මේ පාලකයන්ට අර්බුදය විසඳන්න බෑ


ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ 80 වැනි සංවත්සරය ජුලි මස 3 වැනිදාට යෙදී තිබේ. කොමියුනිස්ට් පක්‍ෂය මේ දක්වා පැමිණි ගමන් මග හා වත්මන් දේශපාලනයේ දිශානතිය පිළිබඳ මෙවර ‘රජ වීදියෙන්’ අදහස් දක්වන්නේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතාය. 

ප්‍රශ්නය:- දශක අටකට ආසන්න කොමියුනිස්ට් පක්‍ෂ ඉතිහාසයේ ආපසු හැරී බැලීමේදී පක්‍ෂයක් ලෙස සතුටු විය හැකි කාරණා තිබෙනවා ද? 

පිළිතුර:- 1943 ජුලි 3 වැනිදා තමයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය නිර්මාණය කරන්නේ. කොමියුනිස්ට්වාදීන් කියන්නේ කලින් ඉඳලාම දේශපාලනය කළ අය. වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ අවුරුදු 3ක් එංගලන්තයේ අධ්‍යාපනය හදාරලා තමයි ලංකාවට පැමිණෙන්නේ. ඔහු ඒ එන අතරතුර ඉන්දියාවට ගිහින් ගාන්ධි, නේරු වගේ අය හමු වෙලා ලංකාවට ඇවිත් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 1929 දී පළමුවැනි මාක්ස්වාදී නායකයා විදිහට රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වුණා. 

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා පූර්ණ නිදහස තමයි දේශපලාන සටන් පාඨ බවට පත්වෙලා තිබුණේ. වික්‍රමසිංහ මහතා ඒ සටන්වල ක්‍රියාකාරිකයකු වී සිටියා. 1935 දී ලංකා සම සමාජ පක්‍ෂය නිර්මාණය වුණාට පස්සේ ඔහු ඒ පක්ෂය හා සම්බන්ධ වුණා. ඒ පක්‍ෂයේ ඇති වුණු දෘෂ්ටිමය ප්‍රශ්නයක් මත එස්.ඒ. වික්‍රමසිංහ, එම්.ජී. මෙන්ඩිස්, සරණංකර හිමි යන අය සම සමාජ පක්‍ෂයෙන් ඉවත් කෙරෙනවා. ඊට පස්සේ එක්සත් සමාජවාදී පක්‍ෂය නිර්මාණය කෙරෙනවා.

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ඒ පක්‍ෂය තහනම් කරනවා. ඊට පස්සේ 1943 දී තමයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය නිර්මාණය කෙරෙන්නේ. නිදහස හා සමාජවාදය වෙනුවෙන් තමයි ඒ පක්‍ෂය නිර්මාණය කෙරෙන්නේ. 48 දී ඩොමීනියන් නිදහස හිමි වුණත් අපේ පක්‍ෂය දිගින් දිගටම අරගල කළේ පූර්ණ නිදහස වෙනුවෙන්. නිදහස් අරගලය සමග කම්කරු ප්‍රජාව බද්ධ කළේ කොමියුනිස්ට් පක්‍ෂය. ‘නිදහස් පුරය’ නමින් දහස් ගණනක් ජනතාව සම්බන්ධ කරගෙන පොදු ක්‍රියාවලියක් අපි දියත් කළා.

1972 දී ජනරජ ව්‍යවස්ථාව ගෙන ආවා. ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුවා. අපට තව සමාජවාදී අරමුණ ඉෂ්ඨ කරගැනීමට තිබෙනවා. වැඩ කරන ජනතාවගේ අයිතීන් දිනා දුන්නේ අපි. නිදහස් අධ්‍යාපනය පිළිබඳ මතය පුළුල් කරන්න අපට හැකි වුණා. සෞඛ්‍යය පුළුල් කරන්න රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇතුළේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කරන්න හැකි වුණා. අර්ථසාධක අරමුදල ඇති කරන්න පක්‍ෂයක් ලෙස අපි දායක වුණා. ඒ වගේම විශ්ව සාහිත්‍යයේ දැවැන්ත කෘති සියයට 99ක් සිංහලට දෙමළට පරිවර්තනය කරන්න කොමියුනිස්ට් පක්‍ෂය විදිහට අපි දායකත්වය දුන්නා. 

ප්‍රශ්නය:- අපේ රට මීට අවුරුද්දකට පෙර පැවැතුණු තත්ත්වයකට වඩා වෙනස් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ තත්ත්වය යහපත් තත්ත්වයක් ලෙස විශ්වාස කරනවා ද? නැති නම් අර්බුදය යට ගහලා ද තිබෙන්නේ?

පිළිතුර:- අපි විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒක ගිය අවුරුද්දේ පුපුරා ගියා. ආර්ථිකය තමයි ඒ පිපිරීමට මූලික හේතුව. මේ පිපිරීමට හේතු වුණු ස්වරූප තුනක් මා දකිනවා. මූල්‍ය, විනිමය සහ ණය අර්බුදය ඒවායි. අපට තෙල් ගන්න ඩොලර් නැති වුණා. ආනයන අපනයන අර්බුදය නිසා විනිමය අර්බුදයකට ගියා.

විවෘත නිදහස් වෙළෙඳ ක්‍රමය නිසා අපනයන ආර්ථිකයකට යනවා කිව්වත් අපට ඒ තත්ත්වය ඇති කරගන්න හැකි වුණේ නැහැ. ඩොලර් කෝටි 1,000ක බඩු යවලා ඩොලර් කෝටි 2,000ක බඩු අපි ලංකාවට ගේනවා. පිටරට යන ශ්‍රමිකයන් හා සංචාරක ව්‍යාපාරය මගින් යාන්තමට ඒ තත්ත්වය ෂේප් කරගන්න පුළුවන් වුණත් කොවිඩ් නිසා ඒ සියල්ල කඩා වැටුණා. රුපියල් කෝටි ලක්‍ෂ ගණනින් මුද්‍රණය කළා. රාජ්‍ය ආදායම නැති වුණා. ක්‍රමානුකූලව ඒ කඩා වැටීම ආණ්ඩු කරපු අයට දැනෙන්න ඕනෑ වුණත් එහෙම දැනුණේ නැහැ. සංවර්ධනයට මුදල් නැති වෙනකොට ආණ්ඩුව ණය ගත්තා. ණය මිලියන 52,000ක් වන තත්ත්වයට පත්වුණා. 1977 දී අපි ණය වෙලා තිබුණේ මිලියන 743යි. 

අපි ගිය අවුරුද්දේ ලෝකය හමුවේ ප්‍රකාශ කළා ණය ගෙවන්න බැරි බංකොළොත් රාජ්‍යයක් කියලා. බදු සහන, බදු සමා හරහා තමයි මේ තත්ත්වයට මේ රට පත්වුණේ. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළා. බදු නොවන වෙනත් ආදායමුත් නැති වුණා. අද වන විට මිලියන ගණනක් දරිද්‍රතාවෙන් පෙළෙනවා. මේ තත්ත්වය වහාම රටක් ලෙස අප නිවැරැදි කරගත යුතුයි. 

ප්‍රශ්නය:- ජ.වි.පෙ. කියන්නේ සමාජවාදය අපේක්‍ෂා කරන දේශපාලන පක්‍ෂයක්. කොමියුනිස්ට් පක්‍ෂය කියන්නේත් සමාජවාදය පදනම් කරගත් පක්‍ෂයක් ද?

පිළිතුර:- 1960 ගණන්වල තමයි ජ.වි.පෙ. නිර්මාණය වන්නේ. සම සමාජය එතැනින් වෙනස් වෙන්නේ දෘෂ්ටිමය කාරණා එක්ක. 71 කැරැල්ල ඇති වෙන්නෙම කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ ආණ්ඩුවට එරෙහිව. 88/89 කැරැලිකාර තත්ත්වය කාලේ අපේ පක්‍ෂයට අයිති අය මරා දානවා. අනිත් කාරණය තමයි රටේ පැවැති අර්බුදය පිළිබඳ ජ.වි.පෙ. අදහස තමයි, දූෂණය නිසා තමයි මේ රට මේ තත්ත්වයට ඇද වැටුණේ කියන එක.

ඒත් ඒක වැරැදි මතයක් විදිහට තමයි කොමියුනිස්ට් පක්‍ෂයේ අපි විශ්වාස කරන්නේ. ඒක පන්ති විග්‍රහයක් නෙවෙයි. ආර්ථික මූල්‍ය උපාය විසින් ඇති කරපු වෙළෙඳ හිඟය නිසා තමයි ඒ තත්ත්වය උදා වුණේ. අපේ වෙනස්කම් තිබුණාට සතුරෝ නෙවෙයි. අපේ ප්‍රවේශයන්වල වෙනස්කම් තිබෙනවා. 

ප්‍රශ්නය:- රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට සියලු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවට සහාය දිය යුතු නොවේ ද?

පිළිතුර:- දැන් පෝළිම් නැති බව ඇත්ත. අවුරුද්දකට කලින් අපේ රට නිල වශයෙන් ප්‍රකාශ කළා අපේ රට බංකොළොත් කියලා. 2022 අප්‍රේල් සිට අපි ණය ගෙවන්නේ නැහැ. ඒ නිසා ඩොලර් ටිකක් ඉතුරු වෙනවා. අපි දැන් කළ යුත්තේ ඩොලර් උත්පාදනය වැඩිදියුණු කිරීමයි. අපි ණය ගෙවන්න ඕනෑ ඩොලර්වලින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි තව ණයක් ගත්තා. දැන් අපිට තවත් ඕනෑ ණය ගන්න සුදුසු රටක් කියලා සහතිකය ගන්න.

ඉතින් එහෙම ආණ්ඩුවකට අපිට උදව් කරන්න පුළුවන් ද? ආණ්ඩුවට ඩොලර් උපයන වැඩපිළිවෙළක් තියෙනවා ද? අපට පැහැදිලිව පේනවා ආණ්ඩුවට මේ අර්බුදයෙන් එළියට එන්න ක්‍රමවේදයක් නැහැ. නිදහස් වෙළෙඳ ක්‍රමය නිසා අපේ රට කඩා වැටුණා කියන එක තමයි අපේ අදහස. අපනයන ආදායම අඩු වුණා. අපේ විශ්වාසය තමයි නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි කියන එක. මූල්‍ය අරමුල දාපු කොන්දේසිවලට පක්‍ෂයක් විදිහට අපි එකඟ නැහැ. අපි කියන්නේ රජය ව්‍යවසායකයෙක් විය යුතුයි.

විවෘත වෙළෙඳපොළට රාජ්‍ය මැදිහත් වීමක් තිබිය යුතුයි. සෞඛ්‍යය, අධ්‍යාපනය පෞද්ගලීකරණය නොවිය යුතු බවට අපි විශ්වාස කරනවා. පිබිදෙන ආසියාව සමග අපි අත්වැල් බැඳගත යුතුයි. චීනය, රුසියාව ප්‍රමුඛ කරගනිමින් අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතුයි. කොමියුනිස්ට් පක්‍ෂ 80 වැනි සම්මේලනයේදී විකල්ප සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 

සාකච්ඡා කළේ  අමිල චින්තක ගමගේ

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ