මීගමුව කෝටි දෙකේ කොල්ලයේ සැකකරුවන් ඇල්ලූ හැටි


මීගමුව විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයක රුපියල් කෝටි දෙකකට ආසන්න දෙස් විදෙස් මුදල් කොල්ලය දෙසතියකට පෙර සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියක් විය. එහි පොලිස් විමර්ශන අවසන් වූයේ ආන්දෝලනය දෙගුණ තෙගුණ කරමිනි. ඒ කොල්ලයේ ප‍්‍රධාන සැකකරු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයකු වන පළාත් සභා අපේක්ෂකයකු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය.
 

මම කතා කළේ පොලිස් පරීක්ෂණ මතයි

‘මම ප‍්‍රකාශ නිකුත් කළේ පොලිස් පරීක්‍ෂණ මත පදනම් වෙලා. පොලිසිය රොයිස් ප‍්‍රනාන්දු මහත්මයාව අත්අඩංගුවට ගත්තේ ලැබුණු සාක්ෂි මත. ඒ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී කියා කියනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දමන්න පුලූවන්.
මාධ්‍ය සාකච්ඡුාවේදී මාධ්‍යවේදියකු ප‍්‍රශ්නයක් ඇහුවා මීට පෙර මොහුට චෝදනා එල්ලවී තිබුණ ද කියලා. ඒ අනුව තමයි මා කිව්වේ සිද්ධි තුනකදී චෝදනා එල්ල වුණා කියලා. මා කිසිම අවස්ථාවක කිව්වේ නැහැ සිද්ධි තුනකින් වැරදිකරු වෙලා තියනවා කියලා.

දිනය පෙබරවාරි 17 වැනි දාය. වෙලාව පස්වරු 2.00ට පමණ ඇත. මීගමුව කෙලින් වීදියේ බොහෝ පිරිසක් ගැවසෙන ස්ථානයක පිහිටි විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකි. රන් බඩු අලෙවිහලක් ද එහි විය. 15 දෙනක් පමණ මධ්‍යස්ථානයේ ඇඳී සිටියහ. ඇතුළු වන ස්ථානය ආසන්නයේ මුර කරු රැඳී සිටි අතර හෙල්මට් පැළඳ සිටි දෙදෙනෙක් එහි ඇතුළු වූහ. එක් පුද්ගලයෙක් ආරක්ෂකයා මෙල්ල කරද්දී අනෙක් පුද්ගලයා එහි හිමිකරු දෙසට ගිනි අවිය එල්ලකරගෙන සිටියේය.

මුර කරු මෙල්ල කළ පුද්ගලයා පැමිණ මේසයට උඩින් පැන හිමිකරු සිටින තැනට ගොස් මුදල් එකතු කරන්නට විය.

දෙකෝටියකට ආසන්න දෙස් විදෙස් මුදල් මල්ලකට දමා ගත්තේය. එතැන සිටි පුද්ගලයකුගේ රන් දම්වැලක් ද කඩා ගත්තේය. මේ සියල්ල කරන්නට ඔවුන්ට ගත වුයේ විනාඩි එකයි තත්පර 80කි.

නැවත ප‍්‍රධාන දොර ඇරගෙන එළියට ගිය කොල්ලකරුවෝ ඊට දුරක් ඈතින් නවතා තිබූ යතුරු පැදියක නැඟ පලා යන්නට වූහ.

ඒ දුටු නිර්භීත පොලිස් නිලධාරියෙක් ඔවුන් හඹා යන්නට විය. කිඹුලාපිටිය ප‍්‍රදේශයේ දී කොල්ලකරුවන් පොලිස් නිලධාරියා දෙසට වෙඩි තැබුවත් එය වැදුනේ නැත. පොලිස් නිලධාරියා සතුව ඒ අවස්ථාවේ ගිනි අවියක් නොතිබූයෙන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට නොහැකි විය. අතර මඟ නැවතීමට ඔහුට සිදුවිය.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ විය. කොල්ලයේ මුල සිට අගට සීසීටීවී කැමරාවල සටහන් වුවද කොල්ලකරුවන් හෙල්මට් පැළැඳ සිටි නිසා ඔවුන් හඳුනාගත නොහැකි විය.

සැකකාර දේශපාලකයා

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ ඇතුළට ආ කොල්ලකරුවන් දෙදෙනාගේ සහායට තවත් දෙදෙනකු පැමිණ ඇති බවයි. ඔවුන් පළා ගිය යතුරුපැදි දෙකම අතරමග දමා ගොස් තිබිය දී හමු විය.  එම යතුරු පැදි ඊට පෙර සොරා ගත් ඒවා විය. ඒ අසල දමා ගිය හෙල්මට් දෙක ගැන පොලිසියේ අවධානය යොමු විය. ඒවා මිල දී ගත්තේ කොහෙන්දැයි පොලිසිය සොයන්නට විය. ඔවුනට මීගමුවේ කඩයක් හමුවිය. සිද්ධිය වූ  දිනයේ එම හෙල්මට් දෙක අලෙවි කළ ඒවා බව හෙල්මට් කඩයක සේවකයෝ හඳුනා ගත්හ. එහි සීසීටීවී පිරික්සීමට පොලිසිය තීරණය කළේය.

ඒවා බලද්දී පෙනී ගියේ හිස්වැසුම් නොමැතිව යතුරුපැදියකින් ආ පුද්ගලයෙක් හෙල්මට් මිලදී ගන්නා බවයි. කඩය තුළට විත් සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් සහ සාමාන්‍ය හෙල්මට් යන වර්ග දෙකෙන් කුමක් මිලදී ගන්නේ දැයි ඔහු දුරකතන ඇමතුමක් ගෙන විමසන අයුරු ද සීසීටීවී කැමරාවේ සටහන්වී තිබිණි. හෙල්මට් දෙකක් මිලදී ගත් ඔහු එතැනින් පිටව ගියේය.

එම දර්ශන කිහිප වරක් බලද්දී ඔහු ඇඳ සිටි ඇඳුම් දෙස පොලිසියේ අවධානය යොමු විය. එම කමිසයේ පෞද්ගලික ඇඟලූම් කම්හලක නමක් සටහන් විය. වීඩියෝ දර්ශන ද රැගෙන එම ආයතනයට ගිය පොලිසිය එහි බලධාරියකුට වීඞීයෝ දර්ශන පෙන්වීය. උත්සවයක් අවස්ථාවක එවැනි කමිස පිරිසකට බෙදා දුන් බවත්, වීඩියෝවේ සිටින පුද්ගලයා එහි සේවකයකු බවත් කියැවිනි.

ඒ අනුව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ මීගමුවේ විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් ප‍්‍රනාන්දු මහතාගේ රියදුරෙකි. මේ දෙදෙනාගෙන්ම ලැබුණු තොරතුරු අනුව රෝයිස් ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත්තේය. ඒ රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න මුදලක් ද සමගිනි.පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු උප පොලිස් පරීක්ෂකයකු වන රෝයිස් ප‍්‍රනාන්දු මේ කොල්ලයේ සැලසුම්කරු බව පොලිසිය කියයි. කොල්ලය සඳහා සෙසු සැකකරුවන් දෙදෙනා පොළඹවා ඇත්තේ ඔහු බවත්, ඡන්ද වැඩට මුදල් නැති නිසා මෙය කරන්නට ඇති බවත් පොලිසිය කීවේය.

අත්අඩංගුවට ගත් රෝයිස් ප‍්‍රනාන්දු මහතා පැය 72ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කළ පොලිසිය විමර්ශන ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය.

මැතිවරණයෙන් ජය ගෙන පළාත් සභාවට යන්නට සිටි ප‍්‍රනාන්දු මහතාට අවසානයේ යන්නට සිදු වූයේ පොලිස් කූඩුවටය.

විමර්ශන කටයුතු සම්බන්ධව අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අවසානයට පැවසුවේ හෙල්මට් දමාගෙන ආවත්, හෙල්මට් නැතිව ආවත් පොලිසිය විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රජය මේ සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට ද මෙමගින් චෝදනා එල්ල කර තිබිණ. පෙබරවාරි 25 වැනිදා එජාපය නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් විය.

දැන් අපට පෙනී යන කාරණය වන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ සිද්ධිය මගින් රජයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට දේශපාලන වාසි ලබාදීමට උත්සාහ දරන බවකි. මෙය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තනතුර පාලක පක්ෂයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඉතාම නිර්ලජ්ජිත ලෙස පාවිච්චි කෙරුණු අවස්ථාවකි.

රෝයිස් ප‍්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය හරිහැටි ආරම්භ වන්නටත් මත්තෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සලකා බලන විට අපට පෙනී යන්නේ සාධාරණ සහ අපක්ෂපාතී අන්දමට මේ පරීක්ෂණය වේද යන කරුණ සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවය.

 

 
බැංකු කොල්ලය

 

සාධාරණ පරීක්ෂණයක් නොකර මේ හරහා දේශපාලන වාසි ගැනීමට රජය ගන්නා උත්සාහය පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ඉහත කී ප‍්‍රකාශයෙන් පැහැදිලි වෙයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ මෙම දේශපාලන මුහුණුවරක් ගත් ප‍්‍රකාශය මුළු මහත් පොලිස් සේවයටම කැළලක් වන අතර එය රාජ්‍ය සේවයේ සියලූ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් ද වේ.

රාජ්‍ය නිලධාරියකු වශයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කිසිදු පක්ෂයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටිය යුතු අතර වර්තමාන තත්්ත්වය සලකා බලන විට පෙනී යන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා යනු හුදෙක් දේශපාලන හොරණෑවක් පමණක් බවය.” එජාප නිවේදනයේ සඳහන් විය.