මිල පාලනය - වෙළෙඳ තරගය අච්චාරුවෙන් බඩු හිඟවීම


මේ දිනවල සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ හිඟය සහ අධික මිල ගණන් පිළිබඳවය. විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක වන රටක භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම හා අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි. විවෘත ආර්ථික ක්‍රමයක මුඛ්‍යාර්ථය වන්නේ භාණ්ඩ සුලභතාව හා තරගකාරී මිල ගණන් පැවතීමයි. එහෙත් මෙරට දැන් ක්‍රියාත්මක වන විවෘත ආර්ථික ක්‍රමය තුළ හිඟය සහ අධික මිල විසින් ජනතාව පීඩාවට පත් කරනු ලැබ තිබේ. තත්ත්වය එය නම් පවත්නා අර්ථ ක්‍රමයේ කොතන හෝ වරදක් සිදුව ඇති බවට පූර්ව නිගමනයක් ඇතිකර ගැනීම වරදක් නොවේ.

දැනට මෙරට ක්‍රියාත්මක වන විවෘත ආර්ථික ක්‍රමය ආරම්භ වූයේ වර්ෂ 1977 එජාප අාණ්ඩුව බලයට පත්වීමත් සමඟය. ඊට පෙර 1970 - 77 කාලයේ පැවති සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ වැසී තිබුණු ආර්ථිකය 1977 දී විවෘත කෙරුණි. ඊට දේශපාලන හේතු ගණනාවක්ම බලපෑ බව නොරහසකි. 1970 - 77 යුගයේ පැවති ආණ්ඩුව ආනයනික භාණ්ඩ වෙනුවට දේශීය නිෂ්පාදන කෙරේ උපරිම විශ්වාසය තබමින් පස් අවුරුදු සැලසුමක් සමඟ ‘නිෂ්පාදන සංග්‍රාමය’ නමැති වැඩසටහනක් දියත් කළේය. පාසල් ක්‍රීඩාපිටි පවා වගාව සඳහා යොදා ගැනුණි. සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල හෝටල්වල බත් අලෙවිය තහනම් විය. ඒ දිනවල අල, බතල, මඤ්ඤොක්කා වැනි වෙනත් ආහාර ද්‍රව්‍ය ප්‍රවර්ධනය කෙරුණි. හාල්, සීනි, මිරිස්, කිරිපිටි පෝලිම් තිබුණි. බොහෝ ද්‍රව්‍ය අලෙවි කළේ සලාක ක්‍රමයටය. හාල්පොත උකස් තැබිය හැකි උපකරණයක් වී තිබුණි. බයිසිකල් ටයරයක් මිලට ගන්නට පැරණි ටයරය ගෙන යා යුතු විය.

මෙම තත්ත්වය එදා සිටි දක්ෂ විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාට කදිම දේශපාලන සටන් පාඨයක් නිර්මාණය කර දුන්නේය. සමගි පෙරමුණු ආණ්ඩුව රටම හාමත් කළ බවත් පෝලිම් යුගයකට රට ගෙන ගිය වග කියමින් තමන් බලයට පත්වූ පසු ධාන්‍ය රාත්තල් අටක් දෙන බවත් ඔහු පැවසීය. වැසී තිබෙන ආර්ථිකය විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ සුලභ කිරීම ගැනත් නිවේදනය කළේය. ජේ.ආර්. ගේ පොරොන්දුව ඵලදායී විය. 1977 මහ ඡන්දයෙන් සමගි පෙරමුණ අන්ත පරාජයකට පත්වී ජේ.ආර්. ට හයෙන් පහක බලයක් ලැබුණි. ඔහු පොරොන්දු වූ පරිදි රටේ විවෘත ආර්ථිකය ඇති කළ නමුත් ධාන්‍ය රාත්තල් අටක් නම් ජනතාවට දුන් බවක් වාර්තා නොවීය.

එදා එලෙස ඇරඹුණු විවෘත ආර්ථිකය ගතවූ වසර 44ක කාලය තුළ සැහැල්ලු‍ ලෙස ඉදිරියට ගලා ආවේය. 2006 සිට 2009 දක්වා උතුරේ සිවිල් යුද්ධය උග්‍රව පැවති අවස්ථාවේදීවත් මෙවැනි භාණ්ඩ හිඟයක්, ඩොලර් හිඟයක්, භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාමක් වාර්තා වූයේ නැත. එහෙත් කොරෝනා වසංගතයත් සමඟ ලෝක ආර්ථිකයම මන්දගාමීව පවතිද්දී යට කී සියල්ලේම හිඟයක් හට ගැනුණි. ඒ නිසා දැන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. සෑම දෙසින් අසන්නට ලැබෙන්නේ ඇණුම් බැණුම් හා දොස් පරොස්ය. මේ තත්ත්වය හටගත්තේ ඇයි? මේ අර්බුදයට විසඳුම කුමක්ද? යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබේ.

රටේ පවත්නා ඩොලර් හිඟයට හේතුව යම් තරමකින් හෝ අපට අවබෝධ කර ගන්නට පිළිවන. ගත වූ වසර 20ක කාලයේ පැවති ආණ්ඩු ලබාගත් අධික ණය හා පොලිය පියවීමට ඩොලර් වැය කිරීම එක් හේතුවකි. අනෙක් හේතුව කොරෝනාව නිසා රටේ අපනයනය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අහිමි වීමය. කොරෝනාවට එන්නත් හා ඖෂධ ලබාගන්නට ද අධික ලෙස ඩොලර් වැය වූ බව සඳහන් කළ යුතුය. මෙම පසුබිමේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට බැංකු විසින් ඩොලර් සැපයීම සීමා කළේය. ඒ නිසා ආනයනික භාණ්ඩ කන්ටේනර් සිය ගණනක් වරායේ සිරවිය. ඩොලරයේ මිල රුපියල හමුවේ අධිප්‍රමාණය වුණි. රුපියල කඩා වැටුණි. මහ බැංකුවේ ඩොලර් මිල රුපියල් 203ක් වෙද්දී කළු කඩයේ ඩොලරය රුපියල් 245ට නැංගේය. අත්‍යවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, සීනි, සිමෙන්ති, ගෑස් ඇතුළු ද්‍රව්‍ය හිඟයට මෙම තත්ත්වය තදින්ම බලපෑවේය.

එසේ ආනයනික භාණ්ඩ හිඟය සමඟ මිල ගණන් ඉහළ යද්දී දේශීය නිෂ්පාදන වන සහල් ආදියේ මිල ගණන් ද විශාල ලෙස වැඩි විය. එයට පිළියම් ලෙස ආණ්ඩුව කළේ ගැසට් මගින් මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනයට තැත් කිරීමයි. හදිසි නීතිය පමණක් නොව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකුද පත්කොට හාල්, සීනි ආදියේ මිල පාලනයට පියවර ගැනුණි. එහෙත් මේවා ගැන තීන්දු ගන්නා බලධරයන් කල්පනා නොකළ කරුණ වන්නේ විවෘත ආර්ථිකය තුළ මිල පාලනය යල්පැන ගිය සංකල්පීය මෙවලමක් බවය.

අප දන්නා සරල ආර්ථික විද්‍යාව අනුව විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවලට සමතුලිත මිලක් හිමිවන්නේ සාධාරණ තරගයකිනි. ඒ සඳහා ජනතාවගේ භාණ්ඩ ඉල්ලු‍ම හා සැපයුම විධිමත් ලෙස නියාමනය පමණක් රජයක කාර්යභාරයයි. වෙළෙඳපොළ තරගකාරීත්වය ඇතිකිරීමේ දී රජයට තීරණාත්මක වැඩ කොටසක් ඉටුකළ හැක. ඒ භාණ්ඩ සුලභ කිරීම හා තරගකරුවන් සංඛ්‍යාව වැඩි කිරීම මගිනි. රාජ්‍ය අංශයට ද පෞද්ගලික අංශය සමඟ තරගකාරීව භාණ්ඩ හා සේවා අලෙවි කළ හැකිය. එවිට භාණ්ඩ හිඟයක් ඇතිවන්නේ නැත. එසේ නොමැතිව සියයට 90ක්ම පෞද්ගලික අංශය සතු සහල් වෙළෙඳාම ඇතුළු කටයුතු මිල පාලන නීතිවලින් මට්ටු කරන්නට යාම ප්‍රායෝගික නොවන බව ඊට අදාළව රජය ගැසූ ගැසට් පත්‍ර රජය විසින්ම අවලංගු කිරීමෙන් පැහැදිලිව පෙනේ.

විවෘත ආර්ථිකය තුළ සිල්ලර කඩවලට මිල පාලන අංශ කඩා පැන වැටලීම් කිරීමට වඩා වැදගත් වන්නේ තරගය තුළින් මිල පාලනයයි. ඒ නිසා රජය දැන්වත් කළ යුත්තේ අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ ප්‍රමාණවත් ලෙස රටට ගලා ඒමට විදේශ විනිමය නිදහස් කිරීම සහ භාණ්ඩ හා සේවා අලෙවියට පූර්ණ තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමය. එසේම අත්‍යවශ්‍යම ද්‍රව්‍ය දෙක තුනක් හැර අන් සියල්ලේ මිල පාලනයෙන් රජය ඉවත් විය යුතු යැයි තර්කයක් ගොඩනැගී තිබේ. එසේ වුවහොත් විවෘත ආර්ථිකය නිසි ලෙස සක්‍රීය වී පවත්නා භාණ්ඩ හා සේවා හිඟය මෙන්ම අධික මිල ගණන් ද සාධාරණ මට්ටමකට පත්වනු ඇත.

(***)