මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඉදිරි පාලනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූවා යැයි සිතිය හැකිය. ඒ පාලනයේ ස්වභාවය පිළිබඳව විවේචනයක් කිරීමට තවම කල් වැඩිය. එහෙත් මේ මොහොතේ රට හ මුවේ තිබෙන අභියෝග ජය ගැනීමට එම ප්‍රතිපත්ති රාමුව සුදුසු යැයි බහුතරයක් ජනතාව (ඡන්දදායකයන්ගෙන් සියයට හතළිස් දෙකක පිරිසක්) පිළිගෙන තිබෙන බව අපි හැමෝම දන්නා කාරණයක් ය.
මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කළ යුතු කාරණා කීපයක් තිබෙන බව පැහැදිලිය. එයින් එකක් වන්නේ මේ ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි වී ඇති ආකාරය පිළිබඳව යම් අදහසක් මතු කිරීමය. දෙවැනි කාරණය වන්නේ මීළඟ මහ මැතිවරණයේ දී ජනතාවගේ තීරණය විය යුත්තේ කුමක් දැයි සාකච්ඡා කිරීමය.
ජනපතිවරණයේ සිදුවූයේ කුමක්ද?
රටක ජනාධිපතිවරණයක් යනු ඒ රටේ විධායක පාලනයේ ඊළඟ නියෝජිතයා තෝරා ගැනීමේ තරගය යැයි පිළිගැනීම නිවැරදිය. ඒ අනුව අපේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ඒ ඒ කාලවල නායකයෝ තේරී පත්වී ඇත්තාහ. ඒ නායකයන්ගේ තේරී පත්වීම සමඟ ගැට ගැසුණු ප්‍රධාන කාරණයක් (issue එකක්) තිබුණු බව ද පැහැදිලිය. 1988 ජනාධිපතිවරණය තනිකරම කේන්ද්‍ර කර ගන්නේ එවකට රටේ තිබූ දේශපාලන අර්බුද සහගතභාවය පිළිබඳවය.
1994 ජනාධිපතිවරණය කේන්ද්‍රගත වූයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා නව පාලනයක් ඇති කිරීමය. 2005 ජනාධිපතිවරණයේ දී බලාපොරොත්තු වූයේ උතුරේ හා නැගෙනහිර පැවති ත්‍රස්තවාදී ක්‍රියා නැවැත්වීමය. 2015 ජනාධිපතිවරණයේ දී බලාපොරොත්තු වූයේ ‘‘යහපාලනයක්’’ ගොඩ නැගීමය. 2019 ජනාධිපතිවරණයේ දී මූලික බලාපොරොත්තුව වූයේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමය. මේ එක් එක් සටන් පාඨ හරහා බලයට පැමිණි නායකයන්ගෙන් සමහරුන් තමන් ලබා දුන් පොරොන්දුව ඉටු කළ අතර තවත් සමහරුන් එසේ නොකළහ.
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන සාකච්ඡාමය විෂය (issue) කුමක්දැයි දස දෙනකුගෙන් ඇසුවහොත් උත්තර දහයක් ලැබෙන තරමට සංකීර්ණ තත්වයක් තිබූ බව මගේ අදහසය. සමහරුන් මේ ජනාධිපතිවරණය සැලකුවේ 2022 වර්ෂයේ ගෝඨාභයට එරෙහිව කළ විරෝධතා දේශපාලනයේ ඊළඟ පියවර ලෙසටය. ඒ අදහස දරන අය තමන්ගේ ‘තරග’ සහ ‘වේගය’ පහ කරගන්නට යොදා ගත් උපක්‍රමයක් වශයෙන් මෙවර ජනාධිපතිවරණය සැලකූ බව මගේ අදහසය. මේ තත්වය හේතුවෙන් පවතින ‘‘සිස්ටම් එකම එපා’’ යන අදහසක් වර්ධනය වූ අතර ඒ අදහස සමාජ මාධ්‍ය අවකාශයේ බරපතළ ආකාරයෙන් ගලාගෙන ගියේය. එම ‘‘සිස්ටම් එකම එපා’’ තර්කයේ ප්‍රධාන වාසිය ලැබුණේ ප්‍රධාන ධාරාවේ පක්ෂයක් වශයෙන් මීට පෙර තනිවම පාලන බලයක් ලබා නොසිටි ජ.වි.පෙ. මුල් කරගත් දේශපාලන ව්‍යාපෘතියට බව මගේ කියවීම්ය.
අනෙක් අතට මෙවර ජනාධිපතිවරණයේ එක් ප්‍රධාන තවත් කාරණයක් වන්නේ පක්ෂයකට අයත් නැති ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව ඡන්දදායක ප්‍රතිශතයෙන් බහුතරය බවට පත්වී ඇති බවය. මේ තත්වය 2019 ගෝඨාභය මහතාගේ ඡන්දය අවස්ථාවේදීත් පෙන්නුම් කරමින් තිබූ එකක්ය. බයිබලයේ එන පරණ කතාවක තිබෙන පරිදි ‘‘පොරොන්දු දේශයක් සොයා ඉතිහාසය පුරා ගමන් කරනා කණ්ඩායමක්’’ මෙන් මෙරට ඡන්දදායකයන් අතරින් සැලකිය යුතු කණ්ඩායමක් ‘‘ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් ගමන් කරමින්’’ සිටින බව පැහැදිලිය. මේ අය අතර සිටින සමහරුන් රටේ ප්‍රගමනයට කිසිදු ආකාරයකින් දායක වුවෝ ද නොවන බව මගේ නිරීක්ෂණයයි. මේ පිරිස 2019දී පොහොට්ටුවේ නැවතුණු අතර මෙවර මාලිමාවේ නැවතුණෝය. ඊළඟ මැතිවරණයක දී තවත් තැනක නැවතීමේ ඉඩක් සහිත මේ සාධකය මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක බලපෑමක් කළ කණ්ඩායම යැයි සිතීම නිවැරදිය.
තුන්වෙනුව මෙවර ජනාධිපතිවරණයේ දී සමාජය තුළ සංවාදයේ පාර්ශ්වකරුවන් බවට පත් වූයේ ආණ්ඩුව සහ විපක්ෂය යන ප්‍රතිපක්ෂ දෙක නොව විපක්ෂයේම කොටස් දෙකක් වීම ඉතාමත් තීරණාත්මක් තත්වයක් නිර්මාණය කළ බව මාගේ අදහසය. මෙවර ආණ්ඩුව පැත්ත දැරුවේ රනිල් සහ පොහොට්ටුවේ පක්ෂ කීපයයි. ස.ජ.බ සහ ජා.ජ.බ. යනු විපක්ෂයේ කණ්ඩායම් දෙකක් මිස ආණ්ඩුවයි. විපක්ෂයයි යන අකාරයේ දෙපැත්තක් නොවේ. එහෙත් හේතු දෙක් නිසා සමාජය තුළ වර නැගුණේ ප්‍රධාන ධාරාවේ මෙතෙක් ආණ්ඩුව භාරව නොසිටි පක්ෂ තව පැත්තකටත් යන ආකාරයෙන්ය. මේ අනුව මෙවර ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ජා.ජ.බ. වෙතට ලැබී ඇති අතර ඒ අයගේ ආර්ථික/දේශපාලනික ප්‍රතිසංස්කරණ කවරේ දැයි නිරීක්ෂණය කරමින් සිටින තැනකට අපි පැමිණ සිටින්නෙමු.
නව ආණ්ඩුවේ එක් ක්‍රියාකාරකමක් පිළිබඳව වචනයක් කිව යුතු යැයි සිතේ. පසුගිය දිනක රූපවාහිනී මගින් පෙන්නු පරිදි ‘‘ආණ්ඩුවේ වාහන තොගයක් ගෝල්ෆේස් එකේ නවත්වා’’ කළ ප්‍රචාරය වැනි දේවල් මගින් කියන්නට උත්සාහ ගන්නේ කුමක් දැයි මට නම් තේරෙන්නේ නැත. එයින් කියවෙන්නේ ‘‘ආණ්ඩුවේ කාර්යාලවල වාහන තිබෙන බවත්, ආණ්ඩු මාරු වන විට ඒ වාහන පාවිච්චි කළ අයගේ රැකියා නිමාවන්නේ නම් ඒ වාහන නැවත අදාළ කාර්යාලයට බාර වන බවත්’’ වැනි කාරණයක්ය. සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වාහන ඊළඟ ආණ්ඩුවේ නිලධාරීන් පාවිච්චියට ගැනීමය. ඊළඟ ආණ්ඩුව එම නිලයන්ට (ජනාධිපති උපදේශකවරුන්/ ඇමැති උපදේශකවරුන් වැනි) අලුතින් පත් කිරීම් කරන්නේ නැතිනම් එම වාහන වෙනත් වැඩකට යොදා ගැනීම නිවැරදිය. එසේ කරන්නේ නැතිව වාහන ගාල් කර රටට පෙන්වීම වනාහි ආණ්ඩුවක් ගැනීමට පෙර හුදු ප්‍රචාරණය පිණිස කියන දේශපාලන අලංකාරික ආණ්ඩුවක් ගැනීමෙන් පසුවත් කීමක් වැනි දෙයක් පෙන්නා සිටීමය.
තවත් සමහරුන් මේ වාහන පෙන්වමින් කියන්නේ ඒවා මන්ත්‍රීවරුන්ට රජයෙන් ලබාදුන් ඒවා බවය. මා දන්නා පරිදි මන්ත්‍රීධුරයට රජයෙන් හෝ වෙනත් තැනකින් කිසිදු වාහනයක් ලැබෙන්නේ නැත. එවැනි ප්‍රචාරවලින් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියට වැරදි අර්ථකතනයක් ලැබීමය.
මහ මැතිවරණය කොයිබට ද?
මීළඟ වැදගත් කාරණය වන්නේ එළඹෙන මහ මැතිවරණය අපි යොදා ගත යුත්තේ කුමන කාරණයට ද යන්නය. මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර මහ මැතිවරණ ප්‍රකාශයට පත් කර ඇත.
මේ මැතිවරණයේ දී එක පැත්තකින් ඉදිරිපත් වන ඉල්ලීමක් වන්නේ තුනෙන් දෙකක බලයක් විධායක ජනාධිපතිවරයාගේ වැඩසටහනට ලබා දෙන ලෙසය. මම සිතන්නේ මේ මහ මැතිවරණය පාවිච්චි කළ යුත්තේ විධායක බලය තුලනය කළ හැකි ආකාරයට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් විපක්ෂය ඇතුළු පළල් දේශපාලන යාන්ත්‍රණයට ලබා දිය යුතු බවය. විධායකයේ තීරණ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ සහය අවශ්‍ය බව සැබෑවක්ය. එහෙත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය යනු අති විශාල බලයක් නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් විධායකය වෙතට ලබාදීම සුදුසු ද යන්න විචාරශීලීව කල්පනා කළ යුතු බව මගේ අදහසය.
ඒ නිසා මගේ මේ සතියේ කිවිදා දැක්ම වන්නේ ශක්තිමත් ව්‍යවස්ථාදායකයක් ගොඩ නගන්නට තුලනාත්මක බලයක් පාර්ලිමේන්තුව තුළින් ගොඩ නගමු යන්නය.
(*** මහාචාර්ය චරිත හේරත්)