යක්කුරේ යනු මෙරට යක්ෂ පරම්පරාව ජීවත්වූ අවසන් ගම්මානයයි. අද යක්කුරේ කියා හඳුන්වන්නේ එදා යක්ෂ පරම්පරාව සිටි නියම ගම නොවේ. ඉහළ යක්කුරේ සහ පහළ යක්කුරේ ලෙස යක්කුරේ ගම අද හඳුන්වයි.
අතීතයේදි වෛද්‍ය ක්‍රම සහ නව තාක්ෂණික දැනුම අතින් පෝෂණය වූ යක්ෂ පරම්පරාවේ වැසියන්ගේ අද ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ ගොවිතැනයි. ගොවිතැන් කළ පසු ඉතිරි කාලයේදී මේ අය ජීවත්වන්නේ “ගඟ ඇදීමෙනි”. ගඟ අදිනවා කියන්නේ ගොවිතැන් කටයුතු අවසන් වූ මහවැලි ගඟේ ජලය අඩු වූ විට ගඟේ ගොඩ මැණික් ඉල්ලම සොයා ගඟ ගොඩට අදින එකටය. අද වන විට යක්කුරේ ගමේ බොහෝ දෙනෙක් ගඟ ඇදීම කරන්නේ ජීවත් වෙන්නට වෙනත් මඟක් නැති හෙයිනි. ලොකු මැණික් නැතත් කුඩා මැණික් ගල් ගඟ ඇදීමෙන් මේ අයට හමු වී ඇත. අත් පෝරු ලෑලි සහ උදලු භාවිත කොට ගඟ ඇදීම සිදුකරයි.
යක්කුරේ වැව ආශ්‍රිතව ගොඩ නැඟුණු පැරැණි ගම අද කෙත් යායකි. එහෙත් පැරණි ගමේ ගොඩනැගිලි තැනින් තැන දක්නට ඇත. සමහර කුඹුරු ඉඩම් වනජීවි රක්ෂිත භූමියේ තිබුණ ද ඒවා වගා කිරීමට වනජීවියෙන් යක්කුරේ ගම්මුන්ට අවසර දී ඇත. පැරණි ගම්මානය ඉවත් කෙරුණේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේය. ගමේ කොටසක් ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට පවරා ගැනුණි.
යක්කුරේ ජනතාව පැවත එන්නේ කුවේණියගේ දරු දෙදෙනා වන ජීවහත්ත හා දිසාලාගෙන් බවට ඉතිහාසයේ සඳහන් වෙයි. කදුශිඛර ආශ්‍රිතව යක්ෂ පරම්පරාව ජීවත් වූ බැවින් යක්සිරිපුර ලෙස ද මෙම ප්‍රදේශය හඳුන්වා තිබේ. පසු කලෙක එය යක්කුරේ ලෙස හැඳින්වුණි. මහාවංශයේ යක්කුරේ හැඳින්වූයේ යක්බසූකර නමිනි. යකෙක් වගේ සිටි ශක්තිමත් ඌරෙක් දඩයම් කිරීමට යාමෙන් ඌ මහවැලි ගඟට වැටී ඇත. එම නිසා යක් ඌරාතොට යක්කුරේ ලෙස පසුව හැඳින්වූ බවට ද මහාවංශයේ සඳහන් වී තිබේ.
මහවැලි ගඟ මැද පිහිටි කාලිංග දූපතට යාම දුෂ්කරය. එහෙත් යක්ෂ පරපුරේ ඉතිහාසය සොයා අපි කාලිංග දූපතේ සංචාරයක නිරත වූයෙමු. ඒ ගමනේ දුෂ්කරතාව ගැන ද නොසිතමිනි. මේ ගමනේදී අපේ සහයට එදා ආවේ යක්ෂ පරම්පරාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හොඳින් ප්‍රගුණ කළ සයිමන් මාමාය. ඔහු නමින් සයිමන් සිංඤෝය. ඔහු අද ජීවතුන් අතර නැත. එහෙත් යක්ෂ පරම්පරාවේ දත්ත ආරක්ෂා කළ අන්තිම පුරුක හෙවත් ඇවිදින පුස්තකාලය ලෙස ඔහු හැදින්වූවාට වරදක් නැත. ඒ තරමට ඔහු සතුව කාලිංග දූපත සහ පැරණි යක්කුරේ ගම මෙන්ම යක්ෂ පරම්පරාවේ තොරතුරු ආරක්ෂා වී තිබුණි.
කාලිංග දූපතේ අද වාසය කරන්නේ වන අලි පමණි. වන අලි 350 ක පමණ එහි වසති. මේ නිසා යක්කුරේ වැසියන් කාලිංග දූපතට වැඩිපුර යන්නේ නැත. එසේම වනජීවී කලාපයකට අයත් නිසා මේ අයට පැරණි දූපතට යාමට අවසර ද නැත. එහෙත් අප මේ ගමනට එක්කර ගැනීමට සයිමන් මාමාට මහත් ඕනෑකමක් තිබුණි. “මහත්තයෝ යන ගමනේදි අලි ආවොත් මොකද කරන්නේ කාලිංග දූපතට යාමට පෙර සයිමන් මාමා අපෙන් ඇසූ කතාවකි. ආවොත් දුවන්න තමයි වෙන්නේ” අපේ මතය විය.
සයිමන් මාමා හයියෙන් සිනාසුනා පමණි. “අලි ආවොත් දුවලා බේරෙන්න බෑ” සයිමන් මාමා කීවේය. ඒ වන විටත් සයිමන් මාමාගේ වයස අවුරුදු 80 පසු කර තිබුණි.
කාලිංග දූපතට ගිය ගමන දුෂ්කර වුවත් ඉතා සුන්දරය. මේ ගමනට එස්. බී. සොමිපාල, අජිත් දේවේන්ද්‍ර සහ කිරිමල්ලි යන අය ද එක් වූහ. යන ගමනේදි ගෝමති ඇළ සහ යක්කුරේ වැවේ ඉතිහාසය සයිමන් මාමා විස්තර කළේය. මෙම ඇළ දිඹුලාගල දක්වා සැතපුම් 21 ක් පමණ වෙතැයි හඳුනාගෙන ඇත. දිඹුලාගල සහ කාලිංග දූපත අතර කෙළින් ගත් විට දුර සැතපුම් 11 කි. එම දුර මෙන් දෙගුණයක් පමණ ගෝමති ඇළ ගමන් කරන්නේ වංගු සහිත ගමන් මාර්ගයකිනි. ගෝමති ඇළේ ඉවුරු එතරම් උස නැත. අතීතයේ ප්‍රධාන නැව් ගමන් කළේ ගෝමති ඇළෙනි. ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ ප්‍රවාහනයේදි ගෝමති ඇළ එකල ප්‍රධාන ගමන් මාර්ගයක් වී ඇත. ගෝමති ඇළට වඩා යක්කුරේ වැව උසින් පිහිටා ඇත.
මේ නිසා ඇළ මාර්ගය ඔස්සේ එන රුවල් නැව් යක්කුරේ වැව ඇතුළට ගෙන වෙළෙඳාම් කටයුතු කිරිමට බාධා වී ඇත. ඒ කාලයේ විශේෂිත විශාල දොරටුවක් ඇර වැවේ ජලය සහ ඇළේ ජලය සම කොට නැව් යක්කුරේ වැව ඇතුළට ගෙන ඇත. එකල යක්කුරේ වැව අක්කර දහස් ගණනක් විශාලත්වයෙන් තිබූ බවත් මහවැලි ගඟ කාලිංග දූපතට එහායින් ගලා ගිය බවටත් අතීතයේ සිට පිළිගත් මතයක් පවතින බව සයිමන් මාමා අපට කීය. ගෝමති ඇළ අද වන විට ගොඩ වී ඇත. මහවැලි ගඟේ ගමන් මඟද එදා මෙන් නොව අද වෙනස් වී ඇති බවට සයිමන් මාමාගේ මතයයි. අතීතයේදී ගෝමති ඇළ හරහා රුවල් නැව් ආ බවට සනාථ කළ හැකි සාධක අදටත් ගෝමති ඇළ සහ යක්කුරේ වැවේ දක්නට ඇති බවට යක්කුරේ වැසියෝ අද ද පෙන්වා දෙති.
කාලිංග දූපතට යා යුත්තේ මහවැලි ගඟට බැස ගමන් කිරීමෙනි. ගඟට බැස ඉණවටක් වතුරේ යන අතරතුර සයිමන් මාමා තවත් අනතුරක් ගැන මතක් කළේය. මහත්තයෝ ගඟේ කිඹුලෝ ඉන්නවා මොකද කරන්නේ යැයි කියාය. ඒ වන විටත් කිඹුල්ලු ගොඩ බිමේ සිට අව්ව තපින අයුරු දක්නට ලැබුණි. ඒ වන විට අපි ගඟේ මැදටම ගොස් සිටියෙමු. දැන් ආපසු හැරෙන්න ද බැරිය. ගොඩට ගියොත් අලින්ගෙන් ජීවිතය බේරා ගත යුතුය. ගඟේදි කිඹුලන්ගෙන් ජීවිතය බේරා ගත යුතුය. වෙන දෙයක් වුණා දෙන් කියා ජීවිත අවදානම ද නොතකා අපි කාලිංග දූපතට ගියෙමු.
කාලිංග දූපතට ගොඩ වූ විගසම සයිමන් මාමා තවත් ඉඟියක් කළේය.“අපට දූපතේ ඉන්න පුළුවන් පැය තුනයි” කියාය. අලි මන්තර මගින් අලි එන එක පාලනය කළ බවත් එම මන්ත්‍ර අතීතයේ සිට යක්ෂ පරම්පරාවේ අය භාවිත කළ තිබූ බව සයිමන් මාමා අපට කීවේ යක්ෂ පරම්පරාවේ යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් තබමිනි. අපි කාලිංග මාඝගේ මාලිගාව තිබූ තැනට ගිය අතර එම මාලිගාවේ නටබුන් අද ද දක්නට ඇත. එහෙත් පුරාවිද්‍යාත්මක සංරක්ෂණයක් නම් ඒ අවට නොතිබුණි. අඩුම තරමේ ඒ අතීතය සෙවීමට කිසිදු කැණීමක්වත් එහි කර තිබුණේ නැත. එහෙත් නිධන් හොරුන් නම් එම මාලිගාවේ කොටස් විනාශ කර ඇති අයුරු දක්නට ලැබුණි.
කාලිංග දූපතේ සිට එගොඩ බැලූ විට මෙය ලංකාව දැයි සිතා ගැනීමට බැරිය. ඒ තරමට සුන්දර පරිසර පද්ධතියක් ඒ අවට ඇත. කිසියම් ගුප්ත බවක් එම භුමියේ සහ ඒ අවට තිබුණද එය යටපත් කරමින් පරිසර සුන්දරත්වය ඉස්මතු වෙන්නේ අපගේ ගමන් මහන්සිය සහ සිතේ තිබූ බිය දුරු කරවමිනි. අදටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වනජීවි සහ මහවැලියේ, සංචාරක අමාත්‍යාංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක අධීක්ෂණයකට ලක්ව නැති බව නම් පෙනේ. එනිසා මේ ගැන අවධානය නිසි ලෙස යොමු කළොත් කාලිංග දූපතේ වැළලුන කතාව හරහා මෙරට ඉතිහාසයේ නව මානයක් බිහි වන බව නම් නිසැකය.
කාලිංග දූපතට යන අතර හමුවෙන්නේ ගෝමති ඇළයි. ගෝමති ඇළ ගැන දිගු ඉතිහාසයක් තිබේ. මෙම ඇළ දිඹුලාගල දක්වා සැතපුම් 21 ක් පමණ වෙතැයි හඳුනාගෙන ඇත. දිඹුලාගල සහ කාලිංග දූපත අතර දුර සැතපුම් 11 කි. එම දුර මෙන් දෙගුණයක් පමණ ගෝමති ඇළ ගමන් කරන්නේ වංගු සහිත ගමන් මාර්ගයක වන හෙයිනි. ගෝමති ඇළේ ඉවුරු එතරම් උස නැත. අතීතයේ ප්‍රධාන නැව් ගමනා ගමනය කළේ ගෝමති ඇළෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ගෝමති ඇළ අද වන විට ගොඩ වී ඇති බව සයිමන් මාමාගේ මතයයි. එහෙත් අතීතයේදී රුවල් නැව් පවා ගමන් කළ බව සනාථ කළ හැකි සාධක ඇති බව යක්කුරේ වැසියෝ අද ද පෙන්වා දෙති.
(*** ප්‍රගීත් සම්පත් කරුණාතිලක)