යුගදනවි ගනුදෙනුවේ අග මුල



ලංකා විදුලිබල මණ්ඩලය සතුව තිබූ යුගදනවි බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40ක ප්‍රමාණයක් ඇමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ  වාද විවාද පැවැත්වේ. මේ ඒ සම්බන්ධයෙන් කෙරෙන විමසා බැලීමකි.

රජය විසින් මෑතකදී අත්සන් තබන ලද කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම මාධ්‍ය හරහා මහත් අවධානයට ලක්වූ කරුණකි. මේ මතබේදාත්මක ගනුදෙනුව ගැන උනන්දුවක් දක්වන යමෙක් සත්‍ය කරුණු මත පිහිටා අප මෙතැනට පැමිණියේ කෙසේදැයි ප්‍රථමයෙන් සොයා බැලිය යුතුය.


යුගදනවි බලාගාරයේ ඉතිහාසය
2005 අග භාගයේදී නව ආණ්ඩුවක් බලයට පත්වනවිට කලින් වසර තුනක කාලයක් තිස්සේ ප්‍රධාන විදුලි බලාගාරයක් ඉදි නොකිරීම නිසා රටේ විදුලි ඉල්ලු‍ම සැපයීම සඳහා ප්‍රමාණවත් විදුලි උත්පාදන ධාරිතාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබිණි. මෙම ගැටලුව විසඳීමට යම් ක්‍ෂණික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අවබෝධ කරගත් ආණ්ඩුව, ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි බලාගාරයක් ඉදිකිරීමට සඳහා ලං.වි.ම. අනුබද්ධිත ලක්‍දනවි සමාගමෙන් යෝජනාවක් කැඳවීය. ලක්දනවි සමාගම ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරයක් (combined cycle power plant) ලං.වි.ම. වෙනුවෙන් ඉදිකර භාර දීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ජපානයේ සහ චීනයේ ප්‍රකට සමාගම් දෙකක් විසින්ද එවැනිම යෝජනා ඉදිරිපත් කරන ලදී. මෙකී යෝජනා තුන ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩල කේවල කිරීමේ කමිටුවක් (Cabinet-appointed Negotiating Committee - CANC)  රජය විසින් පත් කරන ලදී.

මෙම යෝජනා පරීක්ෂා කිරීමෙන් පසුව ලබාදියයුතු නිර්දේශ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අතර එකඟතාවක් නොවීය. එයට හේතුව වූයේ ඒ වනවිටත් විදුලි බලාගාර දෙකක් සාර්ථකව ඉදිකර තිබූ ලක්දනවි සමාගම මිල ගණන් අඩුවෙන් ඉදිරිපත් කර තිබුණත් එම සමාගම විසින් කලින් මෙවැනි ඒකාබද්ධ චක්‍රීය විදුලි බලාගාරයක් ඉදිකර නොතිබූ නිසා යෝජිත නව බලාගාරය ඉදිකිරීමේ වගකීම එම සමාගමට පැවරීමට ඇතැම් සාමාජිකයන් අකමැත්තක් දැක්වීමය. එහෙත්, එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ මැදිහත්වීම මත ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ හැකියාව කෙරෙහි විශ්වාසයක් තැබූ කැබිනට් මණ්ඩලය මෙම ව්‍යාපෘතිය ලක්දනවි සමාගම වෙත පිරිනැමීමට තීරණය කරන ලදී.

මුල් යෝජනාවට අනුව මෙම ව්‍යාපෘතිය සැලසුම්කර, ඉදිකර, අයිතිය ලං.වි.ම. වෙත පැවරීමේ (design build and transfer හෙවත් DBT) පදනම මත ඉංජිනේරු කොන්ත්‍රාත්කරුවකු (EPC Contractor)  ලෙස ලක්දනවි සමාගම තෝරා ගන්නා ලදී. එහෙත්, එවකට රටේ පැවති මූල්‍ය වාතාවරණය හේතුවෙන් මෙම බලාගාරය ඉදිකර, අයිතිය තබාගෙන, මෙහෙයවා භාරදෙන (build-own-operate-transfer හෙවත් BOOT)  ආකෘතියට වෙනස් කර එම ව්‍යාපෘතිය විශේෂ කාර්ය සමාගමක් (Special Vehicle Company) මඟින් ක්‍රියාත්මක කරන ලෙසට ලක්දනවි සමාගමට රජය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, මෙගාවොට් 300 ක ඒකාබද්ධ චක්‍රීය බලාගාරයක් ඉදිකර වසර 25 ක් සිය අයිතිය යටතේ නඩත්තුකර මෙහෙයවා ක්‍රියාත්මක කිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් (WCPL) සමාගම පිහිටුවන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පිරිවැය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක මූල්‍යකරණයක් WCPL සමාගමට සපයාගැනීම සඳහාද ලක්දනවි සමාගම මැදිහත්විය.

රජය විසින් තමනට පවරනු ලැබූ කාර්යය නොපිරිහෙලා ඉටුකළ ලක්දනවි සමාගමේ ඉංජිනේරුවන් විසින් වසර තුනකටත් අඩු කාලයකදී යුගදනවි බලාගාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඉදිකර අවසන් කරන ලදී. ඒ අනුව, 2010 මැයි මාසයේදී මෙම බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළේය. තමන් කෙරේ රජය තැබූ විශ්වාසය කඩ නොකළ ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් නිසා අදටත් මෙම බලාගාරය විදේශිකයන් සතුනොවූ ශ්‍රී ලංකාවේ ජාතික වත්කමක් ලෙස පවතී.


මහා භාණ්ඩාගාරයට WCPL සමාගමේ කොටස් පැවරීම
මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලැබුවේ සියයට30 ක ආයෝජන සහ සියයට70 ක ණය මගිනි. මෙහිදී විදේශ ණය සපයා ගන්නා ලද්දේ විදේශ රාජ්‍යයන්ට අනුබද්ධිත අපනයන ණය නියෝජිත ආයතන (export credit agencies)  සංචිතයක් මගිනි. එසේම, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් දේශීය ණය ලබා ගත්තේය. විදේශ ආයතන මගින් ලබාදුන් ණය සඳහා රැකවරණයක් ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් ලබාදෙන ස්වෛරී ඇපකරයක් එම ණයදෙන ආයතන විසින් ඉල්ලා සිටි අතර, රටේ නීතියට අනුව එවන් ඇපකරයක් යම් ආයතනයකට ලබා දීමටනම් එම ආයතනයේ අයිතියෙන් අවම වශයෙන් සියයට50 ක් රජය සතු විය යුතුය. මෙකී නෛතික අවශ්‍යතාවට අනුකූල වීම සඳහා WCPL සමාගමේ වත්කමින් සියයට50 ක ප්‍රමාණයක් සරිලන පරිදි, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) වෙතින් ලබාගත් ණය සහ ලක්දනවි සමාගමේ කොටස් ප්‍රමාණයක් එකතු කර එම වත්කම මහා භාණ්ඩාගාරය වෙත පවරන ලදී.

මේ අනුව WCPL සමාගමේ කොටස් සියයට50 ක් භාණ්ඩාගාරයටත්, සියයට27.05 ක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදලටත් (EPF), සියයට 18.18 ක් ලංකා විදුලි (පෞද්ගලික) සමාගමටත් (LECO) සහ සියයට4.77 ක් ලක්දනවි සමාගමටත් අයත්වනසේ අවසානයේ බෙදී තිබිණි. වර්තමානයේ ජනමාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් වන ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමකට පවරා ඇති WCPL සමාගමේ භාණ්ඩාගාරය සතු සියයට40 ක කොටස් ප්‍රමාණය රජයේ ඇප සහතිකයක් ලබාදීම උදෙසා භාණ්ඩාගාරයට පැවරූ සියයට 50ක වත්කම් වලින් කොටසකි.

යුගදනවි බලාගාරයේ උත්පාදනය කරන විදුලිය 25 වසරක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් (power purchase agreement හෙවත් PPA)  මත ලංකා විදුලිබල මණ්ඩලයට විකුණනු ලබයි. මෙම ගිවිසුම දැනට වසර 11ක් සම්පූර්ණ කර ඇති අතර ආසන්න වශයෙන් සියයට 16ක පමණ වාර්ෂික ප්‍රතිලාභයක් WCPL  සමාගමේ ආයෝජකයන්ට මේ දක්වා ලබා දී ඇත. සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන් සහ කාර්මිකයන් විසින් නඩත්තු කර මෙහෙයවනු ලබන යුගදනවි බලාගාරය ගිවිසගත් අගයට වැඩි උපයෝජ්‍යතාවක් (availability)  පවත්වා ගැනීමට පසුගිය වසර 11 පුරාම සමත්වී ඇත. එය රටේ විදුලි සැපයුම සඳහා අත්‍යාවශ්‍ය විශ්වාසදායක බලාගාරයක් බවට පත්ව ඇත.


වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් (WCPL) සමාගමේ කොටස් සියයට 40ක් ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට විකිණීම
2021 වසර අවසන්වන විට WCPL සමාගමේ විදේශ ණය ගෙවා අවසන්වීමට නියමිතය. විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමේ අවසාන වසර 15 තුළ සමගමේ ආදායම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් ලැබෙන අතර එසේ ලැබෙන අනාගත ආදායම එම ගිවිසුමේ පැහැදිලිව දක්වා ඇත. මෙම සහතික අනාගත ආදායමේ ශුද්ධ වර්තමාන වටිනාකම (LNG මගින් ක්‍රියාත්මක කර විදුලිබල මණ්ඩලයට විකුණන මිල ගණන් අනුව) රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් භාණ්ඩාගාරයේ ඉල්ලීම මත රු. බිලියන 127ක් ලෙස තක්සේරු කරනු ලැබ දන්වා ඇතැයි වාර්තා වේ. ඒ අනුව භාණ්ඩාගාරය විසින් නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීමට එකඟ වී ඇති WCPL සමාගමේ සියයට40ක කොටස්වල වටිනාකම ලෙස දක්වන ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක වටිනාකම රජයේ තක්සේරු විසින් ලබාදුන් අගය හා එකඟ වන බව පෙනීයයි.

එසේම, යම් ආයෝජකයකු විසින් එක්සත් ජනපද ඩොලර් වලින් ආයෝජනය කර මෙම කොටස් මිලදී ගෙන ශ‍්‍රී ලංකා රුපියල් වලින් සිය ප්‍රතිලාභය ලබා ගැනීමේදී රුපියල අවප්‍රමාණ වීමේ අවදානමටද එම ආයෝජකයා නිරාවරණය වන බවද සැලකිල්ලට ගත යුතුය. ඒ අනුව නිව් ෆෝට්‍රස් සමාගමද එක්සත් ජනපද ඩොලරය රුපියලට සාපේක්ෂව උච්චාවචනය වීමේ අවදානම දරාගත යුතුය.

කවුරු කෙසේ කීවත් ශ්‍රී ලංකාව ඉතාමත් දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණපා ඇති බව සත්‍යයකි. සරලව කල්පනා කළහොත්, යම් ගෘහයකට ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවුව හොත් කළ හැක්කේ වෙනත් පාර්ශ්වයකින් ණයක් ගැනීමෙන් හෝ තමන් සතු වත්කමක් විකිණීමෙන් එම අඩුව පිරිමසා ගැනීමය. එහෙත් සීමාව ඉක්මවා ණය ගෙන ඇත්නම් පළමු විකල්පය තව දුරටත් වලංගු නොවේ. එසේනම්, තිත්ත යථාර්ථය වනුයේ අප රටට ඉතිරිවී ඇති විකල්පය රටේ වත්කම් විකිණීම පමණක්ය යන්නය.

ලංකාවේ ජාතික වත්කම් විකිණීම යනු අතිශය මතබේදකාරී මාතෘකාවකි. එහෙත් වාස්තවිකව මෙම කරුණ විමසා බැලු‍වහොත්, නියම වටිනාකම ලැබේනම් සහ එසේ ලැබෙන ආදායම අපේක්ෂිත අරමුණ සඳහා භාවිතා කෙරේනම් වත්කමක් විකිණීම යනු ජාතිද්‍රෝහී හෝ අනර්ථකාරී ක්‍රියාවක් ලෙස සෑම විටෙකම නොදැකිය යුතුය. සරල උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයකු සතුව ඩොලර් 500 ක් වටිනා රත්තරන් ආභරණ තිබේයැයි සිතන්න. දැන් එම පුද්ගලයා එම රන්භාණ්ඩ විකුණා ඩොලර් 500ක් ලබාගෙන එම මුදල තම සන්තකයේ තබා ගන්නේ නම් එම පුද්ගලයා සතු වත්කම් හෝ ධනයේ අඩුවක් නොවේ. එම පුද්ගලයා තම වත්කම් ඩොලර් නෝට්ටු ලෙස හෝ රත්තරන් ලෙස තබාගැනීමෙන් වත්කමවල අඩුවීමක් සිදු නොවිය යුතුය.

මේ අනුව, WCPL සමාගමේ කොටස් සියයට40ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 කට නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීමේ ගනුදෙනුවේදී ඉහත පළමු කොන්දේසිය තෘප්තිමත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව, එම ගනුදෙනුව සම්බන්ධයෙන් දෙවැනි කොන්දේසියද සපුරාළීමට රජය සහතික විය යුතුය. කෙසේ වෙතත්, විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (PPA) 2035 වසරේ අවසන් වීමෙන් පසුව යුගදනවි බලාගාරයේ අයිතිය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලයට පැවරෙන බවද අවධාරණය කළ යුතුය.


LNG යටිතල පහසුකම් සංවර්ධන අයිතිවාසිකම් නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීම
නිව් ෆෝට්‍රස් ගනුදෙනුවට එරෙහි විරෝධයක් එල්ලවන තවත් කරුණක් වන්නේ, වසර පහක කාලයක් සඳහා, යුගදනවි සහ අනාගතයේ ඉදිකිරීමට නියමිතව ඇති සොබාදනවි ඒකාබද්ධ චක්‍රීය බලාගාර දෙකට ස්වභාවික වායු සැපයීම සඳහා LNG ගබඩා කිරීමේ සහ එය නැවත වායු බවට හැරවීමේ පාවෙන පර්යන්තයක් (floating storage & regasification unit හෙවත් FSRU)  සහ එම බලාගාර වෙත ස්වභාවික වායු බෙදාහැරීමට අවශ්‍ය නළ මාර්ගයක් ඉදිකිරීමේ අයිතිය මෙන්ම පාවෙන පර්යන්තයට LNG සැපයීමේ අයිතියද නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීමට රජය එකඟ වීමය.

FSRU හෙවත් පාවෙන පර්යන්තයක් සහ ඊට සම්බන්ධ නළ මාර්ග ඉදිකර ඒවා වසර 10 ක කාලයක් පෞද්ගලික සමාගමක් විසින් අයිතිය තබාගෙන මෙහෙයවීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් දැනටමත් ජාත්‍යන්තර තරගකාරී ටෙන්ඩර් කැඳවා තිබේ. එම ටෙන්ඩර් කොන්දේසි අනුව තෝරාගත් ආයෝජකයන්ට පාවෙන පර්යන්තය සහ නළ මාර්ගය නඩත්තු කර මෙහෙයවීම වෙනුවෙන් අවම මුදලක් වාර්ෂිකව විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතුය. මෙම වාර්ෂික ස්ථාවර ගාස්තුව (capacity charge)  ගණනය කිරීමේදී සැලකිල්ලට ගැනීම සඳහා ගිවිසුම් කාලය තුළ (වසර 10) එක් එක් වර්ෂය සඳහා LNG අවශ්‍යතාව ඒකක මිලියන (මිලියන MMBtu) වලින් දක්වා ඇත. (උදාහරණයක් වශයෙන්, පළමු වසරේදී LNG ඒකක මිලියන 38ක් ලෙසත් අවසාන වසර සඳහා ඒකක මිලියන 50ක් ලෙසත් සැලකිය යුතු බව ටෙන්ඩරයේ සඳහන් වේ). මෙම අවම ස්ථාවර ගාස්තුව ගෑස් පාවිච්චි නොකළත් අනිවාර්යයෙන්ම ගෙවියයුතු මුදලකි.

මෙම ටෙන්ඩර් කැඳවීමට ප්‍රතිචාර දක්වා තිබූයේ චීන-පකිස්ථාන ඒකාබද්ධ සමාගමක් සහ ඇමෙරිකානු සමාගමක් පමණි. එහිදී ඇමෙරිකානු සමාගම විසින් ඉදිරිපත් කළ ලංසුව පූර්ව අගැයීම් අදියරේදීම ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව දැනට තෝරාගෙන තිබෙන චීන-පකිස්ථාන ඒකාබද්ධ සමාගමක් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලංසුවේ පාවෙන පර්යන්තය සහ නළ මාර්ගය නඩත්තු කර මෙහෙයවීම වෙනුවෙන් එක් එක් වර්ෂය සඳහා ගෙවියයුතු ස්ථාවර මුදල (මාසිකව සමාන කොටස් දොළහකින් ගෙවියයුතු) පැහැදිලිව සඳහන්ව ඇත. එම මිල ගණන් වලට අනුව, ගණනය කිරීම සඳහා යොදාගත් වාර්ෂික LNG ඒකක ගණනින් බෙදූවිට පර්යන්තය සහ නළ මාර්ගය වෙනුවෙන් LNG ඒකකයකට ඇමෙරිකානු ඩොලර් 3.00ක් වැයවන බව ගණන් බලා ඇත. (ප්‍රතික්ෂේපිත ලංසුවේ මෙම ගාස්තුව ඉහත මුදලින් අඩක්, එනම්, LNG ඒකකයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1.49ක් වශයෙන් සඳහන් වූ බවද වාර්තා වේ). ඒ අනුව, එකදු LNG ඒකකයක්වත් පාවිච්චි නොකළත් පාවෙන පර්යන්තය සහ නළ මාර්ගය නඩත්තු කර මෙහෙයවීම වෙනුවෙන් පළමු වසර පහ සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 587.5 ක ස්ථාවර ගාස්තුවක් අනිවාර්යයෙන්ම විදුලිබල මණ්ඩලය විසින් ආයෝජක සමාගමට ගෙවිය යුතු වේ. මෙයට අමතරව LNG සකසන සහ බෙදාහරින ප්‍රමාණය මත තීරණය වන අමතර ගාස්තුවක්ද (සැකසීම සඳහා යන සෘජු වියදම් වන ඉන්ධන, ලිහිසි තෙල් ආදිය වෙනුවෙන්) ගෙවිය යුතුය. ඒ අනුව, ටෙන්ඩරයේ ප්‍රකාශිත LNG ප්‍රමාණයෙන් සියයට 50 ක් භාවිතා කරන්නේනම් පළමු වසර පහ සඳහා ගෙවිය යුතු ස්ථාවර ගාස්තුව මිලියන 622.3 දක්වා වැඩි වේ. කොන්ත්‍රාත් කාලය තුළ සෑම වසරක් සඳහාම මෙවැනි ස්ථාවර ගාස්තුවක් ගෙවීම අනිවාර්ය වේ.

ඉහත විස්තර කළ පදනම මත නිව් ෆෝට්‍රස් සමාගම ඉදිරිපත් කර ඇති යෝජනාවේ මිල ගණන් අධ්‍යනය කළහොත්, පාවෙන පර්යන්තය සහ නළ මාර්ගය නඩත්තුකර මෙහෙවීම වෙනුවෙන් වසර පහක් සඳහා ගෙවීමට නියමිත ගාස්තුව LNG ඒකකයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1.45 ක් ලෙස දක්වා කර තිබේ. එනම්, විදුලිබල මණ්ඩලයේ තෝරාගත් ටෙන්ඩර්කරුට ගෙවිය යුතු ගාස්තුවෙන් භාගයකටත් අඩුය. ගෙවියයුතු අවම මුදල ගණනය කිරීම සඳහා නිව් ෆෝට්‍රස් සමාගම සමග එකඟවී ඇති එක් එක් වසර සඳහා වන LNG ඒකක මිලියන ගණන අනුව, පර්යන්තය සහ නළ මාර්ගය ඉදිකර නඩත්තුකර මෙහෙයවීම වෙනුවෙන් වසර පහ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 254 ක් ගෙවිය යුතුය. ඒ අනුව, නිව් ෆෝට්‍රස් සමාගමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත්, විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරයෙන් තේරී ඇති යෝජනාව සමග සැසඳීමේදී වසර පහක් සඳහා LNG පර්යන්තය සහ නළ මාර්ගය ඉදිකර, නඩත්තු කර මෙහෙයවීම වෙනුවෙන් ගෙවිය යුතු ස්ථාවර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 333.5 ක ඉතිරියක් ලැබෙනු ඇත.

විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දීර්ඝ ශක්‍යතා අධ්‍යනය සිදුකළ ආසියානු සංවර්ධන බැංකුව විසින් පත් කරනු ලැබූ ජාත්‍යන්තර උපදේශකයන් ඉදිරිපත් කර ඇති පිටු 551 ක තාක්ෂණික වාර්තාවට අනුව LNG ඒකකයක වෙළඳපොළ මිල ඇමෙරිකානු ඩොලර් 10ක් වේයැයි උපකල්පනය කර තිබේ. එහෙත්, මේ වනවිට LNG ඒකකයක (MMBtu) වෙළඳපොළ මිල ඇමෙරිකානු ඩොලර් 40 ආසන්නයට පැමිණ ඇත. LNG පමණක් නොව විදුලිය උත්පාදනයට යොදා ගන්නා ගල් අඟු‍රු, දැවිතෙල් ආදියේ මිලද අසාමාන්‍ය ලෙස වර්තමානයේ ඉහළ ගොස් ඇත. මෙම අධික මිල ගණන් තාවකාලික බව බොහෝ දෙනා විශ්වාස කළත්, LNGවල වෙළඳපොළ මිල ගණන් ඒකකයකට ඇමෙරිකානු ඩොලර් 10 දක්වා පහත වැටීමේ සම්භාවිතාව ඉතා අල්පය.

මේ අතර, විදුලිය නිපදවීම සඳහා LNG අවශ්‍ය වන්නේ වසරකට ඒකක මිලියන 11ක් පමණ බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් මාධ්‍ය හරහා නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කරනු ලැබ ඇත. ඒ අනුව, අපේක්ෂිත පරිදි LNG ඒකකයක් ඩොලර් 10 ක මිලකට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ලබාගත හැකි යයි උපකල්පනය කළත්, පාවෙන පර්යන්තය LNG වෙත ගෙනවුත් නැවත ගෑස් බවට හරවා නළ පද්ධතිය හරහා විදුලි බලාගාර වෙත බෙදා හැරීමට එක ඒකකයක් සඳහා වැයවන මුදල (ටෙන්ඩරයට අනුව) සැලකිය යුතු ඉහල අගයක් ගන්නා බව ප්‍රත්‍යක්‍ෂ වේ. උදාහරණයක් ලෙස, පළමු වසරේදී පමණක් ඩොලර් 10 බැගින් LNG ඒකක මිලියන 11ක් ලබා ගැනීමට වැයවෙන මුදල (ඩොලර් මිලියන 110) සහ පාවෙන පර්යන්තය සහ නළ මාර්ගයට ගෙවිය යුතු ස්ථාවර ගාස්තුව (ඩොලර් මිලියන 117) සලකා බැලීමේදී, එක LNG ඒකකයක් (MMBtu) සඳහා ඩොලර් 20.63 ක් වැය වේ. උපදේශකවරුන්ගේ වාර්තාවේ LNG විදුලි බලාගාර වලට ලබාදෙන ඒකකයක මිල ඇමෙරිකානු ඩොලර් 14.06 ඉක්මවන්නේනම් LNG හාවිතයෙන් විදුලිය නිපදවීම ලාභදායි නොවන බව සඳහන් වේ.


නිව් ෆෝට්‍රස් සමාගම වෙත LNG සැපයීමේ අයිතිය ලබා දීම
කලින් විස්තර කළේ LNG පාවෙන පර්යන්තය වෙත ගෙන ඒමෙන් පසුව සිදුවන ක්‍රියාවලියයි. එනම්, ද්‍රවකෘත වායුව පර්යන්තය මගින් ගෑස් බවට පරිවර්තනය කර නළ හරහා බලාගාර වෙත ගෙනයාමයි. කෙසේ වෙතත්, මෙම කාර්යය කිරීමට ප්‍රථම ද්‍රවකෘත වායුව වෙළඳපොළෙන් මිලදීගෙන විශේෂිත නැව් මගින් පාවෙන පර්යන්තය වෙත ගෙන ආ යුතුය. එසේ ගෙනෙන ද්‍රවකෘත වායුව (LNG) ගොඩබිමින් ඈත නැංගුරම්ලා නවතා ඇති පාවෙන පර්යන්තයේ තිබෙන විශේෂ ටැංකිවලට පිරවිය යුතුය. මුහුද මැදදී එක් නැවකින් තවත් නැවකට ද්‍රවකෘත වායුව මාරුකිරීම අසීරු මෙන්ම අන්තරායදායක ක්‍රියාන්විතයකි.

මෙසේ LNG මිලදී ගෙන සැපයීම සඳහාද නිව් ෆෝට්‍රස් සමාගම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, නිව් ෆෝට්‍රස් සමාගම ඉදිරිපත් කර ඇති LNG සැපයීමේ යෝජනාව අධ්‍යනය කර අදාළ නිර්දේශ (එකඟ විය හැකි අවම වාර්ෂික LNG ප්‍රමාණයද ඇතුළුව) ඉදිරිපත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇතුළු ජ්‍යෙෂ්ඨතම ඉන්ජිනේරුවරුන් පස් දෙනකුගෙන් සහ මුදල්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය යන අංශ තුනද නියෝජනය වන තාක්‍ෂණික කමිටුවක් මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලැබ ඇත. එසේම, ඉදිරි වසර පහ සඳහා යුගදනවි සහ සොබාදනවි බලාගාර වලට අවශ්‍ය LNG ප්‍රමාණය දන්වන මෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් අවස්ථා ගණනාවකදී වාචිකව මෙන්ම ලිඛිතවද විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීම් කර තිබේ. එසේම, මෙම ගණනය කිරීම සඳහා යොදාගතයුතු, ස්වභාවික වායු මගින් ඉහත බලාගාරවල විදුලිය ඒකකයක් නිපදවීමේදී වැයවන විචල්‍ය මිල ගණන්ද එම ලිපිවල සඳහන් කර ඇත. කෙසේ වෙතත්, මේ දක්වා විදුලිබල මණ්ඩලයෙන් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙම ඉල්ලීම්වලට ලබා දී නොමැත.

යුගදනවි සහ සොබාදනවි බලාගාර සඳහා, බලාගාර දෙක සියයට55ක ප්‍රමාණයකින් (Plant factor) ක්‍රියාත්මක වෙයි යන උපකල්පනය මත, වසරකට LNG ඒකක මිලියන 25කට අසන්න ප්‍රමාණයක් අවශ්‍ය බව දැනට ගණන් බලා තිබේ. මෙම LNG ඒකක ප්‍රමාණයට පාවිච්චි වූවත් නැතත් අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවත් ඒ අනුව එකී යෝජිත මිලදීගැනීමේ ගිවිසුම හරහා විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවන බවත් එහි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ මාධ්‍ය හරහා පුන පුනා ප්‍රකාශ කර ඇත්තාහ. කෙසේ වෙතත්, මෙම අනිවාර්යයෙන්ම මිලට ගතයුතු ප්‍රමාණය (take-or-pay quantity හෙවත් TOP)  ස්ථිර තීරණයක් මේ දක්වා ගෙන නොමැත. එම ප්‍රමාණය කුමක්දැයි නිල වශයෙන් විදුලිබල මණ්ඩලය දැනුම්දීමෙන් පසුව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම මුදල් අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලැබ ඇති තාක්‍ෂණික කමිටුවේ වගකීම වේ.

එසේම, දැනට ටෙන්ඩර් කැඳවා තෝරාගෙන ඇති පාවෙන පර්යන්තය සහ නළ පද්ධතිය සඳහා LNG මිලදී ගැනීමේ ක්‍රියාවලිය කුමක්දැයි විදුලිබල මණ්ඩලය මේ දක්වා තීරණය කර නොමැත. කෙසේ වෙතත්, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ තාක්ෂණික වාර්තාවට අනුව වාර්ෂිකව අවශ්‍යවන LNG ප්‍රමාණයෙන් කොටසක් මධ්‍ය කාලීන මිලදී ගැනීමේ ගිවිසුම් හරහාද, ඉතිරිය විවෘත වෙළෙඳපොළ (spot market)  හරහාද මිලට ගැනීම යෝජනා කර ඇත.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ප්‍රකාශ කර ඇති පරිදි, ලංකාවේ විදුලි උත්පාදනයට අවශ්‍ය වනුයේ LNG ඒකක මිලියන 11 ක් නම්, එයින් අඩක් විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගන්නේයයි උපකල්පනය කළහොත්, එම LNG ප්‍රමාණය සාමාන්‍යයෙන් LNG ප්‍රවාහනය කරන එක නැවක රැඳවුම් ධාරිතාවට සමාන වේ. උපදේශකවරුන් නිර්දේශ කර ඇත්තේ ඝන මීටර 160,000 සිට 216,000 ක ධාරිතාවක් ඇති LNG  ප්‍රවාහන නෞකා (LNG carriers) ගන්නා ලෙසටය. ඝන මීටර 160,000 ක ධාරිතාවක් ඇති නැවක LNG  ඒකක (MMBtu) මිලියන 6 ක් පමණ රැඳවිය හැක. එසේම LNG  නැවක ධාරිතාවෙන් කොටසක් (partial cargo) ලබා ගැනීමේ හැකියාවක්ද නොමැත. මේ අනුව, විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩරය අනුව වසරකට එක LNG නැවක් පමණක් මිලදී ගෙන බලාගාර වලට ගෑස් සැපයීමේ ක්‍රියාවලිය කොතරම් ප්‍රායෝගිකද සහ එයින් ආර්ථික වාසියක් ලැබේද යන්න ගැඹුරින් විමර්ශනය කර බැලිය යුතුය.

රජය විසින් තීරණය කර ඇත්තේ රජයේ පාලනයට යටත් ආයතනයක් විසින් රටේ සම්පූර්ණ LNG අවශ්‍යතාව මිලදී ගෙන විදුලිබල මණ්ඩලයට සහ අනෙකුත් පෞද්ගලික අංශයේ විදුලි බලාගාර වලට විකිණීම කළයුතු බවය. මෙසේ යෝජනා කර ඇති ගැනුම්කාර ආයතනය මහා භාණ්ඩාගාරය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ සහ විදුලිබල මණ්ඩලය නියෝජනය කරන පූර්ණ අයිතිය රජය සතු සමාගමකි. දැනට විදුලිබල මණ්ඩලයේ නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදීගෙන සපයනු ලබන්නේද මෙවැනිම රාජ්‍ය සමාගමක් මගිනි.

නිව් ෆෝට්‍රස් සමාගම ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව යුගදනවි සහ සොබාදනවි බලාගාර දෙකේ LNG අවශ්‍යතාව සියයට100 ක්ම මධ්‍ය කාලීන ගෑස් මිලදී ගැනීමේ ගිවිසුමක් හරහා ලබා ගනු ඇත.

ලොව පුරා LNG කර්මාන්තයේ මෙවන් මිලදී ගැනීම් ගිවිසුම් නිශ්චිත අවම ප්‍රමාණයක් මිලදී ගැනීම හෝ ගෙවීම සංකල්පය (take or pay) මත පදනම් වී ඇත. මෙම අවම ප්‍රමාණය අදාළ පාර්ශ්ව විසින් සාකච්ඡා කර එකඟ වීමෙන් පසුව ගිවිසුමට ඇතුලත් කරනු ලැබේ. යෝජිත ගිවිසුමට අනුව ජාත්‍යන්තරව පිළිගත් සූත්‍ර තුනක් මත  LNG වල මිල නියම කිරීමේ කිරීමේ අයිතිය මිලදී ගන්නාට ලැබේ. සෑම වසරකම භාවිතා කළ යුතේ කුමන සූත්‍රයද යන්න තීරණය කිරීමේ අයිතියද, යම් වසරකදී එකඟවූ සම්පූර්ණ අවම ප්‍රමාණය භාවිතා නොකළහොත් (උදා., වර්ෂා පතනය හොඳින් ලැබෙන වර්ෂයකදී) ඉතිරිය ඊළඟ වසරකට ගෙනයාමේ හැකියාවද මිලදී ගන්නා පාර්ශ්වයට ලබා දීමට නිව් ෆෝට්‍රස් සමාගම දැනටමත් එකඟ වී ඇත. තවද, ගිවිසගත් අවම ප්‍රමාණය නොගතහොත් සිදුවිය හැකි මුල්‍යමය පාඩුව අවම කර ගැනීම සඳහා මිලදීගන්නාගේ අනුමැතිය ඇතිව එසේ භාවිතයට නොගත්  LNG  නැවත විකිණීමේ  විකල්පයක්ද ගීවිසුමට ඇතුලත් කරනු ඇත.

LNG මගින් විදුලිය නිපදවීම ලාභදායක වීමටනම්, එය අඩු මිලකට අදාළ විදුලි බලාගාරවලට ලබාදිය යුතු වේ. ඒ අනුව, රටට අවාසිදායක නොවන ගෑස් සැපයුම් කොන්ත්‍රාත්තුවක් සකස් කර නිව් ෆෝට්‍රස් සමාගම සමග අත්සන් කිරීමට රජය සහ විදුලිබල මණ්ඩලය වග බලාගත යුතුය. ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික හා දේශපාලන අර්බූද හමුවේ, යුගදනවි ගනුදෙනුව පිළිබඳ ස්වාධීන විශ්ලේෂණයක් මඟින් සාධාරණ නිගමනයට එළඹීමට ගස් දෙස පමණක් දෑස් දල්වා නොසිට වනාන්තරය දෙස අවධානය යොමු කිරීම අවශ්‍ය බව පෙනේ.


(***)
ලංකා විදුලිබල මණ්ඩලයේ
හිටපු ප්‍රධාන විදුලි ඉංජිනේරු
ඕ.එස්. පෙරේරා