මුදල් මුද්‍රණය පසුවිපරමක්


ශ්‍රී ලංකාවේ ජනවහර තුළ ‘මුදල් මුද්‍රණය’ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අලු‍තෙන් මුදල් ආර්ථිකයට එකතු කිරීමයි. ආර්ථික කටයුතු ප්‍රසාරණය වීමත් සමඟ වැඩිවන ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට ආර්ථිකයට මුදල් සපයන ප්‍රමාණය වැඩි කිරීම අවශ්‍ය වේ.

එහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් මුද්‍රණය ආර්ථිකයට හානිකර වේ. ඒ, විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් හඹා යාම මගින් භාණ්ඩ මිල විශාල ලෙස වැඩි වී ආර්ථික කටයුතු අස්ථාවර කරන බැවිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ආර්ථිකයට නව මුදල් සපයන ක්‍රම කිහිපයක් තිබේ. ඉන් එක් ප්‍රධාන ක්‍රමයක් වනුයේ මහ බැංකුව මගින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හරහා ආර්ථිකයට මුදල් සැපයීමයි. 2023 වසරට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් විශාල වශයෙන් මිලදී ගනු ලැබිණි. ඒ රජයේ අයවැය මූල්‍යනය කිරීම සඳහායි. එහෙත් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් මුද්‍රණය කිරීම මුළුමනින්ම සීමා කරන ලදී. 2023 වසරේ සිට ක්‍රියාත්මක වන ජා.මූ. අරමුදල සමඟ වැඩසටහනට සමගාමීව සිදුවන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය මගින් රාජ්‍ය මූල්‍ය අංශය ශක්තිමත් වීම හේතුවෙන් මුදල් මුද්‍රණයෙන් රජයේ අයවැය මූල්‍යනය කිරීමේ අවශ්‍යතාවක්ද ඇති නොවීය.

 

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීම

වර්තමානයේදී මහ බැංකුවේ කටයුතු මහ බැංකු පනතට අනුව සිදුවන අතර 1949 වසරේ සිට ක්‍රියාත්මක වූ මුදල් නීති පනත, මහ බැංකු පනත හඳුන්වාදීමත් සමඟ අවලංගු විය. මෙම නීති වෙනස් කිරීමේ මූලික අරමුණ වූයේ මහ බැංකුවේ ස්වාධීනත්වය සහ වගවීම වැඩිදියුණු කිරීමත්, එමගින් රටේ ආර්ථික කටයුතු සහ ජනතාවගේ සුබසාධනය වැඩිදියුණු කිරීමත්ය. මහ බැංකු පනත හරහා මහ බැංකුව මගින් රජයේ අයවැය මූල්‍යනය මුළුමනින්ම සීමා කරන ලදී.

දේශපාලන බලාධිකාරයෙන් ‘මුදල් මුද්‍රණය’ කිරීමේ කාර්යය වෙන් කර තැබීම සඳහා රටකට ස්වාධීන මහ බැංකුවක් අවශ්‍ය වේ. රාජ්‍ය පාලන චක්‍රය කෙටිකාලීන වන බැවින් ඡන්දයෙන් තේරී පත්වන දේශපාලන නායකයන් නැවත බලයට පත්වීමේ අවස්ථාව ඉහළ නංවා ගැනීම සඳහා වැඩි මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත නිකුත් කර ඒ හරහා කෙටි කාලීනව ආර්ථිකයට මූල්‍ය උත්තේජන මෙන් ආර්ථිකයේ යම් වර්ධනයක් ඇති කිරීමට පෙළඹේ. කෙසේ වෙතත්, එවැනි තාවකාලික ආර්ථික වර්ධනය හරහා ඇතිවන පිරිවැය මැදි හා දිගු කාලීනව බෙහෙවින් හානිකර විය හැකිය. නිදසුනක් වශයෙන්, අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් මුද්‍රණය කිරීම මගින් හුදෙක් මිල මට්ටම් වැඩි වී එමගින් ආර්ථිකය අස්ථාවර විය හැකිය. මෙවැනි තත්වයක් පසුගිය ආර්ථික අර්බුදයේදී ද ශ්‍රී ලංකාවට අත්විඳීමට සිදුවිය.

 

මහ බැංකුව මගින් රජයේ අයවැය මූල්‍යනය කිරීම මුළුමනින්ම සීමා කිරීම

අහිතකර ලෙස ඉහළ උද්ධමනයක් ඇති කිරීමට හේතුවන බැවින්, මහ බැංකුව විසින් රජයේ අයවැය මූල්‍යනය කිරීම රජයන්ට සහ මහ බැංකුවලට එරෙහිව එල්ලවන ප්‍රධාන විවේචනයකි. මෙය රාජ්‍ය මූල්‍ය විනය සහ මහ බැංකුව රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යයට යටත් වීම පිළිබඳ ගැටලු‍වක්ද වේ. මහ බැංකු පනත මගින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් මහ බැංකුවට රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම හරහා මහ බැංකුව මගින් රජයේ අයවැය මූල්‍යනය කිරීම තහනම් කර ඇත. කෙසේ වෙතත්, රජයේ මුදල් ප්‍රවාහයට සහාය වීමේ ක්‍රමයක් වශයෙන් මහ බැංකුව විසින් රජයට මුදල් අත්තිකාරම් ලබා දීම සීමා සහිතව සිදු කළ හැකිය. රජයේ ආදායම් රැස් කිරීම අඩු මට්ටමක පවතින වසර ආරම්භයේදී මහ බැංකුව විසින් රජයට ලබා දෙන එවැනි තාවකාලික අත්තිකාරම් සඳහා තවමත් මහ බැංකු පනත යටතේ අවසර දී ඇති නමුත් එය මුදල් නීති පනත යටතේ ලබාදිය හැකිව තිබූ ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රමාණයක් වන අතර සහ කෙටි කාලයක් සඳහා වේ.

එනම් අවලංගු කරන ලද මුදල් නීති පනත යටතේ, යම් මූල්‍ය වර්ෂයක් සඳහා රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට 10ක් නොඉක්මවන පරිදි ඍජු තාවකාලික අත්තිකාරම් පොලී අයකිරීමකින් තොරව රජයට ලබා දීමට මහ බැංකුවට අවසර ලැබී තිබුණු අතර මෙලෙස ලබාදුන් අත්තිකාරම් නැවත ගෙවීමක්ද සිදු නොවුණි. කෙසේ වෙතත්, මහ බැංකු පනත යටතේ ලබාදිය හැකි තාවකාලික අත්තිකාරම් ප්‍රමාණය සීමිත වන අතර, එලෙස ලබාදෙන අත්තිකාරම්, පෙර මුදල් වර්ෂයේ පළමු මාස හතරේ රජයේ ආදායමෙන් සියයට 10 නොඉක්මවිය යුතු අතර ඒ සඳහා එකඟවන පොලියක් ගෙවීමටද රජය බැඳී සිටී. තවද, මහ බැංකු පනතට අනුව රජය විසින් එවැනි ශේෂයන් මාස 6ක් ඇතුළත පියවිය යුතුය.

 

මුදල් මුද්‍රණය සිදුවන ආකාර

මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළ පරිදි ‘මුදල් මුද්‍රණය’ යනු මහ බැංකුව විසින් ආර්ථිකයට නව මුදල් ලබාදීමේ ක්‍රියාවලියයි. එලෙස රජයේ අයවැය හිඟය මූල්‍යනය කිරීමට (වර්තමානයේ මුළුමනින්ම සීමා කර ඇති), මහ බැංකු මෙහෙයුම් සිදු කිරීමට, හෝ ආර්ථිකයේ සමස්ත ගනුදෙනුවල වටිනාකමට සරිලන පරිදි නව මුදල් සැපයිය හැකි අතර, මෙම නව මුදල් බැංකු පද්ධතිය හරහා ආර්ථිකයට ගලා එනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවට දේශීය වත්කම් හෝ විදේශීය වත්කම් එකතු කර ගනිමින් ආර්ථිකයට නව මුදල් නිකුත් කළ හැකිය.

රජයේ අයවැය මූල්‍යනය කිරීමේ අරමුණින් මහ බැංකුව මුදල් මුද්‍රණය නොකළද, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය සහ අනෙකුත් මෙහෙයුම් සඳහා මුදල් මුද්‍රණය කරයි. බලපත්‍රලාභී බැංකුවලට හදිසි අරමුදල් ණය ලබාදීම, විවට වෙළෙඳපොළ කටයුතු කිරීම, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම සඳහා මුදල් සැපයීම සහ මහ බැංකුවේ මෙහෙයුම් වියදම් සඳහා මුදල් සැපයීම මෙම කටයුතු යටතට ඇතුළත් වේ. එවැනි ක්‍රම හරහා මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රධාන ආකාර රූප සටහන 1 හි දක්වා ඇත.

මුදල් මුද්‍රණය මැනීම සඳහා එක් ප්‍රධාන දර්ශකයක් වන්නේ සංචිත මුදල්වල සිදුවන වෙනස් වීමයි. සංචිත මුදල්වල වගකීම් අංශය සමන්විත වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාසි හා නෝට්ටු, සහ වාණිජ බැංකු මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන තැන්පතු වලින්ය. සංචිත මුදල්වල වත්කම් අංශය ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම්වලින් සමන්විත වේ. 2021 වසරේදී ඉතා විශාල වශයෙන් දේශීය වත්කම් මිලදී ගැනීම හරහා මුදල් මුද්‍රණය සිදුවූ බැවින් සංචිත මුදල් ප්‍රමාණය විශාල වශයෙන්, එනම් රුපියල් බිලියන 341කින් පමණ වැඩිවිය.

 

රජයේ අයවැය හිඟය මූල්‍යනය කිරීම සඳහා මුදල් මුද්‍රණය කිරීම

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ රජයේ හදිසි වියදම් පියවා ගැනීම සඳහා ප්‍රාථමික වෙළෙඳපොළෙන් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් මෙන්ම රජයේ සුරැකුම්පත් විශේෂ මිලදී ගැනීම් හරහා රජයට අරමුදල් සැපයීමට මහ බැංකුවට සිදු විය. සැලකිය යුතු ප්‍රමාණවලින් අඛණ්ඩව රජයේ අයවැය හිඟය මූල්‍යකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2020 වසරේ මුල් කාලයේ සිට මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගයද සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෑත වසරවලදී පැවති ඉහළ උද්ධමනය සඳහා මෙම ක්‍රියාවලියද දායක විය. කෙසේ වෙතත්, මහ බැංකු පනත බලාත්මක වීමත් සමඟ, රජයේ අයවැය හිඟය මූල්‍යනය සඳහා මුදල් මුද්‍රණය කිරීම සිදු නොවීය. ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිදු කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල සහාය සහ රාජ්‍ය මූල්‍ය විනය වැඩිදියුණු වීමත් සමඟ රජය සිය ආදායම වැඩිදියුණු කරගන්නා ලදී. ඒ අනුව, 2023 වසරේදී රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව සියයට 54කින් පමණ වැඩිවුණු අතර, 2024 වසරේ පළමු මාස හත තුළ රාජ්‍ය ආදායම 2023 වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 42කින් පමණ වැඩිවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය පහත වැටුණි. ඒ අනුව, මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් කල්පිරීමේ දිනයන් අනුව, මහ බැංකුව සතු සම්පූර්ණ භාණ්ඩාගාර බිල්පත් තොගය 2024 සැප්තැම්බර් මාසයේදී අවසන් විය.

මහ බැංකුව විසින් රජයේ අයවැය මූල්‍යකරණය නීතිමය වශයෙන් සීමා කිරීමට එරෙහිව දක්වන එක් විවේචනයක් වන්නේ, එවැනි මූල්‍යකරණයක් නොමැති අවස්ථාවක, විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය වැනි විශාල කම්පනවලදී රජයේ ආදායම් එකතු කිරීම අවම මට්ටමක පවතින විට, එය රජයේ කටයුතු අඩපණ වීමට හේතු විය හැකි බවයි. කෙසේ වෙතත්, රජයට වෙළෙඳපොළ අරමුදල් සඳහා ඇති ප්‍රවේශය සැලකිය යුතු ලෙස බාධා කෙරෙන හෝ සීමා කරන සුවිශේෂී තත්වය යටතේ, පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව ප්‍රාථමික වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට මහ බැංකු පනත යටතේ මහ බැංකුවට අවසර හිමිවේ. මෙම සුවිශේෂී සිදුවීම් යටතට මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම අවශ්‍ය වන අවස්ථා හෝ ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථා ඇතුළත් වේ. කෙසේ වෙතත් එවැනි මූල්‍යකරණය තාවකාලික බවත් හදිසි අවස්ථාවලදී පමණක් භාවිත වන බවත් සහතික කිරීම සඳහා ප්‍රතිපාදන පවතී.

මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් වනුයේ, මහ බැංකුව, රජයේ නියෝජිත ලෙස, වෙන්දේසි හරහා රජයේ සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර) වෙළෙඳපොළ වෙත විකිණීම මගින් මුදල් මුද්‍රණය වීමක් සිදු නොවන බවයි. මෙම ක්‍රියාවලිය තුළ සිදුවනුයේ, රජයේ අවශ්‍යතාවලට අනුව, පාර්ලිමේන්තුවේ අනුමත ණය සීමාවලට යටත්ව, වෙළෙඳපොළ වෙත රජයේ සුරැකුම්පත් නිකුත් කර රජයේ අයවැය හිඟය පියවීමට හෝ ණය සේවාකරණයට අවශ්‍ය මුදල් වෙළෙඳපොළෙන් සම්පාදනය කර ගැනීමයි. ඒ අනුව, මෙහිදී මහ බැංකුව මගින් නව මුදල් නිකුත් කිරීමක් සිදු නොවන බැවින් ‘මුදල් මුද්‍රණය’ වීමක් නොවේ. මෑතකදී බලාත්මක කළ රාජ්‍ය ණය කළමනාකරණ පනතට අනුව 2025 වසරේදී රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිතායතනය පිහිටුවීමත් සමඟ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ වගකීම්වලින් මහ බැංකුව නිදහස් වේ.

 

මහ බැංකුව විසින් රජයේ අයවැය මූල්‍යනය කිරීම ඉදිරියට අවශ්‍ය වේද?

ශ්‍රී ලංකා රජයේ අයවැය ඉතිහාසය පුරාවට විශාල හිඟයක් වාර්තා කර ඇති අතර (2000-2022 කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 කට වඩා වැඩි සාමාන්‍යයක්), එය දේශීය හා විදේශීය ණය ගැනීම් මගින් මූල්‍යකරණය කර ඇත. කෙසේ වෙතත්, 2020 වසරේ සිට විදේශ ණය ලබා ගැනීමේ හැකියාව මුළුමනින්ම පාහේ සීමා වීමත් සමඟ විශාල වශයෙන් දේශීය ණය ගැනීම් හරහා අයවැය හිඟය මූල්‍යනය කිරීමට සිදු විය. රජයේ එවැනි විශාල මූල්‍ය අවශ්‍යතා දේශීය වෙළෙඳපොළට අවශෝෂණය කර ගැනීමට නොහැකි වූයේ එවැනි මූල්‍යනය සඳහා අවශ්‍ය කෙරෙන සම්පත් වෙළෙඳපොළ තුළ නොතිබූ බැවිනි. එබැවින්, 2020 වසරේ සිට දේශීය වෙළෙඳපොළ මත පීඩනය අඩු කිරීමට සහ අඩු පොලී අනුපාතික පවත්වා ගැනීමට රජයේ අයවැය මූල්‍යනය කිරීම සඳහා මුදල් යෙදවීමට මහ බැංකුවට සිදු විය.

කෙසේ වෙතත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ, රජය විසින් අයවැය හිඟය අඩු කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇති අතර, ඒ අනුව ප්‍රාථමික අතිරික්තය අඛණ්ඩව වාර්තා කිරීම අපේක්ෂා කෙරේ. 2023 වසරේ සහ 2024 වසරේ මේ දක්වා කාලය තුළ රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය, විශේෂයෙන්ම රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇත. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වීමත් සමඟ, මහ බැංකුව විසින් රජයේ අයවැය මූල්‍යකරණයේ ඇති අවශ්‍යතාව ශුන්‍ය වනු ඇත.

සාරාංශය

විශාල ලෙස උද්ධමනය ඇති කිරීමට ඇති හැකියාව නිසා මහ බැංකුව විසින් රජයේ අයවැය මූල්‍යකරණය සඳහා මුදල් මුද්‍රණය කිරීම මතභේදාත්මක කාරණයක් විය. 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන මහ බැංකු පනත මගින් මහ බැංකුව විසින් රජයේ අයවැය මූල්‍යකරණය මුළුමනින්ම සීමා කර ඇති අතර, එමගින් මහ බැංකුවේ ස්වාධිපත්‍යය සහ වගවීම ඉහළ නංවා ඇත. 2023 වසරේ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනත් සමඟ සිදුවන රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන හරහා රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය වැඩිදියුණු වී ඇත. මහ බැංකුව මගින් රජයේ අයවැය මූල්‍යකරණය සිදු නොවන වාතාවරණයක් තුළ, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන සහ රාජ්‍ය මූල්‍ය විනය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ මූල්‍යමය කටයුතුවල සුමට ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.

(***)