මැරවර දේශපාලන පැටිකිරිය


පසුගිය අගෝස්තු 15 වැනිදා තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට ඇතුල් වූ වහාම රටේ ප්‍රධාන බන්ධනාගාරවල සිටි අල් කායිදා ඇතුළු විවිධ සන්නද්ධ සංවිධානවල සාමාජිකයන් නිදහස් කළේය. ඒ අතර බන්ධනාගාරවල සිටි දකුණු ආසියානු අයි.එස්. නායක අබු උමර් කොරසානි ඇතුළු පිරිසක් ඝාතනය කළහ.

පසුගිය 12 වැනිදා රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඔවුන්ගේ කුටිවලින් එළියට ගෙන දණගස්වා ඔවුන්ගෙන් ඇතැමකුගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය තාලිබාන් සාමාජිකයන් කොරසානි වැන්නන් ඝාතනය කිරීම සමග සන්සන්දනය කළ නොහැකිය.

එහෙත් තමන් කරන්නේ කුමක්දැයි නොවැටහෙන තරමට බීමත්ව සිටි බව කියැවෙන රාජ්‍ය ඇමැතිවරයාගේ පිස්තෝලයෙන් හිටපු කොටි සාමාජිකයන් කිහිප දෙනකු ඝාතනය කෙරුණේ නම් බන්ධනාගාර නිලධාරීන් හා ආණ්ඩුවේ දේශපාලනඥයන් ඒ පිළිබඳ අපූරු කොන්දේසියක් නිර්මාණය කරන්නට ඉඩ තිබෙන නමුත් එය තාලිබාන්වරුන් බන්ධනාගාරයේදී කළ දේට වඩා එතරම් වෙනස් සිද්ධියක් නොවනු ඇත.

තමන් කළ දෙයකට වගකීම භාර නොගත්තද “මේ වනවිට අමාත්‍යාංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන කරුණු කාරණා හමුවේ රජය අපහසුතාවට පත් නොවීමේ අරමුණෙන් ස්ව කැමැත්තෙන්” සැප්තැම්බර් 15 වැනිදා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය ඇමැති ධුරයෙන් රත්වත්තේ මහතා ඉල්ලා අස්විය.

එතෙක් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ සහ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරය හෙබවීය. ඔහු ඉල්ලා අස්වී ඇත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ වගකීමෙන් පමණි. එය ද රජය අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහාය.

මේ පිළිබඳව ජනමාධ්‍යවේදීන් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගෙන් විමසූ විට ඔහු ඉල්ලා අස්වීම ආදර්ශවත් ක්‍රියාවකැයි කියමින් අපූරු කතාවක් කියා තිබිණි. එනම් රත්වත්තේ මහතා ස්වර්ණාභරණ සාප්පුවකට කඩා වැදුණේ නම් ඔහු මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවය. ඒ තර්කය අනුව රාජ්‍ය ඇමැතිවරයා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කොලොන්නාවේ ආණ්ඩුවේ කර්මාන්ත ශාලාව වැනි ස්ථානයකට කඩාවැදී කලබලයක් කළත් තවදුරටත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය ඇමැතිවරයා ලෙස සිටීමේ වරදක් නැත.

යම් සිද්ධියක් පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරයකු මෙවැනි සාපරාධී ක්‍රියාවක් කළේ නම් වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය කුමක් වන්නට තිබුණේද? මෙය මෙරට දේශපාලනඥයන් සිතන පතන ආකාරයයි. මෙතැන ඇත්තේ “අපේ මිනිහා” කුමන අපරාධයක් කළත් ඔහු ආරක්ෂා කළ යුතුය යන මතයයි.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතා හැර ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයකු මෙම සිද්ධියේ බරපතළකම තේරුම් ගත් බවක් පෙනුනේ නැත. අධිකරණ ඇමැතිවරයා වුවද ආණ්ඩුවට ජාත්‍යන්තරයට වග කියන්නට සිදුවීම ගැන සිතා අදහස් පළ කළේ ද නැත්නම් ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන්ගේ විනය, රටේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම හා යහපාලනය ගැන සිතා අදහස් පළ කළේ ද යන්න පැහැදිලි නැත.

පසුගිය බද‌ාද‌ා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අධිකරණ ඇමැතිවරයා මෙම සිද්ධිය ලජ්ජා සහගත ක්‍රියාවකැයි හඳුන්වමින් එය හෙළා දුටුවේය. එසේම මෙම සිද්ධියෙන් පීඩාවට පත් සිරකරුවන් හා ඔවුන්ගේ ඥාතීන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය.

ආණ්ඩුවට සම්බන්ධ අන් කිසිදු දේශපාලනඥයකු හෝ ආධාරකරුවකු හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලජ්ජා වන බවක් පෙනුණේ නැත. ඔවුන් උත්සාහ කළේ එවැනි සිද්ධියක් සිදුවූයේ නැතැයි කියන්නට හෝ රාජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම ඊට හිලව් වූ බවක් කියන්නට හෝ එසේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට ප්‍රශංසා කරන්නටය.

මෙවැනි සිද්ධියක් ගැන තමන් නොදන්නා බව බන්ධනාගාර ප්‍රධානීන් ජනමාධ්‍යයට කර තිබූ ප්‍රකාශ හාස්‍යජනක වුවද ආණ්ඩුවේ දේශපාලනඥයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර අනුව ඔවුන්ගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ඔවුන් ජනමාධ්‍යයට වෙනත් ආකාරයට පිළිතුරු දී තිබුණේ නම් ඔවුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උදහසට ලක්වන්නට ඉඩ තිබිණි. එසේ නොවේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා වාණිජ ක්ෂේත්‍රයේ නිලධාරීන් ගණනාවක් පසුගිය දිනවල කළා සේ ඔවුන් ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටිය යුතුය.

රත්වත්තේ මහතා මීට පෙර සතියේ ද වැලිකඩ බන්ධනාගාරයට ද තම මිතුරන් පිරිසක් සමග ගොස් එම මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වූ බව ඇතැම් වාර්තාවල සඳහන් විය. ඔහු එම පුවත් ප්‍රතික්ෂේප කොට තිබුණි. එහෙත් මෙම සිද්ධිය සුළුකොට තැකුවද ඒ  සම්බන්ධයෙන් හාස්‍යජනක පිළිතුරක් දුන්නද වීරවංශ මහතා පවා මෙම සිද්ධිය සිදු වූ බව ප්‍රතික්ෂේප කොට තිබුණේ නැත.

මෙරට මෑත දේශපාලන ඉතිහාසය දෙස බලන විට මෙම සිද්ධිය අහඹු, හුදෙකලා, සිදුවිය නොහැකි, පුදුම විය යුතු සිද්ධියක්  නම් නොවේ. එසේම අඩු තරමින් 1970න්  පසුව හෝ මේ රටේ මෙතෙක් සිටි පාලකයන් වෙනත් පක්ෂවල දේශපාලන අපරාධ හා පාදඩකම් හෙළා දකිමින් තම පක්ෂයේ අපරාධ හා පාදඩකම් පෝෂණය කරන්නටත්, ඒවා පාවිච්චි කරන්නටත්, ආරක්ෂා කරන්නටත්, ඒවාට රැකවරණය දෙන්නටත්, සාධාරණීකරණය කරන්නටත් කටයුතු කොට තිබේ. ඒවා අඩුවෙන්ම සිදුවූ කාලයක් ලෙස පසුගිය ආණ්ඩුවේ කාලය හැඳින්විය හැකිය.

එසේම ඉල්ලා අස්වීම් වැනි රඟපෑම් හා ජනතාව මුළා කිරීම් ද මේ රටට අලුත් නොවේ. පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ රවි කරුණානායක  හා තිලක් මාරපන යන දෙදෙනාගේ ඉල්ලා අස්වීම් එවැනි රඟපෑම්ය.

 ඇවන්ට් ගාඩ් සමාගම වෙනුවෙන් කතා කළේ යැයි චෝදනාවට ලක්වූ මාරපන මහතා 2015 නොවැම්බර් 9 වැනිදා නීතිය හා සාමය භාර ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් ඔහු 2018 අගෝස්තු මාසයේදී රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ විදේශ ඇමැති ධුරයට පත් කරනු ලැබීය. මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවකු වූ අර්ජුන් ඇලෝසියස් තමන් ජීවත් වූ නිවෙසේ බදු කුලිය ගෙවූ බව තමන් නොදන්නා බව බැඳුම්කර කොමිසමේදී කළ ප්‍රකාශයක් නිසා රවි කරුණානායක මහතාට ඉල්ලා අස්වන්නට සිදු විය. පසුව ඔහුට එ.ජා.ප.ය තුළ උසස්වීමක් ලැබිණි.

දේශපාලනඥයන් ඍජුවම හා පෞද්ගලිකව ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වීමේ පැහැදිලි තත්ත්වයක් කැපී පෙනෙන ලෙස දක්නට ලැබුණේ 1977 එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව බලයට පත්වීමෙන් පසුය. ඊට පෙර පැවැති අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ තුනෙන් දෙකේ පාලනයේදී මැරවරයන්ට එක්තරා වැදගත්කමක් ලැබී තිබුණ ද ප්‍රකට පාතාල නායකයන් හා ආණ්ඩුවේ නායකයන් අතර සමීප සබඳතා එකල එතරම් තිබුණේ නැත.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලනය යටතේ මහියංගනයේ රැස්වීමක් පවත්වන්නට විරුද්ධ පක්ෂ බිය වූ කාලයක් තිබිණි. ඒ, එකල මහියංගනය එ.ජා.ප. නායකයකු වූ කපිතාන් සී.පී.ජේ. සෙනෙවිරත්න මහතාගේ අණසකට යටත්ව තිබූ හෙයිනි. ඒ තත්ත්වය මුලින්ම අභියෝගයට ලක් කළේ 1981 දී ජනතා විමුක්ති පෙරමුණයි.

ඒ කාලයේම කැකිරාව නගරයේ පැවැති ජ.වි.පෙ. රැස්වීමක් කඩාකප්පල් කරන්නට එවකට  දිසා ඇමැතිවරයකුව සිටි ජී.ඩී. මහින්දසෝම මහතා පෞද්ගලිකවම මැදිහත් විය. එහිදී ජ.වි.පෙ. සාමාජිකයකුගෙන් දරුණු ලෙස පහරකෑ ඒ මහතා බරපතළ ලෙස තුවාල ලැබීය.

1982 ජනාධිපතිවරණයේදී හා එම වසරේම පැවැති පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම සඳහා වූ ජනමත විචාරණයේදී බොහෝ එ.ජා.ප. මන්ත්‍රීවරු එළිපිටම අපරාධවලට සම්බන්ධ වූහ. හේවාහැට මන්ත්‍රී වූ අනුර ඩැනියල් මහතා ප්‍රසිද්ධියේ ගිනි අවි රැගෙන ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් අනෙක් පක්ෂවල ඡන්ද නියෝජිතයන් පලවා හැර ඡන්ද පෙට්ටි පිරවූ බව ඒ දිනවල වාර්තා විය. දකුණේ සිට උතුරට ගිය ප්‍රධාන පෙළේ එ.ජා.ප. නායකයෝ යාපනයේ 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය කඩාකප්පල් කළහ. යාපනය පුස්තකාලයට ගිනි තැබූහ. මැතිවරණ දිනයේ නැති වූ ඡන්ද පෙට්ටි හයක් කිසිදා සොයාගත නොහැකි විය.

17 වසරක එ.ජා.ප. පාලනය හමාර කරමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් 1994 දී පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන්නට නව පාලකයන් පොරොන්දු වුව ද 2001 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ උඩතලවින්නේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ක්‍රියාකාරිකයෝ 10 දෙනෙක් ආණ්ඩු පක්ෂයේ වෙඩි ප්‍රහාරවලින් මියගියහ. අනුරුද්ධ රත්වත්තේ, ලොහාන් රත්වත්තේ, චානුක රත්වත්තේ හා හමුදා භටයන් පස් දෙනෙක් මේ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වුව ද රත්වත්තේවරු කොළඹ මහාධිකරණයෙන් ද හමුදා භටයන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

එම පාලන කාලයේදීම 1997 ජුලි 15 වැනිදා කොළඹ නගරශාලාව අසල පැවැති එ.ජා.ප. උද්ඝෝෂණයක් දරුණු මැර ප්‍රහාරයකට ලක්විය. ජනමාධ්‍යවේදීන්ට මැරවයෝ එළව එළවා පහරදී ඔවුන්ගේ කැමරා ආම්පන්න උදුරා ගත්හ. ඒ ගැන චෝදනාවට ලක්වූයේ පසු කලෙක ලිබරල් මතධාරියකු ලෙස ප්‍රකට වූ එවකට ජනමාධ්‍ය ඇමැති වූ මංගල සමරවීර මහතාය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙවැනි පහරදීම් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ මර්වින් සිල්වා මහතාටය. ජාතික රූපවාහිනියට කඩා වැදීම, සිරස ආයතනයට පහරදීම ආදිය එකල සිදු වූ ප්‍රකට සිදුවීම්ය. සිල්වා මහතා සමෘද්ධි නිලධාරියකු ප්‍රසිද්ධියේ ගස් බැන්දේය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ ශ්‍රී.ල.නි.ප. විනය කමිටුව එම නිලධාරියා තමාම ගස් බැඳගත් බව පිළිගත්තේ යැයි කියමින් සිල්වා මහතා චෝදනාවලින් නිදහස් කළේය. ජනමාධ්‍ය ආයතනවලට පහරදුන් බවට චෝදනා ලැබූ සිල්වා මහතා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ධුරයෙන් පිදුම් ලැබීය.
ඒ කාලයේදී කොටි සංවිධානයට රටේ ජනාධිපතිවරයා බිලිදීමට කටයුතු කළ දේශපාලනඥයන් ද සිටි බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහෙත් මැරකම් ඉස්මතු වී රටේ දේශපාලන සදාචාරය පිරිහීමට ජනතාව දුන් දායකත්වය ද ඉතා විශාලය. තමන් අකැමැති දේශපාලන පක්ෂවලට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස සලකන දේශපාලනඥයන්ට ජනතාව ද කැමැත්තක් දක්වති. මර්වින් සිල්වා මහතා අවසාන වරට කැලණිය ආසනයෙන් මනාප ඡන්ද ලක්ෂ එකහමාරක් පමණ ලබාගත්තේය. මිනිස් ඝාතනයකට මේ වනවිට අධිකරණයකින් වැරැදිකරු වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර ජනතාව දෙවරක්ම මනාප ඡන්දය දුන්නේ පොදුජන පෙරමුණේම ජ්‍යෙෂ්ඨයන් පසුපසට තල්ලු කොට දමාය.

ඔහුට තවදුරටත් නාම යෝජනා දෙන්නට පොදුජන පෙරමුණ ලජ්ජා නොවන්නා සේම ඔහුට ඉදිරියටත් මෙලෙසම ඡන්දය දෙන්නට එම පක්ෂයට හිතවත් ජනතාව ද ලජ්ජා නොවෙති. අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය සිදුවන්නේ ඒ පසුබිම තුළය. එය තනි පුද්ගලයකුගේ ප්‍රශ්නයක් නොවේ. එය සමාජය වෙළාගෙන ඇති රෝගයක ලක්ෂණයක් විනා රෝගය නොවේ.

(***එම්.එස්.එම්. අයුබ්)