වසර හතරකට පෙර එනම් 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබුණු පාස්කු ඉරිදා දින සංචාරක හෝටල් තුනකට හා ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල මහා මොළකරු පිළිබඳව බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය පසුගිය සතියේ විකාශය කළ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.
එසේම ජීවිත 269 ක් බිලිගත් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා 2021 දී විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර මෙරට රූපවාහිනී නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට අදහස් කරන බවද ඔහු පසුගිය ඉරිදා ප්‍රකාශ කොට තිබිණි.
මෙවැනි පරීක්ෂණ දෙකක් කුමකටද යන්න පැහැදිලි නැත. අපට වැටහෙන ආකාරයට නම් මෙම යෝජිත කමිටුවේ හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පරීක්ෂණ අතර වෙනසක් තිබිය නොහැකිය.
යෝජිත කමිටුව චැනල් 4 වාර්තා වැඩ සටහනෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සුදුසු යැයි හැඟෙන පුද්ගලයන් කැඳවා සාක්ෂි ලබාගනු ඇත. කමිටුව ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස මහ මොළකරුවකු සිටියේ දැයි සොයන අතර තේරීම් කාරක සභාව එම ප්‍රහාරය පිටුපස හිටපු නීතිපතිවරයා සඳහන් කළ ආකාරයට කුමන්ත්‍රණයක් තිබුණේ දැයි සොයනු ඇත. ඒ අනුව බොහෝ විට තේරීම් කාරක සභාවද සාක්ෂිදීම සඳහා කමිටුව විසින් කැඳවනු ලැබූවන්ම කැඳවිය හැකිය.
චැනල් 4 වාර්තා වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන මතය වන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහමොළකරු යන්න හා ප්‍රහාරය ගැන පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවතුණේය යන්නයි. හිටපු නීතිපතිවරයා කුමන්ත්‍රණයක් සිදුවී ඇතැයි පවසන අතර කුමන්ත්‍රණකරුවන් වෙනම තලයක සිට ඇති බව ඉහත කී සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණි.
අවසානයේදී මෙම කමිටුවත්, තේරීම් කාරක සභාවත් බොහෝ විට සොයනු ඇත්තේ මහ මොළකරුය.
කෙසේ වතත් හිටපු නීතිපතිවරයා දේශපාලන කුමන්ත්‍රණයක් අදහස් කළේද යන්න මෙහිදී මතුවන ප්‍රශ්නයකි. ඔහු පවසා තිබුණේ මහා කුමන්ත්‍රණයක් තිබී ඇති බවය. වසර ගණනාවක් නොවේ නම් මාස ගණනාවක් ඉතා රහසිගතව සැලසුම්කොට, පුහුණු වීම් කොට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමක් වන හෙයින් හිටපු නීතිපතිවරයා අලුතින් කිසිවක් ප්‍රකාශ කොට නැතැයි කෙනකු තර්ක කළ හැකිය.
අනෙක් අතට මහා කුමන්ත්‍රණයක් පැවැති බවට තමන් නිගමනයකට පැමිණි ආකාරයද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කොට තිබිණි. පහරදීමේ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ක්‍රම හා රාජ්‍ය බුද්ධි සේවය සතු තොරතුරු මගින් මහා කුමන්ත්‍රණයක් පැවැති බව පැහැදිලි යැයි ඔහු පවසයි.
ජනාධිපතිවරයා දැන් පරීක්ෂණ කමිටුවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට යන්නේ දැනටමත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ පරීක්ෂණ කමිටුවක්, ජනාධිපති කොමිෂන් සභාවක් හා එවක සිටි කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පරීක්ෂණ පවත්වා තම වාර්තා ඉදිරිපත් කොට වසර එකහමාරකට වැඩි කාලයක් ගතව තිබෙන තත්ත්වය තුළය.
ජනාධිපති සිරිසේන මහතා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිනකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කළේය. එම වසරේම ජුනි 10 වැනිදා එම කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේය.
එම වසරේ සැප්තැම්බර් 20 වැනිදා ජනාධිපති සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහත කී කොමිෂන් සභාව පත් කළේය. එම කොමිෂන් සභාව 2021 පෙබරවාරි 1 වැනිදා සිය වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේය.
2019 මැයි 22 වැනිදා කතානායකවරයා ඉහත කී තේරීම් කාරක සභාව පත් කළේය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා එහි සභාපති විය. දැන් මෙම කමිටු කොමිෂන් සභා හා කාරක සභාවල වාර්තා පාර්ලිමේන්තුවලට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ඒවා දැන් කතෝලික සභාව ඇතුළු අවශ්‍ය අයටද ලබාදී තිබේ. දැන් දේශපාලනඥයන් මෙන්ම කතෝලික සභාවද ප්‍රහාරයේ මහමොළකරුවා හෙළි කරන්නැයි කරන බලපෑම්වලින් පෙනෙන්නේ එම පරීක්ෂණ තුනම සෙවිය යුතු ප්‍රධාන පිළිතුර සොයා නැති බවයි.
එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව සලකන්නේ මහමොළකරු ප්‍රශ්නය තමන් විසඳා ඇති බවයි. ආණ්ඩුවේ නායකයින් දරන මතය වී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය යනු ස්වර්ගයට යාමේ අභිලාෂයෙන් සිත ඔද්දල් කරගත් මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කොට ඇතිවා විනා ඒ පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් හෝ මහමොළකරුවෙක් නැති බවය. 2021 අප්‍රේල් 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ එවක මහජන ආරක්ෂක ඇමැතිව සිටි සරත් වීරසේකර මහතා පාස්කු- ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු දැනට අත්අඩංගුවේ සිටින නවුෆර් මව්ලවි යැයි කීවේය.
ඇත්ත වශයෙන් 2019 නොවැම්බර් මස තමන් බලයෙන් ඉවත්වන තෙක්ම යහපාලන ආණ්ඩුවේ නායකයින් දැරූ මතයද එයයි. එහෙත් එය එවක විපක්ෂයේ සිටි පොදුජන පෙරමුණ පිළිගත්තේ නැත. ඔවුහු තමන් බලයට පත්වූ පසු ප්‍රහාරය පිටුපස සිටි සියලු දෙනා හෙළිකොට ඔවුනට දඬුවම් දෙන බව පැවසූහ. බලයට පත්වූ පසු ඔවුහුද අත්අඩංගුවේ සිටින්නන් හැර වෙනත් මහමොළකරුවන් නැතැයි කියන්නට වූහ. දැන් ප්‍රහාරය සිදුවූ කාලයේ ආණ්ඩුවේ සිටි පිරිස මහමොළකරුවකු ඉල්ලා සිටිති.
එම පිරිස මහමොළකරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇඟිල්ලක් දිගු කරන්නට පටන් ගත්තේ 2020 දී හෝ 2021 දීය. එයද පරීක්ෂණ කළ හෝ කරන කිසිදු ආයතනයකින් කිසිදු අලුත් යමක් සොයාගැනීම නිසා හෝ සැක කිරීමට තරම් අලුත් යමක් සිදුවීම නිසා හෝ නොව අලුත් තර්කයක් ජනප්‍රියවීම නිසාය. දඩයම කරගසා ගෙන යන්නා දෙස බලා දඩයම්කරු අනුමාන කරත හැකිය යන්න තර්කයයි.
මෙයද අලුත් තර්කයක් නොවේ. 1993 දී එවක ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් දෙදෙනාගෙන් කෙනකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කෙරුණු විට එම පෙරමුණේ අනෙක් නායකයා වූ ගාමිණී දිසානායක මහතා අභියෝගයකින් තොරව එකම නායකයා බවට පත්විය. එවිට ඇතුලත් මුදලි මහතාගේ මරණයෙන් ප්‍රයෝජන ලැබූවන් දෙස බලා ඝාතකයා සොයාගත හැකිය. එවක සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එම තර්කය සමාජයේ සෑහෙන පිරිසකගේ සිත් තුළට කා වැදී ඇත. චැනල් 4 රූපවාහිනිය කළේ කේක් ගෙඩිය මත අයිසිං තැවරීම පමණි. ඔවුන් එය කළේද පිළිගත හැකි සාක්ෂි සාධක ඉදිරිපත් කොට නොවේ.
කෙසේ වෙතත් මෙතෙක් කෙරුණු පරීක්ෂණවලදී හෙළිදරව් වන ඇතැම් කරුණු ප්‍රශ්නකාරීය. සිද්ධිය වූ දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බයක් පුපුරුවාගෙන මියගිය පුද්ගලයා බෝම්බ පුපුරා ගන්නට මද වේලාවකට පෙර රාජ්‍ය බුද්ධි අංශයක සාමාජිකයකු හමුවී යැයි කියන සිද්ධිය ඉන් එකකි. ප්‍රහාරය එල්ල කරන්නත්, එල්ල කරන ක්‍රමය, එල්ල කරන ස්ථාන යනාදී සියලු තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වළක්වා නොගැනීම තවත් ප්‍රශ්නයකි.
මේ අනුව දඩයම කර ගසාගෙන යන්නා දඩයක්කරු වීම ඇතුළු ඕනෑම දෙයක් සිදුවී තිබෙන්න ඇතැයි යන තැනට ඕනෑම අයකු තල්ලු වී යයි. ධනය හා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පෙළැඹෙන පුද්ගලයෝ සිටිති. එහෙත් අප යමක් තීරණය කළ යුත්තේ සාක්ෂි ඇත්නම් පමණි.
කෙසේ වෙතත් මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අලුතින් පරීක්ෂණ කෙරෙන්නේ නම් බලධාරීන් කලින් පැවැති පරීක්ෂණ යාන්ත්‍රණවල අඩු පාඩු තේරුම් ගත යුතුවනු ඇත. විශේෂයෙන්ම එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිද්ධියට ඍජුවම අදාළ කරුණුවලට වඩා ඇතැම් දේශපාලනඥයන් හා විවිධ සංවිධාන තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව ඉදිරිපත් කළ අදහස් ඔස්සේ හඹා ගිය බවත් පෙනෙන්නට තිබේ. ඒ අනුව කාත්තන්කුඩි නගරයේ රට ඉඳිගස් ගැනත් අරාබි නාම පුවරු ගැනත් හිස්බුල්ලා මහතාගේ විශ්වවිද්‍යාලය ගැනත් ප්‍රශ්න කරමින් සිටිනුද දක්නට ලැබිණි.
ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ දේශපාලන පක්ෂවල හා ඇතැම් සංවිධානවල මතවාදී බලපෑම් අනුවය. පසුව ඉන් ඇතැම් පුද්ගලයෝ සාක්ෂි නැතැයි නිදහස් කරනු ලැබ යළිත් ඇති වූ මතවාදී බලපෑම් නිසා යලිත් අත්අඩංගුවට ගනු ලැබ යළිත් සාක්ෂි නැතැයි නිදහස් කරනු ලැබූහ. මෙය අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයකි. එය දේශපාලනඥයින්ට විසඳිය නොහැකිය. එය විසඳිය යුත්තේ එම විෂයය පිළිබඳ විශේෂඥතා දැනුම ඇත්තන්ම පමණි.
(*** එම්.එස්.එම්. අයුබ්)