මිහිඳු හිමි ශිෂ්ඨාචාරයෙන් රට යළි පුබුදුවමු


මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීම මෙරට මිහිඳු ශිෂ්ටාචාරයක් සඳහා පදනම දැම්මේ ය. අප අද සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බවට හඳුනා ගන්නා අපගේ සියලු‍ භෞතික හා ආධ්‍යාත්මික වටිනාකම් උත්පත්තිය ලබන්නේ එම පදනමේ අලෝකය ලබමිනි. මිහිදු ශිෂ්ටාචාරය කොතරම් ප්‍රබල එකක් වූයේ ද යන්න අපට අනුරාධපුර හා පොළොන්නරුව වැනි රාජධානිවල දැනට ඉතිරිව තිබෙන බෞද්ධ ස්මාරකවලින් හඳුනාගත හැකි ය.

ඒ සියල්ල ඉතා ශක්තිමත් රාජ්‍යයක් මෙරට පැවති බවට වන අනුල්ලංඝණීය සාක්ෂි වේ. එම රාජ්‍යයට දාර්ශනික චින්තනය සැපයූයේ බුදුදහම මගිනි. බුදුදහම යනු පුද්ගලයා නිරන්තරව උට්ඨාන වීර්යට කැඳවන ඇමතුමකි. බුදුන් වහන්සේ ස්වකීය බුදුබව ලබා සිය අන්තිම භවය ගෙවමින් සිටින විට පවා, සිය ජීවිතයේ අවසන් තප්පරය තෙක් ස්වකීය කාර්ය නොපරිහෙළා ඉටු කළ සේක. කිසි දිනෙක උකටලීව සිය කාර්යයෙහි පසුනොබැසූහ. අපට වසර දෙදෙහසකට ආසන්න කාලයක් ශක්තිමත් රාජ්‍යක් ගොඩනැගීමටත් විවිධ අභියෝග මැද එය පවත්වාගෙන යාමටත් හැකි වූයේ මේ කීර්තිමත් බෞද්ධ පදනම නිසා ය.

කෙසේ වෙතත්, අප පොළොන්නරු යුගයෙන් පසු එන්න එන්නම පිරිහුණේ ය. අපගේ ජවය හා බලය ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී ගියේ ය. ඊට ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ පොළොන්නරුවේ දී සිංහලයා මුහුණ දුන් කෘර මාඝ ආක්‍රමණයයි. අප ඉන් පසුබැස්සේ හුදු භෞතික වශයෙන් පමණක් නොවේ. සියවස් 20ක් පමණ තිස්සේ අප රැකගත් දැනුම් පද්ධතිය ද මේ පසුබෑමට අයත් විය. කාලිංග මාඝ යනු උපායශීලී ආක්‍රමණිකයෙකි. අපට ජාතියක් ලෙස නැවත නැගී සිටීමට උපකාරී විය හැකි අපගේ දැනුම් පද්ධතිය විනාශ කිරීමට ඔහු කටයුතු කළේ ය. නිකාය සංග්‍රහය නම් පොළොන්නරු යුගයේ ලියවී ඇති කෘතියට අනුව “පොත්පත් ආදී පිරිකර තුබූ තුබූ තෙන හැර ශරණාන්වේෂී ව මායා රජයට පැමිණි මහා සංඝයා” යන ප්‍රකාශයට අනුව, මාඝ ආක්‍රමණය ඉතා ක්ෂණිකව සිදුවූ දෙයක් බවත්, පුරවැසියා ඊට සූදානමින් සිට නැති බවත් ගම්‍ය වේ. ඔවුන් පලා යන්නේ අතට හසු වූ දේ රැගෙන ය.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව, පොළොන්නරු නගරය තුළ පමණක් පොත්ථක මන්දිර නමින් හැඳින් වූ පුස්තකාල 128ක් පමණ තිබී ඇත. මීට අමතරව රාජ මාලිගය සතුව ලේකම්ගෘහ නම් තවත් පුස්තකාල පැවතී ය. මේ සියලු‍ පුස්තාලවල තිබුණේ බණ දහම් පමණක් නොවන බව පැහැදිලි ය. විශාල ලෞකික දැනුම් සම්භාරයක් ඒවාහි ගබඩා ව තිබෙන්නට ඇත. වාරි තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, ගණිතය, තර්ක ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍ර ඈ දැනුම් පද්ධති ඒවාහි ග්‍රන්ථාරූඪව පැවතුණි. ඒ දැනුම මතින් ය එදා අපගේ ශිෂ්ටාචාරය ගොඩ නගා අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබූයේ. ගෙන යාමට නොහැකි වූ පොත් මාඝ විසින් විනාශ කරන ලද ආකාරය නිකාය සංග්‍රයෙහි දැක්වෙන්නේ “ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් ලණුවෙන් මුදාහැර පත්ඉරු තැන තැන විසිරූහ” යනුවෙනි. මාඝ ඒවා විනාශ කර දැම්මේ ය. ඒ අපේ වසර දෙදහසක පමණ දැනුම එක් සැණක දී විනාශ වී ගිය ආකාරයයි.

පොළොන්නරුවෙන් පසු ඇරඹි පිරිහීම එන්න එන්නම නරක අතට හැරුණා මිස යහපත කරා නොගියේ ය. දඹදෙණි, කුරුණෑගල, යාපහුව, ගම්පොල, කෝට්ටේ, මහනුවර වන විට අප ශිෂ්ටාචාරම දැනුම අතින් එන්න එන්නම කෙසඟ වෙමින් පැමිණි බවට සාධක තිබේ. අප මංමුළා වී ගමන් කරමින් සිට ඇති සෙයකි. අවසානයේ අප අපගේ ම කුළල්කා ගැනීම් නිසා ඉංග්‍රීසින්ට බන්දේසියක තබා ඉතිරි ව තිබූ උඩරට ද බාරදුන්නේ ය. උඩ රට ජාතිකවාදීන්ගේ බලලෝභය නොවන්නට එදා කිසිසේත්ම ඉංග්‍රීසීන්ට අපව යටත් කර ගැනීමට හැකි නොවනු ඇත. ඇහැලේපොල වැනි අය නිරන්තරව කල්පනා කළේ කෙසේ හෝ තමා රජවීම මිස රාජ්‍ය රැකගැනීම නොවේ. ඒ අනුව, එක් අතකින් ශ්‍රී වික්‍රමට එරෙහිව ව්‍යාජ විඤ්ඤාණයක් පතුරමින් ඔහුව හෙළ ජන මනස තුළ විනාශ කර දමන අතර තුර, අනිත් අතින් සිංහල කිරීටය ඉංග්‍රීසින්ට ලබා දීමට ඇහැලේපොල කුමන්ත්‍රණය කළේ ය. කිරීටය ගත් පසු එය තමාට ලබා නොදෙතියි සිතන්නට පවා ඔහුට දේශපාලන දැනුමක් නොමැති විය. අවසානයේ කිරීටය පමණක් නොව, තම රටේ සිටීමට ද නොදී ඔහුව විදේශයකට පිටත් කළේ සිරකරුවකු ලෙසිනි.

මේ පාඩම ලංකාවේ ජාතිකවාදීන් ද වහවහා ඉගෙන ගත යුතු එකකි. මේ ඊට හොඳම කාලයයි. 2015 දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට විදෙස් බලවේග මෙරට දේශීය බලවේග සමග එකතු වන්නේ ඔහු මැදමුලනේ මහින්ද නිසා නොවේ. එහෙත් සියවස් ගණනාවකට පසු මෙරට ප්‍රාකෘත ජනවිඤ්ඤාණය අවදි කරමින් එහි ශක්තිය රාජ්‍ය නැවත පණගැන්වීම සඳහා යොදාගත් නායකයා නිසා ය. මහින්දට ත්‍රස්තවාදය විනාශ කිරීමේ දී තිබූ අභියෝග, එදා එළාර පරාජය කිරීමේ දී දුටුගැමුණුටවත් නොතිබුණේ ය. අවම වශයෙන් දුටුගැමුණුට අරගල කළ යුතුව තිබුණේ එළාරගේ සෙනෙවියන් සමග පමණි. එහෙත් මහින්දට එසේ නොවීය. ත්‍රස්තවාදීන්ට අමතරව වෙනත් දේශීය බලවේග ද, විශේෂයෙන් ම සල්ලිකාර බටහිර රටවල තීව්‍ර බලපෑමද ඔහුට නොවඩුව තිබුණි. ඒ සියල්ල තිබීයදීය මහින්ද නැවතත්, මෙරට ජනයාට සිංහ කොඩිය ඉදිරියේ හිස් කෙළින් තබාගෙන ජාතික ගීය ගැයීමට අවස්ථාව ලබාදෙන්නේය.

අද ජාතිකවාදීන් නමින් හඳුනා ගන්නා පිරිස් කරමින් සිටින්නේ කුමක්ද? නැවතත් මෙරට ශිෂ්ටාචාරගත වටිනාකම් පද්ධතිය නියෝජනය කරන දේශපාලන බලවේගය දෙකට තුනට බෙදීම ය. ජාතිය දුර්වල කොට එය අන් බලවේගවලට නතුකර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම ය. ඔවුන්ගේ දේශපාලන බලලෝභය රාජ්‍ය ඉක්මයා ගොස් ඇත. ස්වකීය බලය හා රජු සමග වූ වෛරය වෙනුවෙන් ඉංග්‍රීසීන්ට බලය ගැනීමට සහාය දුන් ඇහැලේපොලලා බවට පත්ව ඇත.

මේ පිරිසම ගෝඨාභය පාලනය හැකි හැම විටම දුර්වල කිරීමට කටයුතු කළේ ය. රටට විදේශ විනිමය අත්‍යාවශ්‍යම අවස්ථාවක විදේශ ආයෝජන සම්බන්ධයෙන් විශාල බොරු පතුරමින් ජනමනස අවුල් කළේ ය. විදුලිය අත්‍යවශ්‍යම දෙය වී තිබිය දී, පිරිසුදු හා අඩුවියදම් LNG  ආයෝජනයක් ඇමරිකාවෙන් එන විට එය ලංකාව සදාකල් ඇමරිකාවට පාවා දෙන ගිවිසුමක් බව කියමින් යකා නැටුවේ ය. මෙරට නීතිපතිවරයා පවා අනුමත කොට තිබූ එම ව්‍යාපෘතිය වසර පහකට පමණක් අත්සන් කරන එකක් බව හෙළිවන විට ආයෝජකයා වියට්නාමට ගොස් එම ව්‍යාපෘතියම ක්‍රියාත්මක කිරීමට පටන්ගත්තේය. තමා ඇමතිකම් හෙබවූ ආණ්ඩුවම බොරු කියමින් විනාශ කළේ එපරිදි ය. යාන්තම් කෝවිඩ් වසංගතයෙන් ගොඩ එමින් සිටින විට මේ කණ්ඩායම කළේ අනවශ්‍ය දේශපාලන අවුලක් නිර්මාණය කරමින් විපක්ෂ බලවේගවලට ආණ්ඩුවට දමා ගැසීම සඳහා ගල් එකතු කර දීම ය.

මෙරට තාමත් ඇත්තේ බලවේග දෙකකි. ඒ මේ මාතෘභූමියට හෘදයාංගමව ආදරය කරනවා මතු නොව, ප්‍රායෝගිකව ද එම ආදරය වෙනුවෙන් වැඩ කරන හා කළ බලවේගය හා ව්‍යාජ කයිය පමණක් ඇති අනෙත් සියලු‍ බලවේගයි. පසුගිය වසර 20ක පමණ ඉතිහාසය කියවනවිට මෙරට ඇස් කන් ඇති ඹ්නෑම කෙනකුට පැහැදිලි වනු ඇත්තේ මුලින් කී බලවේගය නොවන්නට අද ලංකාව යන රට කොතන තිබේවි ද යන්නයි. එම බලවේගය විසින් මෙරට මිහිඳු ශිෂ්ටාචාරය නැවත වරක් වෙනත් වටයකින් මතු කර පණගන්වමින් සිටින අතර, අනෙක් බලවේගය කළේ බොරු බේගල් කියමින් 2015 දී එය නැවත පරාජය කර දැමීමයි. ඊට නැවත වරක් බලයට ඒමට හැකි වූව ද ඒ වන විට තිබූ දුර්වල ආර්ථික පසුබිම මතට ගෝලීය වසංගතය ද කඩාපාත් වීමෙන් අභියෝග රැසක් මතු වීය. වසංගතයේ දී ලොව සියලු‍ රටවලට ආදර්ශයක් වෙමින් ජනතාව ද නිසි පරිදි බලාහදාගෙන අනිත් පැත්ත බලන විට ආර්ථික අර්බුදය පෑළ දොරින් ගෙට ඇතුළු වී තිබුණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජනගත් අවස්ථාවාදීහු රටේ ලේ සොලවන අරගලයට මුලපිරූහ.

මෙරට බුද්ධිමත් ජනයා මේ සත්‍ය තේරුම්ගත යුතුය. විවිධ මිථ්‍යා වපුරුවමින් ජන මනස් සොරකම් කර සිය ඡන්දය ලබාගැනීමට ප්‍රයත්න දරන පිරිස් ගැන ඔවුන් අවදියෙන් සිටිය යුතුය. දේශපාලනය විශ්වාස කිරීමේ දී යොදාගත යුතු නිර්ණායකය වන්නේ සැබැවින්ම රටට ප්‍රායෝගික වැඩක් කර ඇත්තේ කවුද යන්නය. ඒ හැඟීම ඇත්තේ කාටද යන්නයි. එසේ නොමැතිව අනවතරයෙන් පතුරුවා හරින සිහින සාප්පුවල සුරංගනා කතාවලින් නොවේ. එම සිහින මතින් කිසිදා රටවල් හැදුණේ නැත. රටවල් හැදුණේ නිසි දැක්මක් හා නායකත්වයක් සහිත ප්‍රායෝගික දේශපාලන ව්‍යාපාරයකිනි. ඒ අනුව, මේ රට යළි ආපස්සට ඇද දැමූ 2015 ද, එසේ ම අර්බුදයෙන් ප්‍රයෝජන ගෙන ලේ සෙලවීමකට ගිය 2022 ද පාඩමකට ගෙන මෙරට ජන විඥානයේ මිහිදු ශිෂ්ටාචාරය නැවත බලගන්වන අදියරට පා තබමු.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ