හර්ෂණ තුෂාර සිල්වා
ධීවරයන් සාගරයට මුදා හරින ප්ලැස්ටික් ප්‍රමාණය ඉතා අධික බැවින් එය නැවැත්වීමට ස්ථීරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර උපදේශක සභාවට උපදෙස් දී ඇත.
මේ අනුව ධීවර යාත්‍රාවල රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය පරීක්ෂා කිරීම, රැගෙන යන ප්ලාස්ටික් ප්‍රමාණය සීමා කිරීම, නිසි උපදෙස් පිළිනොපදින ධීවර යාත්‍රාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ආදී යෝජනා ධීවර උපදේශක සභාවට ඉදිරිපත් වී තිබේ.
සාගරයට එකතුවන ප්ලාස්ටික් සහ පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ප්‍රමාණය හැකිතාක් අඩු කිරීම සඳහා කඩිනමින් ස්ථීර වැඩපිළිවෙළක් සැකසීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි දැනටමත් පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කළේය.
ධීවරයන්ගෙන් දිනකට මුහුදට එක්වන ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 6ත් 10ත් අතර බව සඳහන් කරන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ඒ හේතුවෙන් ශීඝ්‍ර වේගයකින් මුහුදු සම්පත විනාශ වෙමින් තිබෙන බව ද පෙන්වා දෙයි.
මේ තත්ත්වයට ධීවරයන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලු දෙනාම වගකිව යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවැසීය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ ද කීය.
“ධීවරයන් පමණක් නෙමෙයි ලංකාවේ සියලු දෙනාම මේ තත්ත්වයට වගකිව යුතුයි. සාගරයට අපද්‍රව්‍ය මුදා හරින රටවල් අතර අපි පස් වැනි තැනට පත්වෙලා. අපේ මිනිස්සු කසළ බැහැර කරන්න තෝරාගෙන තිබෙන්නේ අපේ ගංඟා. අපි අද ලෝකයට විස බෙදා හරින තැනක් බවට පත්වෙලා.
ප්ලාස්ටික් පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය එකතු වීමෙන් ලංකාවට අයත් සාගරය වගේම සමස්ත ඉන්දියානු සාගරයේම සාගර ජෛව විවිධත්වය අවදානමකට ලක්වෙනවා. අපේ රටේ ගංඟා 103ක් තිබෙනවා. අපේ මිනිස්සු ගංඟාවලට කසළ බැහැර කරනවා. ධීවරයන් පමණක් නෙමෙයි, රටේ සියලු දෙනාම ඊට වගකිව යුතුයි. මහනුවරින් බැහැර කරන කුණු පවා එකතු වෙන්නේ සාගරයට. කොරොල් පර මත පොලිතින් හා ප්ලාස්ටික් රැඳෙනවා. ඒ නිසා කොරොල් පරවලට ඉර අව්ව වැටෙන්නේ නැහැ. අපද්‍රව්‍ය නිසා කොරොල් පර හදන්න උපකාරී වන මුහුදු ජීවින් පවා විනාශ වෙනවා. මේ දේවල් නිසා කොරොල් පර නිෂ්පාදනය වීම නවතිනවා.
මේ දේවල් නිසා දරුණු සෞඛ්‍ය සහ පාරිසරික හානියක් ඇතිවෙලා තිබෙනවා. පොලිතින් සහ ප්ලාස්ටික් නිසා ජලයේදී විස නිපදවෙනවා. මාළු බිත්තරවලටවගේම මත්ස්‍යයන් සමඟ විස මුහුවෙනවා. අපි මත්ස්‍ය අපනයනයේ යෙදෙනවා. අවසානයේදී අපි අපනයන කරන්නේ විස සහිත මසුන්. අපි තවමත් සිටින්නේ පසුගාමී තත්ත්වයක. කසළ බැහැර කිරීම, පොලිතින් භාවිත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් විවිධ අත්හදා බැලීම් කරනවා. පරිසරයට හිතකර අයුරින් කටයුතු කරනවා. ඊට අදාළ නීතිරීත අනුගමනය කරනවා. එහෙත් අපි එහෙම නැහැ. මෙය මහා ඛේදවාචකයක්” යැයි ද ඔහු තවදුරටත් කීය.