නවීන මුදල් න්‍යාය' යටතේ රැකියා 150,000 නොව රටේ ජීවත් වන සියලුම දෙනාට රැකියා ලබා දිය හැකි බවත්, එමෙන්ම සෑම පවුලකටම සමෘද්ධිය මෙන්ම භාණ්ඩ සහ සේවා සැපයීමේ කාර්යය 'මැජික් වගේ' කළ හැකි බවත් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි. මේ නවීන මුදල් න්‍යාය සමහර රටවල ටික කාලෙකට කරන්න පුලුවන් දෙයක් වූවත් සියලු රටවලටම දිගටම කරගෙන යා නොහැකි බවත්, දිගින් දිගටම එය කරන්න යාමෙන් රට අති විශාල ප්‍රශ්නයකට ඇදී යා හැකි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 'නවීන මුදල් න්‍යාය' සම්බන්ධව වැඩිදුරටත් මෙසේ විග්‍රහ කළේය.
'නවීන මුදල් න්‍යාය' කියන්නේ අලුතින් කතාවට එන දෙයක්. සමහර මහබැංකුවලට පුලුවන් තමන්ට ඇති තරම් මුදල් අච්චු ගහන්න.
ඇමෙරිකාවේ ඉස්සර ඩොලර් නෝට්ටුවක් ගත්තොත් ඒකේ තිබුණා.
රත්තන් අවුන්සයක වගේ ප්‍රමාණයක්. නමුත් දැන් ඇමෙරිකානු ඩොලර් නෝට්ටුවක් අරන් බැලුවෙත් තියෙන්නේ 'ඉන් ගෝඩ් වී ට්‍රස්ට්' කියලා අකුරු ටිකක් විතරයි.
අපේ මහ බැංකුවට ඕන තරම් මුදල් අච්චු ගහන්න පුලුවන්. නමුත් හැබැයි හැම මහ බැංකුවම ඔය විදියට ගිහින් නෑ. උදාහරණයක් විදියට සිංගප්පුරුව. සිංගප්පුරුවේ මහබැංකුව කියලා එකක් නැ. ඒ අයට සල්ලි අච්චු ගහන්න බෑ. එයාලට ඒක නීතියෙන්ම පනවලා තියෙන දෙයක්. හොං කොං වගේ රටවලටත් ඒ හැකියාව නැ.
නවීන මුදල් න්‍යායෙන් සරලව කියන්නේ මේකයි.
ඕනෑම රටක ණය තමන්ගේ රටේ මූල්‍ය ඒකක වලින්නම් තියෙන්නේ එහෙනම් ඒ ණය ගෙවීම සම්බන්ධව කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. මොකද ඒ රටේ මහ බැංකුවට පුළුවන් සීමාවකින් තොරව ඒ මුදල් අච්චු ගහලා ඒ ණය ගෙවන්න.
අපේ දැන් තියන ප්‍රශ්නය තමයි ණය වර්ග දෙකක් තිබීම. අපි ඩොලර් වලින් ගෙවන්න ඕන ණය තියනවා 50% ක්. රුපියල් වලින් ගෙවන ණය තියෙනවා 50% ක්.
දැන් ආණ්ඩුව කියනවා මේ අවුරුද්දට අපි ඩොලර් ණය සතයක්වත් ගන්නේ නැ. මේ ඩොලර් ණය ගෙවනවා. ඒවා රුපියල් ණය වලට පරිවර්තනය කරගන්නවා.
නවීන මුදල් න්‍යය කියන්නේ එම්.එම්.ටී හෙවත් Modern Monitary Theory (MMT) කියන එකයි. ඒත් 'මම නම් මේකට කියන්නේ "මැජික් මනි ට්‍රී" (Magic Money Tree – මායාකාර සල්ලි ගහ) කියලා. එතකොට මහ බැංකුවට ඔනි තරම් මුදල් අච්චු ගහන්න පුලුවන්.
මේකේ දෙපැත්තක් තියනවා.
රාජ්‍ය මූල්‍ය කියන්නේ දේශපාලන වැඩක්. නමුත් මූල්‍ය පාලනය කියන්නේ ස්වාධින වැඩක්. ඒක නිසා තමයි මහ බැංකුවයි, භාණ්ඩාගාරයි දෙකකට කඩල තියෙන්නේ. ඒත් ලංකාවේ එහෙමම නැහැ.
සමහර අවස්ථාවල දේශපානඥයා විසින් මූල්‍ය මණ්ඩලය නැත්තම් මහ බැංකුව ඩැහැ ගන්නවා. අපි ගිහින් වියදම් කරනවා. අපට අවශ්‍ය වෙන්නේ ඉල්ලුම වැඩිකරන්න, ආර්ථික උත්තේජකයක් දෙන්නනේ.
මෙහි තියෙන ප්‍රධානම දෙයක් තමයි රස්සා දෙන එක. මේ න්‍යාය තියන රටවල කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනි තරම් රස්සා දෙනවා. 150,000ක් නෙවෙයි හැම කෙනෙකුටම රස්සා දෙන්න පුලුවන් .හැමෝටම සමෘද්ධිය දෙනවා. මැජික් වගේ හැමෝටම භාණ්ඩ සහ සේවා සපයන්න පුලුවන් මේ න්‍යායට අනුව.
ප්‍රශ්නයක් නෑ.. හැබැයි මුදල් අච්චු ගහලා හැම එකටම ගෙවන්න පුළුවන්නේ.
ආණ්ඩුවේ පුද්ගලයින් කිහිප දෙනෙකුම කිව්වා ඇයි ඇමෙරිකාවේ තියනවනේ දේශිය දළ ජාතික නිශ්පාදනයෙන් 100% කට වඩා ණය, ජපානයේ තියනවනේ 200% වඩා ණය, යුරෝපයේ 100% වඩා ණය තියනවනේ . ඉතින් අපි මොකටද කළබල වෙන්නේ. හැබැයි අමතක කරන්න එපා ඒ අයගේ තියන මුදල් ඒකකවලට වෙනත් රටවලත් ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ඒ රටවල මුදල් වෙන රටවලත් භාවිතා කෙරෙනවා.
ඇමෙරිකාවේ තියන ඩොලර් එකේ ඉල්ලුම රටවල් 200 ක තියෙනවා. යුරෝපයේ වගේම ජපානයේත් එහෙමයි. නමුත් ලංකාව වගේ රටක සීමාවලින් එලියේ අපේ රුපියල් වලට කිසිම ඉල්ලුමක් නෑ.
මේ අච්චුගහන අලුත් රුපියල් කැරකෙන්න ඕනි මේ රට ඇතුළෙමයි. අච්චු ගහන මුදල්වලට සරිලන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ නැත්තම් රටේ ආර්ථිකය මූර්ත වශයෙන් 12% කින්, 15% කින් දියුණුවක් නැත්නම්, ඇත්තටම සෘණ ගානකින් තමයි මෙහේ වර්ධනය වෙන්නේ, එහෙමනම් මේ සල්ලි කොහේද යන්නේ. මේ සල්ලි යන්නේ මිල වැඩි වීමට පමණයි. මිල වැඩිවීම කියන්නේ උද්ධමනය.
අනික් මූලික දෙය තමයි බදු ගහන්න අවශ්‍යතාවක් නැහැ. අපිට තියෙන්නේ රජයේ ආදායම. ඕනි වියදම් කරන්න. රජයේ වියදම් තවදුරටත් කපන්න බැහැනේ. දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් පොලිය ගෙවන්න තියෙනවා, තවත් 6% ක් පඩි ගෙවන්න තියනවා, තවත් 4% විශ්‍රාම වැටුප් සහ සමෘද්ධියයි ගෙවන්න තියනවා. මේවාට 16% ක් ඕනි. ඒත් අපේ මුලු බදු අදායම දළ දේශීය නිශ්පාදනයෙන් 9% යි.
නමුත් මේ නවීන මුදල් න්‍යාය යටතේ රජයේ අදායමට අවශ්‍යතාවක් නෑ.. බදු ගහන්නේ, උද්දමනය වැඩි වෙනකොට වෙළෙඳපොලේ තියන මුදල් ප්‍රමාණය අඩු කරන්න. බදු ගහලා මුදල් ප්‍රමාණය වෙළෙඳ පොළෙන් එළියට ගන්නවා කියනවා.
මේ නවීන මුදල් න්‍යාය සමහර රටවල ටික කාලෙකට කරන්න පුලුවන් දෙයක්. හැබයි ලොකේ හැම රටේම කෙටි කාලීනව විතරයිමේක කරන්නේ.
මේ නවීන මුදල් න්‍යාය ලෝකේ කිසිම රටක දිගටම පවත්වාගෙන යන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඉතින් මම දකින්නේ අති විශාල ප්‍රශ්නයක් කරා අපි ගමන් කරනවා.