යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවැත්වුණි. වසරේ හොඳම නවකතාව වෙනුවෙන් මෙවර ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ ලේඛිකා විරාජිනී තෙන්නකෝන්ය. ඒ ඇය රචනා කළ කැමෙලියා නවකතාව වෙනුවෙනි.

විරාජිනී මීට පෙර රචනා කළ මකරානන්දය නවකතාව 2019 වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් මෙන්ම විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය. මතු දැක්වෙන්නේ විරාජිනී තෙන්නකෝන් සමග අප කළ සංවාදයක සටහනකි.

කැමෙලියා නවකතාව රචනා කිරීමේ දී ඔබ තෝරා ගන්නා අනුභූතිය පරිකල්පනාත්මකව ගොඩනැගීමේ දී ගත් වෙහෙස මුලින්ම කතා කරමු.

කැමෙලියා කියන නම එක්ක බලද්දී එය තේ කර්මාන්තය හා බැඳුණු එකකැයි කීම නිවැරැදියි. කැමෙලියා සිනෙන්සිස් කියන්නෙ තේ ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය. යටත් විජිත යුගයේ වික්ටෝරියානු සංස්කෘතික සිරගතවීම් මැද සිලෝනයේ පසට හුරු කරවන තේ වගාව යනු කෙනෙකුට ධන උල්පතක් සේම තව කෙනෙකුට නරකාදියේ දොරටු විවර කර දීමක්. ඒත් මේ වතු හිමියා සහ වතු කම්කරුවා යන දෙකොට්ඨාසයම තේ වගාව වෙනුවෙන් තම ජීවිතය බිලි දුන්නා. දකුණු ඉන්දීය ද්‍රවිඩ මිනිසුන්ට තම උපන් බිම හැර දමා පැමිණ වෙනස්ම භූමියක තනිකමේ ව්‍යාධියට මුහුණ දෙන්න සිදු වුණා. වෛද්‍ය පහසුකම් හෝ ප්‍රවාහන පහසුකම් හෝ නොදියුණු එවන් යුගයක සුදු කළු සියලු‍ මිනිසුන්ගේ දෛවය ලියා තිබුණේ තේ පදුරක හෝ වියැළෙන තේ කොළයක පමණයි. ඒ අතරේ සිලෝනයට වරින් වර හඳුන්වාදෙන දේශපාලන අත් හදාබැලීම් ලාභය සහ ජාතීන් අතර බෙදීම අරමුණු කරගෙන සිදුවීම ව්‍යසනයක්. එවන් පරිසරයක තමයි කැමෙලියා දලු‍ ලා වැඩෙන්නේ.

කැමිලියා නවකතාව පමණක් නොව මකරානන්දය නවකතාව බැලු‍වත් ඒ නවකතාවල මතු කරන තේමාත්මක අපූර්වත්වය නවකතාව නම් කලාංගය නව මඟකට ගෙන යාමට සමත් වෙනවා. නවකතාවක් තුළ අපූර්වත්වය වැදගත් වෙන්නේ ඇයි ?

යම් පුද්ගලයකු නව උත්පාදනයක් නව සොයා ගැනීමක් සිදු කරනවා නම් එය වඩාත් ඵලදායීවන්නේ එම නිෂ්පාදනයේ හෝ නිර්මාණයේ ඇති නව්‍යතාව මතයි. කිසියම් නිෂ්පාදනයකට වානිජමය වටිනාකමක් ලැබෙන්නේද එහි තිබෙන පෙර නොවූ විරූ අපූර්වත්වය නිසයි. ලෝකයේ නව සොයා ගැනීම්වල ගලායාම සිද්ධවන්නේ එකකට එකක් වෙනස් අත්දැකීම් එකකට එකක් වෙනස් ආකාරයෙන් බෙදාගැනීමේ පර් යේෂණ හරහායි.

අප්‍රිකානු වහල්භාවය හා එහි ඇති කෲරත්වය පිළිබඳව වගේම දෙවැනි ලෝක යුද්ධයෙන් කඩා වැටුණු මනුෂ්‍යත්වය පිළිබඳවත් අදටත් නවකතා ලියැවෙනවා. අවශ්‍යවන්නේ ඒ සියලු‍ ලියවිලිවලට වඩා වෙනස් මානයකින් ඔබට එය දකින්නට හැකි අපූර්වත්වයයි. මම හිතන්නේ ලේඛකයා යමක් දෙස බැලිය යුත්තේ එහි අපූර්වත්වය අල්ලාගැනීම පිණිස පමණමයි.

භාෂාව නවකතාකරුවාගේ ප්‍රධාන මෙවලමයි. ඔබේ නවකතාවල භාෂා භාවිතයේ අපූර්වත්වය කෘතියේ සාර්ථකත්වයට ප්‍රබල හේතුවකැයි කියන්න පුළුවන්. නවකතාවක භාෂාව තීරණය වන්නේ කොහොමද?

භාෂාව කියන්නේ නවකතාවක ජීව ගුණය සුරකින ප්‍රධානතම සාධකයයි. මෙහෙම හිතමු. ගඟක දිග පළල ගැඹුර දියෙහි ස්වභාවය අනුව ඔබ එහි එහා ඉවුරට පිවිසෙන ආකාරය තීරණය කළ යුතුයි. ඔබේ ආත්ම විශ්වාසය සහ ගඟේ ස්වභාවය පිළිබඳව ඔබට ඇති අවබෝධය මත දියට බැස පිහිනනවාද? යාත්‍රාවක පිහිට පතනවාද? යන්න තීරණය කිරීම ඔබ සතු කාර්යයක්. ඔබේ පිහිටට කිසිවකුත් නෑ. පළමුව ඔබ එතෙර වී ඔබේ පාඨකයා ආරක්ෂිතව ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ඔබේ නිර්මාණ ගඟින් එතෙර කරවීම

ඔබගේ වගකීමක්.

ඔබ ඔබගේ අනුභූතිය ද චරිත ස්වභාවයන්ද කතාවේ ගලායාම සිදුවන කාල පරාසය ද සැලකිල්ලට ගෙන එහි රිද්මානුකූල භාෂාව පිළිබඳ තීරණය ගත යුතුයි. භාෂාවෙන් නවකතාවකට සිදුවන බලපෑම සුළු

පටු නෑ.

එදාට වඩා නූතනයේ කතාකරුවන් අලු‍ත් තේමා සහ නව අත්හදා බැලීම් සාර්ථකව කරන බව පෙනෙනවා. මේ ගැන මොකද කියන්නේ?

මට මේ කාරණය සමග එකඟ වන්න අපහසුයි. නව අත්හදාබැලීම් සිදු කරන්නට පෙර පර් යේෂණ සිදු කිරීමයි වැදගත්. සාහිත්‍යමය පර් යේෂණ සිදු කළ යුත්තේ අපගේ දූපත තුළ පමණක් මුහුණ හොවාගෙන නොවෙයි. ඒ සඳහා අපි විදෙස් නිර්මාණකරුවන්ගේ නිර්මාණ කියවා විශ්ලේෂණය කරමින් පර්යේෂණාත්මකව එහි පවතින භාෂා රීති සංස්කෘතික ගනුදෙනු අලු‍ත් හැඩයන් සහ තේමාත්මක විපර්යාසවලට සංවේදී විය යුතුයි. කුඩා දූපත් වාසීන් වන අපට ඇති අත්දැකීම් ඉතා අල්පයි. වෙනත් රටවල ලේඛක ලේඛිකාවන් නවකතාවක් ලියන්නට ආරම්භ කරන්නේ දකුණු ඇමරිකාවෙන් වෙන්න පුළුවන්. ඒත් ඔවුන් එය ලියා අවසන් කරන්නේ උතුරු අප්‍රිකාවේ සිට වෙන්න පුළුවන්.

ඔවුන් මුහුණ දෙන විවිධ සංස්කෘතික අත්දැකීම් අවසාන වශයෙන් පෝෂණය කරන්නේ ඔවුන්ගේ නිර්මාණ. ඉතින් අප එවන් නිර්මාණ පරිශීලනය නොකර යම් නිර්මාණයක් එළි දක්වනවා නම් එවා සාම්ප්‍රදායික යල් පැන ගිය අතීතකාමය තුළ පමණක් සිර වූ නිර්මාණ වීම වළක්වන්න බෑ. මට හිතෙන්නේ අප තවමත් නවකතාවේ තේමාත්මක වශයෙන් හා අත්හදාබැලීම්වලදී යම් තැනක සිරවී සිටිනවා කියලයි.

විචාර කලාවේ පවත්නා තත්වයත් ඔබ මේ කියන සාම්ප්‍රදායික සිරගතවීමට හේතු වෙන්න පුළුවන්. නූතන විචාර කලාව ගැන ඔබ මොකද හිතන්නේ?

ලංකාවේ විචාර කලාව සමබරතාවෙන් යුතුව තවදුරටත් දියුණු විය යුතු බවයි මගේ අදහස. පෞද්ගලික දැන හැඳුනුම්කම් මත හෝ අමනාපකම් මත විචාර තුලාවේ එක් පැත්තක් බර වන හෝ ඉහළ යන විචාර කලාවකින් සිදුවන යහපතක් නෑ. ලාංකික පාඨකයාගේ සාහිත්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් විචාරකයාට ඇති වගකීම අති මහත් .

 

(***)

සංවාද සටහන

ගාමිණි කන්දේපොළ