යුක්තිගරුක පාලනයකට ප්‍රවේශයක්


දූෂණය තුරන් කිරීම ඉතා ජනප්‍රිිය මාතෘකාවකි. මෑත කාලය තුළ බලයේ සිටි ආණ්ඩුවල පැවැති දූෂිත සිද්ධි සහ ඇතැම් චෝදනා ඉතාම බරපතළය. මේවායේ ඇත්ත නැත්ත පැහැදිලි නැත. කෙසේ වෙතත් සමහර සිදුවීම්, මහජනතාවගේ පිළිකුලට හේතු වී තිබේ. පහළම පරිපාලන ඒකකයේ සිට ඉතාම මෑතක දී පාර්ලිමේන්තු කමිටුවල කටයුතු දක්වා මෙම පරාසය විහිදී ඇත. මහජන මුදල් ඉතාම පරෙස්සමෙන් විනිවිද පෙනෙන ක්‍රමවේද අනුව වැයකරන්නට ආණ්ඩු වගබලාගත යුතුය. එහෙත් එසේ වෙන්නේ නැත.

ජනතා නියෝජිතයන් ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රියා කිරීම අවශ්‍යය.  ශ්‍රී ලංකාවේ දූෂණ හා මහා පරිමාණ වංචා ජාත්‍යන්තරයේ අවධානයට පවා ලක්ව තිබේ. මැති ඇමැතිවරු, ප්‍රාදේශීය දේශපාලනඥයන් හෝ නිලධාරීහු තරාතිරම නොසලකා පොදුවේ චෝදනාවලට ලක් ව සිටිති. දේශපාලන කණ්ඩායම් හෝ වෘත්තීය සමිති චෝදනා එල්ල කරන අතර බලයට පත් වූ පසු චෝදනාවලින් නිදහස්වීම සාමාන්‍ය සිද්ධියකි. දූෂිත චෝදනා එල්ලවන ඇතැම් දේශපාලනඥයන් මැතිවරණයක දී ඉහළ මනාප ප්‍රමාණයක් සහිතව නැවත බලයට පත්වීම ද අවධානයට ලක්විය යුතු කරුණකි.

රට බෙදන, රට විකුණන හා සමානව දූෂණ හෝ වංචා ගැන ඇතිකරන මතවාද ගැන ද ගැටලු පවතින බව ද සඳහන් කළ යුතුය. අසත්‍ය පතුරුවා චරිත ඝාතනය කරන අවස්ථා වාර්තා වී ඇත. දූෂිත තත්ත්ව අනුමත කරන බවක් මෙයින් කිසිසේත් අදහස් නොකෙරේ. දූෂණය තුරන් කරන අතර සොරකම් වළක්වන නීති අවශ්‍යය. වැරදිකරුවන්ට දඬුවම් කරන ඉක්මන් ක්‍රම හඳුන්වා දිය යුතුවේ.  එහෙත් සොරකම් ඇල්ලීම පමණක් රටක් සංවර්ධනය කරන දර්ශකයක් නොවේ. දූෂණ ගැන කෙරුණ අධිප්‍රචාර පසුගිය කාලයේ ආණ්ඩු බලයට පත් කරන සියුම් හේතු විය. වංචාකරන ලද ධනය පවරාගෙන ජනතාවට සහන සපයන බවට ද ප්‍රකාශ කෙරිණි. එහෙත් ඒවා සිදුවෙන්නේ නැත.  රටක් ගොඩනැගීමේ දී ක්ෂේත්‍ර ආවරණය කරන පුළුල් දැක්මක් අවශ්‍යය. දියුණුවෙන අවස්ථා ඇතිකරන එම දැක්ම තුළ සමාජ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ආර්ථිකය පුළුල් කරන සැලසුමක් තිබිය යුතුය. සෑම රටකම දූෂණය අඩු වැඩි වශයෙන් පවතී. සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වූ සමාජ නැත.

 

සැහැල්ලුව සුදුසු නැති අතර සංදර්ශන ද නරකය

දේශපාලනඥයන්, නිලධාරීන් හා රජයේ ආයතනවල සිදුවන අකටයුතුකම් ගැන සැලකිය යුතු අවබෝධයක් රටට ඇත. මුදල් අයථා ලෙස පරිහරණය වන බව පෙනීයාම එයට හේතුවකි. ජාතික ධනයෙන් සැලකිය යුතු කොටසක් වංචාකරන රටක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දූෂිත ලැයිස්තුවේ සැලකිය යුතු තැනක පසුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන අතර දූෂණ මර්දන පනත් සම්මත කරන ලෙස බල කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහිත ප්‍රධාන රටවල නායකයන් හා ඔවුන්ගේ කටයුතු ගැන ද මේ හා සමාන තත්ත්වයක් ඇත. අවුරුදු පහක් තුළ බ්‍රිතාන්‍යයේ අගමැතිවරු හතර දෙනෙක් පත්කරගනු ලැබ සිටිති. එම නායකයන්ගේ ක්‍රියාකලාපය ගැන ජනතා විශ්වාසය තුරන් වී තිබේ. ඇමරිකාවේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සඳහා සූදානමක් පවතින අතර ඇමරිකානුවන්ට සියලුම නායකයන් එපා වී ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්ට විරුද්ධව විශාල චෝදනා ඇති අතර, බලය හා ධනය අයුතු ලෙස පරිහරණය ගැන අධිකරණයේ නඩු විභාගවෙමින් පවතී. අලුත් වාර්තා අනුව ඔහු ජනාධිපතිවරණ තරගයෙහි ඉදිරියෙන් සිටී. දූෂණය හා බලය ගැන ඇති කරන දේශපාලන සංදර්ශන ද සමාජයට අහිතකර ය . නායකයන් විනාශ කර අනවශ්‍ය තත්ත්ව ඇති කරයි.

බරපතළ දූෂණ චෝදනා සහිත ඇතැම් පුද්ගලයන් ආරක්ෂා වන අතර පොල්ගෙඩියක් සොරකම් කරන අහිංසකයන්ට බරපතළ දඬුවම් නියම කරන ක්‍රමයක් ද රට තුළ පවතී.  එය ද වරදකි. දූෂණ හා වංචා තුරන් කරන ක්‍රමවේදය තුළ අධිකරණ ක්‍රියාපටිපාටිය ද ශක්තිමත් කළ යුතුය. නඩු විභාග ඉක්මන් කරන ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුවේ. නීතිය සෑම පාර්ශ්වයකටම සමාන බව ඔප්පුකිරීම ද මෙහි දී වැදගත්ය. දූෂණය හා වංචා ගැන අනවශ්‍ය අවධානයක් ඇති කිරීම අයහපත් අතර දූෂණයක් සිදුවී තිබේනම් වහාම පියවරගත යුතුවේ.

 

නිදොස්කොට නිදහස් කරන දූෂණ චෝදනා

ඡන්ද වේදිකාව දූෂණ හා වංචා ගැන චෝදනා එල්ලකරන තැනකි. ඉදිරි කාලයේ දී පවා අලුත් වටයකින් රට විනාශ කළ මහා වංචා වාර්තා කෙරෙනු ඇත. ඇතැම් තොරතුරු විශ්වාස කිරීමට පවා අපහසුය. සමහර කාරණා සත්‍ය විය හැකි නමුත් ඇතැම් සිද්ධි පිළිගත නොහැකි බව පෙනේ. පුන පුනා ප්‍රකාශ කරන අසත්‍ය පවා මහජනතාවට ද විශ්වාස කරන්නට සිදුවේ. සිද්ධි පරීක්ෂාකර වංචාකරුවන්ට බරපතළ දඬුවම් නියම කරන කතා නිතර කියැවේ. සංවර්ධන සැලසුම් බලාපොරොත්තුවන මහජනතාවට අත්අඩංගුවට ගැනීම්, වැටලීම් ප්‍රදර්ශනය කරන අතර අවසානයේ දී චෝදනා ඔප්පු කරන්නට නොහැකි වේ. නිදොස් කොට නිදහස් වන අවස්ථා බහුලය.  රට ගොඩනගන දැක්මක් රහිත, ප්‍රතිවාදීන් බෙලහීන කරන දූෂණ මාතෘකාවලින් පමණක් රටට පලක් නැත.  

අප රට තුළ සිදුවන තවත් වරදක් තිබේ. බලයට පත්වන ආණ්ඩු සම්මත නීති තිබිය දී, වෙනම කොමිෂන් ස්ථාපිත කර සොරකම් ගැන පරීක්ෂණ පවත්වයි. ඒවා ද, මහජන මුදල් නාස්ති කරමින් අතීරණාත්මකව අවසන් වේ. කුඩා රටක් වන ශ්‍රී ලංකාවේ නීතිවේදීන් හෝ අධිකරණ කාර්ය මණ්ඩලය සීමිතය. අධිකරණ පද්ධතිය තිබිය දී කොමිෂන් හෝ වෙනත් බලය පවරන අලුත් ආයතන පිහිටුවීමෙන් පසු ඒවායේ සේවයට කැඳවන්නේ ද මෙම සීමිත පිරිස බව පෙන්වා දිය  යුතුය. එකක් වෙනුවට දෙකක් ක්‍රියාත්මක වන නමුත් එකක්වත් නිවැරදිව සිදු නොවේ. දූෂණ සිද්ධිවලින් ජනමතයක් ඇති කර බලයට පත් වී රටක් ඉදිරියට ගෙන යා නොහැක.

 

පිළිතුර තිබිය දී ගැටලුව වෙනස් කරන තීරණ

ශ්‍රී ලංකාවේ පවතින දූෂිත තත්ත්වයට බලපා ඇති හේතු ගණනාවක් තිබේ. මෙහි අභ්‍යන්තරය පමණක් නොව එයට සම්බන්ධ උත්තරය ද නොදන්නෝ නොවෙති. මැතිවරණයක දී දේශපාලනඥයන්ට දිස්ත්‍රික්කයක් තරග කරන්නට සිදුවේ. සමානුපාතික ඡන්ද ක්‍රමය දූෂණය ඇති කරන එක පැත්තකි. ප්‍රචාරක කටයුතු සඳහා අධික මුදලක් වැය කරන්නට අපේක්ෂකයන්ට සිදුවේ. බටහිර රටක ඡන්දයකට වඩා ප්‍රාදේශීය මැතිවරණයකට පවා වියදම් කරන්නට සිදුවන අපේක්ෂකයෝ දූෂණයට ගොදුරුවෙති. ඔවුන් වටා නීති විරෝධී ධනය එකතුවේ. ආසන මට්ටමින් පැවැත්වීමේ දී ඡන්ද වියදම අඩුය. දශක ගණනකට කලින් මෙරට දේශපාලනය සමාජ සේවයකි. ප්‍රභූ පුද්ගලයන් මැතිවරණවලට ඉදිරිපත් වූ අතර දේපොල පවා විකුණා ඡන්දයට වියදම් කරන සංස්කෘතියක් තිබුණි. මෙම ක්‍රමය වෙනස් වී ඡන්දය ධනය සොයන මාර්ගයක් බවට හරවාගෙන ඇත. ධනවත්, ප්‍රභු පැලැන්තියට පමණක් දේශපාලනය සීමා කළ යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ. මැතිවරණයකට වියදම් අවශ්‍ය බව පෙන්වා ධනය කොල්ලකෑමට ඉඩදීම සුදුසු නැත.

සමානුපාතික ක්‍රමය වෙනස් කර ආසන අනුව මිශ්‍ර කළහොත් ජනතාවට වගකියන මහජන නියෝජිතයන් පත් කරගත හැකි අතර ඡන්ද කටයුතු සඳහා කරන වියදම සීමා කළ හැක.

සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ වැඩිම වැටුපක් ලබාගත් අතර ලෝකයේ දුප්පත්ම අගමැති බව කියා සිටියේය. රටකජු වීසි කළහොත් වඳුරන් ලබාගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළ කරුණකි. මහජන නියෝජිතයන්ට ඉහළම වැටුප් හා පහසුකම් දෙන අතර අනිසි ආකාරයට වත්කම් උපයන ලද අවස්ථාවල ඉහළම දඬුවම් නියම කළේය. සුදු ඇඳුමකින් පෙනී සිටි ඔහු පිරිසුදු පාලනයක් ඇති කළේය. මෙරට දේශපාලනඥයන් ද සුදු අඳින නමුත් බහුතරයක් පිරිසුදු නැත. බලය ගන්නටත් රට පාලනය කිරීම සඳහාත් සීලාචාර බව තිබිය යුතුය.

 

නායකයන්ට පැවැරෙන භාරධුර වගකීම

පක්ෂ නායකයන්, ආගමික හා සමාජ නායකයන් වශයෙන් මෙම අවස්ථාවේ දී පැවැරෙන වගකීමක් තිබේ. සීලාචාර වියයුතු අතර සත්‍යගරුක විය යුතුය. දේශපාලන පක්ෂ නායකයන්ට ද තම සාමාජිකයන්ගේ හැසිරීම, විනය ගැන සොයාබැලීමේ වගකීමක් තිබේ. අධිකරණයෙන් තීන්දු දෙන්නට කලින් නායකයන් තීන්දු ගත යුතුය. චෝදනා එල්ලවන පසු විනය සොයාබැලීම දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීම වන සම්ප්‍රදායක් ඇති කිරීම වැදගත්වේ. මහජනතාව ද අවබෝධයකින් සිටීම වැදගත්ය. ඡන්ද දින්නට බඩු බෙදන, සල්ලි විසිකරන දේශපාලකයන් ඒවා ලැබෙන්නේ කොතැනින් දැයි අවධානය යොමු කළ යුතුය. දූෂණ හා වංචාවලින් ලබන ධනයෙන් කොටසක් සමාජයට බෙදන පසු ඒවා ඉවසන කොටස් දූෂණයට විරුද්ධව කතා කිරීම ද එක්තරා ආකාරයක ප්‍රශ්නයකි.

දූෂණ හා වංචා ගැන නගන ඝෝෂාව හා සමානව රජයේ විශාලත්වය ද අවධානයට ගත යුතුවේ. එක අවස්ථාවක ජාතික ආදායමෙන් සියයට අසූව ඉක්මවන ප්‍රතිශතයක් රජයේ සේවක හා විශ්‍රාම වැටුප් සඳහා  වැයකරන්නට සිදු වී තිබුණි. ආදායම සඳහා පනවන අධික බදු රජයේ පැවැත්මට වැය කරන අතර දූෂණය මෙහි කොටසකි. ආදායම ප්‍රමාණවත් නොවන පසු තවත් ණය ගන්නට සිදුවේ. ණය අවිධිමත්ව යෙදවෙනවිට අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කෙරෙන්නේ නැත. කුඩා සහ කාර්යක්ෂම ආණ්ඩුකරණයක් සඳහා තාක්ෂණය උපයෝගී කරගත හැක. දූෂණය හා වංචා අඩු කරගත හැකිවේ. බලපත්‍ර ක්‍රම, අනුමැතිය ගැනීම් හෝ නිලධාරීන්ගේ මැදිහත්වීම ද ආණ්ඩුවක දූෂණයට හේතුවකි. පාලනය ක්‍රම වශයෙන් තරගකාරීත්වය හා නියාමනය හඳුන්වාදිය හැකිය. වංචා අඩු කරන අතරවාරයේ නිත්‍යානුකූල මුදල් හුවමාරු ක්‍රමවේදවලට පෙළැඹවිය යුතුය. එමගින් නීති විරෝධී මුදල් අවහිර කරන අතර තැන්පත් කිරීමේ දී උපයාගත් ආකාරය හෙළිකරන නීති ශක්තිමත් කිරීමෙන් මුල්‍ය විනයක් ද ඇති කළ හැකිවේ.

අලුත් නීති හදන අතර වෙනම ආයතන ගොඩනගන ක්‍රම වෙනුවට සීලාචාර පාලනයක් සඳහා නායකත්වයේ සිට තීරණ ගත යුතුවේ. වාහනය, කාර්යාලය, විදේශ සංචාර වැනි අවස්ථා සරල කර  ආදර්ශවත් විය යුතුය. දූෂණය හා වංචා ගැන චෝදනා එල්ල කිරීම පහසුය. පදනමක් රහිත චෝදනාවලට පසු ඇති කරන අනර්ථය ද සැලකිල්ලට ගත යුතුවේ. දේශපාලනඥයන් හා නිලධාරීන් අතර කැපවීමෙන් සේවය කරන කොටසක් ද සිටී. අසත්‍ය චෝදනා හේතු කොටගෙන මෙම පිරිස් අනවශ්‍ය පීඩනයකට ගොදුරු වී අධෛර්යට පත්වෙති. දූෂණ චෝදනා එල්ල කර මතු කරන අනවශ්‍ය මතවාද රටට අවශ්‍යම කරන ආයෝජන පවා දුර්වල කරන අවස්ථා ඇත. නිලධාරීන් තීරණ ගැනීමෙන් වැළකේ. මෙහි ප්‍රතිඵලය ආණ්ඩුවක කටයුතු තවත් වටයකින් බෙලහීනවීමය.

 

දූෂණයෙන් උපන් ආණ්ඩු දූෂණයෙන්ම වැනසීම

මෑත කාලය තුළ ආණ්ඩු දූෂණ ප්‍රචාරයෙන් බලයට පත්වන අතර බලයෙන් පහවීමට ද දූෂණ චෝදනා බලපා ඇත. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. දේශපාලනඥයන් ප්‍රසිද්ධ වේදිකාවෙදී නගන චෝදනා වාර්තා කරන ඒ ගැන විශාල මතවාද ඇති කරන මාධ්‍යයට පවා මෙම සිද්ධිවල ඇත්ත නැත්ත සොයා මහජනතාවට පෙන්වාදීමේ වගකීමක් තිබේ. අසත්‍ය කරුණු පදනම් කරගෙන මවා පෙන්වන ඇතැම් සිද්ධි අතර ඇපල්වතු, නැව්, රත්තරන් අශ්වයන් හා විදේශ දේපොළ ගැන කතා ලියැවී තිබේ. දේශපාලන උපක්‍රම වශයෙන් ගොඩනැගෙන මෙවැනි විකෘති අදහස් ජනතාව නොමග යවන අතර ශ්‍රී ලංකාවේ සාර්ථකභාවය අඩාල කර ඇත.

දේශපාලන උපක්‍රම හා නීතියේ හැසිරීම ගැන සමාජයට වැටහීමක් තිබිය යුතුය. දූෂණය හෝ වංචා සිද්ධි වාර්තාවුවහොත් වහාම සොයාබලා තදින් ක්‍රියා කරන සීලාචාර යුගයක් කරා දේශපාලන පක්ෂ ගමන් කළ යුතුය. ඕනෑම ක්‍රමයක් තුළ දූෂණය පවතී. එය සහමුලින්ම තුරන් කළ නොහැක. මෙරට දේශපාලනඥයන් ද හෙළිකරන වත්කම්වලට වඩා මුදල් උපයා තිබේ. උපයාගත් ආකාරය පැහැදිලි කරගත නොහැක. හැසිරෙන ආකාරය අනුව තීරණ ගත හැකිවේ. ජනතාව බුද්ධිමත් විය යුතුය. තමන්ගේ මහජන නියෝජිතයා ගේ ක්‍රියාකලාපය ගෞරවයට හේතු නොවන්නේ නම් තීරණ ගැනීමට වගකීමක් පුරවැසියන්ට තිබේ. දේශපාලන ක්‍රමය, නිලධාරීන් හා රාජ්‍ය සේවය යහපත් කරන ප්‍රතිපත්ති තුළින් නීති වගන්තිවලට වඩා සේවයක් රටට කළ හැකිය. සියලුම දෙනා ගේ වගකීම හා කැපවීම ඒ සඳහා අවශ්‍ය කෙරේ. දූෂණය වෙනුවට ආර්ථිකය පුළුල් කරන සැලැස්මකට අනුබලය සැපයීම වැදගත්ය. දූෂණය හා වංචා තුරන් කිරීමෙන් පමණක් ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැති අතර ආර්ථිකය දියුණු කිරීමෙන් සමාන අවස්ථා ජන සමාජයට ලබාගත හැකි බව ද සඳහන් කරන්නට අවශ්‍යය.

මෙම ලිපිය ගැන  ඔබගේ අදහස [email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.