් බවට පත්ව ඇති අයටත් දිවි ගලවා ගත් අයටත් මේ දක්වා යුක්තිය ඉෂ්ට වී නැති බව එයින් තවදුරටත් කියයි. එබැවින් මේ ගැන තවදුරටත් සොයා බැලිය යුතු බවත් ඔවුන්ට යුක්තිය ඉටු කළ යුතු බවත් එම වාර්තාව නිර්දේශ කරයි.

මෑත කාලයේ සිදු වූ දේශපාලන විපර්යාස හා ආර්ථික අර්බුදය මානව හිමිකම්වලට බලපා ඇති ආකාරයත් මෙම වාර්තාවෙන් සැලකිල්ලට ලක් කර තිබේ. මානව අයිතිවාසිකම් ආකාර දෙකකින් සාකච්ඡාවට ලක් කෙරේ. එකක් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්ය. ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කැමති තැනක යාමේ ඊමේ අයිතිය,  වධ හිංසාවලින් වැළකීමේ අයිතිය ආදී අයිතිවාසිකම් මේ කාණ්ඩයට අයත් වේ.

දෙවැනි වර්ගය වන්නේ ආර්ථික සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම්ය. අධ්‍යාපනය ලැබීමේ අයිතිය, කැමති රැකියාවක් කිරීමේ අයිතිය, ආහාර නිසි සුරක්ෂිතභාවයකින් ගැනීමට ඇති අයිතිය ආදී අයිතීන් ඒ යටතට වැටේ. උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථික සාමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව මෙම වාර්තාවෙන් කියයි. විශේෂයෙන්ම 2022 වසරේ ඇති වූ අරගලයෙන් මතු කළ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ සාක්ෂාත් වන ආකාරයේ පරිවර්තනයකට ශ්‍රී ලංකාව මෙතෙක් පත්ව නැති බවත් අදාළ වාර්තාවෙහි සඳහන් වේ.

ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවත් දුප්පත්කම වැඩි වී ඇති බවත් කියන මෙම වාර්තාව ආර්ථික අර්බුදය හේතුවෙන් අන්ත දුගීභාවයට පත්ව සිටින ජනතාව සඳහා ආධාර කිරීම ජාත්‍යන්තර වගකීමක් බවට පත්ව ඇති බවත් සඳහන් කරයි. මීට අමතරව නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ නොමැතිවීමෙන් සෞඛ්‍යමය වශයෙන් ලංකාවේ ජනතාව පීඩාවට පත්ව සිටින බවද මේ වාර්තාවෙන් කියයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේදී දුප්පත්කම නිසා දරුවන් පාසල් අතහැර යෑම වැඩි වී ඇති බවද නිරීක්ෂණය කරයි. උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍රයේදී මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව මෙම වාර්තාව නිරීක්ෂණය කරයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම වැදගත් බවද අවධාරණය කරයි.

සිවිල් හා දේශපාලනික ක්ෂේත්‍රයේ දී රජයේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එම අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බව මෙම වාර්තාවෙහි දැක්වේ. විශේෂයෙන්ම සාමකාමී ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග මෙයින් විවේචනය කර තිබේ. ඊට අමතරව ආණ්ඩුව සම්මත කර ගැනීමට උත්සාහ කළ ඇතැම් අණ පනත් මගින් මූලික අයිතිවාසිකම් කඩවන තත්ත්වයක් උද්ගත වූ බවද මෙහි දැක්වේ. විද්‍යුත් විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම්පත නිදසුනක් වශයෙන් දක්වා තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආණ්ඩුව ඉදිරිපත් කළ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බව දක්වමින් මෙම වාර්තාවෙන් එය විවේචනය කර තිබේ.

නව දූෂණ විරෝධී පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ප්‍රශංසා කර ඇතත් එහි පවතින අඩුපාඩුකම් ද පෙන්වා දෙයි. සමස්තයක් ලෙස ගත් විට මෙම වාර්තාව මගින් මෙරට මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් සිදුව ඇතැයි පෙන්වා දී නොමැත. උද්ගත වූ ආර්ථික අර්බුදය සමනය කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව යම් සාධනීය උත්සාහයක් ගන්නා බව යම්තාක් දුරකට මේ වාර්තාව මගින් පිළිගත්තද එම ආර්ථික අර්බුදයෙහි ඵලයක් විදියට ජනතාව මුහුණ දී සිටින ආර්ථික සාමාජීය අර්බුද සමනය කිරීම සඳහා ලංකාවට අවකාශයක් තවදුරටත් තිබිය යුතු බවත් කියයි. ශ්‍රී ලංකාව අපහසුතාවට පත් කිරීම සඳහා මෙම වාර්තාවෙන් උත්සාහ ගෙන ඇති බවක් නොපෙනේ. ආර්ථික වශයෙන් නැගී සිටීම සඳහා ලංකාවට ආධාර කළ යුතු යැයි පවසන අතරම මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවද මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් කියයි.

දැනට රට පාලනය කරන පාලකයන් හා අනාගතයේදී පත් වන පාලකයන් තේරුම්ගත යුතු කාරණය නම්, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම අනිවාර්යය බවත් එහිදී යහපාලනය, පාරදෘශ්‍යභාවය, මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රතිසන්ධානය ඇති කිරීම සහ ජනතා උද්ඝෝෂණ ආදියේදී ඉතාමත් සංවේදී ආකාරයට කටයුතු කළ යුතු බවත්ය.

වසර 2019 දී එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම වාර්තාව කියන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් නොවිසඳුණු කරුණු පවතින බවය. ජාත්‍යන්තර සහයෝගය ඇතිව පවත්වන පරීක්ෂණයක් අවශ්‍ය බවද මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබේ. මේ පසුබිමේ අප අවබෝධ කර ගත යුතු කාරණය නම්, මෙම පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සිද්ධිය ඉදිරි මානව හිමිකම් සැසිවාරවලදී ද සාකච්ඡාවට ලක් විය හැකි බවය.

මේ තත්ත්වය වඩාත් තීව්‍ර වීමට හේතුවක් වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විසින් පසුගියදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් විකාශය කරනු ලැබූ වීඩියෝවයි. එයින් ශ්‍රී ලංකා රජය යම් කිසි ආකාරයකට වගකීමකට හා අපහසුතාවට පත්වූ බව කිව හැකිය. එම ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් මේ දක්වා සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය සහ පාරදෘශ්‍යභාවය ප්‍රශ්න කිරීමක් අභියෝගයට ලක් කිරීමක් මේ වීඩියෝවෙන් සිදු කෙරිණි.

මෙහිදී අප සැලකිල්ලට ලක් කළ යුතු කාරණය නම්, චැනල් ෆෝ රූපවාහිනී නාළිකාව මගින් විකාශය කළ එම වැඩසටහනෙන් අදාළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකීමකට බැඳී සිටින්නේ ද යන්නයි. එකී නාළිකාවේ හෙළිදරව්වට අමතරව මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කළ වාර්තාවෙහිද එම ත්‍රස්ත ප්‍රහාරමාලාව ගැන සඳහන් වේ. ජාත්‍යන්තර සහයෝගය සහිත පරීක්ෂණයක් මගින් ඒ ගැන සොයා බැලිය යුතු බව එම වාර්තාවේ දැක්වේ. චැනල් ෆෝ අනාවරණය ඊට යම් පිටුබලයක් සපයා තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බලයට පත් වූ ආණ්ඩු තුනක් යටතේ විමර්ශන සිදු කර තිබේ. මෙය අපට දෘෂ්ටිකෝණ තුනක් යටතේ විමර්ශනයට ලක් කළ හැකි බව පෙනී යයි. පළමු නිරීක්ෂණය නම්, එම ප්‍රහාරය වනාහී අන්තගාමී ආගමික කල්ලියක් විසින් සිදු කරන ලද සාහසික එකක් බවය. දෙවැනි නිරීක්ෂණය නම්, කිසියම් ජාත්‍යන්තර අන්තගාමී ආගමික කල්ලියක් විසින් දේශීය ආගමික අන්තගාමී ආගමික කල්ලියක් යොදා ගනිමින් ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක් බවය. තෙවැනි නිරීක්ෂණය නම්, එවකට විපක්ෂයේ සිටි නායකයන් විසින් අන්තගාමී ආගමික කල්ලියක් යොදා ගනිමින් බුද්ධි අංශවල සහයෝගය ද ඇතිව දේශපාලන වාසි පිණිස සිදු කරන ලද ප්‍රහාරයක් විය හැකි බවය.

පළමු නිරීක්ෂණය යටතේ බැලුවහොත් මෙම ප්‍රහාරයේ වග කිවයුත්තන්ට මේ වන විටත් දඬුවම් ලබා දී තිබේ. දෙවැනි නිරීක්ෂණයට අනුව, මේ ප්‍රහාරය පසුපස සිටිය හැක්කේ ජාත්‍යන්තර අන්තගාමී කල්ලියක් බැවින් එම කණ්ඩායම මේ දක්වා නිශ්චිතවම හඳුනාගෙන නොමැත. තුන්වැනි නිරීක්ෂණය යටතේ මේ ප්‍රහාරය දෙස බැලුවහොත් එය මෙරට රාජ්‍ය පාලනයට අභියෝගකාරී කාරණයක් වන බව පෙනේ. මගේ අදහසට අනුව, චැනල් ෆෝ නාළිකාවේ වීඩියෝවෙන් ප්‍රශ්න කරන්නේත් මේ තුන්වැනි නිරීක්ෂණය සම්බන්ධවයි. මේ පසුබිමේ ලංකාණ්ඩුවට මේ අවස්ථාවේ ගැලවීමක් නැති බව පෙනී යයි. ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ සහාය ඇතිව දේශීය අලුත් විමර්ශන කණ්ඩායමක් පත් කර මේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදුකිරීමේ වගකීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවක් පෙනී යයි. කෙසේවෙතත් මේ තුන්වැනි නිරීක්ෂණය ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවලදී මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සිද්ධිය අනිවාර්ය අංගයක් බවට පත්වී එකී වගකීම ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කොතරම් දුරට කටයුතු කරන්නේද යන්න විමසුමට බඳුන් වනු ඇත.

(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)