ජිනීවා යෝජනා, උතුරු පළාත් සභා මැතිවරණය, වර්ගවාදී ප‍්‍රවණතා හා සංචාරක ව්‍යාපාරයේ අනිටු විපාක සම්බන්ධයෙන් මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යි. |
යුද්ධය නිමාවීමෙන් පසුව රාජ්‍යක් හැටියට අප එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ජාත්‍යන්තරයටත් පොරොන්දු කිහිපයක් දුන්නා. එය ප‍්‍රසිද්ධියේ සිදුවූ රාජ්‍යතාන්ත‍්‍රික ගනුදෙනුවක්. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකාව විසින් මතු කරනු ලබන යෝජනාවල තර්කය තිබෙන්නේ එතැනයි. මෙම යෝජනාවලිය දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙස ඉදිරියට ගලාගෙනයාමට නියමිතයි. විචාරශීලී වුවහොත් පාරාවළල්ලකින් වුවත් වැඩක් ගත නොහැකි ද?
![]() |
![]() |
ඒකට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නෑ. යුද්ධය අවසන් වූ පසුව අත්‍යවශ්‍ය තීරණාත්මක හැරවුමක් ගතයුතුව තිබුණත් ආණ්ඩුව එය ගැනීමට අසමත් වුණා. ආණ්ඩුව උඩගුභාවයෙන් මැතිවරණ පවත්වමින් ව්‍යවස්ථා සංශෝධනය කරමින් ජනපති ධුරයේ කාල සීමා දීර්ඝ කරමින් යුද්ධයෙන් පසුව ඔවුන් සිය කාලය මුළුමනින්ම යෙදෙවුවේ බලය සඳහා ක‍්‍රියාත්මකවීමට පමණයි. එනිසා එවැනි හැසිරීමක නිරත ආණ්ඩුවක් කිසිසේත්ම අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් ආරක්ෂා කිරීමට සූදානම් නෑ. වර්තමාන ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම යනු මුළුමනින්ම මාධ්‍යවල ගොඩනැගූ ප‍්‍රතිරූපයක් පමණයි. එය කිසිසේත්ම යථාර්ථය නොවේ. සුබදායී දිශාවකට යන්නට ඉඩක් තිබුණත් ඒ සඳහා ශඛ්‍යතාවයක් ආණ්ඩුවට නෑ. මේක තනිකරම අවිචාරශීලී ආණ්ඩුවක්.
තමිල්නාඩුවේ විනාශකාරී දේශපාලනය ඉදිරියේ ඉන්දීය මධ්‍යම රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ජ.වි.පෙ චෝදනා කරනවා. එහෙත් රටක් හැටියට යුද්ධයේදී මෙන්ම යුද්ධයෙන් පසුවත් ඉන්දියාව දුෂ්කර අවස්ථාවලදී අප සම`ග සිටියා. විශේෂයෙන්ම ජිනීවාවලට ඉදිරිපත් වන යෝජනා සංශෝධනය කිරීමට උත්සාහ ගත් අතරේ කරුණානිධිගේ ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළා. අසල්වැසි ඉන්දියාව සම්බන්ධයෙන් අප මැදිහත්ව සිතිය යුතු නොවේ ද?
ඔව්. ඉන්දියාව අතිශය වැදගත් තීරණාත්මක අවස්ථාවලදී ලංකාවට පක්ෂපාතීව හිටියා. ඒ වගේම ඉන්දියානු රජයේ මූලික වුවමනාවක් තිබෙනවා. ඒක තමයි අපේ රටේ ආර්ථිකය ගිලගැනීම. මේ වනවිටත් අපේ රටේ ආර්ථිකයේ විශාල පදාසයක් ඉන්දියාව ගිලගෙන තිබෙනවා. ඕනෑම රටක් තව රටක ආර්ථිකය ගිලගත්තාට පසුව ඒ රට අපේක්ෂා කරන්නේ ගිලගත් ප‍්‍රමාණය ආරක්ෂා කරගන්නත් වර්ධනය කරගන්නත්. ඊට එම රටේ දේශපාලනය වැදගත්. එනිසා ඉන්දියාව ඒ දේශපාලන වුවමනාව වෙනුවෙන් තමයි යුද්ධ කාලයේත් යුද්ධයෙන් පසුවත් ලංකාව කෙරෙහි කටයුතු කරමින් තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුව ඉන්දියාව සමග රාජ්‍යතාන්ත‍්‍රිකභාවයකින් කටයුතු කරනවා වෙනුවට උත්සාහ කළේ දොලපිදේනි දීම හරහා මෙහෙයවාගන්නයි. කන්කසන්තුරේ වරායේ පලාලි ගුවන් තොටුපලේ යාපනේ දොරෙයිඅප්පා ක‍්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඕමන්තේ සිට වව්නියාව දක්වාත් මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වාත් දුම්රිය මාර්ගය ඉදිකිරීම් කටයුතු දුන්නේ ඉන්දියාවටයි. ත‍්‍රිකුණාමලය නැගෙනහිර ප‍්‍රදේශයේ ආර්ථික කලාපයක් හදලා එහි පාරම්පරික දෙමළ ජනයා අවතැන් කරලා ඒ ඉඩම් ටික දුන්නේ ඉන්දියාවටයි. ඒ වගේම කොළඹ මාතර අධිවේගී මාර්ගය කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හදන්න දුන්නේත් ඉන්දියාවටයි. නමුත් ඉන්දියාව පැහැදිලි න්‍යාය පත‍්‍රයක සිටිනවා මෙරට ආර්ථිකයේ ඔවුන්ගේ පංගුව ලොකු කරගැනීමට හා මෙරට ඔවුන්ට පාලනය කළහැකි ආකාරයේ දුබල සංධීය රාජ්‍යක් බවට පත්කරගන්නට. ඉතින් සැබෑව නම් ඔවුන් කටයුතු කරන්නේ හොඳින් සැලසුම් කරන ලද න්‍යාය පත‍්‍රයකට අනුවයි.
උතුරු පළාත් සභා මැතිවරණයේ දැඩි අවශ්‍යතාව ජිනීවාහිදී ජපානය පවා අවධාරණය කළා. මේ අතර ලබන සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නට යාම ඇමෙරිකාව අගය කරද්දී ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ සිදුව ඇත්තේ ඉස්සරහ දොරෙන් ප‍්‍රතික්‍ෂේප කළ දෙයක් පස්සා දොරෙන් පිළිගැනීම හා සමාන ක‍්‍රියාවක් බවයි. උතුරු පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ජවිපෙ දකින්නෙ කෙසේද?
ඒ මහත්තුරු කියන දේවල් නම් ඒ තරම් ගණන් ගතයුතු නෑ. ඔවුන් නියෝජනය කරන දේශපාලන ප‍්‍රවාහය කුමක්දැයි අද රටම දන්නවා. ආණ්ඩුව මහා පරිමාණ ලෙස ණය ගනිද්දී කිසිදු ප‍්‍රයෝජනයක් නැති මහා සංදර්ශන ව්‍යාපෘති සකසද්දී ඔවුන් මුනිවත රකිනවා. ආණ්ඩුවේ මහා වංචා දුෂණ සම්බන්ධයෙන් කටක් අරින්නේ නෑ. රටේ ඉඩම් සම්පත බහුජාතික කොම්පැනිකාරයන්ට විකුණනකොට කට අගුලූ දාලා. ඉතින් එහෙම අයගේ ප‍්‍රකාශ නම් ඒ තරම් වැදගත් නෑ. අප හිතන්නේ පළාත් සභා මෙම ප‍්‍රශ්නයට කිසිසේත්ම විසඳුමක් නොවන බවයි. මැතිවරණ පැවැත්වීමෙන් හෝ පළාත් සභාවක් ගොඩනැගීමෙන් දෙමළ ජනයා මුහුණ දී සිටින ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබේ යැයි අප විශ්වාස කරන්නේ නෑ. පළාත් සභා ව්‍යවස්ථාවට අනුව අනෙක් පළාත් සභා පවත්වා ඇති බැවින් උතුරේ ජනයාටත් සිය පළාත් සභාවට නියෝජිතයන් පත්කරගන්නට අවස්ථාව හිමි විය යුතුයි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධාන යෝජනා හෝ ඇමෙරිකන් එක්සත් ජනපදය කියන නිසා නොවේ. දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා නිදහස ශක්තිමත් කිරීම එහි අභිලාශය බවට පත්විය යුතුයි. නමුත් ආණ්ඩුව දැනටමත් ඒ පළාත්වල මැතිවරණ පවත්වන්නට සූදානම් වී තිබෙන්නේ අනෙකුත් දේශපාලන ව්‍යාපාරවලට සියලූ තිර වසාදමායි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරිත්වයට අවස්ථා ගණනාවකදීම බාධා පැමිණුනා. සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට පහරදීමක් ද සිදුවුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට පහරදීලත් කිසිදු කෙනෙක් අත්අඩංගුවට ගෙන නෑ. ඒ වගේම තමයි දෙමළ ජාතික සන්ධානයට එම පළාතේ නිදහසේ දේශපාලනය කරන්නට ඉඩකඩ දෙන්නේ නෑ. එනිසා ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින්නේ දෙමළ ජනයා එළිමහන් සිරකඳවුරක් තුළ තබාගෙන බලය අත්පත් කරගන්නටයි.
පසුගියදා ආරම්භ වූ හලාල් විරෝධී ව්‍යාපාරය ගැන යමක් කිව හැකිද?
අප ජාතිවාදී, ආගම්වාදී, මූලධර්මවාදී සියලූම ප‍්‍රවණතාවයන්ට විරුද්ධයි. අප පෙනී සිටින්නේ ජාතින් ආගම් අතර සමගිය සංහිඳියාව ඇතිකරන්නටයි. එහෙත් ආණ්ඩුවට ප‍්‍රධාන වුවමනා දෙකක් තිබෙනවා. මේ පාලනය තවදුරටත් පවතින්නේ සිංහල බෞද්ධ ලේවලට ආමන්ත‍්‍රණය කිරීමෙන් පමණයි. ඉන් එහා යන ආර්ථික සමාජීය වැඩපිළිවෙළක් හරහා මේ රටේ ජනයා දිනාගැනීමේ හැකියාවක් ඊට නෑ. එනිසා මෙවැනි උද්වේගකර පරිසරයක් ගොඩනැගීමේ දේශපාලන වාසිය දිනාගන්නට ආණ්ඩුවට පුළුවන්. අනෙක් කාරණය තමයි සැබෑ ප‍්‍රශ්න යටකරමින් වෙනත් ප‍්‍රශ්න මතුකිරීම. අධ්‍යාපනය කඩාවැටීම පිළිබඳ ප‍්‍රශ්න, ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කිරීමේ කටයුත්ත, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම හා දිනෙන් දින ඉහළ යන රටේ ණය කන්ද ආදී මහා ගැටලූ අමතක කර වෙනත් ගැටලූ නිර්මාණය කිරීමේ වාසිය යන්නෙත් ආණ්ඩුවට. එනිසා මෙම ප‍්‍රවණතාව ඉදිරියේ විටෙක ආණ්ඩුව මුනිවත රකිමින් ද තව විටෙක සෘජුව දායකත්වය සපයමින් ද වර්ගවාදය වර්ධනයට පෝෂණයට ඉඩකඩ ලබා දී තිබෙනවා. මෙය මුළුමනින්ම ආණ්ඩුව විසින් සිය දේශපාලන වුවමනාව වෙනුවෙන් හසුරුවන හා ඒ මතවාදය නියෝජනය කරන ප‍්‍රවණතාවයක්. එය කිසිසේත්ම මෙරට අනාගතයට හිතකර තත්ත්වයක් නොවේ. ඉතාමත් බිහිසුණු තැනට එය අද වර්ධනය වී තිබෙනවා. එනිසා අප මෙරට සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි ජාතිවාදී පිල්ලිවලට හසු නොවී ජාතික සමගිය හා සිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙළගැසිය යුතු බවයි. මෙම ප‍්‍රවණතාව ආරම්භයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කිරීම සඳහා වැඩසටහන් රැසක් පැවැත්වුවා. තවත් ක‍්‍රියාමාර්ගවලට ඉදිරියේදී අවතීර්ණවන්නට ද නියමිතයි.
එහෙත් මහ පාරේ මෙන්ම සයිබර් අවකාශයේ ද මෙම ප‍්‍රවණතාව සමග ආකර්ශනීය ලෙස ජනතාව අත්වැල් බැඳගන්නා ආකාරයයි අප නම් දකින්නේ?
ඕවට කිසිදු සමාජ ඓතිහාසික පදනමක් නෑ. මහා කාලයක් පවතින බලවේග නෙවෙයි. එනිසා ඕවා කෙටිකාලීන රැලි. එනවා යට යනවා. මීට කලිනුත් ඔය වගේම දස රාජ ධර්මය මූලික කරගෙන ව්‍යාපාර ගොඩනැගුණා. බණ දේශනා කරන ජනප‍්‍රිය ස්වාමීන් වහන්සේලා රැසක් එම බලවේගයට පෙළගැසුණා. අද ඒ කවුරුවත් දකින්නට නෑ.
පාර්ලිමේන්තුවෙන් හෝ මහජන උපයෝගිතා කොමිසමෙන් නොවිමසා දේශපාලන බලය පාවිච්චි කර කැසිනෝ රජවරු මෙරටට ගෙන්වන්නේ යැයි ඔබ පක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා. එහි පදනම කුමක්දැයි විමසනවා. ඇත්තෙන්ම සංචාරක ක්‍ෂේත‍්‍රය ඉලක්ක කරගනිමින් ආර්ථිකය මෙහෙයවන රටක් හැටියට මෙවැනි නව ආකාරයේ ඉපැයීම් ස්වාභාවික හා උපායමාර්ගික නොවේද? ඇයි ඒ දෙස වපරැසින් බලන්නේ?
ජනාධිපතිවරයා දිගින් දිගටම දේශපේ‍්‍රමීත්වය ගැන කතා කළත් අවසානයේ සිද්ධවෙන්නේ කැසිනෝ ආර්ථිකයක් බිහිවීමයි. පාර්ලිමේන්තුවෙන් හෝ මහජන උපයෝගිතා කොමිසමෙන් නොවිමසා දේශපාලන බලය පාවිච්චි කර කැසිනෝ රජවරු මෙරටට ගෙන්වනවාට වඩා අපේ විරුද්ධත්වය එයටයි. ඔබ කියූ ලෙසටම මේ ආණ්ඩුවේ උපායමාර්ගිකවම ආදායම් මාර්ගය බවට පත්ව තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය බව ඇත්ත. ඒත් ඔබ හිතන්න ආණ්ඩුව විවිධ වරදාන පහසුකම් දෙමින් බදු මුළුමනින්ම ඉවත් කරන ලද හෝටල් ඉදිකරමින් විශාල මාධ්‍ය ප‍්‍රචාරක ව්‍යාපෘති ගෙනයමින් සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනයට කෑ මොර දුන්නත් අවසානයේ මොකද්ද සිදු වී තිබෙන්නේ? සංචාරක ව්‍යාපාරයේ මුළු ආදායම බිලියන 1 යි. බිලියන පහමාරක් උපයාගෙන තිබෙන්නේ අපේ රටේ කාන්තාවන් පිටරට යවලා හම්බකරන මුදලෙන්. එනිසා සැබැවින්ම මහා ප‍්‍රචාරක ව්‍යාපෘතින්ට වැය කරන ලද වියදමයි සංචාරක ව්‍යාපාරය මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අතරෙයි මහා පරස්පරයක් තිබෙනවා. ඒ වගේම තමයි කිසිදු රටක් තමන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත්කරගැනීම වැරැදියි. එය අතිරේක ව්‍යාපාරයක් හැටියට තමයි පවත්වාගත යුත්තේ. අපේ රටේ ප‍්‍රධාන ආර්ථික උපායමාර්ගය බවට පත්කරගත යුත්තේ නිෂ්පාදනය වැඩිකිරීමයි. කර්මාන්ත නිෂ්පාදන ක්‍ෂේත‍්‍ර ආණ්ඩුව මුළුමනින්ම කඩාවට්ටලා තිබෙන්නේ. කෘෂිකර්මාන්තයට මහා දායකත්වයක් දුන්න වැව් පද්ධතිය සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් බදු දෙන්න පත්තරවල දැන්වීම් පළකරමින් යන්නේ. ඒ විදියටම සී ප්ලේන් ගොඩබස්සන්න සමාගම්වලින් ටෙන්ඩර් කැඳවලා තිබුණා. වැව් ලස්සන කිරීමේ ව්‍යාපෘතියක් පටන් අරන් වැවේ තිබුණු ස්වාභාවික ගතිය මුළුමනින්ම මකලා විකෘති කරන ලද වැව් කණ්ඩි ඉදිකරලා. ඒ වගේම තමයි පහුගිය කාලේ අපේ රටට ආවේ සාමාන්‍යයෙන්වත් වියදම් නොකරන තුට්ටු දෙකේ සංචාරකයෝ. ඉතින් කැසිනෝහල් වේවා, මහා පරිමාණ හෝටල් වේවා, නිරුවත් වෙරළ තීර වේවා ඕවට බිලිවෙන්නේ අපේ රටේ ගම්වල සිටින අහිංසක අම්මලා තාත්තලාගේ දුවා දරුවන් බව නම් නොකියාම බෑ.
කැසිනෝ ආර්ථිකයකට රට යනවා යැයි ඔබ කීවත් ඒවාට විරුද්ධ දේශපාලන පක්ෂත් මේ ආණ්ඩුවේ ඉන්නවානේ. ඔබ කියන විදියට මෙවැනි දුර්දාන්ත වැඩක් නම් වෙන්නට යන්නේ ඔවුන් නිහඩව සිටීවි ද?
ඉතින් කැසිනෝ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නත් අත ඉස්සුවේ ඔය අයම තමයි. ඔවුන්ගේ ව්‍යාජභාවය තව තවත් හෙළිදරව් වී ඔවුන් සැබෑ සංස්කෘතික නියමුවන් නොවන බව තමයි මෙම සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ. ඔවුන්ගේ කතා තුළ ඇත්තේ සිය බලය වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීම සඳහා පාවිච්චි කරන ලද සාහිත්‍යමය පාඨ විනා ඒ ඔවුන්ගේ සැබෑව නෙවෙයි. මේ හෙළිදරව්වෙමින් තිබෙන්නේ ඔවුන්ගේ සැබෑ නිරුවතයි.
ජනතා විමුක්ති පෙරමුණේ 42 වැනි අපේ‍්‍රල් විරු සමරුවට තව දින හතරයි. මෙවර එහි සංවිධාන කටයුතු සිදුවන්නේ කෙසේද?
42 වැනි අපේ‍්‍රල් විරු සමරුව මෙවර කුරුණෑගලදී පවත්වන්නට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා. අප හිතනවා මේ රටේ වෙනස් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් හා උස් නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමින් උත්තරීතර ආදර්ශ අපට දී තිබෙන්නේ ඔවුන්. විශේෂයෙන්ම පුද්ගල පරමාර්ථ අහස උසට වණන සමාජයක් තුළ තව තවත් තමන්ගේ ගොඩ තරකරගැනීම හා තව තවත් ජීවිතයේ එකම සුඛ විහරණය වෙනුවට පොදු වුවමනාවන් වෙනුවෙන් සිය අමිල ජීවිතය වුවත් පරිත්‍යාග කරන්නට සූදානම් බව ඔප්පු කරන ලද වීරවරියන් හා වීරවරුන්. එනිසා ඔවුන් හැමදාමත් අපේ රටේ ඉතිහාසයේ ජීවමාන වේවි. අපට වැඩි වැඩියෙන් ජවය ජීවය සපයාවි.
සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ