මේ ගෙවෙන්නේ ඉතා අසීරු කාලයක්


ද්වීපාර්ශ්වීක බැඳීම්වල වර්තමාන තත්ත්වය පිළිබඳවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය සහන ලැබීමෙන් අනතුරුව ඊට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජේ චන්ග් මුද්‍රිත මාධ්‍ය සමග සිය පළමු සම්මුඛ සාකච්ඡාව ඩේලි මිරර් පුවත් පත සමග පැවැත් වූවාය. මේ එම සාකච්ඡාවය.

 

ප්‍රශ්නය – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය සහන අනුමත කර ගැනීමට ඇමෙරිකාව ශ්‍රී ලංකාවට උපකාර කළා. ඊට අමතරව ඇමෙරිකාව එහි සංවර්ධන හස්තය වූ USAID හරහා ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ශ්‍රී ලංකාවට සහාය ලබා දුන්නා. අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවල අනාගතය කිනම් ආකාරයෙන් පවතීවි ද?

පිළිතුර – ඇමරිකානු ශ්‍රී ලංකා සම්බන්ධතාවල 75 වැනි සංවත්සරය මෙම වසරේ දී අප සමරන බව මා පවසන්නේ ආඩම්බරයෙන්. එය  සැබවින්ම ඉතා ශක්තිමත්,  කල් පවත්නා සම්බන්ධතාවක්. මේ වසරේ තේමාව වන්නේ, ජනතාව, ප්‍රගතිය හා සහයෝගීතාව යන්නයි. ඒ ගැන සැලකිල්ලට ගත් විට පසුගිය වසරේ ශ්‍රී ලංකාවට උපකාර කරන්නට ලැබීම ගැන ද විශේෂයෙන්ම අසීරුතා පැවති කාලය තුළ ඩොලර් මිලියන 270 කට වඩා වටිනා සහයෝගිතා ලබා දීමට හැකිවීම ගැන අප අතිශය සතුටට පත් වූවා. වී ගොවීන් උදෙසා සපයන පොහොරවල පටන්, පාසල් දිවා ආහාර වැඩ සටහන්, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට සහාය පළ කිරීම, කාන්තාවන්ට අයත් කුඩා පරිමාණ ව්‍යවසාය මෙන්ම වෘත්තීය පුහුණු දක්වා දෙන සහාය ඊට ඇතුළත් වුණා. ඉතා අසීරු, අභියෝගතාවලින් හෙබි මෙම කාලපරිච්ඡේදය තුළින් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් බවින් යුතු ස්ථාවර රටක් බවට පත්වනු දකින්නට අපට අවශ්‍යයි. එම නිසා මේ කාලය තුළ ශ්‍රී ලාංකීය ජනතාව සමග උරෙනුර ගැටී සහයෝගයෙන් ඉන්නා බව පෙන්වීමට අපට අවශ්‍යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නට ශ්‍රී ලංකාව තීරණය කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විශාල කාර්ය කොටසක් ඉටු කරනවා. අප එම තීරණය පිළි ගත්තා. රට යළි යථා තත්ත්වයට ගෙන ඒමට උපකාර පිණිස අවශ්‍ය නිවැරදි යෙදවුම් සහ සම්පත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව තිබෙනවා. ප්‍රධාන ද්විපාර්ශවික ණය දෙන රටවල් තම මුල්‍ය සහතික පිරිනමන ආකාරය අප බලා සිටින්නේ සතුටින්. තවත් කළ යුතු කාර්ය තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම කොටස් හිමියා වූ අපට, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීමේ මං පෙතේ දී දෙන සහයෝගය නොකඩවා පිරිනැමීමට අවශ්‍යයි.

 

ප්‍රශ්නය – පළමු වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැර තිබෙනවා. ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙන ලකුණු පෙන්වා තිබෙනවා. එහෙත් ජයක් ලෙස සමරන්නට තවම වේලාසන වැඩි වන්නේ අපට දීර්ඝ ගමනක් යා යුතුව තිබෙන නිසයි. අප ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු සහාය ලැබෙන්නේ කිනම් ආකාරයෙන් ද?

පිළිතුර – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පළමු පියවර වුවත් සැබවින්ම එය ඉදිරියට තැබීමට ඇති එකම පියවර නොවෙයි. ඇමෙරිකාව නේක විධ ආකාරයෙන් නොකඩවා ශ්‍රී ලංකාවට සහයෝගය දෙනු ඇති. දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට පෙරාතුව අතීතයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකා රජයට කල්පවත්නා ආර්ථික  හිතකර තත්ත්වය පවත්වා ගැනීම පිණිස ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීමට ලැබුණු කදිම අවස්ථාවක්. විනිවිද භාවය සහ දූෂණ විරෝධී පියවර ඔස්සේ කෙතරම් අනර්ඝ වර්ධනයක් ලැබිය හැකිද? එම නිසා අප රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ධාරිතාවර්ධනය මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය පුහුණු කිරීම් වලින් දෙන උපකාර ඔස්සේ නොකඩවා සහයෝගය දෙනවා.

 

ප්‍රශ්නය – මෙම සහයෝගිතාව උදෙසා ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දැක්වීය හැක්කේ කෙසේද? ශ්‍රී ලංකාව කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු යැයි ඔබ බලාපාරොත්තු වෙනවා ද?

පිළිතුර – අප සහයෝගය දෙන්නේ ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ හොඳ මිතුරකු නිසයි. අප කිසි දෙයක් ඊට හිලව්වට ඉල්ලා සිටින්නේ නෑ. අපට ස්ථාවර, ප්‍රජාතන්ත්‍රීය සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දකින්නට අවශ්‍යයි. ශක්තිමත් හවුල්කරුවකු ලෙස, අවශ්‍ය විට උපකාර කරන මිතුරකු ලෙස එම අවශ්‍යතා මුදුන් පත් කරනු පිණිස උපකාර කිරීමට අපි සූදානම්. ශක්තිමත් හවුල්කරුවන් ලෙස නොකඩවා දිගටම ඉන්නට අපට අවශ්‍යයි.

 

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය දියාරුව පවතින අතරම, මේ වනවිට යම් ධනාත්මක සලකුණු පහළ වී තිබෙනවා. එම ඉලක්ක සපුරා ගැනීම පිණිස ශ්‍රී ලංකාවට දේශපාලන ස්ථාවරභාවය කෙතරම් වැදගත් වේද?

පිළිතුර – ආර්ථික ස්ථාවරත්වය සහ දේශපාලන ස්ථාවරත්වය එකිනෙකට අත්වැල් බැඳගෙන යන ස්ථාවර භාවයක්. එසේම ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ සහ දේශපාලන ප්‍රතිව්‍යුහගතකරණ සහ යහපාලනය එකිනෙක වෙළී සම්බන්ධව පවතිනවා. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ දෙසට ඉදිරි පියවර තබමින්, මූල්‍ය විනිවිද භාවය වර්ධනය කරමින්, මේ දිනවල සභාගත කොට ඇති අලුත් දූෂණ විරෝධී පනත සමග දූෂණයට විසඳුම් සොයමින් සිටිනවා. එසේම යහපාලනය පිණිස හේතුවන කාරණා ඔබ සිතේ තබාගත යුතුයි. ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතුයි. උදාහරණයකට මේ වනවිට ත්‍රස්ත විරෝධී පනත වෙනුවට ගෙන එන ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ අලුත් සංවාද පවතිනවා. ත්‍රස්ත විරෝධී පනත යල් පැනගිය පනතක්. පැරණි ත්‍රස්ත විරෝධී පනත අහෝසි කර අලුත් වැඩියා කරන්නට රජයත්, ජනාධිපතිවරයාත් නිකුත් කර ඇති නිවේදනය අප පිළිගන්නවා. ශක්තිමත්, නිර්ව්‍යාජ තොරතුරු විමසා බැලීමක් ඊට උනන්දුව දක්වන සියලු අය සමග සිදුකොට නීතිය වෙනස් කිරීම කරාවි යැයි අප සැබවින්ම බලාපොරොත්තු වෙනවා. එයින් දැඩි බලපෑමක් සිදුවෙනවා. එය ඒ තරම් වැදගත් නීතියක්.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ පරිවර්තනීය වූ වැදගත් මොහොතක්. බොහෝ අවස්ථා පෑදී තිබෙනවා. එබැවින් රජය එකිනෙකට වෙනස් පිරිස් වෙතින් එන එකිනෙකට වෙනස් සියලු මත සලකා බැලීමට කාලය ගෙන ජාත්‍යන්තර ප්‍රමිතිය හා ප්‍රතිමාන ඇතුළත් කරගෙන සැබවින්ම ශ්‍රී ලංකා ජනතාවගේ අවශ්‍යතා සපුරාලන ත්‍රස්ත විරෝධි පනතක් ගෙන එතැයි අප බලාපොරොත්තු වෙනවා.

 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙතරම් වැදගත් වේ ද? මේ වන විටත් එය කල් දමා තිබෙනවා. ඒ ගැන ඔබේ මතය කුමක් ද?

පිළිතුර:- නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීමේ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙනවා. මැතිවරණ යනු හොඳින් ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදක ඇති විචාරාත්මක සංචරකයක්. එම නිසා ශ්‍රී ලංකාව වැනි ඕනෑම රටක, ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදෙසා මැතිවරණ පැවැත්වීම වැදගත් බව අප විශ්වස කරනවා.

 

ප්‍රශ්නය:- පසුගිය කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළ ආරක්‍ෂක නිලධාරියෙක් ශ්‍රී ලංකාවට පැමිණියා. ඇමරිකාව මෙරට හමුදා කඳවුරක් ගොඩ නගන්නට සැසෙරන්නේද? යන්න බොහෝ සෙයින් විපරම් කිරීමට එය හේතු වුණා. එසේම සී.අයි.ඒ. සාමාන්‍යාධිකාරිවරයා ද මෙරට පැමිණියා. පෙර කී ආකාරයේ වැරදි තොරතුරු හා විකෘති කළ තොරතුරු පැතිර යමින් තිබෙනවා. සැබවින්ම සිදු වූයේ කුමක්ද?

පිළිතුර:- පසුගිය කාලය තුළ අපගේ අමුත්තන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට පැමිණියා. පුළුල් පරාසයක විහිදුණු කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපට අවශ්‍යයි. පසුගිය මාස කිහිපයේ අප තුන්වැනි වෙරළාරක්‍ෂක යාත්‍රාව (Coast Guard) මෙරටට එවනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළට මානව වෙළඳාම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළුවීම මර්දනය ආදී විවිධ උපකාර එයින් සිදු කළා.

අපට මෙරට තුළ හමුදා කඳවුරු ඉදිකිරීමේ කිසිදු බලාපොරොත්තුවක් හෝ චේතනාවක් නැති බව මා වරින් වර පුන පුනා කියා තිබෙනවා.

 

ප්‍රශ්නය:- ඇ.එ. ජනපදය සතුව ඉන්දු - පැසිෆික් ක්‍රමෝපාය තිබෙනවා. එයින් නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කළාපයක් පැවතිය යුතු බව කියා සිටිනවා. චීනයත්, රුසියාවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රමෝපාය අලුත් කර තිබෙනවා. විවිධ බලකඳවුරු අතර යම් ගැටුම් පවතීනම් ශ්‍රී ලංකාව එම ගැටුම්වලින් ඈත්ව සිටිය යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවා. ඒ සම්බන්ධයෙන් ඔබට කීමට ඇත්තේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ස්ථාවරය කෙතරම් දුරට ඇමෙරිකාවට පිළිගත හැකි ද?

පිළිතුර:- ශ්‍රී ලංකාව ඉන්දු පැසිෆික් කලාපයේ වැදගත් රටක්. ස්ථාවර, සමෘද්ධිමත්, ප්‍රජාතන්ත්‍රික ඉන්දු පැසිෆික් කලාපයක් දකින්නට අපට අවශ්‍යයි. එයින් අර්ථවත් වන්නේ තමන්ගේ ස්වෛරීභාවය පිළිබඳව සිතන රටවල්, අන්තර් ජාතික පිළිවෙළ පදනම් කරගත් නීතිය සහ විවෘත මුහුදු ප්‍රදේශවල නිදහස් නාවික ගමනාගමනය ගැනද සිතිය යුතු යන්නයි. මෙම කාරණා සහ සියලු වටිනාකම් එක්සත් ජනපදයට හා ශ්‍රී ලංකාවට පමණක් වැදගත් ඒවා නොවෙයි. ඒවා එම කලාපයේ සියලු රටවලට වැදගත් වෙනවා.

 

ප්‍රශ්නය:- එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විසඳුම් යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවත් පියවරක් තැබීමට සූදානම් වෙනවා. ඒ ඔස්සේ, විසඳුම් යෝජනා කොමිසමේ සත්‍ය භාවය තහවුරු කොට පවත්වා ගැනීමට නීති පද්ධතියක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ මතය කුමක්ද?

පිළිතුර:- ඇමෙරිකා එක්සත් ජනපදය එ.ජා. මානව හිමිකම් කොමිසමේ අනෙකුත් ප්‍රධාන සමූහයේ හවුලකාර රටවල් සමග ඉතා සමීපව කටයුතු කරනවා. මෙවර දකුණු අප්‍රිකාවට යන ගමනෙන් පසුව, රජය කියනු ලබන යෝජනා පිළිබඳ සලකා බැලීමට අප බලාපොරොත්තු වෙනවා. වඩාත් වැදගත් වන්නේ සංහිඳියාව දෙසට තබන අව්‍යාජ, ශක්තිමත් පියවර පෙන්වා දීමයි. ඒවා TRC හරහා සිදු කළත්, දැනට පවතින යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අදහස් කළත්, OMP අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වැනි ආයතන තුළින් කළත්, සිදු කළ යුත්තේ එකී පියවර ගැනීමයි.

මා සිතන ආකාරයට, සංක්‍රාන්ත්‍රීය යුක්තිය සහ වගවීම ගැන කතා කරමින් අතීතය ආමන්ත්‍රණය කරන සමාජයක්, ස්ථාවර රටකට වැදගත්. විශේෂයෙන් එහි අනාගතය උදෙසා වැදගත්. එමනිසා ශ්‍රී ලාංකීය ජනතාවගේ දුක් ගැනවිලිවලට විසඳුම් දෙමින් අයිතීන් ආරක්‍ෂා කරන ශක්තිමත් පියවර එහි වෙතැයි අප බලාපොරොත්තු වෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව රඳවා ගෙන සිටි රැඳවියන් නිදහස් කිරීම ඇතුළු පියවර කිහිපයක් මෑත දී ගත් බව අප දන්නවා. එසේම උතුරේ ඉඩම් නිදහස් කිරීම, ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළා. එසේම සියලුම පක්‍ෂ ජනාධිපතිවරයා කැඳවනු ලැබුවා. ඒවා හොඳ පියවර. හොඳ ආරම්භක පියවර. ඊට අමතරව දීර්ඝ කාලීන සංහිඳියාවකට පදනම සපයන ශක්තිමත් පියවර නැවත ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

 

ප්‍රශ්නය:- එම අමතරව ගතයුතු ශක්තිමත් පියවර මොනවා ද?

පිළිතුර:- මා සිතන ආකාරයට ඒවා ශ්‍රී ලංකා රජය විසින්, සිවිල් සමාජ, ව්‍යාපාර හා බුද්ධිමතුන් ආදී සියලු පාර්ශවවලින් උපදෙස් විමසා ගතයුතු පියවරයි. මා ශ්‍රී ලංකාව වටා සංචාරය කොට අතුරුදන් වූවන්ගේ ඇතැම් මව්වරුන් හමුවී තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතුරුදන් වී වසර ගණන් දැන් ගතවී ඇතත් පිළිතුරු නොමැතිවීම ගැන ඔවුන් මැසිවිලි නගනවා.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය වැනි ආයතනවල, නිවැරදි සම්පත් හා හැකියාවන් ශක්තිමත් කිරීමට තව බොහෝ දෑ කළ හැකි බව මා සිතනවා. විවිධ ප්‍රදේශවල සියලු ජනවාර්ගික හා ආගමික පසුබිම් සහිත පුද්ගලයන් සමග කතාබහ කොට රජයට ගත හැකි බොහෝ පියවර තිබෙනවා.

ඔබ සතුව මෙකී නානාවිධ භාවය තිබෙන මුත් ඒ සැවොම අනාගත ශ්‍රී ලංකාවේ කොටස්කරුවන් ලෙස, සිතන්නට එකට ඒකරාශී කීරීම සහතික කරගත යුතු වෙනවා. ඒ අතීතය ආමන්ත්‍රණය කළ හැකි එක් විධියක්.

(*** සාකච්ඡාව - කැලුම් බණ්ඩාර)