මිහිබට වදනිසුරු


 

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 112 වැනි ගුණානුස්මරණ නිමිත්තෙනි.

මිහිබට වදනිසුරු යන මේ උපමාභිධානයෙන් අප විසින් හඳුන්වනු ලබන සිරි සුමඟුල් නාහිමිපාණන් වහන්සේ සූත්‍ර, අභිධර්ම, විනය යන දසපෙරුම් සපුරා බුදුව පළකළ බව බිරම්භරණා අනගි තෙවළා සදහම්හි වටා පිටාවෙහි ඔබිනොබ හැසිර ඇතුළටම බැසගත් ප්‍රතිහත විශද ධර්ම ඥානයක් ඇති මහා ධර්මධරයාන කෙනෙක් වූහ. දහම් සයුරෙහි කිමිදි, මා ඇගි දහම් මිණිමුතු සමාජයට ගෙණ ඇර දැක්වූහ. හද මැදුරෙහි දහම් මිණි පහන දැල්වූ, හද සුමුගුවෙහි සදසත් මිණි රුවන් පරිපූරණය කළ ධර්මයම ප්‍රාණ ජීවය කරගත් ධර්ම මාර්ගයම ස්වකීය ජීවන යාත්‍රාවට එකායන මාර්ගය කරගත් මේ මහා ධර්මධරයා​ණෝ ස්වකීය ජීවිතයට ද වඩා ආදරයෙන් ධර්මය ආරක්ෂා කළහ.

ත්‍රිපිටක ධර්මයෙහි වෛශාරද්‍ය ඥානයෙන් යුක්තව, ත්‍රිපිටක ධර්මය පොතට නොව සිතටම සීමාකරත්, ඔබ කළ නිගමනයක්, ඔබ කළ විසඳීමක්, එය එසේ නොවේ යයි සකාරණව සහෙතුකවැ සනි දර්ශනවැ තර්ක කිරීමට හෝ තර්ක කළත් එයින් ජයග්‍රහණයක් ලැබීමට හෝ සමර්ථ වූ කෙනෙක් එදා පණ්ඩිත සමාජයෙහි නොවූහ. අදත් එබඳු කෙනෙක් නොවෙති. මතු ඔබ වැනි වදනිසුරාන කෙනෙකුන් පහළ වෙතියි මම නො සිතමි.

සූත්‍ර පිටකයට අයත් කවරනම් ධර්ම ග්‍රන්ථයක, කවර නම් නිකාය ග්‍රන්ථයක කවරනම් සූත්‍රයක ඇති හැම කරුණක් ගැනම පරිණත ඥානයක් ඇතිව සිටි මේ මහා ධර්මධරයාණෝ, එක කොටික වූ හෝ උභතොකොටියක වූ කෙබඳු දහම් ගැටයක් වුවද පහසුවෙන්ම නිරායාසයෙන්ම ලිහා දැමූහ. බුද්ධ ධර්මය පිළිබඳව සැක ඇති කළ ඇතැම් අවිචාරවත් මුඪමතධාරීන්ගේ තර්කයන්, විතර්කණයෙන් බිඳ දැමූහ. දිනක් මේ වදනිසුරාණන් ළඟට හැන්රී ඕල්කට් මැතිමා පැමිණියේය. එකත්පස්වැ හිඳගත්තේය. උපනිෂන්නක කථොප කථනයක යෙදුනේය.

පසුව ඒ මහතා ස්වාමීන්! පූර්වෙනිවාසානුස්මෘතය නම් කුමක්දැයි ප්‍රශ්නයක් ඇසීල. මාහිමියන් ඒ ප්‍රශ්නයට සහෙතුකවැ සනිදර්ශනාත්මකවැ පොතපතින් කරුණු ගෙණහැර දක්වා පූර්වෙනිවාසානුස්මෘතිඥානය පිළිබඳව තීරණාත්මක දැනීමක් ලබාදී, කාලාන්තරයක් තිස්සේ ඒ මහතාගේ සිතෙහි පැවති අවුල නිරවුල් කළහයි අපි ඇසීමු.

පරමාර්ථ ධර්මය නම් වූ අභිධර්මය පිළිබඳ උන්වහන්සේගේ දැනීම විශාරද විය. චිත්ත චෛතසික රූප නිර්වාණ යන චතුර්විධ පරමාර්ථ ධර්ම විභාගයේ දී භදන්ත, අනුරුද්ධ, දිඹුලාගල, කාශ්‍යප ආදී චිරප්‍රසිද්ධ ආභිධම්මික මහතෙරවරුන්ගේ සමක්කෂනයට මුන් වහන්සේ පත් වූහ. අභිධර්මයද විද්‍යාවකි එකාන්ත විද්‍යා, ශාබ්ද විද්‍යා, කලා විද්‍යා, වාස්තු විද්‍යා ස්වාභාවික විද්‍යා දර්ශන විද්‍යා යන විද්‍යාවන් අතුරෙන් අභිධර්මය එකාන්ත විද්‍යා, දර්ශන විද්‍යා යන කොටස් දෙකටම අයත් යයි යුරෝපීය පඬිවරු කියති. අපේ නාහිමියෝ අභිධර්මය මානසික විද්‍යාව යයි කියති.

උන්වහන්සේට අභිධර්මය පිළිබඳව වෛකල්පිත බුද්ධියක් නොව තීරණාත්මක බුද්ධියක් තිබුණු බැව් අර නාමාරෝපණයෙන් පෙණේ. භාරතීය පඬුවෝ චිත්ත ධර්ම ශාස්ත්‍රයයි අපේ අභිධර්මය නම් කියති. අභිධර්මය ‘‘හේතුඵල වාදය’’ යන නාමයෙන්ද ඇතැම් පඬිවරු හඳුන්වති. අන්වයානුගත චිත්තජ භාවයෝ හෙතුහු වෙති. ඵලය ලැබෙන්නේ එයිනි. හේතුවකින් ඵලයක් ඇතිවීම ගැන කතා කිරිම හේතුඵල වාදයයි.

අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණී විභංග, පුග්ගල, ධාතු, යමක, පට්ඨාන කථාවත්ථු යන සප්ත ප්‍රකරණයන් අතුරෙන් කථාවත්ථුප්පකරණයේ බොහෝ තැන් පිරිසුමඟුල් මාහිමියන්ට වාචොද්ගතවැ පැවැති බැව් කියති. වෛශෙෂික මතයට න්‍යාය දර්ශනය වැනිවූ ද, වෙදයෙහි කර්ම කාණ්ඩයට ජෛනාචාර්යයන්ගේ මීමාංස දර්ශනය වැනි වූද බුද්ධ ධර්මයට කච්චායන හිමියන් විසින් රචිත නෙත්තප්පකරණය, නම් ග්‍රන්ථයකි. එය ද අභිධර්මයට සම්බන්ධ වූවකි. ඒ නෙත්තිප්‍රකරණයෙහි ඇති දෙසනා විචය යුත්ති පදට්ඨාන ලක්ඛන චතුබ්‍යුහ ආවත්ත විභත්ති පරිවත්තන, වෙවචන, පඤ්ඤත්ති ඔතරණ, සොධන, අධිට්ඨාන පරික්ඛාර සමාරොප යන සොළස හාරයන් විවරණය කිරීමටත්, විභජනය කිරීමටත් මේ හිමියන් සමර්ථ වූහයි කියති.

බෞද්ධ න්‍යායයෙහි ද, උන්වහන්සේ එතරම් දක්ෂ වූහ. සාර්ථ කථා, සටීකා, සානුටීකා ත්‍රිපිටක ධර්මයෙහි උන්වහන්සේට අවිෂය වූ තැනක් හෝ දුර්බොධ ස්ථානයක් නොවූ විරූය. එහෙයින්ම උන්වහන්සේ ත්‍රිපිටක වාගීශ්වර කෙනෙක්ම වූහ. වර්ෂ 1867 දී පැල්මඩුල්ලේ පැවැත්වූ ධර්ම සංගායනාවේ ප්‍රධානත්වයට තත්කාලීන ධර්මධර මහාස්ථවිරයන් වහන්සේලාගේ සමානච්ඡන්දයෙන් මුන්වහන්සේ පත් වූහ.

ත්‍රිපිටක වාගීශ්වරාචාර්යය උපාධ්‍යාය පදවිය ඉතාම ශ්‍රේෂ්ඨ ශාසනික පදවියකි. අර්ථ කථා, ටීකා, අනුටිකා ප්‍රකරණ යන අංගයන්ගෙන් පරිවෘත වූ ත්‍රිපිටක බහුශ්‍රැත භාවයක් ඇති, ගුණ වෘද්ධ ඥානවෘද්ධ වයො වෘද්ධ මහතෙර නමකටම මේ පදවිය පිරිනැමීම සිරිතකි. 

අනුරාධපුර යුගයේ ද, පොලොන්නරු යුගයේද, දඹදෙනි යුගයේද, කෝට්ටේ යුගයේ ද පැවැතියේ මේ තත්ත්වයයි. ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරන ත්‍රිපිටකධාරී තෙරවරුන්ට ත්‍රිපිටකවාගීශ්වරාචාර්යය යන ගරු නාමය ද, පිරිණැමෙන්නට විය. බු.ව. 1846 න් මොබ විල්ගම්මුල සංඝරාජයන් වහන්සේ ද, ශ්‍රී රාජගුරු වනරතන, ශ්‍රී ධර්මකීර්ති ගලතුරුමුල මෛත්‍රෙය තොටගමුවේ ශ්‍රී රාහුල යනාදී මහා ස්ථවිරයන් වහන්සේලා ද මේ උසස් පදවිය ලබාගත් උතුමෝ වූහ. කාලාන්තරයකින් පසුව යළිත් ත්‍රිපික වාගීශ්වරාචාර්යය උපධ්‍යාය පදවිය ලැබීමට සුදුසු වූ උතුමානෝ වූකලී හික්කඩුවේ සිරි සුමඟුල් නාහිමිපාණෝය.

පාලි ධර්ම ඥානයෙන් මෙන්ම සිරි සුමඟුල් මාහිමියෝ පාලි භාෂාඥානයෙන් ද අග්‍රෙසර වූහ. පාලිව්‍යාකරණය පිළිබඳව පැවැති දැනීමේ උසස් තත්ත්වය උන්වහන්සේ විසින් ලියන ලද බාලාවතාරටීකාවෙන් නුවණැති කවරෙකුට වුවද, ප්‍රත්‍යක්ෂවනු නො අනුමානය, බාලාවතාරටීකාව පාලි ව්‍යාකරණය පිළිබඳව සම්පාදිත අංගසම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථයකි. කච්චායන, මොග්ගල්ලාන ධර්මකීර්ති ආදී ශ්‍රේෂ්ඨ පාලි ව්‍යාකරණාචාර්යයවරයන්ගේ සමකක්ෂයට බාලාව තාරටීකා කතුවරයාණෝ පත්වෙති. 

සිරි සුමඟුල් මාහිමියෝ රමණීය පාලි පද්‍ය රචකයෙකි. උන්වහන්සේගේ පාලි පද්‍යයෝ චමත්කාරජනක රචනා මාධූර්යයකින් සුරම්‍යවූහ. නිරවුල් සන්දර්භයකින් යුක්ත වූහ. නියම කවියාගේ පද්‍ය නිබන්ධය රස චෂකයකි. රසවත් කාව්‍යයකි. ශබ්දයෙන් හා අර්ථයෙන් පරිපූර්ණ වූ විශිෂ්ට වූ සාහිත්‍යයික අලංකෘතියෙන් යුත් නිබන්ධනය කාව්‍ය නම්ව බැව්, ‘‘කාව්‍යං විශිෂ්ට ශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති’’ යනුවෙන් කවිකණ්ඨාභරණ කරෙයෝ කියති. මේ ස්වරූපය ගැබ්ගන්නේ හුදෙක් සහජකවියන්ගේ පද්‍ය නිබන්ධයන්හිම බැව් කිව යුතු සිරි සුමඟුල් හිමියෝ නියම කවියෙක් වෙති. කවියාගේ හැඟීම් නිදහස්ය. නිවහල්ය. නියම කවියා නීරස දෙය මීරස කරයි. 

ශොකාන්තයෙන් තොසාන්තය වෙන් කර ගණියි. දුක්ඛාන්තයෙන් සුඛාන්තය වෙන්කර ගනියි. රාගාන්තයෙන් විරාගාන්තය පාදා ගනියි. ලෞකිකත්වයෙන් ලොකොත්තරත්වය සපයා ගනියි. මේ මහා කවියානෝ ද මෙබදු කිවීසුරාන කෙනෙක් වූහ. කවර භාෂාවකින් හෝ කරුණු ලබන පද්‍ය නිබන්ධන අනෞචිත්‍යයෙන් පරිබාහිර වූ කලමැ සාකල්‍ය ඖචිත්‍ය රසයෙන් පරිපූර්ණ වූ කලමැ එය උපනිෂද් වලටත් වඩා රසවත් වෙයි. රසභංගය වන්නේ ඖචිතයෙන් පිරිහුණු විටය. ඒ බැව්, ‘‘අනෞචිත්‍යාදෘතෙනාන්‍යද් රස භංගස්‍ය කාරණම් ප්‍රසිද්ධෞචිත්‍ය බන්ධස්තු රසස්‍යොපනිෂත් පරා’’ යනුවෙන් ආනන්ද වර්ධන කියයි. සිරි සුමඟුල් නාහිමියන්ගේ පාලි පද්‍යයන්හිද, සංස්කෘත පද්‍ය යන්හිද සිංහල පද්‍යයන්හිද අර කී ගුණයන් සැබැවින්ම නො අඩුව පවති. 

මේ මිහිබට වනිසුරානෝ සංස්කෘත භාෂා සාහිත්‍ය පිළිබඳව ද විශාරද බුද්ධිමහිමයකින් යුක්ත වූහ. සංස්කෘත සාහිත්‍යයට අයත්ව ද වෛදික සාහිත්‍යයට අයත්වූද, ග්‍රන්ථයන් ගැන මනා දැනීමක් මෙතුමානන්ට තිබුණ බව කියති. සෘක්, යජුස් සාම අථර්වන් යන චතුර්වේදයෙහිද බ්‍රාහ්මණ, ආරණ්‍යය උපනිෂද් යන දර්ශනයන්හිද ගැඹුරටම බැසගත් නුවණක් මේ මිහිබට වදනිසුරානන්ට තිබුණේය.
වාණභට්ටයන්ට සමාන සංස්කෘත ගද්‍ය සාහිතයික ඥනයක්ද, කාලිදාසට සමාන සංස්කෘත පද්‍ය සාහිත්‍යයික ඥානයක්ද, දණ්ඩීන්ට සමාන සංස්කෘත ඡන්දොලංකාර ඥානයක්ද ඇතිව විසූ මෙතුමා සංස්කෘත භාෂාවෙන් ව්‍යක්ත ලෙසත්, නිරවද්‍ය ලෙසත් කථාකිරීමට ද සමත් වූහයි කියති. 

සිංහල භාෂා සාහිත්‍යයෙහි ද සිංහල පද්‍ය රචනාවෙහි ද අවාව්‍යවූ අචින්ත්‍යවූ විශාරද භාවයක් ඉසිලූ මුන්වහන්සේ සිංහල සාහිත්‍ය ධරයෙක් වූහ. විචක්ෂණ සිංහල ව්‍යාකරණාචාර්යයවරයෙක් වූහ. අනවමදර්ශී සහ රජතුමාගේ සිදත් සඟරාවට ලියූ සිදත්සඟරා විස්තර සන්නය උගතුන්ගේ ප්‍රශංසාවට භාජන වූ කෘතියකි. සිදත් සඟරාව සිංහල ව්‍යාකරණ විධීන් සම්පිණ්ඩනය කොට සම්පාදිත ගැඹුරු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයකි. එහි දැක්වෙන ව්‍යාකරණ විධීන් පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවන පරිදි භාෂාන්තර ව්‍යාකරණ විධීන්ද ගෙණ ඇර දක්වමින් සකස් කළ ඒ සිදත් සඟරා සන්නය නවීනයෝද, ප්‍රවීණයෝද සාදරයෙන් භාවිත කරති.

මේ මිහිබට වදනිසුරාණෝ පරිවර්තනයෙහිද ශූරයෙක් වූහ. පාලි මහාවංශයේ පරිවර්තනයක් වන සිංහල මහාවංශය එයට සාධකයකි. එක් භාෂාවකින් රචිත ග්‍රන්ථයක් අනික් බසකට පර්වර්නය කිරීම සුකර නොවේ. මූලික ග්‍රන්ථයෙහි එන කරුණුවල කිසිම වෙනසක් නොමැතිවැ අනුනාධිකවැ පරිවර්තනය කළයුතු හෙයින් පරිවර්තනය වූකලී අතිශය දුෂ්කර කාර්යකි.

මේසා දුෂ්කර කාර්යද මාහිමියෝ මැනවින් කළහ. වේදාඞ්ගයන්හිද පුරාණ ජ්‍යෙතිෂ්, තර්ක, ඡන්දස් අලංකාර දී ශාස්ත්‍රාඞ්ගයන්හිද දක්ෂවූ නායක මාහිමියෝ ඉංග්‍රීසි භාෂාවෙහිද හසළ බුද්ධියක් ඇති කෙනෙක් වූහ. එදා ලාංකේය භික්ෂූන් අතර ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමට හෝ ලිවීමට හැකියාවක් ඇති භික්ෂුනමක් සොයා ගැනීම නිකිණි සෙවීමක් වැනි දෙයක් වීය. එහෙත් මෙ මාහිමියෝ විශාරද ඉංග්‍රීසි උගතෙක් වූහ.

ප්‍රසිද්ධ සභාවල ද ඉංග්‍රීසියෙන් කථා කළ බවත්, පුවත්පත් සඟරාවලට ඉතාම නිවැරදි ලෙස ඉංග්‍රීසි ලියුම් ලියූ බවත් තතු දන්නෝ කියති. උන්වහන්සේගේ ඉංග්‍රීසි කථාවන් අපි නොඇසීමු. එහෙත් මාහිමියන් ලියූ ඉංග්‍රීසි ලියුම් අපි දුටුවෙමු. දෙමළ, හින්දි, ජපන්, බුරුම ආදී භාෂාන්තරයන්හිද මාහිමියන්ට දැනීමක් තිබුණ බැව් පැරණියෝ කියති. උක්තානුක්ත හේතු දර්ශකයන් අනුව, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම, චින්තනයේ වරිමාවධානයෙන්ම සිරි සුමඟුල් මාහිමියෝ මිහිබටවදනිසුරානෝ ම වූහ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන්වහන්සේගේ අභාවයෙන් අර්ධශතවර්ෂයක් පිරීම නිමිතෙන් විද්‍යොදය විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සංගමය විසින් 1962 ප්‍රකාශනය කරන ලද ‘ශ්‍රී සුමංගල’ නම් කෘතියට වැලිවිටියේ සොරත නාහිමි විසින් සම්පාදනය කරන ලද මිහිබට වදනිසුරු පරිච්ඡේදයෙන් උපුටා ගන්න ලද ලිපියකි.