”නංගී ඔයාගේ ආදර සුරතලා නයි පැටියා ආයෙත් ලැබුණා නේද?”
”ඔව් අයියේ මගේ සුරතලා මාස තුනකට විතර පස්සේ ආයෙත් ලැබුණා. ජීවිතයේ වඩාත්ම සතුටට පත්වුණේ අද තමා. මෙච්චර කාලයක් මම මගේ සුරතල් නයි පැටියා නැතිව හුඟාක් දුකෙන් හිටියේ. එයත් මාව නැතුව දුකෙන් ඉඳලා තියෙන්නේ. මගේ හුරතලා අතට ගත්ත හැටියේම ඒ බව තේරුණා.”
නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නමැති ඒ සුන්දර සුකොමල තරුණිය පැවසුවේ සතුටින් ඉපිල යමිනි.
ඇය බොහෝදෙනෙක් හඳුන්වන්නේ නයි නළඟන වශයෙනි.
”නයි හුරතලා ඔයා නැතිව දුකෙන් හිටියේ කියලා කියන්නේ කොහොමද නංගී” යැයි මම ඇයගෙන් විමසූහ.
”මගේ නයි සුරතලා මාව දැක්ක ගමන් හඳුනාගත්තා. මම එයාව අතට ගත්තා විතරයි එයාගේ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබුණා. නයි පැටියාගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා දැක්කම මටත් ඉවසාගන්න බැරි වේදනාවක් හිතට දැනුනා. එයාගේ ඇස් දෙකට කඳුළු ආවේ මගේ උණුසුම ආදරය නොමැතිව හිටිය නිසා ඇතිවූ දුකටයි. මාව දැක්ක ගමන් ඇඬුවත් එයාට (නාගයාට) ඒ දුක වාවගන්න බැරිව ගිය නිසයි” යනුවෙන් නිරෝෂා විමලරත්න බොහෝ හැඟුම්බරව කීවාය.
”මගේ නයි සුරතලාට කථා කරන්න පුළුවන්කමක් එහෙම තිබුණානම් මාව නැතිව හිටපු මාස තුනක කාලය කොච්චර දුකකින් හිිටියාද කියලා කියාවි. මට වගේම එයාටත් මාව නැතිව ඉන්න බැහැ.” නිරෝෂා විමලරත්න කියන්නීය.
”නිරෝෂා ඔයයි නයි පැටියයි අතරේ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?” මම ඇයගෙන් විමසූවෙමි.
”අයියේ අප දෙන්නා අතර තියෙන්නේ පේ‍්‍රම සම්බන්ධතාවක් එහෙම නෙවෙයි. මේක සංසාරයක් සංසාරයක් පතා එන ආත්මීය බැඳීමක්. ඒ ආත්මීය බැඳීම නිසා මේ නයි සුරතලාවයි මාවයි වෙන්කරලා තියන්න කාටවත් බැහැ. අපි දෙන්නව වෙන්කරන්න උත්සාහ කරන ඕනෑම බලවතකුට නාග ශාපය වදිනවා. මගේ පණටත් වඩා මම නයි සුරතලාව ආරක්ෂාකරගන්නවා. ඒවගේම නයි සුරතලාත් එයාගේ පණට වඩා මාව ආරක්ෂා කර ගන්න බව මම දන්නවා” යැයි නිරෝෂා පැවසුවේ නාගයා ඇයගේ දෙකොපුල් සමීපයට ගනිමිනි.
නාගයා ද නිරෝෂාගේ සුන්දර වත පුරා රිසිසේ සැරිසරමින් සුරතල් වන ආකාරයත් ඇයගේ උණුසුම ලබන ආකාරයත් හරිම අපූරු දසුනකි.
සුන්දර යුවතියක් නාගයකුට ආදරය කරන්නේ කුමක් නිසාද යන්න බොහෝදෙනකුට තේරුම් ගැනීමට නොහැකි අරුම පුදුම සංසිද්ධියකි.
ඒ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් නිරෝෂාගෙන් විමසූ අවස්ථාවේ ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.
”මුලින්මත් මම අයියත් එක්ක කිව්වේ මේක සංසාර ගණනාවක සිට එන ආත්මීය බැඳීමක් කියලා. මේක මට නාථ දෙවියෝ දුන් වරමක්. දෙවිවරු මට නිතර කතා කරනවා. මා ළඟ තවත් ලොකු නාගයෙක් ඉන්නවා. ඒ නාග රාජය කොළඹ පැත්තේ කෝවිලකට බලාගන්න දීලා තියනවා. ඒ නාගයාගේ ආරක්ෂාව ගැන හිතලා ඌ ඉන්න තැනක් ගැන මට හෙළිකරන්න බැහැ. මම ඒ නාග රාජයාව බලන්න ඉඳහිටලා යනවා.”
”ඔයාගේ සුරතලා නයි පැටියාට එයාගේ නාග අම්මාව පෙන්වන්න යන්නේ නැත්ද?” මම නිරෝෂාගෙන් ඇසුවෙමි.
”මේ නයි පැටියාගේ අම්මා (හැපින්න) මම අල්ලාගෙන ඇවිත් අහිකුණ්ඨික මනුෂ්‍යයකුට දුන්නා. මේ දවස්වල ඒ මනුෂ්‍යයා ඉන්නේ අනුරාධපුරය පැත්තේ. එයා දොඩන්වල දේවාලයට ගෙනල්ල එතැනදි නයි පැටියාට එයාගේ අම්මාව පෙන්නනකම් මට ඉස්පාසුවක් නැහැ.
නයි පැටියාගේ පෙන ගොබය හරියට කොනිත්තලා තුවාල කරලා තිබෙන බව මට පෙනී ගියා. මට ඒ ගැන හරිම දුකයි. මෙයාට නිසි පෝෂණයක් ලැබිලත් නැහැ. සමහර විට බොන්න සත්තුවත්තෙන් කිරි දෙන්න ඇති. ඒත් එයා හරියට කිරි බොන්නෙ නැතිව ඇති. එයා හරියට කෑමක් කාලා නැති බවක් පේන්න තියනවා. නයා හොඳටම කෙට්ටුවෙලා. නයා හරියට කෑම කෑවානම් මීට වඩා හොඳට මේ මාස තුනට හැදෙන්න ඕනෑ. එයාට මගේ අතින් කිරි ටික කෑම බීම ටික ලැබෙන්නේ නැතිනම් කන්න කැමතිත් නැහැ. තව ටික දවසක් ගියානම් නයාට මොකක් වෙයිද කියල හිතාගන්නවත් බැහැ.
මම ලංකාවට, ලංකාවේ මිනිස්සුන්ට හරිම ආදරෙයි. කුහක මිනිස්සුත් ඉන්නවා. නමුත් වැඩි දෙනෙක් හරිම හොඳයි. ළඟදි දවසක මම අම්මා බලල එන්න යනවා. මේ රට දාලා යන්න කැමති නැහැ.
මම නයාව තුරුල් කරගෙන තමා කිරි පොවන්නේ එයා මට තුරුල්වෙලා කිරි බොන්න හරිම ආසයි. පිටි කිරි තමා දෙන්නේ.
ඒ හැපින්න එයාගේ පැටියා බලන්න බොහොම ආශාවෙන් ඉන්නවා. මගේ සුරතල් නයි පැටියත් එයාගේ නයි අම්මා බලන්න යන්න බොහොම ආශාවෙන් ඉන්නවා. එයා සමහර වෙලාවලට මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ මගේ සුරතලාට එයාගේ නාග අම්මව බලන්න යන්න ඕනෑ කියන එකයි.”
”නිරෝෂා ඔයාගේ සුරතලා එක්ක එයාගේ නාග අම්මා බලන්න යන්නේ කවදාද?”
”මගේ සුරතලා උසාවි නියෝගයකින් දෙහිවල සත්තුවත්තට බාර දුන්නාට පස්සේ වෙච්ච නස්පැත්තිය කියන්න එයාගේ නාග අම්මාව (හැපින්න) සොයාගෙන දවසක් මම දොඩන්වල දේවාලයට යන්න ගියා. නමුත් පොලිසිය මට දේවාලයට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා මම ආපසු හැරිලා ආවා.
දැන් මට ආයෙත් මගේ සුරතල් නයි පැටියා ලැබුණා. මගේ සුරතලාවත් අරගෙන එයාගේ නාග අම්මාව පෙන්වන්න ළඟදීම යන්න ඉන්නේ. ඒත් ඒකට පොලිසිය ඉඩ දෙයිද කියන එකයි ප‍්‍රශ්නේ. ඒත් කොහොම හරි මම මේ ගමන යනවා. මගේ නාගයා පොලිසිය අල්ලා ගෙන අධිකරණ නියෝගයකින් සත්තුවත්තට බාරදුන් දවසේම මම අධිෂ්ඨාන කරගත්තා ආයෙත් එයාව මගේ ළඟට ගන්නවා කියලා. මාස තුනකට පස්සේ මගේ ඒ අධිෂ්ඨානය හරිගියා. ඒවගේම මම මගේ නාගයා අරගෙන එයාගේ අම්මාට පෙන්වන්න යනවා කියලා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ.”
” ඕනෑම කෙනකුට පන්සලකට දේවාලයකට හරි ඕනෑම සිද්ධස්ථානයකට යන්න පුළුවන්. ඇයි ඔයාට විතරක් දේවාලයට යන්න පොලිසිය ඉඩ නොදෙන්නේ” යැයි කියා විමසූ විට නිරෝෂා කීවේ ඒ ඇයිද කියා කීමට තමන් නොදන්නා බවය.
දොඩන්වල නාථ දේවාලයේ ළිඳක් තියනවා. ඒ ළිඳේ නාග රූපයක් කොටලා තිබෙනවා. ඒ ළිඳ පෞරාණික ළිඳක්. ඒ ළිඳේ වතුර ටිකක් පහනකට දාලා වැටියක් දමා පත්තු කළාම දැල්වෙනවා. ඒ තරමට ඒ ළිඳේ වතුර මහ බලගතුයි. ඒ ළිඳේ වතුරෙන් මගේ නාග පැටියා නාවන්න ඕනෑ. ඒ ළිඳෙන් වතුර ටිකක් එයාට පොවන්න ඕනෑ. ඒ විතරක්ද මෙයාගේ නාග අම්මා එයා එනතුරු මග බලාගෙන ඉන්නවා.” නිරෝෂා පවසන්නීය.
නාග සුරතලා නොමැතිව ගත කළ ඒ මාස තුනක කාලය නිරෝෂා විමලරත්න මෙනවිය ගතකර ඇත්තේ දුක, ශෝකය හා සංතාපය හිත තුළ තුරුළු කරගෙනය.
මේ ඒ දුක්බර අතීතය මෙනෙහිකරමින් පැවසූ කතාවයි.
”මගේ සුරතල් නයි පැටියාට මාව නැතිව ජීවත්වෙන්න අමාරුයි. ඒවගේම තමා මටත් එයා නැතිව ජීවත්වෙන්න අමාරුයි. එයා නැති ටිකේ මට හරියට නින්දක් ගියේ නැහැ. ඒ වගේම තමයි මගේ නයි සුරතලාටත් එයාටත් මාව නැතිව හරිහැටි නින්දක් ගිහින් නැහැ. ඒ බව මා තේරුම් ගත්තේ එයා මගේ අතට ආපහු ලැබුණයින් පස්සේ. මෙයාගේ හැසිරීම් වලින් මෙයාගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ශක්තියක් තිබෙනවා.
මේක සංසාරගත ආත්මීය බැදීමක්
|
නාග පැටියා මගේ ළඟ නැති කාලේ මගේ මුළු සිරුරට මහා පුදුමාකාර අමුත්තක් දැනුනා ඒ කාලයේ මගේ ඇෙඟ් තිබුණ ශක්තිය ජවය නැතිවෙලා වගේ ගිහින්වගේ තිබුණේ කියලා තේරුණා. ආයෙත් නාග පැටියා මගේ ළඟට ආවා විතරයි. කලක් තිබුණ අමුතුම ශක්තිය ජවය බලය මගේ මුළු සිරුරෙ ඇට මිදුළු නහර පුරා දිව ගියා වගේ තේරුණා. දැන් මට මහා පුදුමාකාර ශක්තියක් තිබෙනවා. මේ ශක්තිය බලය මට ලැබෙන්නේ මේ නාග පැටියාගෙන්. එයාව මගේ ඇසුරින් ඉවත් කළොත් ආයෙත් ඒ බලය ශක්තිය නැතිව යනවා. අපි දෙන්නා අතර තියෙන බැඳීම බිඳ දමන්න කිසිම කෙනකුට බැහැ. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. මෙයා මගෙන් වෙන්වෙලා හිටපු කාලයේ හැම දවසකම රෑට හීනෙන් මා එයාව දැක්කා. මෙයාව ආරක්ෂා කරන දෙවියෝ කිව්වා වැඩි කාලයක් යන්නට කලින් නුඹට ඔය නාගයා ආයෙත් ලැබෙනවා කියලා. ඒක ඇත්තක්වුනා.” ඇය අහිංසක ලෙස සිනා සෙමින් පවසන්නීය.
නාග පැටියාට හැමදාම උදේටයි රෑටයි නොවරදවාම එළකිරි බොන්න දෙනවා. උදේ පාන්දර බුදුන් වැඳලා ඉවර වුන ගමන්ම කරන්නේ මෙයාට කිරි පොවන එකයි. මගේ අතින්ම කිරි ටික පෙව්වේ නැත්නම් එයා බොන්නේ නැහැ. බිත්තරත් දෙනවා. මම බිත්තරේ කඩලා පොඞ්ඩක් බීලා ඉතිරි ටික නයි පැටියාට දෙන්නේ බිත්තරෙන් කොටසක් මම මුලින්ම බිව්වේ නැත්නම් එයා බොන්නේ නැහැ. ඒ තරමට එයා මට ලෙන්ගතුයි මේ නාගයා මගෙන් ඉවත් කළාම ඇඟ පණ නැතිවෙනවා එදා පොලිසියේදීත් ඒක සිද්ධවුණා. රෝහලේදීත් මම නයා ඉල්ලලා අසිහියෙන් කෑගහලා තියෙනවා. ඒ බව පස්සේ තමා දැනගත්තේ.
ටික කාලයකට හරි ඇයි එයාව මගෙන් වෙන් කළේ. කොහොම වුනත් අවසානයේ සත්‍ය ජයගත්තා. මම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්වරුන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුදකරනවා. මගේ සුරතලාව ආයෙත් මගේ ළඟට ගන්න පහුගිය ටිකේ කොච්චර මහන්සි වුණාද කියන එක දන්නේ මම විතරයි.
හුඟදෙනෙක් හිතාගෙන හිටියේ මම පිස්සු කෙල්ලෙක් මට මොකක්හරි මානසික රෝගයක් තියෙනවා කියලා. අධිකරණ නියෝගයකින් මගේ මානසික තත්ත්වය පරීක්ෂා කරපු මානසික රෝග විශේඥ වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු මහතා කිව්වේ කිසිම මානසික රෝගයක් මට නැහැ කියලා. පොලිසිය නිසා තමා මට මේ සේරම කරදර හිරිහැර වුණේ. මගේ පාඩුවේ ඉන්න නැහැ.” යැයි ඇය පැවසුවේ පොලිසියට දෝෂාරෝපනය කරමිනි.
අධිකරණ නියෝගයක් මත දෙහිවල සත්තු වත්තට ගොස් නාගයා ලබාගැනීමට මොහොතකට කලින් නිරෝෂා සමග මම කථා කළෙමි.
”මගේ නයි පැටියාද දන්නේ නැහැ මට ආපහු බාරදෙන්න යන්නේ. මගේ හුරතල් පැටියා වෙනුවට වෙනත් කෙනෙක් මට දෙයිද කියන්න බැහැ. කොහොම වුණත් මගේ කටහඬ මගේ පැටියාට හොඳට හුරුයි. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා” නිරෝෂා කිව්වේ එහෙම කතාවකි.
දෙහිවල සත්තුවත්තේ සිටි නයි පැටියා බාර ගැනීමෙන් පසු ඇය ජයග‍්‍රාහී විලාශයකින් මා සමග පැවසුවේ ”අයියේ ඒ මගේ නයි පැටියාම තමයි” යැයි කියාය.
නාගයකු සමග ජීවත්වන සුන්දර යුවතිය නිරෝෂා අපේ රටේ බොහෝ දෙනෙකුගේ කතාබහට අවධානයට ලක්වූ සුවිශේෂී චරිතයක් වුණා යැයි කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ.
නාගයකුගේ අයිතිවාසිකම් ඉල්ලා නඩු මගට ගිය මුල්ම තරුණිය ලෙස නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි මෙරට අධිකරණ ඉතිහාසයටද එක්වනවා නිසැකය.
නිරෝෂා ඉදිරියේදීත් පුවත් මවන චරිතයක්වනු ඇත්තේ මෙම නාග නඩුව ඉදිරියේදීත් කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදී විභාග වීමට නියමිතව ඇති නිසාය.
නාග පැටියා නිරෝෂාට හමුවී ඇත්තේ පසුගිය අගෝස්තු මාසේ පළමු වැනිදාය. පිළිමතලාව දොඩන්වල නාථ දේවාලයට ගිය අවස්ථාවේ ඇයට මේ නයි පැටියා හමුවී ඇත.
හැපින්න විසින් තමාට මේ නයි පැටියා හොඳින් රැකබලා ගන්නා ලෙස පවසා ලබාදුන් බව කියන නිරෝෂා මේ නාගයා පෙට්ටියක බහා යතුරු පැදියක පිටුපස තබාගෙන කොළඹට රැගෙන ඇවිත් ඇත.
ඇය උපත ලබා ඇත්තේ හයිද්‍රාබාද් වලය. ඇයගේ මව ජීවත්වන්නේ හයිද්‍රාබාද්වලය.
නැටුමට උපන් හපන්කම් ඇති සුන්දර යුවතියක් වන නිරෝෂා රාත‍්‍රි සමාජ ශාලාවක නළඟනක් ලෙස කටයුතු කරන්නීය. ඇය 21 හැවිරිදි වියේ පමණ පසුවන යුවතියකි.
නිසි මව් පිය ආදරයක් නොලැබී ඇති නිරෝෂා නාගයන්ට දක්වන්නේ පුදුම ආදරයකි.
නාගයින්ට මාණික්‍යයක් ඇති බවත් එය සුරක්ෂිත කළ යුතු බවත් නිරෝෂා පවසන්නීය.
නිරෝෂාගෙන් අවසන් වශයෙන් මම විමසා සිිටියේ කවදාවත් ඔයාගේ සුරතලා ඔයාට දෂ්ඨ කරලා නැත්ද කියාය.
”නැහැ නැහැ එයා මට එහෙම නපුරක් කරලා නැහැ.” යැයි නිරෝෂා පිළිතුරු දුන්නාය.
සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා