යුක්තියට හිස නැමූ අයුක්තියට පහර දුන් විදේශ දූත මා පියා


මගේ පියා මෙලොව හැර ගියේ ඔහුගේ 90 වැනි උපන්දිනයට මාස කිහියක් තිබියදීය. ඔහු මියයාමෙන් පසුව මගේ දිවංගත සොයුරු රජීව සහ තවත් කිහිප දෙනෙක් ඔහු සිදුකළ සේවාව ගැන එඩිතරාත්මක ලිපි ලියුහ. කෙසේ වුවද අපගේ රට පෙර නොවූ විරූ සමාජ හා ආර්ථකි අර්බුදයන්ට මුහුණ දෙන මෙවැනි කාලයක අවංක බව සත්‍යවාදි බව ආචාර ධර්ම, නීත්‍යානුකූල බව හා ශ්‍රී ලංකාව කෙරේ ඇති දැඩි ආදරය යන කුළුණු මත තම ජීවිතය ගොඩ නගාගත් ඔහු වැනි මිනිසකුගේ ගුණාංග ගැන පාඨකයා සමග අදහස් බෙදා හදා ගැනීම වැඩ දායි වේ යැයි හැඟිමි.

සියවස් කලකට පෙරාතුව රට මුහුණ් පාන අභියෝග හැඳින ඔහු කරුණු අවබෝධ කර ගත්තේය. 1997 දී ඉංග්‍රීසි පුවත්පතකට ලියූ ලිපියක ඔහු මෙසේ කීවේය. ‘‘රට අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ. ඛේදවාචකය ඔස්සේ සමස්තයක් වශයෙන් විනාශකාරී දේශපාලකයන්ට එරෙහිව නැගී සිටිමින් ඔවුන් තැබිය යුතු තැන තබන්නට සමත් නායකයින් ගෙන් හෙබි ප්‍රජාවක් ගොඩ නගන්නට අපගේ සමාජය අපොහොසත් වීමය’’

රාජ්‍ය සේවකයකු ලෙස ඔහු රාජකාරිය පිළිබඳ හැඟීමෙන් යුක්තව, නිපුණ අයකු ලෙස අභිමානයෙන් යුක්තව කැපවීමෙන් සේවය කළේය. පසුගිය දිනක ඔහු ගැන ඉංග්‍රීසි පුවත්පතක කතුවැකියෙනි මෙසේ ලියා තිබිණි. දිවංගත ස්ටැන්ලි ජයවීර රාජ දූත මෙහෙවර යෙදෙමින් කටයුතු කළේ අද අපට බරක් වී ඇති රාජ්‍ය සේවාවට වඩා බෙහෙවින් වෙනස් රාජ්‍ය සේවාවක් මෙරට පැවැති සමයකය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් දර්ශනය ඇතුළු විෂයන් ගෙන් උපාධිය ලබා කෙටි කලකින් ඔහු ගුරු වෘත්තියට ඇතුළු වූයේය. කෝට්ටේ ක්‍රිස්තියානු පාසල ධර්මපාල විද්‍යාලය, හා ධර්මරාජ විද්‍යාලයේ ඔහු ඉගැන්වීමේ යෙදුණේය. ගුරු වැටුපෙන් තම පවුලේ අයට උපකාර කිරීමට නොහැකි වන බව පෙන්වා දුන් ඔහුගේ දෙමාපියෝ ලංකා සිවිල් සේවාවට පිවිසීමේ විභාගයට පෙනී සිටීමට ඔහු කැමති කරවා ගත්හ. ඔහු එම විභාගයෙන් තුන් වැනියා වී සමත් වුවද ඔහු ඇතුළත් වූයේ විදේශ සේවාවටයි. වයස අවුරුදු 31 දී ඔහු පළමුවෙන් විදේශ සේවා තනතුරට පත් වූයේ සිංගප්පූරුවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරය ලබමිනි. ඉන් පෙර මොස්කව් නුවර තානාපති කාර්යාලයක් විවෘත කිරීමේ කාර්ය ඔහුට පැවරූ විට ඔහු ඊට අකමැත්ත පළ කළේ තානාපතිවරයකු ලෙස පත් කළ අයකු සමග කටයුතු කළ නොහැකි වේ යයි සිතූ නිසාය. එවකට නිත්‍ය ලේකම් ගුණසේන ද සොයිසාට ඔහුගේ හිත වෙනස් කළ නොහැකිව හෙතෙම ඔහු අගමැති එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක හමුවට එක්කර ගෙන ගියේය. චකිතයකින් යුතුව තමා අකමැති වීමේ හේතුව මගේ පියා හෙළි කළ විට බණ්ඩාරනායක අගමැතිවරයා මහ හඬින් සිනා නගා ‘‘ගුණසේන, ජයවීර යවන්න සිංගප්පුරුවට, එහෙදි එයාට තමන්ගේම ප්‍රධානියා වගේ ඉන්න පුළුවන් වේවි.’ කීවේලු. ඒ දිනවල මහ කොමසාරිස් කාර්යාලය පිහිටා තිබුණේ මැලේසියාවේය.

1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාලයේ මගේ පියා වූ ස්ටැන්ලි ජයවීරගේ වැඩ තහනම් වූයේය. මගේ පියා ප්‍රධානියාව සිටි විදේශ අමාත්‍යාංශයේ පුරවැසි අංශයේ ඇතැම් ලිපි ගොනු කිහිපයක් අතුරුදන් වී ඇතැයි යන චෝදනාව හිතා මතාම ඔහුට එල්ල කෙරිණි. එය දේශපාලන දඩයකමට වඩා වැඩි දෙයක් නොවුයේය. ඔහු වාම හිතවාදී බණ්ඩාරනායක මැතිනියට හිතවත්ය. යන මතයේ පිහිටා එම පළිගැනීම කර තිබිණි. අවුරුදු 4ක් ඉකුත්ව යන තුරු රාජ්‍ය සේවා කොමිසම ඉදිරියේ ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරන්නට ආණ්ඩුවට නොහැකි විය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මෙම ගැටලුව පාර්ලිමේන්තුවේ කිහිපවරක් මතු කළ පසු එම කාර්ය සිදු වුවද ඔහුට විරුද්ධ චෝදනා අස්කර ගන්නා ලදී. මුළු වැටුපද සමග ඔහු එසැනින්ම නැවත සේවයේ පිහිටුවන ලදී. කෙසේ වුවද ඔහුටත් පවුලේ අයටත් ඒ වනවිට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුව තිබිණි. පළමු වසර දෙකේදී ගෙවනු ලැබුවේ ඔහුගේ වැටුපෙන් 25%කි. ඉන් පසුව 50%දක්වා එය වැඩිකර තිබිණි.

ඔහුගේ සොයුරු නෙවිල් ජයවීර ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් වූයේය. එවකට පැවති රජය ඔහුට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස උසස්වීමක් ලබා දුන්නේය. ඩඩ්ලි සේනානායක ගේත්. ජේ.ආර්. ගේත් සමීපතයකු වූ නෙවිල් ජයවීර පැමිණි ඔවුන් ඉදිරියේ කණගාටුව ප්‍රකාශ කරන සැනින් නැවත සේවයේ පිහිටුවන බව මගේ පියාට කියා තිබිණි.

මම මොකටද කණගාටුව ප්‍රකාශ කරන්නෙ. මම කිසි වරදක් කරල නෑ. කියමින් මගේ පියා දැඩි ස්ථාවරයක පිහිටා සිටියේය. පෞද්ගලික අංශයේ ඔහුට පිරිනැමූ තනතුරු කිහිපයක්ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඩඩ්ලි සේනානායක ආණ්ඩුව යටතේ මගේ පියා හා අප අපහසුතා වින්දේ වුවද මගේ පියා 1973 ඩඩ්ලි මියගිය විට ඉස්ලාම්බාද් නුවර මහතෙකුසිරින් කාර්යාලයේ ශෝකය පළ කිරීමේ පොතක් විවෘත කළේය. එම තීරණය කොළඹ විදේශ අමාත්‍යාංශයට දනවන ලදුව මගේ පියාගෙන් නිදහසට කරුණු විමසන ලද්දේ ඒ සඳහා කොළඹින් උපදෙස් යවා නොතිබුණු නිසාය. පස් වතාවක් අග්‍රාමාත්‍ය පදවිය දැරූ අයෙකුට එවැනි ගෞරවයක් පිරිනැමිය යුතු බව ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේය. ඔහුගේ පිළිතුරු පිළිගැනුණි.

විදේශ සේවාවේ නිරත වනවිට ඔහු දේශපාලකයන් සමගත් විදේශ නිලධාරීන් සමගත් දැඩි සම්බන්ධතා ගොඩ නගා ගන්නට සමත් වුයේය. ඔහු අග්‍රාමාත්‍ය සුලිෆිකාර් අලි භූතේ සමග සුහද සම්බන්ධතා ගොඩ නගාගෙ තිබියයදී භූතෝ ගේ විරුද්ධවාදියා වූ අබ්දුල් මාලි ඛාන් සමගද සමීපව සිටි බව අගමැති භූතෝ දැන සිටියේ නැත. සිරිමා- ශ්‍රාස්ත්‍රි ගිවිසුම සකස් කිරීමට ඔහු සහ ඔහුගේ මිතුරෝ කිහිප දෙනෙක් තීරණාත්මක ලෙස දායක වූවෝය. පාකිස්තානයේ සිටියද නව දිල්ලියේ ඉන්දියානු විදේශ අමාත්‍යාංශ නිලධාරීන් සමගද ඔහුගේ සම්බන්ධතා තිබිණි. වරක් බණ්ඩාරනායක මැතිනිය පාකිස්ථානයට පැමිණි වේලේ ස්ටැන්ලි කොහොමද ඔච්චර දන්නේ. පාකිස්ථාන ගැනද? ඉන්දියාවේ ඉඳගෙන? යනුවෙන් ඇසුවාය.

තම ජ්‍යෙෂ්ඨත්වයෙන් විදේශ තානාපති තනතුරු දැරීමට සුදුසුකම් තිබියදී එවැනි තනතුරු ඉල්ලා සිටීමට මගේ පියා කැමති වූයේ නැත. අවසානයේ අගමැති ප්‍රේමදාස හා ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු එක්ව ඔහු බටහිර ජර්මනියේ තානාපති ධුරයට පත් කරන ලෙස ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන බල කර කියා සිටියහ.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සමාජ ක්‍රියාදරයකු ලෙස කටයුතු කළ ඔහු රටට බලපාන දැවෙන ප්‍රශ්න ගැන තම අදහස් පුවත්පත් හා සඟරාවල සෘජුව දක්වමින් ලිපි පල කළේය. බෞද්ධ ඉගැන්වීම් අනුගමනය කරමින් පිළිවෙත් සුරැකීම මගේ පියාගේ මා අගය කළ ලක්ෂණයක් විය. සියලුම ආගම් මත හා සමාන බවත් ඒවා නිවැරදිව පිළිපදින ලෙසත් ඔහු තම දරුවන්ට කියා සිටියේය. කිසිවකු බලෙන් බුදු දහමට යොමු කරන්නට ඔහු උත්සාහ ගත්තේ නැත. ඔහුගේ ප්‍රබල මතවාදයේ එක් ප්‍රථිඵලයක් වුයේ ඔහුගේ දරුවන්ගෙන් තිදෙනෙකු රෝමානු කතෝලික අය හා විවාහ වී කිසිදු ගැටලුවකින් තොරව ජීවත් වීමයි.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සති අන්තවල ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දේශන පවත්වන්නට පුරුදු වූයේය. මා සිතන පරිදි ඔහු එසේ කළේ කිසිදු අය කිරීමකින් තොරවයි. විදේශ සේවාවන්ට පිවිසීමේ විභාගයට පෙනී සිටි බොහෝ උපාධිධාරීහු විභාගයට සූදානම් වීම සඳහා ඔහු හමුවී කරුණු ගොනු කළහ.

ඔහු සිය පවුල සමග ලැදියාවෙන් කාලය ගත කළ අයෙකි. සෑම දිනකම පවුලේ උදවිය සමග බටහිර සම්භාව්‍ය සංගීතය වාදනය කළේය. නිතර සිනහ සෙමින් විහිලු කතා කීමට ඔහු පුරුදු වී සිටියේය. සුනිල් ශාන්තගේ සහ සී.ටී.ප්‍රනාන්දුගේ ගී ඇසීම ඔහු ප්‍රිය කළේය.

මගේ මව අභාවප්‍රාප්ත වීමෙන් පසු අන්‍යයන් සමග ඔහු සම්බන්ධතා පැවැත්වූයේ මද වශයෙනි. ඉන් පසු ඔහු බලා කියා ගැනීමේ වගකීම භාර ගත්තේ මගේ අයියා ය.

මගේ අයියා (රජීව) ඔහු ගැන ලියූ ලිපියක කොටසකින් මෙම ලිපියද අවසන් කරනු කැමැත්තෙමි.

තමන්ගේ පරමාදර්ශයන් හා මූලධර්ම වලට අනුකූලව ජීවත් වීම අතින් ඔහු කිසිවකුට දෙවැනි වන්නේ නැත. ඔහු සිය දරුවන් පස් දෙනාට පැවරූ උරුමය නම් තමා පරමාදර්ශයක් සේ සැලකූ දේට අනුකූලව ආදර්ශවත්ව ජීවත්වන ආකෘතිය කියා දීමයි.

ඔහු උතුම් වූ නිර්වාණයට පත්වේවා!

සංජිව ජයවීර ගේ ලිපියේ සංක්ෂිප්ත පරිවර්තනයකි.

පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ.