දවසින් දවස කාන්තා අපයෝජන හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ පුවත් වාර්තා වේ. මාධ්‍ය තුළින් ඒ පිළිබඳව දැනුම්වත් කිරීම් සිදු කරයි. එහෙත් එවන් වූ පුවත් බොහොමයක්ම නීතියේ ඇසට හසු නොවී සැඟවී යන අවස්ථාද බොහෝය. ඉන් අපයෝජනයට ලක්වූවන්ගේ පෞද්ගලික ජීවිතයට සේම අවට සමාජයටද අහිතකර ගැටලු රාශියක් පැන නගී. එවැනි ගැටලු වලට පිළියම් කළ යුත්තේ විද්‍යාත්මකවය. ඊට සමාජ දැනුම අත්‍යවශ්‍ය වේ.
මලිති අවුරුදු පහළොවක පාසල් දැරියකි. කුඩා කල සිටම පිය සෙනෙහස නොලද ඇය මවගේ ආදරයත්, සොයුරාගේ රැකවරණයත් මධ්‍යයේ හැදී වැඩුණාය. ඔවුහු වේලක් හැර වේලක් නොකා හෝ පුංචි ගෙපැලේ සතුටින් කාලය ගත කළහ.
“පුතේ උඹ පිරිමියා.. නංගිගේ ජීවිතේ පිළිවෙළක් වුණා නම් මට නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන්.”
නන්දාවතී සිය පුතා දෙස බලමින් පැවසුවාය. අම්මා දුක් වෙන්න එපා. මම චුට්ටිට කොහොම හරි උගන්වනවා. මට යන්න බැරි වෙච්ච ගමන චුට්ටි යවනවා.
සුදු ගවුමක් ඇඳගෙන, කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන පොත් ටික ලැමැදට තුරුලු කරගත් මලිති අම්මාත් අයියාත් සිටි තැනට පැමිණියාය. ඔවුන්ගේ දෙපා වැඳි ඇය ගුරු පාර දිගේ නොපෙනී ගියාය.
ප්‍රියලාල් ද නිවසින් පිටවී කළු මහත්තයාගේ නිවෙස වෙත ඇදුණේය.
විශාල පොල් රුප්පාවකට මධ්‍යව පිහිටි පැරණි නිවසක කළු මහත්තයාගේ පවුල ජීවත් විය. ගමේ ධනවතෙකු ඔහුගේ වචන වලට පවා දුප්පත් ගැමියෝ හිස නැමුහ.
ආ එන්න ප්‍රියලාල්. මම මේ බැලුවා මොකද පරක්කු කියලා.
කළු මහත්තයා ප්‍රියලාල්ට ආමන්ත්‍රණය කළේය.
චුට්ටි ඉස්කෝලේ යනකම් ඉඳලා ආවේ මහත්තයා ඒකයි ටිකක් පරක්කු වුණේ.
“දැන් චුට්ටිගෙ වයස කීයද?”
“අවුරුදු පහළොවයි මහත්තයා.”
“උඹ හැමදාම චුට්ටි වෙනුවෙන් නහින්න නෙවෙයිනේ.”
“උඹත් දැන් පිළිවෙළක් වෙන කාලේ චුට්ටිට හොඳ කොල්ලෙක් හොයලා බන්දලා දීපන්.”
“ඒකි තාම පොඩියි මහත්තයා. ඉගෙන ගන්නත් දක්ෂයි. මම පුළුවන් විදියකට ඒකිට උගන්වනවා.”
“ඒකි ඉගෙන ගත්තා කියලා විශ්වවිද්‍යාලයේ යන්න නෙවිනේ. ප්‍රියලාල් බලමුකෝ හොඳ කොල්ලෙක් හම්බ වුණොත් මම කියන්නම් කෝ.”
කළු මහත්තයාට එදිරිව කිසිවක් නොපැවසු ප්‍රියලාල් නිහඬව මිදුල සුද්ධ කිරීමේ කටයුත්තේ යෙදුණේය.
මොහොතකින් වේගයෙන් පැමිණි නවීන මෝටර් රථයක් කළු මහත්තයාගේ නිවස අසල නතර කළේය.
ප්‍රියලාල් හිස ඔසවා ඒ දෙස බැලුවේය.
කළු කණ්ණාඩි දමා සිටි උස හින්දැරී තරුණයෙක් මෝටර් රථයෙන් බැස්සේය. ඔහුගේ දෑතේ පාර්සල් කීපයක් විය.
නිවස ඇතුළේ සිට පැමිණි කළු මහත්තයා “ආ එන්න එන්න සුරාජ් කාලයකට පස්සේ.” යනුවෙන් පවසමින් ඔහුව කැඳවා ගෙන නිවස තුළට ගියේය.
ඔවුනගේ ප්‍රිය සම්භාෂණය පැයක් පමණ විය. ටික වේලාවකින් ප්‍රියලාල් දුටුවේ තමා දෙසට පැමිණෙන කළු මහත්තයාය.
“ප්‍රියලාල් ඔය වැඬේ නතර කරලා පොඞ්ඩකට මෙහාට එනවකෝ”
දණිස දක්වා කොට කර ඇද සිටි සරම පහත දමමින් පැමිණි ප්‍රිියලාල් කළු මහත්තයා අසල නතර විය.
“ප්‍රියලාල් ගෑනිගේ පින කුණු මුල්ලේ කියලා පරණ කතාවක් තියෙනවා. ඔන්න තමුසෙගෙ නංගිගෙත් පින පෑදිලා.”
“මට තේරෙන්නේ නෑ මහත්තයා.”
“තමුසේ දැක්කා නේද දැන් අපේ ගෙදර ආව මහත්තයා”
“ඔව් අපේ මහත්තයා”
“ඒ මගේ යාළුවෙක්.් ඉන්නේ කොළඹ, හොඳ බිස්සන් කාරයා. මිනිහා කසාද බඳින්න ගෑනු ළමයෙක් හොයනවා. එයා කොළඹ කෙල්ලන්ට කැමති නැ. ගමේ දුප්පත් පවුලක වැදගත් විදියට හැදිච්ච අහිංසක ගෑනු ළමයෙක් හොයන්නේ. මම උඹලාගේ නංගි ගැන මිනිහට කිව්වා. මිනිහා කෙල්ලව බලන්නෙත් නැතිවම කැමති වුණා.”
කළු මහත්තයා කියවාගෙන ගියේය.
“අපි දුප්පත් මිනිස්සුනේ මහත්තයා. අනිත් එක නංගිට තවම අවුරුදු පහළොවයි. තාම ඉස්කෝලේ යනවා.”
“උඹ පැහෙන්නේ නැතිව මම කියන දේ අහපන්. ඒ මහත්තයා මේ සතියෙම අපේ ගෙදර ඉන්නේ. කසාදෙට අවශ්‍ය දේවල් මම කරන්නම්. ගමටම මඟුල් කියන්න ඕන නෑ. අපි දෙගොල්ලෝ හිටියම ඇති. කෙල්ලගේ ඇඳුම අපේ නෝනා හදයි. මම රෙජිස්ට්‍රාර් ගේන වැඩෙත් බාර ගන්නම්. උඹලට තියෙන්නේ වේලාවට සම්බන්ධ වෙන්න විතරයි.”
ප්‍රියලාල්ට කිසිවක් සිතා ගත නොහැකි වූවේය.
එක පසෙකින් පාසල් යන කුඩා නැගණිය පෙනුණේය.
තව පසෙකින් ලස්සන මනමාලියක්ව සැරසී අලුත් කාරයක වාඩි වී සිටින නැගණිය දුටුවේය. ඔහුගේ සිතුවිලි ව්‍යාකුල විය. නොසන්සුන් සිතින් යුතුව ගමන් ගත් ඔහු අවසන් තීරණයක් ගත්තේය.
“අම්මේ අම්මේ....”
ප්‍රියලාල්ගේ හඬ ඇසුණු මව ගෙතුළින් එළියට ආවාය.
“මොකද මේ දාඩිය පෙරාගෙන අද එන්න හවස් වෙනවා කිව්වා නේද?”
“ඔව් අම්මේ. ඒත් ඒ හැමදේම වෙනස් වුණා. අම්මේ අපේ චුට්ටි මේ ගමේ දුක් විඳින්න ඕන නෑ. මේ සතියේ ඒකි බඳිනවා. බැඳලා යාන වාහන තියෙන ලොකු ගෙදරක අයිතිකාරි වෙනවා අම්මේ. අපි ගමට වෙලා දුක් වින්දට අපේ චුට්ටි දුක් විඳින්න ඕන නෑ.”
නන්දාවතීට සියලු දේ සිහින වූවාය. ප්‍රියලාල් පවසන සියලු දේ නිරාකරණය කර තේරුම් ගැනීමට ටික වේලාවක් ගත විය.
“මොනවා කරන්නද උඹේ තීරණේ ඒකනම්, කෙල්ලට හොඳක් වෙනවා නම් මට ඒ ඇති.”
ළිඳේ හුන් මැඩියෙකු සේ ගමටම වී කුලී කරමින් ජීවත් වූ නන්දාවතී සමාජයේ ඇති විෂකුරු බව නොදත්තාය. ඒ නිසාම සිය එකම දියණිය පිළිබඳව ඇයද සුබ සිහින දකින්නට වූවාය.
දරිද්‍රතාවෙන් බැට කෑ මලිතිට අයියාගේ තීරණයට විරුද්ධ විය නොහැකි වූවාය. සුදු ගවුමත් පොත් ටිකක් දෙස බලා දිගු සුසුමක් ගත් අහිංසකාවිය මනමාලියක වීමට සූදානම් වූවාය.
කළු මහත්තයා කියු පරිදි සියලු දේ සිදුවිය. ඔහුගේ නිවසේ කුඩා මංගල උත්සවයක් ගත් අතර මලිති සුරාජ්ගේ බිරිඳ ලෙස අතිනත ගත්තාය. බොරු වයසක් දමා උප්පැන්න සහතිකයක් සෑදවීම ප්‍රියලාල්ට බාර විය. ඒ අනුව ව්‍යාජ රෙජිස්ටර්වරයකු අසල ප්‍රියලාල්ගේ සාක්ෂියෙන් මලිතිගේ විවාහය ලියාපදිංචි වූවාය.
එදා හවසම මලිතිත් සුරාජුත් ඒ ගමෙන් පිටත්වීමට කටයුතු යොදා තිබුණි.
“අනේ පුතේ, මේ මගේ ඇස් දෙක, අපි දුප්පත් තමයි ඒත් වැදගත් විදිහට දරුවෝ හැදුවා. කාගෙන්වත් කයි කතන්දරයක් ඇහුවේ නෑ. මගේ කෙල්ලව බලාගන්න” නන්දාවතී හඬමින් පැවසුවාය.
“අම්මා බය වෙන්න එපා. මීට පස්සේ මගේ මාලිගාවේ රැජිණ මලිති තමයි. මම එයාව හොඳට බලාගන්නම්.”
නන්දාවතීගේ හදවත දරු දුකින් දැවුණාය. ප්‍රියලාල් නැගණිය වෙනුවෙන් ඔහු ඉතිරි කළ මුදල ඇගේ අතේ තැබුවේය. සියලු දෙනාගේ වියෝදුක මධ්‍යයේ සුරාජ්, මලිති සමග පිටත් වූවේය.
සුරාජ්ගේ නවීන මෝටර් රථයේ ඉදිරි අසුණේ වාඩි වූ මලිති සිත පුංචි ආඩම්බරයකින් පිරී ගියාය.
බිරිඳක් ලෙස ඇය අනාගතයට මුහුණ දෙන්නේ කෙසේදැයි බිය වූවාය.
“මලිති මොකද ගොළු වෙලා. දැන් ඔයා මගේනේ. මොනා හරි කියන්නකෝ.”
“මට බයයි මහත්තයා මම කවදාවත් අම්මාගෙන් ඈත් වෙලා ඉඳලා නෑ.”
“මට තේරෙනවා. මම ඔයාට කියලා දෙන්නම් කොළඹ ජීවත් වෙන විදිය.”
සුරාජ්ගේ ආදරණීය වදන් හමුවේ මලිති ගොළු වූවාය. ඇගේ ජීවිතය සුබ සිහින වලින් පිරීගියාය.
මලිතිත් සුරාජුත් දවස් තුනක් හෝටලයක නැවතී සිටියහ. මලිතිගේ ජීවිතයේ සියලු සාරය සුරාජ් උරා ගත්තේය.
ඉන් පසුව ඔහු මලිතිට පැවසුවේ මෙලොව සිටිනා කිසිදු බිරිඳක් ඇසීමට අකමැති සිහිනයකිදු බලාපොරොත්තු නොවන කතාවක්ය.
“මලිති මම කසාද බැඳපු කෙනෙක්. මට ඔයාව මගේ බිරිඳ විදියට ගෙදර එක්කරගෙන යන්න බෑ. ඔයාට ටික දවසකට අපේ ගෙදර වැඩට ආපු කෙනෙක් විදියට රඟාපන්න වෙනවා. මට ගෙදරදී මහත්තයා කියන්න. නෝනා කියන වැඩ ටික හරියට කරන්න. ඊට පස්සේ කරන දේ මම කියන්නම්.”
නන්නාඳුනන නගරයක බිත්ති හතරක් මධ්‍යයේ තනි වූ අහිංසකාව ඉකි ගසා හැඬුවාය. වේදනාවෙන් හද ගිනිගද්දී ඇගේ දුක ඇසීමට කිසිවෙකුත් නොවීය. ජීවිතයේ සියලු දේ අහිමි වූ ඇයට සුරාජ්ගේ කීමට පිටින් කිසිවක් කළ නොහැකි විය.
ගෞරවණීය මනාලියක් ලෙස ගමෙන් පිට වූ ඇය සුරාජ්ගේ ගෙදර වහලිය වූවාය. උදේ සිට නිවසේ කටයුතු කරන ඇයට රාත්‍රියට සුරාජ්ගේ අසම්මත බිරිඳ වීමට සිදුවිය.
මාස ගණනාවක් ගින්දරින් පිච්චි පිච්චිි හැඬූ කඳුළින් දිවි ගත කළ මලිතිගේ අහිංසක ජීවිතයට තවත් කුණාටුවක් හමා ආවේය.
“මලිති ඉක්මනට ලෑස්තිවෙන්න. මම ඔයාට හොඳ රස්සාවක් හෙව්වා. ඔයා වගේ ලස්සන ගෑණු ළමයෙක් ගෙවල් වල වළන් හෝදන්න හොඳ නෑ.”
මලිතිට සුරාජ්ගේ කීම අසනවා විනා වෙන කිසිවක් කළ නොහැකි විය. ඇය ඇයට තිබුණු ඇඳුම් කීපය බෑගයක දමා ගෙන සුරාජ් සමග නගරයට පැමිණුනාය. ඉන් පසුව සුරාජ් පාළු වත්තක තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් වෙත ඇයව කැඳවා ගෙන ගියේය.
“ආ මිස්ට සුරාජ්. එන්න එන්න. මම බලාගෙන හිටියේ ඔයා එනකම්.”
“ටිකක් පරක්කු වුණා මාර ට්‍රැෆික් එකක්නේ තියෙන්නේ”
“මම හිතුවා ඔයා මෙයා ගැනද කිව්වේ. මේ සැරේ නම් ඔයා ගමේ නා මලක් නෙළා ගෙන ඇවිත් තියෙන්නේ.”
සුරාජ්ගෙත් නිවසෙහි අයිතිකාරියගේත් කතාව මලිතිට නොතේරුණි. එහෙත් ඔවුන් අතර මුදල් ගනුදෙනුවක් සිදුවන ආකාරය ඇය දුටුවාය.
“මලිති මම යනවා. මේ ඉන්නේ ටානියා. ඔයා එයා කියන විදියට වැඩ කරන්න. එයා ඔයාට හොඳට සලකයි.”
සුරාජ් මලිතිව ටානියාට බාර කර යන්නට ගියේය. එදා සිට මලිතිගේ ජීවිතය තවත් අඳුරු අගාධයකට ඇඳ වැටුණාය. අවුරුදු පහළොවක් වූ මලිති වෘත්තිය ගණිකාවක් බවට පත්වූවාය. පාසලත්, අධ්‍යාපනයත්, ගමත් සිහිකරමින් හදවතින් වැලපෙනවා විනා ඇයට වෙන කිසිවක් කළ නොහැකි විය.
දියණිය පිළිබඳ තොරතුරක් නොලද නන්දාවතී කලබල වූවාය. දාරක ප්‍රේමයෙන් දැවෙන ඇය ඈ පිළිබඳව තොරතුරු සෙවීමට වෙහෙසුණාය. එහි ප්‍රතිඵලය වූයේ දියණිය හෝටලයකට අලෙවි කර ඇති බව දැන ගැනීමය.
නන්දාවතීගේ සිත ගිනියම් විය. ඇය සිහි විකල්ව මෙන් පොලිසියට දිව ගියාය. ඈ දත් සියලු තතු නොවළහා පැවසුවාය. පොලිසිය ක්‍රියාත්මක විය. ටික දිනකින් ඔවුනට මලිතිව සොයාගත හැකි විය.