ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු කලාපයට අයත් බොහොමයක් රටවල අලුත් ආණ්ඩුවක් බලයට පත්වන්නේ ඊට පෙර පැවති ආණ්ඩුවේ වැරැදි ක්‍රියා මාර්ග නිසා බව ප්‍රකට කරුණකි. ඇතැම් විට ඊට පෙර පැවති ආණ්ඩුවද එරට බහුතර ජනතාව විසින් බලයට පත් කර තිබුණේ නොයෙකුත් අපේක්ෂාවන් මුල්කර ගෙන විය හැකිය. එසේ වුවද අන්තිමේදී සිදුවන්නේ ජනතාවගේ උණුසුම් බලාපොරොත්තු මුල්කර ගෙන පිහිටුවා ගැනුණු එම ආණ්ඩුව ද එරට ජනතාව විසින්ම පරාජයට පත්කර වෙනත් පක්ෂයකට ආණ්ඩු බලය පැවරීමය.
තමන් විසින් පත්කරගනු ලබන ආණ්ඩුවක් තමන් පරාජයට පත්කර අලුත් ආණ්ඩුවකට ඉඩහසර ලබාදීම ගැන එම ක්‍රියාවට මුල්වූ ජනතාවට ද දොසක් පැවරිය නොහැක. එසේ වන්නේ මනුෂ්‍ය සංහතියේ ස්වභාවය නිසා වන බැවිනි.
ශ්‍රී ලංකාවේ ද දැනට බොහෝ කාලයක සිට සිදුවෙමින් පවතින්නේ ඊට සමාන ක්‍රියාදාමයකි.
උදාහරණයක් වශයෙන් 2010 දී පත්කර ගැනුණු මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව 2015 පැවති ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පරාජය කරවීමට මෙරට බහුතර ජනතාව පියවර ගත්තේය. පිට පිට දෙවරක්ම ජනාධිපති ධුරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට 2015 පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වී ගෙදර යාමට සිදුවූයේ වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති උතුරේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවයට හිමිකරුවා වීම ගැනවත් මෙරට බහුතර ජනතාව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බැවිනි. එය සාමාන්‍ය සිද්ධියක් බව අපගේ අදහසයි. ඉකුත් දෙවැනි ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පවා ඉන් අනතුරුව පැවති මහ මැතිවරණයේදී ජනතාව වෙතින් පරාජයට පත්ව ගෙදර යාමට සිදුවීම ඒ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයකි.
කෙසේ වෙතත් මෙරට ජනතාව 2015 පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවා ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ගන්නා ලද්දේ උණුසුම් බලාපොරොත්තු රැසක්ම ඉටු කර ගැනීමේ අදහසිනි. එසේ වුවද එම යහපාලන ආණ්ඩුවට දිගින් දිගටම බලයේ රැඳී සිටීමට නොහැකි විය. නව ආණ්ඩුවට පත්වී දෑවුරුද්දක් ගතවීමටත් පෙර ජනතාව අතර පිරිහීමට ලක්වීය. ඇතැම් විට එසේ වන්නට ඇත්තේ එය දෙමුහුන් ආණ්ඩුවක් බැවිනි. එහි ඊළඟ ප්‍රතිඑලය වූයේ මෛත්‍රීගේ සහ රනිල්ගේ ආණ්ඩුවද 2020 දී පැවති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී පරාජයට පත් වීමයි.
කෙසේ වෙතත් 2020 පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ආධුනිකයෙක් විය. ඒ අනුව 69 ලක්ෂයක් පමණ වූ මෙරට ජනතාව දැඩි ලෙස විශ්වාස කළේ සෙසු රාජ්‍ය නායකයන් මෙන් ඇට්ටකුණා නොවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රටේ යහපතට අදාළව සුවිශාල මෙහෙවරක් සිදුවිය හැකි බවය.
ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මෙරට බලයට පත්වී තවමත් ගතවී තිබෙන්නේ දෑඅවුරුද්දකටත් වඩා අඩු කාලයකි. එහෙත් වත්මන් ආණ්ඩුව ගැන මෙරට ජනතාව අතරින් වැඩි දෙනකු තුළ පවතින්නේ දැඩි අප්‍රසාදයකි. එසේම මෙතරම් අඩු කාලයක් තුළ ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ වෙනත් ආණ්ඩුවක් නොමැති තරම්ය.
ඒ සඳහා මුල්වී තිබෙන හේතු සාධකද එක අතකින් බලනවිට සාධාරණය. අප එසේ කියන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අලුත රට පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසා එම ආණ්ඩුවට නිදහසේ හුස්ම ගැනීමටවත් නොහැකි වූ බැවිනි.
කෙසේ වෙතත් කොරෝනා පළමු රැල්ලට මුහුණ දී සාර්ථක ප්‍රතිඵල ලබාගත් වත්මන් ආණ්ඩුව එම තුන්වැනි රැල්ලේ දී ප්‍රශ්නය අනාගත්තා පමණක් නොව හත්පොළේම ගා ගත්තේය. ඇතැම් විට ඊට හේතුවන්නට ඇත්තේ ආණ්ඩුවේ ඊනියා උපදේශකයන්ගේ කේවට්ට උපදෙස් නිසා විය හැකිය.
අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නොව ඊට ඉහළින් සිටින දේශපාලනඥයන් සියලු දෙනාම පාහේ 2020 දී මෙරට පාලන බලය ලබා ගත්තේ ඉකුත් යහපාලන ආණ්ඩුව මගින් සිදුකළ සියලුම වැරදි, අඩුපාඩු සහ නොපනත්කම් තමන්ගේ ආණ්ඩුවක් යටතේ සිදු නොවන බවට දහ අතේ පොරොන්දු දෙමිනි. විශේෂයෙන්ම රාජ්‍ය දේපළ විකිණීම දැඩිලෙස හෙළාදුටු පොදුජන පෙරමුණේ ලොකුලොක්කන් පිරිස අද වන විට සිදු කරමින් සිටින්නේද ඊට සමාන ක්‍රියාදාමයකි.
නිවැරදි ලෙස කිවහොත් අද ජනතාව පසුවන්නේ කබලෙන් ළිපට වැටී සිටින තත්ත්වයකය.
වත්මන් ආණ්ඩුව මේ දක්වාම සිදුකර ඇත්තේ මහා පරිමාණ මට්ටමේ ගොන්කම්ය. උදාහරණයක් වශයෙන් මෙරට වගා කටයුතු සඳහා රසායනික පොහොර වර්ග නොයොදා කාබනික පොහොර යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණය බුද්ධි ගෝචරය. එසේ වුවද එම ක්‍රමවේදය පියවරෙන් පියවරට ක්‍රියාත්මක නොකර මුළු රට පුරාම එකවර රසායනික පොහොර භාවිතයට තහංචි දැමීම නිසා අද මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන්නේ බරපතළ අවුලකි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමටත් පෙර සිටම රටේ සහල් වෙළද පොළේ මිල ගණන් තීරණය කෙරුණේ රජයේ මැදිහත්වීමෙනි. එහෙත් වත්මන් රජය එම අයිතිය මුළුමනින්ම බාරදී ඇත්තේ සහල් මෝල් හිමියන් වෙතය.
මෑතකදී පත්කෙරුණු අතවශ්‍ය සේවා කොමසාරිස්වරයා මුලින් සහල් ගබඩා නිරීක්ෂණය සඳහා ගොස් ඒවායේ හිමිකරුවන්ට ලොකු සද්දයක් දැමුවේය. කෙසේ වෙතත් පසුව එම සද්දය වසාගත් එම නිලධාරියා ගැන ආරංචියක්වත් අසන්නට නොලැබුණේ රජයේ මිල පාලන ගැසට්ටුව රජය විසින්ම අකුළා ගෙන තිබෙන නිසා විය යුතුය. ඒ හැර වත්මන් ආණ්ඩුවේ වෙළඳ ඇමතිවරයා එක්තරා අවස්ථාවකදී සහල්වලට පමණක් නොව පරිප්පු, තිරිඟු පිටි, සීනි සහ ලූනු සඳහා ද විකිණිය හැකි උපරිම මිල නියම කරමින් තරගයකට මෙන් ගැසට් නිකුත් කළේය. එහෙත් ඔහු විසින් නියම කරන ලද පාලන මිලට කිසිදු භාණ්ඩයක් විවෘත වෙළඳ පොළේ අලෙවි කෙරෙන බවක් අසන්නට නොලැබිණි.
ඇමතිවරයා සහල් සදහා නිකුත් කරතිබූ ගැසට් නිවේදනයට සිදුවූයේද ඊට සමාන සන්තෑසියකි. අන්තිමේ දී ගැසට් සටනින් පරාජය වූ බන්දුල ගුණවර්ධන මහතා සිය කැමැත්තෙන්ම එකී ගැසට් නිවේදන අකුළා ගෙන තිබුණේ තම පාර්ශවයේ පරාජය භාර ගනිමිනි. එම ගැසට් සටනේ අවසන් ප්‍රතිඑලය වූයේ සහල්, කිරිපිටි, පරිප්පු, තිරිගු පිටි පමණක් නොව ගෑස් මිල තීරණය කිරීමේ අයිතියද මුදලාලි පැළැන්තිය අතට පත් වීමය.
මෙවැනි අමිහිරි සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී තිබුණේ වෙළඳ ඇමැතිවරයාට පමණක් නොවේ. තෙල් ඇමති ගම්මන්පිලට මෙන්ම කෘෂිකර්ම ඇමැති අලුත්ගමගේට මුහුණ පෑමට සිදු වූයේද ඊට සමාන අමිහිරි තත්වයකටය. ඉකුත් සතියේ රුපියල් 1496 කට අලෙවි කළ කි.ග්‍රෑ.12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2750 දක්වා වැඩි වූ අතර පසුව එය රුපියල් 75 කින් අඩු කෙරුණේය. රුපියල් දෙදහස් හත්සිය පනහක් දක්වා වැඩි කරන ලද ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් අඩු කිරීම කොතෙක් දුරට ප්‍රායෝගික දැයි යන්න ඔවුන් විසින් ම විමසා බැලිය යුතු කරුණකි.
මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කර තිබුණේ තිරිගු පිටි ආනයනය කරනු ලබන වෙළඳ සමාගම් විසිනි. ඒ අනුව පාන්, රොටි සහ කෙටි කෑම වල මිල ගණන් ද බේකරි හිමියන් විසින් වැඩි කර තිබේ. ඒ හැර ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියන අන්දමට ඔවුන්ගේ පාඩුව මාසයකට රුපියල් කෝටි සියයකටත් වැඩිය. ඒ අනුව රජයේ පාර්ශවයෙන් යම් සහනයක් නොලැබුණහොත් තෙල් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඛනිජතෙල් ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේය.
රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවක පිරිසට මාස්පතා යම් වැටුපක් ලැබේ. එය අදාළ පුද්ගලයන්ගේ පවුලේ යැපීම සඳහා ප්‍රමාණවත් නොවීම වෙනම කතාවකි. කෙසේ වෙතත් මාසික වැටුපක් ලැබෙන සේවක පිරිසට තමන්ට මාස්පතා ලැබෙන එම වැටුපෙන් වේලක් ඇර වේලක් කමින් හෝ ජීවත් විය හැකිය.
එසේ වුවද ස්වයං රැකියාවල නිරත වන වැඩිදෙනකු ඉකුත් කොරෝනා සමයේ ජීවත් වූයේ කිසිදු ආදායමක් නොලැබය. ඉතාමත් අසරණව සහ නොවිඳිනා දුක් විඳිමින් ඉකුත් කොරෝනා ඇඳිරි නීති කාලය දුකසේ ගෙවා දැමූ එම පිරිස මෙරට මුදලාලි පැලැන්තිය විසින් තම හිතුමතයට සිදුකර තිබෙන මෙම මිල ඉහළ දැමීම නිසා අද මුහුණ දී සිටින්නේ අතිශයින් ඛේදනීය ඉරණමකටය.
එසේ වුවද අද ඔවුන්ට මුහුණපෑමට සිදුවී ඇති මෙම වින්නැහිය දැක දැකත් ආණ්ඩුව සිටින්නේ ඒ ගැන වගේ වගක් නැතුවය. ඇතැම් විට ආණ්ඩුවේ බලධාරීන් සිතනවා ඇත්තේ එම ක්‍රියාවලිය තමන් විසින් කරන ලද ක්‍රියාවක් නොවන බැවින් ඒ ගැන වද වීමට තමන්ට අවශ්‍යතාවක් නැති බව විය හැකිය. එසේ වන්නේ ඒ ආණ්ඩුව මගින් සිදු කරන ලද්දක් නොවන බැවිනි.
කෙසේ වෙතත් කවර රටක වුවද ආණ්ඩුවක් සතු ප්‍රධානතම වගකීමක් වන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීමය. එසේ වුවද මේ වන විට වත්මන් ආණ්ඩුව සිටින්නේ තමන් සතු එම වගකීම් වලින් ක්‍රමයෙන් බැහැර වෙමිනි. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයක් වන්නේ මෙරට සහල් මිල තීරණය කිරීමේ වගකීම ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිහිපදෙනකු විසින් භාර ගෙන තිබීමය.
එසේම ඉකුත් දා වැඩි වූ ගෑස් මිල තීරණය කෙරුණේ මෙරට ගෑස් ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් විසිනි. මෑතක දී රට පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය යටතේ පත්වූ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා රටේ බොහෝ පෙදෙස්වල පිහිටි පෞද්ගලික සහල් ගබඩාවලට කඩා පැන එහි තිබූ සහල් තොග අත්අඩංගුවට ගෙන තිබුණේ අවට සිටිය වුන් තුළ පවා තිගැස්මක් ඇති කරවමිනි. එහෙත් අන්තිමේදී සිදුවූයේ එලෙස හොරාට සඟවාගෙන සිටි සහල් තොග නියමිත පරිදි මුදල් ගෙවා රජයේ භාරයට ගැනීමය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 දී ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර පුන පුනා කියා සිටියේ තමන් බලයට පත්වූ පසු “එක රටක් - එක නීතියක්” යන සංකල්පය අකුරටම ක්‍රියාත්මක කරන බව ය. එහෙත් මේ වන විට එවැනි ලොකු කතා වචනවලට පමණක් සීමා වී ඇති බවක් පෙනෙන්නට තිබේ. දේශපාලඥයන් අද පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන්ට අනවශ්‍ය බලපෑම් කරන්නේ පෙර මෙන් හොර රහසේ නොව ප්‍රසිද්ධියේ කාටත් පෙනෙන පරිදිය.
මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සර උළෙල අනුරාධපුර සාලියපුර හමුදා කඳවුරේ පැවති අවස්ථාවේ ප්‍රධාන අමුත්තා වශයෙන් ඊට සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපූරු ප්‍රකාශයක් කර තිබුණේය. එතුමා එහිදී කියා තිබුණේ මෙරට ජනතාව තමන් ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් බලාපොරොත්තු වූ සේවය තවමත් ඉටුවී නැතැයි තමන් පිළිගන්නා බවයි. ඒ පිළිබඳව නිදහසට හේතු දැක්වීමට තමන් සූදානම් නැතැයි කී ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස අඩුපාඩු සිදු වූ සියලුම කරුණු කාරණා ඉතා ඉක්මනින් ඉටු කරන බවට ද ප්‍රතිඥාවක් දී තිබුණේ ය.
යම් කෙනකු තමන් අතින් සිදුවූ වැරදි සහ අඩුපාඩු ගැන අවංකවම පිළිගැනීම ඉතා හොඳ සත් ක්‍රියාවකි. එසේම එවැනි වැරදි සහ අඩුපාඩු යළි සිදු නොවීමට වගබලා ගැනීමද ඊටත් වඩා යහපත් ක්‍රියාවකි. තමන් විසින් දුන් එම ප්‍රතිඥාව ගැන තම ඇමති මණ්ඩලය ද දැනුවත් කර ඔවුන් ද ඒ සඳහා මෙහෙයවීම යහපත් රාජ්‍ය නායකයකු සතු වගකීමක් බව අපගේ අදහසයි. එසේ නොකළහොත් සිදුවන්නේ රාජ්‍ය නායකයා තමන් අතින් සිදු වූ සියලු අතපසුවීම් සහ අඩුපාඩු නිවැරදි කර ගැනීමට වෑයම් කරද්දී ඔහුගේ ඇමැති ගෝලබාලයන් දිගින් දිගටම පිස්සු කෙළීමය. එවන් අනවශ්‍ය ක්‍රියාවලියකට ඉඩක් නොතබා තමන්ගේ ගෝලබාලයන් මේච්චල් කර ගැනීම අද ජනාධිපතිතුමා හමුවේ තිබෙන ප්‍රධානතම වගකීමයි. සැබැවින්ම එය අභියෝගාත්මක බව පිළිගත යුතු කරුණකි.
(***)